අපිට තියෙන ලොකුම ප්‍රශ්නෙ දරුවො යවන්න ඉස්කෝලයක් නැති එකයි! | සිළුමිණ

අපිට තියෙන ලොකුම ප්‍රශ්නෙ දරුවො යවන්න ඉස්කෝලයක් නැති එකයි!

 ‘මම බේකරියෙ වැඩ කරල උදේට ගෙදර ගියත් දවල්ට ගෙදරින් එන්නෙ හවසට පාන් දාන්න ඕන හින්දයි, ඉස්කෝලෙ ඇරිල පාසල් දරුවො ඇවිත් ‘සිරි..... මාම කියල කෑගහල මගෙන් බනිස් ඉල්ලනව. ඒ දවස්වල බනිස් ගෙඩියක් සත පනහයි. සත පනහට තිබුණු බනිස් ගෙඩිය රුපියල් දෙකට ඉහළ ගියා මට මතකයි. අවුරුදු 28ක් තිස්සේ මම වැඩ කරපු බේකරියෙන් මට අයින් වෙන්න සිද්ධ වුණා. ඒ 1987 දී. ‘එදා ඉදල සිරි මාමගෙ බනිස් කන්න දරුවො ආවේ නෑ. මට දැන් අවුරුදු 70ක්. මම ඒ දවස්වල වැඩ කරපු බේකරියට ආපු දරුවො අද ගොඩක් ලොකු ඇති. ඒ අයට මාව අඳුරන්නවත් මට අද ඒ අය අඳුරන්නවත් බැහැ. ‘

අවුරුදු 28ක් යාපනයේ බේකරි රැකියාවත් ලොරි රියැදුරු රැකියාවත් කළ යාපනයේ මාටින් පාරේ සිරිපාල ප්‍රනාන්දු මහතා තම අතීතය සිහි කරමින් එසේ පැවසුවා.

1983 යුද්දෙ පටන් ගත්තත් අපට ත්‍රස්තවාදීන්ගෙන් කරදර වුණේ නැහැ. මම වැඩ කරපු චංකානේ මුදලාලි අපි ගැන හොඳින් දැනගෙන හිටියා. බේකරියේ වැඩ කරන්න බැරි වුණාට පස්සෙ කොළඹ ඉඳල යාපනයට ලොරි ගෙනියන එක මගේ රාජකාරිය වුණා. ඒත් වවුනියාවේ තාණ්ඩිකුලමෙන් පාර වැහුණට පස්සෙ ඒ රස්සාවත් කරන්න බැරි වුණා. පදිංචි වෙලා හිටපු ගෙවල් ඉඩම් බඩු සේරම දාල අපි අනුරාධපුරයට ගියා. අවුරුදු 25කට විතර පස්සෙ තමයි ආපහු යාපනයට ආවේ. යාපනය මාටින් පාරේ තමයි අපි පදිංචි වෙලා හිටියේ. ඒත් දැන් ඒ ඉඩකඩම් අරගෙන නිවාස හදන එක ලොකු ප්‍රශ්නයක්. අපි අපේ ගෙවල් ඉඩම් ගැන ආණ්ඩුවටත් යාපනය මහ දිසාපතිටත් පෙන්වා දුන්නායින් පසුව අපට නාවක්කුලී නගරයට කිට්ටුවෙන් ඉඩම් ලබා දුන්නා. ඒ ඉඩම්වල දැන් අපි ගෙවල් හදාගෙන යනවා. ජීවිතේ අන්තිම දවස්වල හරි අපි ජීවත් වෙච්ච මේ පරිසරයට එන්න ලැබිච්ච එක වාසනාවක් විදිහටයි මම දකින්නේ.

දැන් ඉතින් ආයෙත් අපේ පරණ ජීවිතයට හුරු වෙන්න බැහැ. පුළුවන් විදිහට ඉදිරි කාලය ගෙවනවා එච්චරයි.

ඇය ජේන් සිල්වා, ඇයගේ අතීතයත් වසර 30කට ඈතට දිව යන්නීය. ඒ දිනවල අයිස් පලම් කෑමට රුසියන් සේ ප්‍රසිද්ධ යාපනයේ කුඩා දරු දැරියන් දෙස ඇය බලා සිටියේ දැඩි ආසාවෙනි. ‘යාපනයේ තමයි ලංකාවෙන්ම රස අයිස් ක්‍රීම් තිබුණෙ. අයිස් ක්‍රීම් කිව්වට අයිස් පලම්, කෝටුවෙ අයිස් පලම් දරුවො කන්නෙ පුදුම ආසාවෙන්, දැන් වගේ නෙමෙයි ඒ අයිස් ක්‍රීම් හදන්නෙ ඇගට අගුණ දේ දාල නෙමෙයි. දරුවො විතරක් නෙමෙයි, වැඩිහිටියොත් ඒ දවස්වල යාපනයේ අයිස් ක්‍රීම්වලට තිබුණේ පුදුම ආසාවක්. අපේ දරුවොත් එක්ක අපි ගත කරපු ඒ ජීවිතේ අපේ දරුවන්ට නම් තමන්ගේ තරුණ කාලෙ අත්විදින්න ලැබුණෙ නෑ. අපිට අපේ උපන් ගම් බිම් දාල යන්න වුණා. දැන් අපිට ආයිත් මේ යාපා පටුනට එන්න ලැබුණා. මේ තල් ගස් වලින් අපට දැනුණු ඒ තල් සුවඳ අද දැනෙන කොට දැනෙන්නේ, අපට මතක් වෙන්නේ අපේ තරුණ කාලයයි. ඒත් ඒ අතීතයේ අපිට තවත් ජීවත් වෙන්න බෑ. අපි දැන් වයසට ගිහින්‘ ජේන් අම්මාගේ නෙතින් කදුළක්ද කඬා වැටුණාය.

ඔවුන් පවසන්නේ දෛවයට අනුව ඇත්තකි. යළිත් ඔවුන්ට 1987 වසරේ සිට දිවිය ගෙන යාමට හැකියාවක් නැත. එහෙත් මේ සියලු දේට වඩා දැඩි අපහසුතාවන්ට මුහුණ පා ඇති තවත් පිරිසක්ද මේ ගම්මානයේ පදිංචියට පැමිණ ඇත. ඔවුන්ගේ කතාව මීට වෙනස්ය. ජී.එම්. අමිතා එයින් එක් කාන්තාවකි.

‘අපේ අම්ම තාත්ත වගේම අපිත් යාපනයේ ඉපදුණේ, යුද්ධය නිසා මේ සියලුම දේ අතහැරල අනුරාධපුරයේ නෑදෑයන්ගේ ගෙවල්වල හිටියේ. දැන් නාවක්කුළියට පදිංචියට ඇවිත් ඉන්නේ. අපේ පවුලේ 14 දෙනෙක් හිටියා. මහත්තය පශු වෛද්‍ය නිලධාරියකු ලෙසයි රස්සාව කරන්නේ. අපේ දරුවන් එක්ක මෙහේ ඉන්න අපට තියෙන ලොකුම ගැටලුව තමයි දරුවන්ට ඉස්කෝලයක් නැති එක. මම ඉස්කෝලෙ ගියේ යාපනේ සිංහල මහා විද්‍යාලයට ඒත් දැන් ඒ ඉස්කෝල තිබුණු තැනක්වත් නැහැ. අපේ දරුවන් යවන්න ඉස්කෝලයක් දෙන්න. එහෙම නැතිව අපට දරුවො මෙහේ තියාගෙන එයාලගෙ අධ්‍යාපනය කඩා දමන්න බැහැ. උතුර දකුණ කියල වෙනසක් නැහැ. ඒ වුණත් අපේ දරුවන්ට අනාගතය රැකල දෙන්න නම් අපට උතුරේ සිංහල පාසලක් පටන් ගන්න වෙනවා. ඒ වුණත් ඒ තත්ත්වයට තවමත් කිසිම පියවරක් අරගෙන නැහැ. යාපනයේ විශ්වවිද්‍යාලයේ සිංහල දරුවො කොයිතරම් ඉන්නවද? ඇයි මේ තත්ත්වය තේරුම් අරගෙන අධ්‍යාපන නිලධාරීන් අපි ගැන හොයන්නෙ නැත්තෙ කියන එකයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නෙ.

අනුරාධපුරයේම අවුරුදු 25කට අධික කාලයක් දිවි ගෙවූ යාපනයේම තවත් පදිංචිකාරියක් වන්නේ චන්ද්‍රා ප්‍රනාන්දුයි. කාන්තා සංවර්ධන නිලධාරිනියක් වූ ඇය දැන් විශ්‍රාමිකය.

‘යාපනයේ අපි හිටපු ගෙවල් නැති නිසා අපට මෙහෙන් ඉඩම් දුන්නත් දැන් ගෙවල් හදා ගන්න තියෙන පහසුකම් බොහෝම අඩුයි. ලක්ෂ 5ක බඩු අපට දෙනවා. ඒත් වැඩ කුළිය ඒ වගේ දෙගුණයක් යනවා. ගෙවල් දොරවල් නැති වුණු සමහර අයට කීරමලේ වගේ නිවාස ව්‍යාපෘති යුද හමුදා ශ්‍රම දායකත්වයෙන් හදලා දුන්නා. ඒ වුණත් අපට එහෙම උදව්වක් නැහැ. ඒ අතින් අපි ගොඩක් අසරණයි. අඩුම ගාණේ අපටත් ශ්‍රම දායකත්වය හරි දෙනවානම්. ඒක අවුරුදු ගාණක් මේ යුද්ධයෙන් බැටකාපු අපට කරන ලොකු සේවයක් වෙනවා. අපි දැන් සිංහල පවුල් 58ක් නාවක්කුළියේ ඉන්නවා. අපිට මේ පැත්තෙ ඉන්න දෙමළ අයත් එක්ක ඉන්න එක ලොකු සතුටක් . අපි සතියට දවස් දෙක තුනයි එන්නේ. දෙමළ අය තමයි අපේ ගෙවල් දෙරවල් බලා ගන්නේ. ගෙවල් හදන්න ගෙනාපු බඩු මුට්ටු එහෙමමයි. කිසි දෙයක් නැති වෙලා නැහැ.

නාවක්කුළී සිංහල ගම්මානයටම යාබඳව සමුද්ධි සුමන විහාරයද ස්ථාපිත කර ඇත. මේ විහාරස්ථානය ඓතිහාසික කතාවක් සහිතව ඉතිහාස ගතවන බව පසුගිය දිනක අප වාර්තා කළා. චෛත්‍ය හදන්නට අකුල් හෙලූ වාචාකච්චේරිය ප්‍රාදේශීය සභාවට ඒ සඳහා ඉඩ දිය යුතු බවට ද්‍රවිඩ ජාතික විනිශ්චයකාරියක විසින් තීන්දුව ලබා දුන්නේ ආගමික සහජිවනය පවා ඇති කරමිනි.

මේ ජනතාව කියන්නේද එවන් කතාවකි. තවමන් සතියකට දිනක් දෙකක් පමණක් රැදි සිටියත් ඔවුන්ගේ බඩු භාණ්ඩ පරිස්සම් කරන්නේ දෙමළ ජාතිකයන්ය. මේ සිංහල ජනතාවගේ නිවාස හදන්නට මේසන් වැඩ කරන්නේද දෙමළ ජාතිකයන්මය.

වගකිව යුත්තන් බොහෝ දෙනෙක් තවමත් නාවක්කුලිය සිංහල ගම්මානය ඇස් ඇර බලා නැති බව අපට මෙ අයගේ කතාවලින් පැහැදිලිය. ඔවුන්ගේ පාසල් ප්‍රශ්නය කඩිනමින් විසඳිය යුතුව ඇත. එසේම මේ නිවාස සාදා ගැනීමට ශ්‍රම දායකත්වය අකෙතුත් නිවාස තැනීමේදී ලබා දුන් ආාකරයටම නැවත පදිංචි කිරීමේ හා පුනරුත්ථාපන අමාත්‍යාංශය කටයුතු කළ යුතුය.

මේ සියල්ල කළ යුතු වන්නේ ජාතික සමඟිය ආගම දහමට ගරු කරන පිරිස් උතුරේත් දකුණේත් බිහි කළ යුතු නිසාය.

තාරක වික්‍රමසේකර
සේයාරූ සමන්ත වීරසිරි

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.