විභාග හොරු අල්ලන්න අධිතාක්ෂණ සහාය! | Page 2 | සිළුමිණ

විභාග හොරු අල්ලන්න අධිතාක්ෂණ සහාය!

විභාග දෙපාර්තමේන්තුව විසින් ළඟදීම නවීන තාක්ෂණික විද්යුත් පරීක්ෂණ උපකරණ විභාග මධ්‍යස්ථානවලට හඳුන්වා දීමට යයි. මෙමඟින් අතිසූක්ෂ්ම අන්දමින් සිදු කරනු ලබන සියලු විභාග වංචා අනාවරණය කරගැනීමට විභාග දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වෙයි.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ඉදිරියේදි දුරකතන සබඳතා විකෘති කරන නවීන විද්යුත් උපකරණ (ජෑමර), ස්වයංක්‍රිය පරීක්ෂක ස්කෑනර (සුවිමර්ශක), විභාගය පැවැත්වෙන අතරතුර නවීන උපකරණ භාවිතා කරයි නම් එය හසු කරගැනීමට විභාග ශාලාධිපතිවරුන් අතට විද්යුත් සංඥා උපකරණ මෙන්ම ඩිටෙක්ටර් ආදි උපකරණද යොදාගැනීමට අපේක්ෂිත බවයි.

මේ කටයුතුවලදී පොලීසියේ සහය ලබාගැනීමටද විභාග දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වෙයි. විභාග දෙපාර්තමේන්තුව මේ තීරණයට පැමිණ ඇත්තේ පසුගියදා අතිනවීන තාක්ෂණික උපකරණ භාවිතයෙන් කොළඹ උසස් පෙළේ පාසලක සිසුවෙකු, ඔහුගේ පියා හා ටියුෂන් ගුරුවරුයා විසින් රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය ලිවීමේදී කරන ලද විභාග වංචා යළි සිදු නොවීමේ පියවරක් වශයෙනි.

මේ පිළිබඳ විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්එම්එන්ජේ පුෂ්පකුමාර මහතා සඳහන් කළේ ප්‍රධාන ජාතික විභාගවලට මෙන්ම විභාග දෙපාර්තමේන්තුවෙන් ඉදිරියේදී පැවැත්වෙන සියලු ප්‍රසිද්ධ විභාගයන්ට මේ උපකරණ භාවිතය අනිවාර්ය කිරීමට පියවර ගන්නා බවයි. මේ පිළිබඳ ගත යුතු උපකරණ හා ක්‍රියාමාර්ග සොයා බැලීමට කමිටුවක් පත් කර ඇති අතර, ඒ කමිටු නිර්දේශ ලද වහා අදාළ පියවර ගැනීමට විභාග දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වෙයි. 

Comments