මට පුළුවන් මල්ලිගෙ හිත දිනාගන්න | සිළුමිණ

මට පුළුවන් මල්ලිගෙ හිත දිනාගන්න

අසෙනි වැහි කුණාටු මැදින් ජීවිතය සොයා යන කුමරිකයගේ කතාව

අසාර් පවසන්නේ කුමක්දැයි අශ්විනීට එක වරම වටහා ගැනීම අපහසු විය. මාස ගණනාවක් වෙහෙස වී ලියන ලද තම පොත ගිනිබත් කිරීම පිළිබඳව තමාටත් වඩා අසාර් ශෝක වන බව ඇය දැන සිටියාය. බිස්කට් කර්මාන්ත ශාලාව පිළිබඳව සියලු තොරතුරු එහි සටහන් වී තිබිණ. එම පොත බිස්කට් එකක් තරමටම රසවත් යයි කීවේද අසාර්ය. එහි පිටකවරයට දි විශාල බිස්කට් එකක ඡායාරූපයක් දමා, ඇතුළතට ඡායාරූප ද ඇතුළු කොට ආට් පේපර් වලින් පොත මුද්‍රණය කරමු යයි ඔහු යෝජනා කළේය. තම මිතුරකුගේ මුද්‍රණාලයක පොත මුද්‍රණය කරවා දෙන්නටත්, පොත එළිදැක්වීමේ සියලු කටයුතු සංවිධානය කරන්නටත්, පොත බෙදා හැරීමේ කටයුතු වලට ද සහය දෙන්නටත් අසාර් පොරොන්දු වී සිටියේය. අභීත පොත ගිනි තැබීමෙන් තමාට ද වඩා කම්පනයක් අසාර් තුළ ඇති වී ඇති බව ඔහු ගත් තීරණයෙන් පැහැදිලි විය.

“නැති දෙයක් තියෙනවා කියලා ඔයාට කරදර කරන්න තරම් මල්ලි දරුණු වේවි කියලා මං කීයටවත් හිතුවෙ නෑ අශ්විනී. ඇයි මේ දේවල් මීට කලින් මට කිව්වෙ නැත්තෙ? ̃

අසාර් පැවසුවේය.

“ඔයාට කිව්වා කියලා වැඩක් වෙන්නෙ නෑ අසාර්. ̃

“ඇයි නැත්තෙ? එහෙම වුණානම් මම ඔයාලගෙ ගෙදරට ඇවිත් මල්ලි එක්ක මේ ගැන කතා කරනවා. ̃

“මල්ලි එක්ක? ̃

අශ්විනීට සිනා පහළ වූයේ නිතැතිනි.

“ඔව්. මට පුළුවන් කතා කරලා මල්ලිගෙ හිත දිනාගන්න. ̃

අශ්විනී සිනාසුනාය. අසාර් අභීත පිළිබඳව සැබෑ තතු දන්නේ නම් ඔහු මෙවන් බොළඳ ප්‍රකාශයක් නොකරනු ඇතැයි ඇයට සිතිණ. මල්ලී කුඩා කල සිටම සැර පරුෂය. අයියා ගජබා, විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන සමයේ අප්පච්චිගෙන් තොර නිවසේ වගකීම් සියල්ල ඉසිලුවේ ඔහුය. වතුපිටි බලා ගත්තේ ඔහුය. කුඩා වුව ද ව්‍යාපාරික ඤාණය ඔහු සහජයෙන් ලද්දකැයි ඔහු ගැන දන්නා පවුලේ හිතවතුන් පවසන බව අශ්විනීට සිහියට නැගිණ. ඒ නිසාම ලොකු අක්කාත්, මද්දු අක්කාත් මල්ලීට සැළකුවේ වැඩිමහල් සහෝදරයකුට සළකන ආකාරයෙනි. ඔහු පවුලේ වගකීම් දරන්නා වූයේ ඉබේටමය. නිවසේ සෑම වැදගත් කටයුත්තකදී පළමුවෙන් විමසනු ලබන්නේ මල්ලීගෙනි. ඔහු තම මල්ලී නොව අයියා ලෙසින් කටයුතු කරන්නට වූයේ ද ඒ ආකාරයටය.

“කියන්න අශ්විනී. ඔයා කැමැති නම් මම හෙට වුණත් ඔයාව මැරි කරන්න ලෑස්තියි. ̃

ඒ වැසි සහිත රාත්‍රියේ අසාර් දුරකතනයෙන් එසේ පවසද්දී දෙපතුළෙන් පටන් ගත් ගින්නක් හිස් මුදුන දක්වා පැතිර යන බව අශ්විනීට දැනිණ. අසාර් සමග වන විවාහයක් පිළිබඳව ඇය කිසිවිටෙක සිහිනයෙන් හෝ නොසිතුවාය.

“මම කැමැතියි.” ̃

දෙවරක් නොසිතාම ඇය පිළිතුරු දුන්නාය.

“එච්චරයි. දැන් කිසිම දෙයක් සිද්ද නොවුණා වගේ ඉන්න. හැමදෙයක්ම පිළිවෙළක් කරලා මම ඔයාට කතා කරන්නම්. හැබැයි ෆෝන් එකෙන් කතා කරන එක නැති කරගන්න එපා. මේ දවස් ටිකේ මාත් එක්ක ෆෝන් එකෙන් වත් කතා කරන්නෙ නෑ වගේ ඉන්න. එච්චරයි. ̃

ඔහු කළ සැලසුම් අනුව තවත් සති දෙකක් ගත වීමට පෙර සියලු දෙනාටම රහසෙන් නිවසෙන් පළා ආවේත්, අශ්විනී මීගස්තැන්න, ෆියෝනා ජැෆර්ජි බවට පත් වූයේත් දෛවයේ සරදමක් ලෙසින් දැයි අදටත් සිතෙයි.

ෆියෝනා අතීත මතකයෙන් මිදුණාය. අසාර්ගේ කාර්යාල කාමරය තුළට වී ගතකළ කාලය වැඩි නොවේදැයි

ඇයට සිතිණ. කළ යුතු දහසක් කාර්යයන් තිබේ. පළමුව නිවස අස්පස් කොට අතු ගා දැමිය යුතුය. ඉන්පසු නාගත යුතුය. රාත්‍රියටවත් ආහාරයක් සාදා ගත යුතුය. එක දිගටම ඉන්දියානු ආහාර ගැනීමට සිදු වීම නිසා නිවසේ තමා අතින්ම සාදා ගත් ආහාරයක රස බලන්නට සිතා ගත්තේ ගුවන් යානයේ දීය. උණු උණු සුදු බත් සමග පොල් සම්බෝලයක් සාදා කෑමට ඇය ගුවන් යානය තුළ දී සිහින මැව්වාය.

ෆියෝනා සඳලු තලය දෙසට ඇවිද ගියාය. අසාර් නිවසේ සිටියදී ඔහු තමා සඳලු තලයට වී සිටිනවාට කැමැත්තක් නොදැක්වූයේ මන්දැයි ඇය දැන සිටියාය. සඳලු තලයෙහි සිටිද්දී, අරවින්ද්ගේ නිවසෙහි ආලින්දය මනාව දිස්වෙයි. ඇතැම් දිනෙක ඔහු පුටුවක් මත වැතිර පුවත්පතක් කියවන අයුරු දකින අසාර් තමාට ගෙතුළට යන ලෙස පවසයි.

“බැල්කනි එකට වෙලා ඉන්න ́ඕන නෑ. මෙතන ඉන්නකොට අහළ පහළ හැමෝටම පේනවා”. ̃

වරෙක ඔහු එසේ පවසන්නේ සැබෑවටම අරවින්ද්ට තමා දර්ශනය වීම වැළැක්වීමට යයි ෆියෝනාට සිතුණු වාරයන් අනන්ත විය.

“ඉරිසියාකාරයා. ̃

මෙතෙක් අසාර් කෙරෙහි වූ අමනාපය දුරුව ඔහු කෙරෙහි ආදරණීය හැඟීමක් සිත තුළ ජනිත වන බව ඇයට දැනිණ.

“ආදරේ නිසා ඉරිසියාව ඇති වෙනවලු. ඒත් අසාර් මට වඩා ගෙදර අයට ආදරෙයිද?” ̃

ඇය සඳලු තලයෙහි වූ වේවැල් පුටුව අත ගා බැලුවාය. එහි ද දූවිලි ය.

දින ගණනක් අතු නොගාන ලද නිවස අස් පස් කොට දූවිලි පිස දමන්නට සෑහෙන කාලයක් ගත කළ යුතුය. ෆියෝනාගේ දෙනෙත් අරවින්ද් ගේ නිවස දෙසට යොමු විය. මේවනවිට සංගීත ආශ්‍රමයෙහි සිසුන් කිසිවෙක් නොමැත. ඉගැන්වීම් කටයුතු නිමා කොට ඔහු බැහැරක යන්නට ඇතැයි ඇයට සිතිණ. අරවින්ද්ගේ නිවසේ තාප්පය දිගේ සෙමෙන් සෙමෙන් ගමන් කරන පූසකු දෙස ඇය බලා සිටියාය. සුදු පැහැයත් අළුපැහැයත් මිශ්‍ර වූ සිරුරින් යුතු ඌ අරවින්ද් නිවසේ ඇති කරන්නකු විය යුතුය.

“බේබි ගර්ල්... බේබි ගර්ල්... ̃ යි ඇතැම් රාත්‍රී කාලයේ දී ඔහු කෑගසමින් කිසිවකු සොයන හඬ ඇසෙන අසාර් සිනාසෙන බව ෆියෝනාට සිහිපත් විය.

“මිස්ට නිසල විලට දුවෙක්වත් ඉන්නවද දන්නෙ නෑ. ඔය කෑගහන්නෙ බේබි ගර්ල් බේබි ගර්ල් කියලා. ̃

“මොන දුවලද? බලු පැටියෙක්වත් ඇති කරනවා වෙන්න ඇති.̃”

“පිස්සෙක්. ̃ යි අසාර් පැවසුවේ කුමක් නිසාදැයි එවේලෙහි නොසිතුණ ද, දැන් සිතෙයි.

“මමත් කොච්චර ආසාවෙන් හිටියද පූසෙක් හරි බලු පැටියෙක් හරි හදන්න. ඒ වුණාට අසාර් සතුන්ට ආසා නෑ.” ̃

උඩු මහලේ සිට පහළට බසින ෆියෝනා සිතුවාය. මුළුනිවෙසම පාළුය. නිවස අස්පස් කිරීම පටන් ගත යුත්තේ කොතැනින්දැයි ඇයට සිතා ගැනීමට පවා නොහැකි විය.

“ඉස්සර වෙලා මල් පැළ වලට වතුර ටිකක් දාන්න ඕන.” ̃

ෆියෝනා ඉදිරිපස දොර හැරගෙන මිදුලට බැස්සාය. තමා විසින් බොහෝ වෙහෙස මහන්සි වී සාදා ගත් මල් පැළ බොහොමයක්ම වතුර සහ පොහොර නොමැති කමින් මළානිකව තිබේ. අසාර් මල් වැවීමට පවා උනන්දුවක් නොමැත්තෙකි. ඔහු තමා මල් වැවීම පිළිබඳව අවඥා සහගතව සිනාසෙයි.

“පිස්සු වැඩ. මල් පිපෙනවා. පර වෙලා යනවා. මොනවට ඔය හැටි වද වෙවී මල් හදනවද? ̃

“මල් කියන්නෙ හිස සනසන දෙයක්. බලන්නකො. මල් ගස් වල මල් පිපිලා

තියෙනකොට කොච්චර සතුටක් හිතට දැනෙනවද? ̃

“මටනම් හිතට සතුට දැනෙන්නෙ සල්ලි ලැබෙනකොට. මොනවා හරි දේකට සල්ලි ආයෝජනය කරලා ඒකෙන් ප්‍රතිලාභ ලැබෙනකොට දැනෙන සතුට ඇරෙන්න වෙන සතුටක් මට නෑ. ”̃

අසාර් පවසන්නේ මුසාවක් නොවේ. ඔහුගේ පවුලෙහි පිරිමි දරුවන් පස් දෙනෙක් සිටින බව තමා හා ඇසුරට පත් වූ මුල් අවධියේ ඔහු පවසා ඇත.

ඔවුන් සියලු දෙනාම ඔවුන්ගේ බිස්කට් නිෂ්පාදන ආයතනය ලංකාවේ ප්‍රසිද්ධ බිස්කට් නිෂ්පාදන ආයතනයක් බවට පත් කරගෙන සිටියි. එපමණකින් නොනැවතී චොක්ලට් කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම සඳහා අසාර් නිතර නිතර සිහින දුටුවේය.

ඇතැම් රාත්‍රී කාලයන්හිදී ඔහු අන්තර්පාලය ඔස්සේ ව්‍යාපාරික සබඳතා ගොඩ නගා ගන්නට ඇතැයි දැන් සිතෙයි.

පසුදින උදෑසන වනතුරුම සිය කාර්යාල කාමරයට වී දොර වසාගන්නා අසාර් ඉන් පිටතට පැමිණෙන්නේ උදෑසනය. රතු කර ගත් දෙනෙතින් යුතුව නිදන කාමරයට යන ඔහු හා වදනකුදු කතා කිරීමට අවකාශයක් නොවන්නේ තේ කෝප්පයක් සාදාගෙන යන විට ඔහු තද නින්දට වැටී සිටින බැවිනි. ඇතැම් විට ඔහු තමාටද නොපවසා පියා හෝ සොහොයුරන් සමග එතෙර යන්නට ඇත්තේ චොක්ලට් කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමේ සිය අරමුණ සාක්ෂාත් කර ගැනීමේ අදහසින් යුතුව වන්නට ඇත.

මල් පැළ වලට වතුර දැමූ ෆියෝනා තැන තැන වැවී තිබුනු වල්පැලෑටි ගලවා දැම්මාය. ඉන්පසු මිදුලෙහි ඇති වූයේ නැවුම් පෙනුමකි. ඉදල ගෙන අවට අතු ගා දැමූ ඇය නිවස තුළට ගියේ ඉක්මනින් වැඩ කටයුතු නිමා කොට නින්දකට වැටීමේ අරමුණින් යුතුවය.

නිවස අතු ගෑම පිණිස කොස්ස අතට ගනිත්ම විදුලි සීනුවේ හඬ ඇසිණ. ෆියෝනා තිගැස්සුණාය. අසාර් සිටියදී පවා ජල හා විදුලි මනු කියවන්නන් මිසක මෙම නිවසට පිටස්තර කිසිවකු නොපැමිණෙයි. විදුලි සීනුව නාද කරන්නේ කවරෙක්ද? ඇය කුතුහලයෙන් ඉදිරියට පිය නැගුවාය. ගේට්ටුවෙන් පිටත කිසිවකු සිටියද, ඔහු හෝ ඇය කවරෙක්දැයි නොපෙනේ.

“කවුද? ”̃

ඇය ඇසුවාය.

“මේ මම... ”̃

ගේට්ටුවට පිටතින් පිරිමි කටහඬක් ඇසිණ. ෆියෝනා ගේට්ටුව හැර බැලුවේ චකිතයට පත් සිතිනි. 

ප්‍රියංකා අමරතුංග

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.