විදෙස් චිත්‍රපටය | සිළුමිණ

විදෙස් චිත්‍රපටය

ඇතැම් නිර්මාණ පැරැණි නොවේ. එහි වටිනාකම වැඩිවන්නේ පැරැණි වූ තරමටය. ‘ක්ලෝස් එන්කවුන්ටර්ස් ඔෆ් ද තර්ඩ් කයින්ඩ්’ 1977 තිරගතවූ අමෙරිකානු විද්‍යා ප්‍රබන්ධ සිනමා නිර්මාණයකි. එහි තිර රචනය මෙන් ම අධ්‍යක්ෂණය ද ජනප්‍රිය දක්ෂ සිනමා අදියුරුවරයකු වූ ස්ටීවන් ස්පිල්බර්ග්ය.

සිනමා පටය තිරගතවී නොවැම්බර් 16 වැනි දිනට වසර හතළිහක් සපිරෙයි. සිනමා පටය යළි සැප්තැම්බර් පළමුවැනිදා ඩිජිටල් තාක්ෂණයෙන් නවීකරණය වී තිරගත කෙරුණේ ඒ සුබ නිමිත්ත සැමරීමටයි.

ඔස්කාර් සම්මාන ලාභී රිචඩ් ඩ්‍රේෆස් සහ ඔස්කාර් සම්මාන සඳහා නිර්දේශිත මෙලින්ඩා ඩිලන්, ටෙරී ගර්, බොබ් බාලබන්, කැරි ගුෆේ, ෆ්‍රැන්කොයිස් ටෆෝට් යන අති දක්ෂ ස්පිල්බර්ග් සිනමාවට කැන්දාගෙන ආ ‘ක්ලෝස් එන්කවුන්ටර්ස් ඔෆ් ද තර්ඩ් කයින්ඩ්’ 1977 වසරේ වාර්තා පිට වාර්තා පිහිටු වූවකි.

සිනමා පටය නිමැවුමට වැය කෙරුණේ ඩොලර් මිලියන 20 කි. එහෙත් බොක්ස්ඔෆිස් වාර්තා පිහිටවූයේ ‍ෙඩාලර් මිලියන 303.8 ක ඉහළ ආදායමක් ලබමිනි.

කතාව දිග හැරෙන්නේ ඉන්දියාවේ කම්කරුවකු වූ රෝයි නියරිට අද්භූත පියාඹන ද්‍රව්‍යයක් ඇස ගැසීමෙන් පසු මුහුණ දීමට සිදුවන සිදුවීම් සමුදායකිනි.

‘ක්ලෝස් එන්කවුන්ටර්ස් ඔෆ් ද තර්ඩ් කයින්ඩ්’ තිර රචනයේ පූර්ව ගෞරවය ස්පීල්බර්ග්ට හිමි වුවත් ඔහුට මේ සඳහා වරින් වර අධ්‍යක්ෂ පෝල් ස්ක්‍රේඩර්, ජෝන් හිල්, ඩේවිඩ් ගිලර්, හාල් බාර්වුඩ්, මැතිව් රොබින්ස්, ජෙරී බෙල්සන් යන ප්‍රවීණ අධ්‍යක්ෂවරුන්ගේ හා තිර රචකයන්ගේ ද සහාය ලැබිණි.

සිනමා පටය විචාරක, ප්‍රේක්ෂක ප්‍රශංසාවට ලක්වූයේ සම්මාන ගණනාවකට හිමිකම් කියමිනි. පනස් වැනි ඇකඩමි (ඔස්කාර්) සම්මාන උලෙළේ හොඳම අධ්‍යක්ෂණය, හොඳම සංගීත නිර්මාණය, හොඳම ශබ්ද පරිපාලනය, හොඳ ම කැමරා අධ්‍යක්ෂණය, හොඳම ශබ්ද ප්‍රයෝග සංස්කරණය, හොඳ ම කලා අධ්‍යක්ෂණය, හොඳ ම සිනමා සංස්කරණය, හොඳ ම දෘශ්‍ය සංකලනය යන අංශ සඳහා සිනමා පටය නිර්දේශ විය. ‘ක්ලෝස් එන්කවුන්ටර්ස් ඔෆ් ද තර්ඩ් කයින්ඩ්’ සඳහා ‍‍ෆ්‍රෑන්ක් ඊ. වෝනර් ද හොඳ ම කැමරා අධ්‍යක්ෂණයට විල්මෝස් සිග්මන්ඩ් ද සම්මානයට පාත්‍ර වූහ.

සිනමා පටයේ බැරී ගිලර් රැඟූ කැරී ගුෆේ 1977 වසරේදී තුන් හැවිරිදි දරුවකු වූ අතර දැන් ඔහු හතළිස් පස් වැනි වියේ පසු වන්නකි. ඔහු එදා මෙදා තුර සිනමා පට හයකට වඩා රංගනයෙන් දායක වී නැත. දැන් මැදි වයසේ පසු වුවත් බැරී ගිලර් ලෙසින් තවමත් ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියය. එයින් සිතාගත හැක්කේ ස්පිල්බර්ග් රසික මනසේ ‘ක්ලෝස් එන්කවුන්ටර්ස් ඔෆ් ද තර්ඩ් කයින්ඩ්’ මුද්‍රාව හොඳින් තබා ඇති බවයි. සිනමා පටයේ රසිකයන් තවමත් ඔහුට ප්‍රතිචාර දක්වන බවත් නැවත සිනමා පටය තිරයට රැගෙන ඒම ගැන සතුටු වන බවත් පවසා තිබේ. ඔහුගේ සොඳුරුතම මතකයන් තවමත් බැඳී තිබෙන්නේ ළමා වියේ සිනමා රංගනයක් සමඟය. 1976 දී සිනමා පටය රූ ගතකර අවසන් වූ පසු ස්පිල්බර්ග් ඔහුට කුසලානයක් තෑගී දී තිබේ. 1985 දී රංගනයට සමුදුන් පසු බිරිය හා දරුවන් දෙදෙනා සමඟ ආර්ථික උපදේශකයකු ලෙස කටයුතු කරන්නේය.

හතළිස් වසරකට පසු යළි ජීවය ලබන ‘ක්ලෝස් එන්කවුන්ටර්ස් ඔෆ් ද තර්ඩ් කයින්ඩ්’ නැරැඹීමට තරම් රංගනයෙන් දායක වූ සියල්ලන් ම වාගේ වාසනාවන්ත වී තිබේ. රෝයි නියරි ලෙස රැඟූ ඔස්කාර් සම්මානලාභී රිචඩ් ‍ඩ්‍රේඟස් දැන් හැට නව හැවිරිදිය. මෙහි රංගනයට ඔහු සැටර්න් සම්මාන උලෙළේදී හොඳම නළුවාට නිර්දේශ විය. හැත්තෑහත් හැවිරිදි වියේ පසුවන මෙලින්ඩා ඩිලන් රංගනයෙන් දායක වූයේ ජිලියන් ගිලර් චරිතයටයි. ඇය එම රංගනය සඳහා හොඳ ම නිළිය ලෙස ඔස්කාර් සම්මානයටත් නිර්දේශ වූවාය. ක්ලෝඩ් ලැකෝම් ලෙස රැඟූ ෆ්‍රැන්කොයිස් ටෘෆෝට් රංගනය සඳහා බැෆ්ටා සම්මාන උලෙළේ හොඳ ම නළුවා ලෙසින් නිර්දේශ විය. 1984 වසරේ පනස් දෙහැවිරිදි වියේදී අකාලයේ ඔහු ජීවිතයෙන් සමුගත්තේ ආඝාතයෙනි. (ස්ට්‍රෝක්) වෙරෝනිකා ‘රොනී’ නියරි හෙවත් රෝයිගේ බිරියට පණ දුන් ටෙරී ගර් දැන් හැටනව හැවිරිදිය. ඇය හොඳ ම සහාය නිළිය ලෙස අමෙරිකානු විද්‍යා, මනඃකල්පිත, ත්‍රාසජනක ඇකඩමි සම්මාන උලෙළේදී නිර්දේශ වූවාය.

හැත්තෑ දෙහැවිරිදි රොබට්එල්මර් බාලබන් ඩේවිඩ් ලෝෆ්ලින් සෙ රංගනයෙන් දායක විය. ලැරී බට්ලර් චරිතයට ජීවය දුන් ජෝසෆ් සොමර් අසූ තුන් හැවිරිදි වියේ පසුවේ.

විද්‍යා ප්‍රබන්ධ, ක්‍රියාදාම, ත්‍රාසජනක සිනමා රංගනයට ම සුප්‍රසිද්ධ වී සිටින ලාන්ස් හෙන්රික්සන් රොබට් ලෙස රැඟූ අතර දැන් ඔහු හැත්තෑහත් ‍හැවිරිදිය. අභූත දේ දුටු ගොවියා‍ෙග් චරිතය රැඟූ ‍රොබට්ස් බ්ලොසම් මේ වන විට ජීවිතයෙන් සමුගෙන අවසන්ය. ඔහු 2011 වසරේදී මිය ගොස් අසූහත් හැවිරිදි වියේදීය.

‘ක්ලෝස් එන්කවුන්ටර්ස් ඔෆ් ද තර්ඩ් කයින්ඩ්’ අමෙරිකානු සිනමා ආයතනය කළ ඡන්ද විමසීමේදී හොඳ ම සිනමා පට 100 අතරින් 31 වැනි තැනට තේරිණි. එම සිනමා ආයතනයෙන් විද්‍යා ප්‍රබන්ධ සිනමාපට 10 අතරට නිර්දේශ වී ඇත.

සිනමාපටය හා බැඳුණු රසවත් පුවත් ගණනාවකි. ස්පිල්බර්ග් තම නිර්මාණය වඩාත් තාත්වික කිරීම සඳහා ආචාර්ය ජේ. ඇලන් හයිනෙක් විද්‍යාඥයාගේ පර්යේෂණ දත්ත දායක කරගෙන තිබේ. රෝයි නියරේ චරිතයට අධ්‍යක්ෂවරයා මුලින් ම ආරාධනා කර තිබෙන්නේ ස්ටීව් මැක්කුවීන් අධ්‍යක්ෂවරයාටය. එහෙත් ඔහු එය ප්‍රතික්ෂේප කර ති‍බේ. පසුව ඔහු ඩස්ටින් හොෆ්මන්, ඇල් පැ‍කිනෝ, ජැක් නිකල්සන්, ජීන් හැක්මන්, ජේම්ස් කෑන් නළුවන් කරා ගියත් සුබ ප්‍රතිඵලයක් ලැබී නැත. අවසානයේදී ඔහුත් සමඟ ‘ජෝව්ස්’ සිනමාපටයට දායක වූ රිචඩ් ඩ්‍රෙෆස්ට් ආරාධනා කර ඇති අතර ඔහු එක්වරම ඊට මනාපය පළ කළේය.

මුලින් ම රෝයිගේ බිරියගේ චරිතයට මෙරිල් ස්ට්‍රීප් ‍තෝරාගෙන තිබුණ ද පසුව ස්පිල්බර්ග් ටෙරී ගර් තෝරා ගත්තේය.

සිනමා පටයේ මවු යානයට යොදා ගෙන ඇත්තේ දෙවැනි ලෝක යුද සමයේ අත්හැර දැමූ හැඟරයකි. නියරේ‍ගේ නිවෙස නැ‍ඟෙනහිර කාර්ලයිස්ල් ඩ්‍රයිව්හි පිහිටා තිබූ අතර එය නිෂ්පාදන කණ්ඩායම ඩොලර් 35,000 ක මුදලට මිලදී ගත් අතර රූගත කිරීම් අවසන්වූ පසු ඩොලර් 50,000 කට විකුණන ලදී.

‘ක්ලෝස් එන්කවුන්ටර්ස් ඔෆ් ද තර්ඩ් කයින්ඩ්’ සිනමා පටය කොලොම්බියා පික්චර්ස් බෙදා හැරීමකි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.