පිරිසුදු දේශපාලනය ගම් මට්ටමින් ඇරඹීම එජාපයේ ඉලක්කයක් | සිළුමිණ

පිරිසුදු දේශපාලනය ගම් මට්ටමින් ඇරඹීම එජාපයේ ඉලක්කයක්

 එක්සත් ජාතික පක්ෂයේ 71 වැනි සැමරුම අදට (10) යෙදී ඇත. පසුගිය 6 වැනිදාට යෙදී තිබුණු පක්ෂයේ සමාරම්භක දින සමරුවේදී පක්ෂ මූලස්ථානය වන සිරිකොතෙහි උදෑසන බෞද්ධාගමික වතාවත් හා ඉන් අනතුරුව සර්ව ආගමික වතාවත්ද සිදු කළ අතර පක්ෂයේ දිවංගත නායකයන්ට මල් මාලා පැලඳවීම පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය. තනි පක්ෂයක් ලෙස දිගු කාලීන දේශපාලන ගමනක් යන එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙන් අද දක්වා ආ ගමන ගැන මේ සම්පිණ්ඩනාත්මක වාර්තාවට අදහස් දක්වන ලද්දේ පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම් මහතා විසිනි.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය විරෝධී අරගලයට එරෙහිව 1942 අගෝස්‌තු මාසයේ ඉන්දියාවේ බොම්බාය නගරයෙන් දියත් කරන ලද 'ඉන්දියාවෙන් පිට වෙනු!' පෙළපාළි සඳහා ලංකා ජාතික සංගමයෙන්ද නියෝජිතයෝ සහභාගි වූහ. එවකට ලංකා ජාතික සංගමයේ සභාපතිවරයා ලෙස සිරිපාල සමරක්‌කොඩි මහතා කටයුතු කළ අතර, ලේකම්වරයා වූයේ ජේආර් ජයවර්ධන මහතායි.

1943දී ශ්‍රීමත් ඩීබී ජයතිලක මහතා ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත ලෙස නවදිල්ලියට පිටත්ව ගිය අතර, ඔහුගෙන් පුරප්පාඩු වූ සභානායක ධුරයට ඩීඑස්‌ සේනානායක මහතා පත් විණි. ජයතිලක මහතා ඉවත් වීමෙන් පුරප්පාඩු වූ කැලණිය ආසනයේ අතුරු මැතිවරණයට ජේආර් ජයවර්ධන මහතා ඉදිරිපත් විය. එම අතුරු මැතිවරණයේදී වැඩිඡන්ද 10195කින් කැලණිය ජය ගැනීමට ජේආර් ජයවර්ධන මහතාට හැකි විය. ශ්‍රී ලංකාවේ කොමියුනිස්‌ට්‌ පක්‌ෂය එදා ජේආර් ජයවර්ධන මහතාට සහාය පළ කළ බවත් අපට වාර්තා වේ.

'පාම්කෝට්‌' තිඹිරිගෙය

කෙසේ වෙතත් අපේ රටට 1945දී සෝල්බරි ව්‍යවස්‌ථාව හඳුන්වා දීමත් සමඟ පක්‌ෂ ක්‍රමයකට මැතිවරණ පැවැත්වීමේ අවශ්‍යතාවක් මතු විය. ලංකා සමසමාජ පක්‌ෂය හා කොමියුනිස්‌ට්‌ පක්‌ෂය වැනි වාමාංශික පක්‌ෂ හැර සෙසු පක්‌ෂ ප්‍රධාන මැතිවරණ ප්‍රවාහයකට යොමු වී සිටි බවක් දක්නට තිබුණේ නැත. මේ නිසා ලංකා ජාතික සංගමයේ නායකයන් 1946 සැප්තැම්බර් 06 දින කොල්ලුපිටියේ 'පාම්කෝට්‌' මන්දිරයට රැස්‌ වී තවත් සංවිධාන කිපයක නායකයන් සමඟ එක්‌සත් ජාතික පක්‌ෂය බිහි කරන ලදී. ඒ සඳහා එක්‌ වූ සංවිධාන අතර ලංකා ජාතික සංගමය, සිංහල මහා සභාව, සමස්‌ත ලංකා මුස්‌ලිම් ලී, ලංකා යෝනක සංගමය වැනි සංවිධාන ද විය. සියලු ජාතීන් නියෝජනය වූ බව පෙන්වීම සඳහා 'එක්‌සත් ජාතික පක්‌ෂය' යන නාමය යෝජනා වූ අතර, ආරම්භක නිලධාරී මණ්‌ඩලයේ සභාපතිවරයා වූයේ ඩීඑස්‌ සේනානායක මහතායි.

ඩීඑස් යුගය

1947දී ජාතික සංගමයයේ සමුළුව පවත්වන ලද්දේ කැලණියේදී ය. එහිදී ශ්‍රී ලංකාවට ඩොමීනියන් තත්ත්වයේ නිදහසක්‌ ලබාගැනීම සම්බන්ධව කතිකා ඇති විය. කෙසේ වෙතත් සෝල්බරි ව්‍යවස්‌ථාව අනුව 1947 මහා මැතිවරණය ජූලි 23 සිට අගෝස්‌තු 20 දක්‌වා දින 19 ක්‌ පුරා පැවැති අතර, වාමාංශික පක්‌ෂ එක්‌ පසෙකත් ජාතික දේශපාලන පක්‌ෂයක්‌ ලෙස එක්‌සත් ජාතික පක්‌ෂයත් දේශපාලනයේ ප්‍රධාන බලවේග විය. එහි ප්‍රතිඵලයක්‌ ලෙස 1947 මහා මැතිවරණයේදී එක්‌සත් ජාතික පක්‌ෂයට මන්ත්‍රීධුර 95න් 42ක්‌ද ලංකා සමසමාජ පක්‌ෂයට 10ක්‌ද බොල්ෂෙවික්‌ ලෙනින්ස්‌ට්‌ පක්‌ෂයට 05ක්‌ද කොමියුනිස්‌ට්‌ පක්‌ෂයට 03ක්‌ද ආදි ලෙස ආසන බෙදී ගියේය.

මෙරටට නිදහස ලබාගැනීම උදෙසා එක්සත් ජාතික පක්ෂය දැඩි ලෙස බලපෑම් සිදු කරන්නට විය. මේ බලපෑම් ප්‍රධාන කොටම සැලකිල්ලට යොමු වී මෙරටට 1948 පෙබරවාරි 04 දින බ්‍රිතාන්‍යයන්ගෙන් දේශපාලන නිදහස හිමි විය. නිදහස් ශ්‍රී ලංකාවේ පළමු අග්‍රාමාත්‍යවරයා බවට පත් වුයේද එක්සත් ජාතික පක්ෂයේ ඩීඑස් සේනානායක මහතායි.

එසේ වුවත් 1952දී ඩීඑස් සේනානායක මහතා හදිසි අනතුරකින් මිය ගිය අතර, ඔහුගේ පුත් ඩඩ්ලි අගමැති බවට පත් විය. එක්සත් ජාතික පක්ෂයට 1956දී ආණ්ඩු බලය අහිමි වුවත් ඩඩ්ලි සේනානායක යටතේ 1965දී එජාපය යළි බලයට පත් විය. 1970දී යළිත් මාක්ස්වාදී පක්ෂ සමඟ ඒකාබද්ධව සමඟි පෙරමුණ යනුවෙන් ඒකාබද්ධ වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලයට පත් වුවත් 1977 දී එජාපයට නැවත බලයට පත් වීමට හැකි විය. ඒ පාර්ලිමේන්තුවේ ආසන හයෙන් පහක් දිනාගනිමිනි. එය ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමය තුළ ඇති වූ විශිෂ්ට ජයග්‍රහණයක් ද විය.

ජේආර් යුගය

ඒ සියල්ලටම මූලික අඩිතාලම යොදන ලද්දේ ජේආර් ජයවර්ධන මහතා විසිනි. ඔහු විවෘත ආර්ථිකය හඳුන්වා දෙමින් රට නව මාවතකට ගෙන යෑමට කටයුතු කළ අතර, රටේ සමස්ත ස්වරූපය විප්ලවීය ලෙස වෙනස් කළේය. ඔහු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දෙමින් 'ප්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජය' යන්න භාවිතයට එක් කළේය. 1978 වසරේදී හෙතෙම අගමැති තනතුරින් ජනාධිපති තනතුරට පත් විය. 1979දී ඔහු විසින් ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ හඳුන්වා දෙන ලද අතර, එය උතුරු පළාතේ දෙමළ බෙදුම්වාදී කණ්ඩායම්වල සන්නද්ධ නැඟිටීම් වැළැක්වීම සඳහා කරන ලද්දක් විය.

වෙළෙඳ කලාප හා මහවැලිය

රැකියා නියුක්තිය ඇති කිරීම සඳහා නිදහස් වෙළෙඳ කලාප ඇති කරන ලදි. එතෙර රැකියා සඳහා යෑමට අවශ්‍ය කටයුතු මෙරට වැසියන්ට සම්පාදනය කර දෙනු ලැබිණි. ජල විදුලිය හා කෘෂිකර්මය වර්ධනය කිරීම සඳහා එජාපය විශාල ව්‍යාපෘති දියත් කළේය.

'දෙකෙ‍ාන ඇවිළුණු විලක්කුවක්'

ඒ අතර කඩිනම් මහවැලිය මුල් තැනක් ගත් බව මෙහිදී සිහිපත් කළ යුතුය. වසර 30ක් තුළ ඉදි කර අවසන් කිරීමට යෝජිත වූ මහවැලි සංවර්ධන ව්‍යාපාරය කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරයක් බවට පත් කරමින් එය වසර 5ක් දක්වා අඩු කරන ලද්දේ සියලු මහවැලි ව්‍යාපාර එකවර ආරම්භ කරමිනි. ඒ අනුව කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල, මාදුරුඔය වැනි සියලු ජල විදුලි ව්‍යාපෘති එකවර ආරම්භ කර කඩිනමින් නිම කිරීමට කටයුතු කරන ලදී. මෙහිදී ගාමිණී දිසානායක මහතා විසින් සිදු කරන ලද මෙහෙයද වඩාත් අගය කළ යුතු වේ.

1983 සිට උතුරු හා නැඟෙනහිර පෙදෙස්වල ත්‍රස්තවාදීන් බෙදුම්වාදි යුද්ධයක් ආරම්භ කළ අතර, එය රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කළද කෙසේ හෝ ජනතාවට සහන ලබා දෙමින් සංවර්ධන කටයුතු සිදු කරන්නට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කටයුතු කරන ලදි. එසේම 1988/1989 කාල වකවානුවේ දකුණේද රජයට විරුද්ධව කැරැල්ලක් ආරම්භ විය. ඒ ජනතා විමුක්ති පෙරමුණේ මූලිකත්වයෙනි. ඒ අතර ත්‍රස්තවාදී ප්‍රශ්නයට විසඳුමක් ලෙස උතුරු නැඟෙනහිර ගැටලුවට විසඳුමක් ලෙස ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වූ රජීව් ගාන්ධි හා ජනාධිපති ජේආර් ජයවර්ධන මහතා අතර ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම, අස්සන් කරන ලද්දේද සිවිල් ජනතාවගේ දිවි රැක දී ප්‍රශ්නයට විසඳුමක් දීමට වූ නමුත් එයද සාර්ථක නොවීය. ජනතා විමුක්ති පෙරමුණ දිගින් දිගටම අරගල සිදු කළ අතර, රුපියල් බිලියන ගණන් වටිනා රාජ්‍ය දේපළ ගිනි තබා විනාශ කරන ලදි.

ප්‍රේමදාස යුගය

කෙසේ හෝ දෙවරක් ජනාධිපති ධුුරයට පත් වීමෙන් පසු 1988දී ජයවර්ධන මහතා විශ්‍රාම ගත් අතර, රණසිංහ ප්‍රේමදාස මහතා ජනාධිපති ධූරයට පත් විය. ඔහු විසින් ආරම්භ කළ බොහෝ නිවාස ව්‍යාපෘති සහ දිළිඳුකම තුරන් කිරීමේ ව්‍යාපෘති, විශාල ලෙස ඔහුගේත් පක්ෂයේත් ජනප්‍රියත්වය ඉහළ නැංවීය. විශේෂයෙන්ම උදාගම් සංකල්පය හරහා මෙරට අඩු ආදායම් ලාභී ජනතාවට ලබා දුන් සවිය මෙන්ම 'ජන සවිය' මඟින් ලබා දුන් සහන නිසා පක්ෂයේ ස්ථාවරත්වය රැක ගන්නට හැකි විය. 1993 මැයි 01 වැනිදා මැයි රැලියකට සහභාගි වෙමින් සිටි ප්‍රේමදාස මහතා ආමර් වීදියේදී එල්ටීටීඊ මරාගෙන මැරෙන ත්‍රස්තවාදියකු විසින් ඝාතනය කිරීමෙන් පසුව ඩීබී විජේතුංග මහතා ජනාධිපති ධුරයට පත් විය. කෙසේ හෝ 1994 එක්සත් ජාතික පක්ෂයට බලය අහිමි විය.

රනිල් යුගය

යළිත් වරක් එක්සත් ජාතික පක්ෂය රටේ ආණ්ඩු බලය අත් කරගැනීමට සමත් වූයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ අග්‍රාමාත්‍ය ධුරය යටතේය. එවර එක් දිස්ත්‍රික්කයක් හැර අනෙක් සියල්ල ජයග්‍රහණය කරමින් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරන ලදි. එල්ටීටීඊය සමඟ සාම සාකච්ඡාවලට එළඹීම මේ කාලවකවානුවේදී සිදු වුණු අතර එල්ටීටීඊය සමඟ සටන් විරාම ගිවිසුමකට අස්සන් තබන ලදි. ඒ නෝවේ රටේ මැදිහත් වීම මතය.

එජාප ආණ්ඩුව වෙළෙඳපොළ හිතවාදි ප්‍රතිපත්ති අනුගමනය කළේය. මෙය විශාල පරිමාණයේ ආයෝජන හා ආර්ථික වර්ධනයක් කෙරේ මඟ පෑදීය. ආණ්ඩුව, ආයෝජන මණ්ඩලය, කුඩා සහ ග්‍රාමීය ව්‍යවසායන් පිළිබඳ අමාත්‍යාංශය සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය වැනි ප්‍රධාන ආර්ථික ආයතන පිහිටුවනු ලැබිණි. මෙමඟින් 2003 අග වන විට 6%ක තරම් ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් ළඟා කරගැනීමට හැකි විය. උද්ධමනයද 2%ටත් වඩා අඩු විය. 2004 වසරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ තවත් පක්ෂ රැසක් සමඟ එක් වීම නිසා බලයට පැමිණි නමුත් 2015 වසරේදී යළිත් අගමැති ධුරයට පත් වීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකි විය.

එදා සිට මේ වන තෙක්ම අග්‍රාමාත්‍ය ධුරය හොබවමින් ජනතා සේවයට කැප වී කටයුතු කරන්නට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැප වී සිටී.

පක්ෂයට දිවි පිදූවෝ

එක්සත් ජාතික පක්ෂය තරම් මෙරට දේශපාලනය නිසා තාඩන පීඩනවලට ලක් වූ පක්ෂයක් නොමැති බවද මෙහිලා සඳහන් කළ යුතු. එල්ටීටීඊ කොටි ත්‍රස්තවාදී සංවිධානයේ බොහෝ ඉලක්ක වී තිබුණේ එක්සත් ජාතික පක්ෂ නායකයන් බවද මෙහිලා පෙන්වා දිය යුතු වේ. විශේෂයෙන්ම රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා, ගාමිණී දිසානායක මහතා, රන්ජන් විජේරත්න මහතා, මෙන්ම ජෙනරාල් ජානක පෙරේරා වැනි රණවිරුවෝද එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරි නායකයන් වීම නිසාම දිවි අහිමි කරගත්හ. උතුරේ පමණක් නොව දකුණේද එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව නැඟී සිටි සන්නද්ධ කණ්ඩායම් එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් ඝාතනය කළ අවස්ථාවේ එම දේහයන් පවා පෙ‍ාළොවෙන් අඩියකට වඩා ඉහළින් ඔසවාගෙන නොයන ලෙස නීච ප්‍රතිපත්ති අනුගමනය කළ බවද මෙහිදී පෙන්වා දිය යුතු වේ. එවන් තත්ත්වයක් යටතේ වුවත් පක්ෂය වෙනුවෙන් ක්‍රියාකාරීව කටයුතු කළ ගම් මට්ටමේ සිට ජාතික තලය දක්වා වූ සියලු දෙනාම මෙහිදී සිහි ගැන්විය යුතුය. පළමුව ඡන්දය දමන පුද්ගලයා ඝාතනය කරනු ලබන බවට දකුණේ ත්‍රස්ත ක්‍රියාකාරකම් සිදු කළ කණ්ඩායම් විසින් ප්‍රකාශ කර තිබියදීත් පක්ෂය වෙනුවෙන් කටයුතු කළ, පක්ෂය ගොඩනැංවීමට කටයුතු කළ සියලු ක්‍රියාකාරීන් මෙහිදී සිහිපත් කළ යුතු වේ.

ජනතා විශ්වාසයට මුල් තැන

තනි පක්ෂයක් ලෙස ජනතා විශ්වාසය රැකගැන්මට හැකි වූ පක්ෂයක් වශයෙන් මෙරට වැඩිම කාලයක් ආණ්ඩු කළේ එක්සත් ජාතික පක්ෂය බවත් මෙහිදී පෙන්වා දිය යුතු වේ. එසේම පක්ෂයේ ජනතා හිතවාදි මෙන්ම රට නංවන ප්‍රතිපත්ති විශේෂිත බවත් මෙහිදී පෙන්වා දිය යුතුමය.

වැඩිම කාලයක් ආණ්ඩු කළ, රටක් ලෙස පක්ෂය විසින් තීන්දු-තීරණ ගැනීමේදී යම් වරදක් අඩු-පාඩුවක් සිදු වූයේ නම් ඒ සම්බන්ධව තමන් ජනතාවගෙන් සමාව අයැද සිටින බව 70 වැනි සංවත්සරයේදී එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් කළ ප්‍රකාශයද මෙහිලා සිහි ගැන්විය යුතු වේ. එවන් නිහතමානී හැඟීම් ඇති පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂය හඳුන්වා දිය හැකිය.

පාරදෘශ්‍ය පක්ෂයක්

එක්සත් ජාතික පක්ෂය නිරතුරුවම ජනතා ආර්ථිකය නංවාලීමට කටයුතු කරන අතර හැම විටම ජනතාව වෙනුවෙන්ම තීන්දු තීරණ ගන්නා පක්ෂයක් ලෙස පෙන්වා දිය යුතුය. ජාතික ආණ්ඩු සංකල්පයද එවන් තීරණයක් බව මෙහිදී පෙන්වා දිය යුතුය. මේ ආණ්ඩු සංකල්පය 2025 දක්වා ගෙන යෑමට අවශ්‍ය අඩිතාලම මේ වන විට යොදවමින් පවතී. 2025 දක්වා වන ආර්ථික සැලැස්මත් මේ වන විට සකස් කර තිබේ.

පක්ෂයේ ප්‍රතිපත්තිවලට එකඟ නොවන මැති-ඇමැතිවරුන්ට විරුද්ධව නිසි ක්‍රියාමාර්ග ගැනීමට පක්ෂය සැම විටම කටයුතු කරන බවත් සැම විටම පුද්ගලයාට වඩා පක්ෂය යන්න මූලික කරගන්නා බවත් මෙහිදී පෙන්වා දිය යුතු වේ. පසුගිය දිනවල දේශපාලන කරළියේ කතාබහට ලක් වූ එවන් තීන්දු-තීරණ ඒ අයුරින් පක්ෂයේ ප්‍රතිපත්තිවලට අනුකූලව ගත් ඒවා බවත් මෙහිදී දැක්විය යුතු වේ.

වගකියන පක්ෂයක්

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී පවා නිර්ණායක රැසක් යටතේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයන් තෝරනු ලබන අතර, එම නිර්ණායක සපුරා ලීමට අපොහොසත් වන අයට නාමයෝජනා නොලැබී යනු ඇත. ඒ නිර්ණායක මේ වන විට සකස් කෙරමින් පවතී. පක්ෂයේ ස්ථාවරත්වය එය වන අතර, ගමේ පන්සලේ පල්ලියේ කෝවිලේ හෝ ආගමික නායකයන්ගේ නිර්දේශවලට යටත් කළ හැකි පිරිසුදු දේශපාලඥයන් ගම් මට්ටමින් බිහි කිරීම ආරම්භ කිරීම මේ වැඩපිළිවෙළේ අරමුණ වී ඇත.

එක්සත් ජාතික පක්ෂයේ නිල ප්‍රකාශ නිසි අයුරින් සිදු කරනු ලබන අතර එක් එක් මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික මතයන් කිසිදු ආකාරයක පක්ෂයේ මතය නොවන බවත් මෙහිදී සිහි ගැන්විය යුතු වේ. තම තමන්ට පෞද්ගලික මතයන් දැරීමට මැති-ඇමැතිවරුන්ට හැකියාවක් ඇත්තා සේම පක්ෂයේ නිල ප්‍රකාශ නිසි අයුරින් ලබා දීමට පක්ෂය කටයුතු කරනු බවද මෙහිදී පෙන්වා දිය යුතු වේ.

රට රකින පක්ෂයක්

විශේෂයෙන්ම මේ රට ත්‍රස්තවාදයෙන් බේරාගත් කිසිදු රණවිරුවකු කිසිදු අන්තර්ජාතික බලවේගයකට යටත්ව කිසිදු කටයුත්තකට යටත් නොකරන බව පක්ෂයේ මෙන්ම රජයේ ස්ථාවරය බවත් මෙහිදී පෙන්වා දිය යුතු වේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මැතිවරණයට පෙර නිරන්තරයෙන්ම පැවසූ අන්තර්ජාතික බලවේග විසින් විදුලි පුටුවට තමන් ගෙන යෑමේ සූදානමක් තිබෙන බවට දැක්වූ ක්‍රියාදාමයත් මේ රජය විසින් ගත් ක්‍රියාමාර්ග නිසා නැවතුණු බවත් පෙන්වා දිය යුතුය.

සම්මුතිකාමි පක්ෂයක්

සියලු දේශපාලන පක්ෂ එකතු කරගෙන ජනතාවගේ ආණ්ඩුවක් හදා ජනතා අපේක්ෂා මුදුන්පත් කිරීම එක්සත් ජාතික පක්ෂයේ අරමුණ වී ඇත. මේ ජාතික ආණ්ඩුවට තවත් වසර 5ක් හෝ 10ක් හෝ ජනතා අපේක්ෂා නිසි පරිදි ඉටු කිරීමට අවශ්‍ය බවත් පෙන්වා දිය යුතුය. බංග්ලාදේශය වැනි රටවල් මේ වන විට දියුණු තත්ත්වයන් කරා ගොස් ඇති බවත් මෙහිදී පෙන්වා දිය යුතුය. විශේෂයෙන්ම දියුණු රටවල් අතර ඉහළ ස්ථානයක රඳා පවත්වාගන්නට බංග්ලාදේශයට හැකි වීම මෙහිදී පෙන්වා දිය යුතුමය.

අප රටේ ප්‍රධාන පක්ෂ දෙකද එක්සත්ව ඉදිරි කාලයේදී රට සංවර්ධනය කිරීම සඳහා කටයුතු කළ හොත් එය මහත් ජනතා සේවාවක් වනු ඇත. එක්සත් ජාතික පක්ෂය ඒ ආකල්පයේ සිටින්නේ පාර්ලිමේන්තුවේ බහුතර බලයක් සහිතව වුවත් ජනතා සේවය ගැන සිතා බවත් පෙන්වා දිය යුතුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පළමුව රට ගැන සිතනු ඇතැයිද එක්සත් ජාතික පක්ෂය අදහස් කර ඇත.

තාරක වික්‍රමසේකර
ඡායාරූප - සරත් පීරිස්

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.