සමීප රෑප | සිළුමිණ

සමීප රෑප

අමරදේව අමරණීයයි

අමරදේව නම් වූ මහා ගාන්ධර්වයාගේ රූපකාය ඉන්ද්‍රචාපගේ සමීප රූපය වසා ඇ‍ඳේ. අමරදේවගේ මධුර ස්වරය ඇසෙනා මොහොතක් පාසා ජාතියේ රන් ස්වරය යයි ජනතා සම්මානයෙන් පිදුම් ලද ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් සිහියට නැ‍ඟේ. මේ රටේ විශිෂ්ටතම කලාකරුවන් කලාකාරියන් පිරිසක් හමුවේ අමරදේව සමීප රූපය ඇ‍ඳෙනු ඉන්ද්‍රචාප දුටුවේ අගෝස්තු මස 28 වැනිදා පෙරවරුවේ දී ය. කීර්තිගේෂභාවෝපගත ජාතියේ මහා ගාන්ධර්ව ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් වෙනුවෙන් ඉදාවන අමරදේව අසපුවට මංගල ශිලා ප්‍රතිෂ්ඨාපන උලෙළ පැවැත්වුණු බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ දී ය අමරදේව රුව ඉන්ද්‍රචාපගේ සමීප රූපාවලිය අතරට එක් වූයේ. රාජරාජ මහාමාත්‍යාදීන් අපේ ගමට රැස්ව සිටියහ. නිලදරුවන් සංගීත ක්ෂේත්‍රය ප්‍රමුඛ කලා ක්ෂේත්‍ර රැසක හරස්කඩක් නියෝජනය වූ නිර්මාණකරුවන් රැසක් අමරදේව අසපුව පිළිබඳ සිහිනය යථාර්ථයක් බවට පත්කිරීමේ මංගල මොහොත ඇරැඹෙනු දැකීමට සාක්ෂිකරුවන් වී සිටිනු ඉන්ද්‍රචාප දිටීය. විමලා අමරදේව මැතිනිය ප්‍රධාන අමරදේව දූ පුතුන් රංජන, සුභානි, ප්‍රියංවදා ආදින් කඳුළු පිරි නෙතින් හද පිරුණු පිය සෙනෙහසින් සිදුවන්නේ කුමක්දැයි බලා සිටිනු ඉන්ද්‍රචාපගේ සමීප රූප අතරට එක් විය.

තම ආදරණීය, ස්වාමිපුරුෂයාගේ වියොවින් වසරක් හෝ ගතවන්නටත් පෙරම, එතුමන්ගේ ජීවිත කාලය පුරා සිහිනයක් වූ සංගීත ආරණ්‍යයක් පිළිබඳ සිහිනය සැබෑ වන්නට පළමු අදියර තැබූ මොහොතක්, එතුමන්ගේ ජීවිතයේ අවසන් මොහොත දක්වා සමීපයෙහි සිට රැකබලා ගත් බිරිඳක නෙතට නැ‍ඟෙන කඳුළ විමලා අමරදේව මැතිනිය නෙතඟ රැ‍ඳෙනු එමොහොතට එක්වූ සියල්ල දුටහ. රටේ ප්‍රධාන පුරවැසියාගේ පටන්, මෙකී කටයුත්තට උර දෙන්නා වූ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අමාත්‍යවරයා ප්‍රමුඛ, මැති ඇමැතිවරුන් නිලදරුවන් හා විශාල කලාකරුවන් පිරිසක් රැස්ව සිටියේ, ජාතියේ පිනෙන් පහළ වූ ජාතික වස්තුවක් වූ මහා කලාකරුවාට, රාජ්‍යයක් විසින් තම කෘතවේදීත්වය පළ කරනු ලබන උලෙළක සාක්ෂිකරුවන් වීම සඳහාය. විමලා අමරදේව, රංජන, ප්‍රියංවදා හා සුභානි හමුවේ ඒ අසිරිමත් මොහොත උදා වූ අයුරු ඉන්ද්‍රචාප බලා සිටියේ නෙතඟ රැඳුණු කඳුළක් සහිතවය.

පණ්ඩිත් ශ්‍රී අමරදේව යනු මෑත කාලීන ශ්‍රී ලංකා ඉතිහාසයේ පහළ වූ, විශේෂයෙන් කලා හා සංස්කෘතික ලෝකයේ බිහි වූ යුගපුරුෂයාණන්ය. එතුමෝ දැය සුවපත් කරන්නට එතුමන්ගේ මධුර ස්වරයෙන් ගී ගැයූහ. සංගීත, නිර්මාණ ක්ෂේත්‍රයේ නව අත්හදා බැලීම් කළහ. ගායනය, වාදනය සංගීත පර්යේෂණය, සිනමා, වේදිකා රංග සංගීත අධ්‍යක්ෂණය, පර්යේෂණය මතු නොව සංගීත විෂය ක්ෂේත්‍රයෙහි ලා වූ ලේඛනයෙහි ද එතුමෝ දස්කම් පෑහ. සංගීත විෂයයෙහි මතු නොව, එතුමන් දන්නා ඕනෑම විෂයයක් පිළිබඳ අමරදේවයන්ගේ, තාක්ෂණයෙහි නිපුණත්වයට, අර්ථාන්විත බවට සමීප වන්නට සමත් සංගීතවේදියකුගේ රුවක් සමීප රූපය අසලකටවත් නොවේ. මහැදුරු සුනිල් පැවසුවා සේ ම, එතුමන් අතුල්‍යය. (Unique) අසමසමය.

අමරදේව අමරණීය බව ඉන්ද්‍රචාප දකී. එතුමන්ගේ ස්වරය අප සවනට ළංවන මොහොතක පමණක් නොව, ඒ ස්වරය, ගී හඬ අප ඇතුළු හද නිදන්ගත වතින් වරින්වර උඩු සිතට පිවිසෙමින්, හද සෝක සංතාප තැවුල් අවුල් නිවනා මොහොතක එතුමෝ අප පමණක් නොව අපගේ ජීවිත ද අත්හැර නොගොස් සිටිනවා ය යන පහන් හැඟුමින් අපගේ සිත් පිරේ. ඔහුගේ හඬින් රෝහල්ගත වී ගිලන්ව සිටින සිත්සතන් සුවපත් කරන්නට අමරදේවයන් ගත් වෙහෙස අපි දනිමු. රෝග සුව වන්නට ඖෂධ ඇවැසි මුත්, මානසික සුවය සදන්නට කලා නිර්මාණයකට ද කුමන හෝ දායකත්වයක් පළ කළ හැකි නොවේ ද යන්න ඉන්ද්‍රචාප ගේ විශ්වාසයයි. බෝධි පූජාවක් පවත්වමින් මානසික සුවය අපේක්ෂා කරන්නේ නම්, රෝගී සිතකට සෙත් පතන්නේ නම්, සජීවීව ගැයෙන, ඇසෙන ශාන්ත ස්වරයකින්, පැවසෙන ගීත අරුතකින් සිත සුවපත් නොවේ යයි සිතන්නට ඉන්ද්‍රචාප අකැමැතිය. සිරිපා පියුමේ රොන් සුණු විසිරේ වත් ගීයක් අමරදේවයන් ගේ ශාන්ත ස්වරයෙන් පාළු රාත්‍රියක දී ඇසෙන සඳ, කෙතරම් අවුලින් තැවුලින් පිරුණු සිතක් වුව නිවී නොයන්නේ යයි සිතීම බොරුය. අමරදේව අසපුව නිමවී, එතුමන්ගේ නිර්මාණ කාර්ය සාධනයෙහි ගුණ සිහිපත් කිරීමට වාසනාව ලැබෙන දිනය ඈත නොවේයයි ඉන්ද්‍රචාපගේ විශ්වාසයයි. ඒ සොඳුරු දවස උදාවන තෙක් අපි දෑස් නොපියා බලා සිටිමු. එදවස ‍සොඳුරුමයි තවත් තිරූවකට අවකාශය සැලසෙන දිනය ඉක්මනින් ම උදා වේවා!

 ඉන්ද්‍රචාප 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.