රංගනයට පිවිසියේ මුදල් ඉපයීමට නොවේ | Page 2 | සිළුමිණ

රංගනයට පිවිසියේ මුදල් ඉපයීමට නොවේ

සඳසීලි ප්‍රනාන්දු නමින් වන ඈ කලාව බෙහෙවින් ප්‍රිය කරන්නියකි.

කුඩාකල පටන් රංගනයට දැක්වු ආශාව ඈ තුළින් නැවත මතුවන්නේ සිය විශ්‍රාම ජීවිතයේ හුදකලා සමයත් සමගිනි .වරින් වර කලා ලොවේ රංගනයේ තම හැකියාවන් එළි දැක්වු ඇය සිය විශ්‍රාම ජීවිතය තුලද ඇගේ බලාපොරොත්තුව වන්නේ කලාවට තම හැකියාවන් ගෙන ඒමටය. මේ ඇය හා කළ කතා බහයි.

ඔබේ ආශාව රංගනය. කියන්න ඒ ගැන?

මම කලාවට හරිම කැමැතියි.කුඩා කාලයේ ඉඳල මගේ හිතේ ආශාවක් තිබුණා.ඉතිං මට මගේ ජීවිතයේ එය අහිමිව ගිය සිහිනයක්.පාසල් වේදිකාවේ මගේ හැකියාවන් එළි දක්වන්නට මට අවස්ථාව ලැබුණා. පසුව මගේ රැකියාවත් විවාහයත් නිසා මගෙන් එය ගිලිහී ගියා.මගේ ආදරණීය සැමියා මෙලොවින් සමුගැනීමත් සමග මට දැනුණු පාළුව සමග මගේ සිතට නැවත රංගනය මතක් වූවා.වරින් වර මා කලාවට සම්බන්ධ වුවද අද මා විශ්‍රාම සුවය විඳිමින් සිටින නිසා එයට මගේ වැඩි දායකත්වයක් ලබා දෙන්න දැන් මට පුළුවන්.අද මගේ දරැ දැරියන්ගේ කැමැත්තත් එයට තියෙනවා.හරවත් කලා නිර්මාණ ඔස්සේ සාර්ථක රංගනයක යෙදෙන්න මම බලාපොරොත්තු වෙනවා.

පාසල් වේදිකාවේ හැකියාවන් හා ඒ මතකය?

මගේ කලා ජීවිතයේ ආරම්භය පාසල් වේදිකාවයි.මා පාසල් ගියේ කළුබෝවිල බුද්ධඝෝෂ මහා විද්‍යාලයට.එහිදී මා ගායනය,නර්තනය,රංගනය අංශ තුනේම ක්‍රියාකාරී සාමාජිකාවක්.ගුරුවරුන් මට හරිම ආදරෙයි .ඒ කාලේ මගේ දස්කම් ගැන ගුරුවරු ඔවුන්ගේ සතුට ප්‍රකාශ කළා.පාසල් වේදිකාවේදී බිසවගේ චරිතය කළේ මම.ඒ කාලේ පාසලේ ජනප්‍රිය චරිතයක් මම.

ඉන් පසුව ඔබ?

පාසල් ජීවිතයෙන් පසුව මම බැංකු විභාගයට පෙනී සිටීමේ ප්‍රතිඵලයක් ලෙස මහජන බැංකුවේ සේවය සඳහා මට අවස්ථාව උදාවුණා.මා විශ්‍රාම ගත්තේ එහි රහස්‍ය ලේකම් තනතුර දරමින්.ඒ කාලය තුළත් මම බැංකුවේ කලා සංගමයේ ප්‍රථම බැති ගී කණ්ඩායමට සේම කිතුනු ගී කණ්ඩායමටද එක්වූවා.

ඔබට වරින්වර රංගනයේ යෙදීමට අවස්ථාව ලැබෙනවා...

බුඩී කිර්තිසේනගේ නිර්මාණයකට සහභාගී වූ මම එහි වයස්ගත චරිතයකින් රංගන හැකියාවන් පෙන්වූවා.ප්‍රධාන චරිතයත් සමග යන එය චරිතය වඩා හැගීම් ප්‍රකාශනයෙන් කළයුත්තක් වුණා.මා එය සාර්ථකව නිරූපණය කළා.දයාරත්න රටගෙදරයන්ගේ සිත නිවන කතා මාලාවේ කතාංගයකට පෙනී සිටියා.මා රංගනයට පුංචි තිරයේ මුලින්ම පෙනී සිටියේ ඉරේෂ් ලොකුබණ්ඩාරගේ ‘තඹ පාට හැන්දෑව’ ටෙලි නාට්‍යයෙන්.ඉන් පසුව ජයලත් මනෝරත්නයන්ගේ ‘සමනලි’ ටෙලි නාටයේද රංගනයේ යෙදුණා.

රංගනයේදී ඔබේ කැමැත්ත මොනවගේද?

මම කැමැතියි විවිධ චරිත රඟපාන්න.මගේ වයසට ගැළපෙන චරිතත් හරවත් නිර්මාණයන්ටත් මා කැමැතියි.සංවේදි චරිතයක සිට නපුරු දුෂ්ඨ චරිතයක් වවුද රඟපෑමේ හැකියාව මා සතුව තියෙනවා.ඇත්තෙන්ම මා රංගනයට පිවිසියේ මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් නොවේ.හුදෙක් ආශාව නිසාමයි.හුදකලා විශ්‍රාම ජීවිතය සතුටින් ආත්ම තෘප්තියෙන් ගෙවන්න මම කැමැතියි. ලිපිනය-107/7/4 රජමහ විහාර පාර, නාවින්න මහරගම.

හේමාෂි සෙනරත්

Comments