ගැහැනු පිරිමි | සිළුමිණ

ගැහැනු පිරිමි

ගැහැනුන් - පිරිමින් කතා කරන වචන අනුසාරයෙන් ඔහු/ඇය කෙබඳු ද යන්න වටහා ගත හැක්කේ සමස්තයෙන් සියයට 15කටත් අඩු ප්‍රමාණයකි.

එහෙත් ඔහුගේ /ඇ‍යගේ ශාරීරික ඉරියව් ආදියෙන් සියයට 80කට වැඩි ප්‍රමාණයක් අවබෝධ කොට ගත හැකිය. මෙය Body Language ලෙස බටහිර යුරෝපීය රටවල දියුණු විෂය ක්ෂේත්‍රයක් වී පවතී. ඔබ සමඟ සමාජයේ ගැටෙන මුණ ගැසෙන පුද්ගලයන් මේ වගේ දැයි බලන්න.

*ඔබ සමඟ යම් පුද්ගලයෙකු දැඩි ඇඟෑලුම් කමක් මවා පාමින් ඕපා දූපයක් හෝ කේළමක් හෝ අතිශය පෞද්ගලික යමක් කියමින් සිටින්නේද...මඳක් සාවධානව අසා සිටින අනතුර ඔහුගේ / ඇයගේ දෑස් දෙස එක එල්ලේ බලන්න. එවිට ලැබෙන ශාරීරික ප්‍රතිචාරය මත එම පුද්ගලයා කව‍රෙක්ද යන බව වටහා ගත හැකිය.

1) ඔහු /ඇය සැණෙකින් දෙනෙත් ඉවතට ගෙන ගියොත් එම පුද්ගලයා විශ්වාස කළ නොහැක.

2)ඔහු/ඇය දෙනෙත් සමඟ ම මහුණද බිමට නැඹුරු කර ගතහොත් ඔහු මෙතෙක් ඔබ සමඟ පැවසූ දේ පිළිබඳව ඔහුටම විශ්වාසයක් නැති බව තේරුම් ගන්න.

3)ඔබ ඔහුගේ දෑස් දෙක එක එල්ලේ බැලූ විට ඔහු වහාම කතාව නතර කිරීම හෝ වේගය බාල කොට හැකිළෙන ස්වභාවයක් පළ කළහොත් ඔහුගේ පෞරුෂත්වය ඔබට වඩා පහළින් තිබෙන බව තේරුම් ගන්න.

4) ඔහුද එක එල්ලේ ඔබේ දෑස් දෙස බලමින් කතාව අඛණ්ඩව පවත්වාගෙන යන්නේ නම් හෙතෙම විශ්වාසයෙන් අවංකව කතා කරන පුද්ගලයෙකි.

*යම් සභාවක හෝ සමුහයක් හෝ රැස්ව සිටියදී කථිකයකු සභාව අමතන විට යම් අයෙක් පපුව හරහා හරස් අතට දෑත් බැඳගෙන සිටින්නේ නම් ඔහු කථිකයාට එකඟ නොවන මානසිකත්වයක සිටින බව පෙන්වයි.මේ පුද්ගලයා දෑත් පමණක් නොව තම දෙපා ද ඉදිරියට විහිදුවා ඒ හරස් අතට පටලවාගෙන සිටින්නේ නම් ඔහු කථිකයා කෙරෙහි දැඩි ලෙස නොරුස්නා මානසිකත්වයක සිටී. ඔහු සභාවට නොගැළපෙන පුද්ගලයෙක් බව එයින් පෙන්නුම් කරයි.


මිත්‍යාව සහ විද්‍යාව

තමන් නො දන්නා දේ සහ තමන් පිළි නො ගන්නා‍ දේ මිථ්‍යාව යැයි බොහෝ දෙනා කියති. ඔවුහු විද්‍යාඥයෝ ලෙස පෙනී සිටින්නාහ. මිථ්‍යාවේ විරුද්ධ වචනය විද්‍යාව යැයි සිතන බව පෙනේ.අන්න එතැනම ඇත්තේ ලොකු අවුලකි.මිථ්‍යා දෘෂ්ටියේ විරුද්ධ වචනය සම්‍යක් දෘෂ්ටිය යි.විද්‍යාවේ විරුද්ධ වචනය අවිද්‍යාව යි.ප්‍රාචීන භාෂාවල විජ්ජා යනුවෙන් අදහස් කරන්නේ විද්‍යාව ය.එහෙත් පසු කලෙක බටහිර භෞතික වාදය ඔළුවට ගත් අය විද්‍යාව ඔවුන්ට ම අයත්කර ගෙන ඊට අයත් නොවන සියල්ල මිථ්‍යාව ලෙස බැහැර කළෝ ය.පුදුමය කියන්නේ තමා පෙනී සිටින විද්‍යාවේ භාෂා නිරුක්තියවත් නොදැන අනෙක් දැනුම් පද්ධතීන්ට මිථ්‍යාව ලෙස ගැරහීම ය.මෙහි ජනප්‍රිය පුළුල්තිර විකට ජවනිකාව වන්නේ අයිසෙක් නිව්ටන් සහ ඇල්බට් අයින්ස්ටයින් යන දෙදෙනාම පෞද්ගලිකවම ජ්‍යොතිෂය අධ්‍යයනය කළවුන් වන අතර බටහිර විද්‍යාවේ 'අ ' යන්නවත් නොදන්නා එහෙත් නැති ප්‍රාඥබව හුවා දැක්වීමට ලොල් වූ හීනමාන දුර්වලයන් විසින් බටහිර විද්‍යාවට මුවා වී ජ්‍යොතිෂයට අවලාද නැඟීමයි.

ඔවුන්ට අනුව ජ්‍යොතිෂය මිථ්‍යාවකි. වාස්තු ශිල්පය ද මිථ්‍යාවකි.ඔවුන් පිළිගන්නේ ඇස,කන,දිව,නාසය,ශරීරය යන පසිඳුරන්ට පමණක් ගෝචරවන දේ පමණි.මේ යාන්ත්‍රික භෞතිකවාදී විශ්වාසය බිඳ වැ‍ටී දැන් සියවස් තුනක් පමණ ගත වී ඇත.එහෙත් ඒ බව නො දන්නා නිසාදෝ ඇතැම් විද්‍යාඥයෝ තමන් නො දන්නා සියල්ල ද බොරු යැයි විශ්වාස කරති.නියම මිථ්‍යාදෘෂ්ටිය නම් මෙයයි.

ලෝකය ඇති සැටියෙන් දැකීම සම්‍යක් දෘෂ්ටිය යි.එසේ නො දැකීම මිථ්‍යා දෘෂ්ටිය යි.අන් අයට මිථ්‍යාව වපුරන්නෝ යැයි චෝදනා නගන මේ උදවිය තමන් මිථ්‍යා දෘෂ්‍ටියේ කර වටක් කිඳා බැස සිටින බව නොදකී.

ජ්‍යොතිෂය වුවමනා නම් ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂයක් බවට පෙරළා ගත හැක.වුවමනා නම් එය අධ්‍යාත්මික භාවිතයක් බවටත් වර්ධනයකර ගත හැක . එසේ කළ හැකි වන්නේ තම තම නැණ පමණින්ය.විද්‍යාව යනු බටහිර දැනුම් පද්ධතියට පමණක් සීමා වූ යෙදුමක් ලෙස භාවිතය‍ට ගැනීම ම අවිද්‍යාවකි.අවිද්‍යාව ඉතා සරලව සමාන කළ හැක්කේ අන්ධ භාවයට ය.ලෝකයේ යථාව ඇත්ත ඇති සැටියෙන් නොදැකීම එම පුද්ගලයා‍ගේ ප්‍රශ්නයක් මිස ලෝකයේ පැවැත්ම පිළිබඳ ගැටලුවක් නොවේ.

විදුලි බලය පියවි ඇසි‍න් දුටු කිසිවෙක් තවම අපට හමු වී නැත.සිහින් කම්බියක් ඔස‍සේ ගලා යන විදුලි දහරාව පියවි ඇසින් දකින්නට නො ලැබේ.එහෙත් අපට එහි ඵලය පමණක් දක්නට ලැබේ. දැල්වෙන විදුලි බල්බය කරකැවෙන විදුලි පංකාව විදුලිය ඇති බවට සංඥාවකි.

ජ්‍යොතිෂය ද එබඳුම විදුලි බලයකි.ප්‍රතිඵලය මිස එය ක්‍රියාකාරී වන ආකාරය නො පෙනේ.යට කී විද්‍යාඥයන් ලෙස කල්පනා කරන්නේ නම් ජ්‍යොතිෂ සිද්ධාන්ත ක්‍රියාකරන ආකාරය නො පෙනෙන නිසා එය මිථ්‍යාවකි.තඹ කම්බියක් මිස ඒ ඔස්සේ විදුලිය ගමන් කරන ආකාරය නො පෙනේ.එසේ නම් අර විද්‍යාඥ තර්කය අනුව විදුලිය ද නො පවතී.හැබැයි මෝඩකමටවත් එම කම්බිය ස්පර්ෂ කළ හොත් තරු විසි වෙන පාඩමක් ඉගෙන ගන්නට ලැබෙනු ඇත.ජ්‍යොතිෂය ද එසේමය.බොරු පණ්ඩිතකම් පා එවැනි දෙයක් මිහිපිට නැතැයි සිතා කටයුතු කරන පුද්ගලයන්ට සිදුවන්නේ ද අත පුච්චා ගැනීමට ය.


1666 රහස ?

අංක 1666 රාශී චක්‍රයේ (ග්‍රහ ගෝචර / ගමන ) අංශක ලෙස උපකල්පනය කරන්න. දැන් සමස්ත රාශි අගය හෙවත් අංශක 360 රාශි ගණනින් ගුණ කරන්න. එවිට 360 X 12 = 4320 ක් වෙයි. ඒ අගය 1666 න් බෙදන්න. එවිට පිළිතුර 2.593037214885954 ක් වෙයි. දශමස්ථාන ඉවත් කළ විට අංක 2 ඉතිරි වෙයි. අංක 2 සඳු ග්‍රහයාට අයත් වෙයි. මේ සඳුට එක් රාශියක් පසු කිරීමට ගතවන කාලය දින 2.5 යි. ඒ අනුව දින තිහකදී සඳු රාශී චක්‍රයේ එක් වටයක් සම්පූර්ණ කරයි. 1666 ට එවැනි චන්ද්‍ර ගමන්වාර කොපමණ අයත්වන්නේ ද ? ඒ ආසන්න වශයෙන් 55 කි. 5+5 = 10= 1 ක් වෙයි. ඒ අනුව තවදුරටත් 1666 බෙදිය නොහැක. 1666 කෙනෙකුට සුබ හෝ අසුබ තීරණාත්මක සංඛ්‍යාවකි. ඕනෑම පුද්ගලයකුගේ උපතේ සිට එන පළමු චන්ද්‍ර ගමන්වාර 55 සහ ඉන් අනතුරුව එන 55 අවස්ථාවන් සියල්ලම අමතක නොවන තීරණාත්මක සිදුවීම් නිර්මාණය කරයි.තව ලෙසකට කීවොත් උපතේ සිට එන පළමු වර්ෂ 4 යි මාස 07 යි දින 16 ත් එයින් පසුව එසේ වසර 4 යි මාස 7 යි දින 16 කාල පරිච්ඡේදයන් ජීවිතයට අමතක නොවන සිදුවීම් ඇති කරවයි.

මෙහි සත්‍ය අසත්‍ය බව ගැන මම කිසිවක් නොකියමි. එව ! බලව! 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.