ළමා කුසලතා හඳුනාගන්න හැමෝටම බැහැ | සිළුමිණ

ළමා කුසලතා හඳුනාගන්න හැමෝටම බැහැ

 

“ලොව ගනදුරු දුරු කරන්න
ගුණ නුවණට මඟ පෙනෙන්න
පුංචි අයට දැනුම දෙන්න
හඳමාමට සවන් දෙන්න”

මේ පදවැල පිළිබඳ අමුතුවෙන් ටීකා ලිවිය යුතු යැයි නොසිතේ. එහෙත් අපි මෙසේ සඳහන් කරමු. ‘ලෝකයේ දීර්ඝතම ගුවන් විදුලි ළමා වැඩසටහන් පෙළේ තේමා ගීතයයි ඒ’ අඩසියවසකට අධික කාලයක් මුළුල්ලේ ජාතියක ළමා පරපුරට ප්‍රඥාවේ ආලෝකය ලබා දෙමින්, ඇයට ම ආවේණික ළෙන්ගතු වාග් විලාසයකින් සුවිශේෂි සන්නිවේදන මෙහෙවරක යෙදී සිටින ඒ පැසුණු සන්නිවේදිකාව අද අපි පැහැසර හමුවට කැඳවන්නෙමු. ඇය සුමනා ජයතිලකයන්ය.

 උපන් දිනය?

1937 අප්‍රේල් 23

 උපන් ගම?

කොළඹ

 උප්පැන්නයේ නම?

නානායක්කාරගේ සුමනාවතී කුරේ

 දෙමවුපියන්?

නානායක්කාරගේ ආතර් කුරේ තාත්තා, මගේ මව ලීලාවතී කුරේ.

 පවුලේ තොරතුරු?

මම පවුලේ වැඩිමලා. මට බාල නංගියි! මල්ලියි.

 මුලින් ම අකුරු කළේ?

කොළඹ මියුසියස් පුහුණු විදුහලෙන්.

 ඔබ පාසලේ කොයි වගේ චරිතයක් ද?

කවි ගායනයට හා රංගනයට කුසලතාවක් දැක්වූ සිසුවියක්.

 ගෙදර පරිසරය?

මගේ අම්මා නැතිවෙන විට මට අවුරුදු පහක්වත් නැති තරම්. මගේ අම්මා නැති අඩුව අපට දැනෙන්න තාත්තා ඉඩ තිබ්බේ නෑ. තාත්තා වෙන විවාහයක් ගැන සිතුවේත් නෑ.

 තාත්තා ඔබ තිදෙනා බලා ගත්ත?

ඔව්! මගේ අත්තම්මා හා නැන්දා අපේ සෙවනැල්ල වුණා. නැන්දා කන්‍යාරාමයක අධ්‍යාපනය ලබපු කෙනෙක්. ඇය සමාජ ගුණධර්ම ගැන හොඳින් දැන සිටියා.

 පාසල් වේදිකාවට ගොඩ වුණ පළමු දවස?

මට දිනය මතක නෑ. පාසල් සාහිත්‍ය සමිතියෙදි කවි ගායනා කළා.

 රංගනයට පිවිසෙන්නේ?

පාසලේදි මා විසින් ම රචනාකැර නාට්‍යයක් අධ්‍යක්ෂණය කළා. එහි ප්‍රධාන චරිතය ගොවිරාල ලෙස රඟපෑවෙත් මමයි.

 පසුව?

ගුරුවරියන් දෙදෙනකුගේ මෙහෙයවීමෙන් මියුසියස් විද්‍යාලය ‘මුතුවැල්’ නමින් නිර්මාණය කළ නාට්‍යයේ නැටුම් ශිල්පිනියකට මා තෝරා ගත්තා.

 කුඩා ඔබ හා පුරා කියා ගුවන් විදුලියට ගොඩවදින්නේ?

මගේ කුසලතා දැකපු පාසලේ කේ.ජී. පෙරේරා ගුරුමහතා මාව ගුවන් විදුලියට රැගෙන ගියා. ඒ කවි ගායනයා සඳහායි. තවත් දෙයක් සඳහන් කළ යුතුයි.

 කුමක් ද ඒ?

මා කොළඹ මෛත්‍රි දහම් පාසලටයි ගියේ. එහිදී විල්සන් හෑගොඩ මහතා මගේ කුසලතා හඳුනාගෙන අපේ තාත්තව දැනුවත් කැර තිබෙනවා. තාත්තා මාව ප්‍රවීණ සංගීතඥ එඩ්වින් කෝට්ටේගොඩ මහතා වෙත යොමු කැර ගායනය හැදෑරීමට සැලැස්සුවා.

 ඔබ මුලින් ම ගායනා තරගයකට මුහුණ දෙන්නේ?

කොළඹ තරුණ බෞද්ධ සමිතිය මඟින් පවත්වපු පද්‍ය ගායනා තරගයට?

 එම තරගයෙන් ඔබ ජයග්‍රහණය කරනවා?

ඔව්! මට එම තරගයේ කනිෂ්ට අංශයේ රිදී පදක්කම ලැබුණා. ඒ 1948 දි හෝ 1949 දී.

 පද්‍ය ගායනා තරගයකදී ඔබ මුලින් ම රන් පදක්කමක් ලබන්නේ?

1950 දශකයේ මුල් භාගයේ තරුණ බෞද්ධ සංගමය මෙහෙයවූ පද්‍ය ගායනා ජ්‍යෙෂ්ඨ අංශයේ තරගයේ රන් පදක්කම දිනුවා. එම තරගයේ පිරිමි අංශයේ රන්පදක්කම දිනුවේ පසුව ප්‍රකට කවියකු මෙන් ම නිවේදකයකු වූ ලලිත් එස්. මෛත්‍රිපාලයි.

 ඉන් අනතුරුව?

කොළඹ නගර සභාව දීපව්‍යාප්තව සංවිධානය කළ ගායන තරගයෙන් ‘දිනමිණ’ කුසලානය දිනා ගත්තා.

 ඇයි දිනමිණ කුසලානය ලෙස එය නම් කැර තිබුණේ?

ඒ කාලයේ ලේක්හවුස් ආයතනයේ ප්‍රබල සාහිත්‍ය සංගමයක් තිබුණා. ඔවුනුත් මෙම තරග සංවිධානයට සම්බන්ධයි. ඒ නිසයි මෙය ‘දිනමිණ’ කුසලානය ලෙස නම් කැර තිබුණේ.

 අපි නැවත ගුවන් විදුලිය දෙසට හැරෙමු?

1950 මුල් කාලයේ මා ගුවන් විදුලියේ හඬ ශිල්පිනියක් හැටියට සමත් වුණා.

 ඒ කාලයේ එහි වූ විශේෂිත අත්දැකීම් එහේම ඇති?

බ්‍රිතාන්‍ය මහරැජිනගේ මෞලි මංගල්‍ය වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලිය යැවූ ප්‍රශස්ති කාව්‍යය ගායනය කළේ මම යි. මංගල්‍යය පැවැත්වුණේ 1953 ජුනි 2 වැනිදායි.

 එතකොට ගුවන් විදුලියේ ඒ අංශය භාරව සිටියේ?

ප්‍රකට සාහිත්‍යධරයකු වූ හියුබත් දිසානායක මහතායි.

 ඒ කාලයේ ගුවන් විදුලියේ ගෙවීම් එහෙම කොහොමද?

පැයකට දෙකයි ශත පණහක් ලැබුණා. උපරිම දවසකට රුපියල් දොළහක් තමයි ලැබුණේ. එය ඒ කාලයේ මට ප්‍රමාණවත්.

 අපි දැන් ඔබේ මුද්‍රාව වූ ‘හඳමාමා’ දෙසට හැරෙමු?

‘හඳමාමා’ ආරම්භ වන්නේ 1963 දෙසැම්බර් 14 දිනයි. ‘හඳමාමා’ මුල්ම වැඩසටහන මෙහෙයවූයේ ආරියසේන මිල්ලවිතානාච්චි සමඟයි.

 කවුද ‘හඳමාමා’ කියන නම දැම්මේ.

අපි කීප දෙනෙක් නම් ඉදිරිපත් කළා. එවකට වෙළෙඳ සේවයේ වැඩසටහන් සම්පාදක කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා මහතා හඳමාමා නම අනුමත කළා.

 එතකොට ‘හඳමාමා’ තේමා ගීතය රචනා කළේ?

මම! ඒ මුල්ම පිටපත ඔබට පෙන්වන්නම්. (එම මුල් පිටපත මෙහි පළ කරමු)

 තේමා ගීතයේ සංගීතය හා ගායනය?

මෙහි සංගීතය නිර්මාණය කළේ පී.එල්.ඒ. සෝමපාල මිල්ටන් පෙරේරා ගායනය කළා.

 හඳමාමා ආරම්භක යුගය වෙනවිට ඔබ තරුණ මවක්. ඒ වගේ ම මේ රටේ ප්‍රකට නාට්‍යකරුවන් කීපදෙනෙකුගේ නාට්‍යවල සැලකිය යුතු චරිතාංග නිළියක්.

ඔව්! ඔබ හරි!!

 ප්‍රශ්නය එය නොවේ. ඔබ මේ සඳහා කාලය කළමනාකරණය කැර ගත්තේ කොහොමද කියන එකයි?

මගේ ස්වාමිපුරුෂයා බොහෝ දුරදිග දකින තැන්පත් අයෙක්. ඔහුගෙන් මට සියලු සහයෝගය ලැබුණා.

 කරුණු සොයාගෙන යනවිට ලෝකයේ ඉතා ම දීර්ඝ කාලයක් මුළුල්ලේ ගුවන් ගන්නා එකම ළමා වැඩසටහන් මාලාව හඳමාමායි?

ඔව්! ඒ පිළිබඳ මා නිහතමානීව ආඩම්බර වෙනවා. ‍‍

 එවකට ගුවන් විදුලියේ වෙළෙඳ සේවයේ වැඩසටහන් සම්පාදක කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා මහතා පසු කාලයේ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ලෙස ප්‍රකට වූ ඔහුද?

ඔව්!

 එදා මෙදාතුර ‘හඳනැන්දා’ ඔබයි නමුත් හඳමාමලා කීප දෙනෙක් හිටියා. ඒ අය කවුද කියල මතක් කළොත්?

මිල්ලවිතානාච්චිට පස්සේ ගුණතුංග කේ. ලියනගේ හිටියා. පසුව දීර්ඝ කාලයක් ලැබ්බට් පෙම්මාවඩු. දැන් ජූඩ් අයිවන්, සුජීව යන අය ඉන්නවා.

 එදා ‘හඳමාමා’ ට පැමිණි දරුවන් දැන් ජීවිතයේ මැදි වයසට ඇවිත්. ඔවුන් බොහෝමයක් සමාජයේ ඉහළ තානාන්තරවල ඇති. එවැනි කීප දෙ‍නකුගේ නම් සඳහන් කළොත්?

එය කෙසේවත් කළ නොහැකියි. නම් කීපයක් සඳහන් කිරීමෙන් බොහෝ දෙනෙකුට අසාධාරණයක් සිදුවිය හැකියි.

 ‘හඳමාමා’ ගැන කතා කරනවිට පෙත්තප්පු පිළිබඳවත් කතා නොකර ම බෑ?

ඔව්! පෙත්තප්පු හඳමාමා සමඟ එකතු වුණේ 70 දශකයේ.

 පෙත්තප්පු’ හඳමාමාට සම්බන්ධවීම කාගේ සංකල්පයක්ද?

මගේ! පෙත්තප්පු වුණේ මංගල ප්‍රේමදාස.

 කොහොමද එහි පසුබිම් කතාව?

එතකොට ඔහු පාසල් සිසුවෙක්. ඔහුට නොයෙක් හඬවල් අනුකරණය කරන්න පුළුවන් බව මා දැන සිටියා.

 ඒ නිසා ගත්තා?

නෑ! කරුණාරත්න අබේසේකරයන්ගේ ළමාපිටිය වැඩසටහනේ හිටියා කුකුළුචාලි කියල චරිතයක්. පෙත්තප්පු හඳමාමට ගේන්න ඒ චරිතයත් මා තුළ කිසියම් බලපෑමක් ඇති කළා කිව්වොත් නිවැරැදියි.

 හඳමාමා සමඟ ආ මේ ගමනෙදි ඔබට විවිධ බාධා කිරීම් හා නොයෙක් අකටයුතුකම්වලට එහෙම මුහුණ දෙන්න සිදුවෙන්න ඇති?

ආ ඒ ගැන කතා කරලා ඵලක් නෑ! මම ඒවා ගැන හිතන්න ගත්තනම් මේ ගමන මට එන්න ලැබෙන්නේ නෑ.

 දැන් අපි ඔබේ පුද්ගලික ජීවිතයේ තොරතුරු ටිකක් දැනගන්න කැමතියි?

ඔබ දන්නවා මගේ ස්වාමිපුරුෂයා ප්‍රවීණ ගත්කතුවර කේ. ජයතිලක මහතා බව.

 දරුවන්?

සිව්දෙනයි. අවස්ති කුමාර, කරුණිකා, සරලා සහ ප්‍රබෝධ. මෙයින් කරුණිකා හා ප්‍රබෝධ නවසීලන්තයේ සහ ඇමරිකාවේ පදිංචිව සිටිනවා.

 අද ඔබේ දවස ගෙවෙන්නේ?

මා තවම පෙර සේම වැඩරාජකාරිවල යෙදී සිටිනවා. ගුවන් විදුලියේ හඳමාමට අමතරව තවත් වැඩසටහන් දෙකක් කරනවා.

 ඔබ දැන් ගුවන් විදුලියේ ස්ථිර සේවයේ නෑ?

ඔව්! මම ගුවන් විදුලියේ විවිධ තනතුරු දැරුවා. නමුත් හඳමාමා වැඩසටහන අමතක කළේ නෑ. එය අදටත් කරනවා.

 ගුවන් විදුලියෙන් විශ්‍රාම ගන්නේ?

1997 වර්ෂයේදීයි. එතකොට මා ගුවන් විදුලියේ ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂවරියයි. නමුත් කියන්න කනගාටුයි...!

 ඒ මොකක්ද?

1960 දශකයේ මුල් කාලයේ පටන් මා සහන නිවේදිකාවක්. පසුව ස්ථිර සේවයට එක් වුණා. නමුත් විශ්‍රාම වැටුප නෑ.

 ඒ මොකද?

මා ස්ථිර සේවයට එක්වූයේ 1969 වසරෙයි. කෙසේ හෝ මගේ විශ්‍රාම වැටුප ලැබෙන්නේ නෑ.

 ඒ පිළිබඳ ඔබ වගකිව යුත්තන් දැනුවත් කළේ නැද්ද?

මොකද නැත්තේ! ඒ අය දින කීපයක අඩුවක් ගැන කතා කරනවා. නමුත් මේ අකටයුත්ත නිවැරැදි වෙයි කියන විශ්වාසයෙන් මා ඉන්නවා.

 දැන් අප ක්ෂේත්‍රයේ අලුත් පරපුර ගැන කතා කරමු?

කනගාටුයි!

 ඒ කියන්නේ?

අපේ භාෂව ඇතුළු හර පද්ධතීන් ගැන කිසිම තැකීමක් නැතිව ඇතැම් තරුණ සන්නිවේදකයන් කටයුතු කරනවා. ඇතැම් රූපවාහිනි නාලිකා තේ එකක් බොන එක පවා පහත් තත්වයට දාලා වැඩසටහන් කරගෙන යනවා.

 කවුද මේවට වගකියන්න ඕනෑ?

ඒක තමයි අපි සියුම්ව සිතා බැලිය යුත්තේ! පළමුවෙන් ම සන්නිවේදකයා විහිළුකාරයෙක් නොවී කැපවීම හා වගකීම ඇති අයෙකු විය යුතුයි.

 ඔබ කියන්නේ ඇතැම් තරුණ සන්නිවේදකයින්ට කැපවීම හා වගකීම කියන දෙය නෑ කියලද?

ඔව්! ඇතැම් නාළිකා අද පුංචි දරුවන් නොමඟ යවනවා. විනාශ කරනවා. මහ මිනිසුන් කළ යුතු දේවල් පුංචි දරුවන් ලවා කරවනවා. ඇඳුම පැලඳුම පවා එහෙමයි.

 ඔබ ‘බස’ ගැනත් සඳහන් කළා?

ඔව්. අද ‘බස’ විකෘති කරනවා. මා උදාහරණයක් කියන්නම්. නිවේදකයා අහනවා ඔබ දැන් ‘ඩ්‍රින්ක්’ එකක් ගන්නවද කියලා. ඊට පසුව ඔහුම නැවත අසනවා ‘හොට් ද’ ‘කූල් ද’ කියලා. ඉතිං අපේ බසට දෙවියන්ගේ පිහිටයි කියන්නේ නැතිව වෙන මොනවා කියන්න ද. 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.