අන්දරේ කියන්නේ අපේ දරුවන්ට හොඳ වීරයෙක් | සිළුමිණ

අන්දරේ කියන්නේ අපේ දරුවන්ට හොඳ වීරයෙක්

 සාම්ප්‍රදායික ගොවි ගම්මාන ඇසුරේ අපේකම සොයා යන, ඒ පිළිබඳ අධ්‍යයනය කර පොතපත ලියන අතළොස්ස අතර මහින්ද කුමාර දළුපොත නම් වූ ගැමි ලේඛකයාට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි. මේ ජනශ්‍රැති පර්යේෂකයාගේ අලුත් ම ග්‍රන්ථ ද්වයය “ගොවි ගෙදර මෙවලම්” හා “පුංචි අන්දරේ” නොබෝදා එළිදුටුයේ ය. ඔහු හා කෙරෙන මේ සංලාපය ඒ නිමිත්තෙනි.

අද වන විට කොළඹින් බොහෝ දුර බැහැරට ගිය විට මිස මේ අහලින් පහලින් අපට “ගමක්” හමු වන්නේ නැත. එමෙන්ම බොහෝ දුර බැහැර ගම්මානවල වුව අතීතයේ තිබූ තත්ත්වයෙන්ම ඒ පරිසරය ගෙවල්-දොරවල ඇති මෙවලම් දැකිය නොහැකිය. වෙනස් වන සමාජ ක්‍රමයත් සමඟ මේ පිටිසර පරිසරය වුව යම් යම් පමණින් වෙනස් වී ඇත්තේය. ඇතැම් විට ඇතැම් විට අපට එදා ගැමි පරිසරයේ තිබූ බොහෝ දෑ දැකිය හැක්කේ එක්කෝ කෞතුකාගාරයෙනි; නැත්නම් කොග්ගල මහගෙදර පිහිටි මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරයෙනි. බඩු භාණ්ඩ දැකිය හැකි වුවද මේවා පිළිබඳ තොරතුරු දැනගැනීම නම් ගැටලුකි. හේතුව මේ පිළිබඳ පැහැදිලිව දන්නා වැඩිහිටියන් දැන් ජීවතුන් අතර නොසිටීමය. මහින්ද කුමාර දළුපොත මේ ගැටලුවලට විසඳුමක් ලෙස “ගොවිගෙදර මෙවලම් ” කෘතිය සම්පාදනය කරන්නේ වසර ගණනාවක් ඒ පිළිබඳ පර්යේෂණවල නියැළීමෙන් පසුවය. තම කෘතිය පිළිබඳ ඔහු මෙසේ පවසන්නේය.

“කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශනපති උපාධිය සඳහා මම ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ගොවිගෙදර මෙවලම් හා එහි සමාජ භාවිතය පිළිබඳවයි පර්යේෂණ නිබන්ධනය කරන්නේ. මේ සඳහා මට මෙරිට් සාමර්ථ්‍යයක් ලැබුණා. මම මේ පර්යේෂණය සඳහා යොදාගන්නේ ඇහැටු වැව වැව් ගම්මානය. පර්යේෂණය සඳහා තොරතුරු සොයන්න පටන් ගන්නේ දෙදහ වසරේදී. එතැන් පටන් දෙදහස්අට වසර වන තුරුම මම ඒ ගැමියන් හමු වුණා. ඔවුන් දන්නා තොරතුරු එකතු කළා. මේ පර්යේෂණය සඳහා එකසිය විසිපහක කණ්ඩායමක් යොදාගත්තා. මේ කණ්ඩායමට අයත් වුණේ අවුරුදු පණහට වැඩි අය. ඔවුන් සාම්ප්‍රදායික ගම්මානවල ජීවත් වූ අය. ඒ හැරෙන්න මම මූලාශ්‍රය සොයාගත්තේ පොත්පත්වලින් නෙමෙයි.”

තම පර්යේෂණ කෘතිය පිළිබඳව දළුපොත පවසන්නේ එසේ ය. එදා වේවැල්වලින් නිෂ්පාදන කළ කුල්ල, කිරිගොට්ට වෙනුවට දැන් නිවෙස්වල ඇත්තේ ප්ලාස්ටික්වලින් නිපදවන ලද කුල්ලය, කිරිගොට්ටය. ගල් වංගෙඩි වෙනුවට බ්ලෙන්ඩර්, ග්‍රයින්ඩර් ඇත්තේ ය; එමෙන්ම පිත්තල වංගෙඩි මෙන්ම ලී වංගෙඩි ඇත්තේ ය. මේවා නිෂ්පාදනය කැරෙන්නේ කොම්පැනිකාරයන්ට ඕනෑ විදිහටය. නමුදු සාම්ප්‍රදායික ගමේදී නම් ආවාට ගියාට වංගෙඩි සෑදුවේ නැත. “ගොවිගෙදර මෙවලම්” කෘතියේ ඒ පිළිබඳ පැහැදිලිවම ලියා ඇත්තේ මෙසේ ය:

“වංගෙඩි සෑදීම ආවාට ගියාට කරන්නේ නැත. එමෙන්ම අතට අසුවන ඕනෑ ම ගසකින් වංගෙඩි සාදන්නෙත් නැත. කොහොඹ, ලුණුවරණ, බුරුත, කොස්, මිල්ල දැව අරටු මේ සඳහා යොදාගන්නේ. හිසවට වංගෙඩිය යන ජන සම්මත මිම්මට අනුව තමයි වංගෙඩිය සකස් කරන්නේ. වංගෙඩිය සැදීම සඳහා මිම්ම ගන්නේ පුරපසට. අවපසට මිම්ම ගැනීම තහංචියක් හැටියටයි සලකන්නේ. වංගෙඩිය සෑදීමෙන් පස්සේ එය පදම් කිරීම සඳහා කොහොඹ කොළ පොතු කෙටීම සිදු කරනවා. අතීත ගමේ වංගෙඩිය භාවිත කර කෙම් සිදු කර තිබෙනවා. දරුප්‍රසුතිය ප්‍රමාද වන විට “වැදුම් කෙටීම” යනුවෙන් කෙම් ක්‍රමයක් කර තිබෙනවා. කුඹුරු යායට මැසි රෝග බහුල වූ විට “වංගෙඩි කෙම” කර තිබෙනවා. නමුත් අද වන විට මේ සමාජයෙන් මේ ක්‍රම දකින්නට නැහැ.”

දළුපොත පවසන මේ තොරතුරු ඔහුගේ කෘතියේ වඩ වඩාත් පැහැදිලි වේ. වංගෙඩිය පිළිබඳ මේ තොරතුරු ගොවිගෙදර මෙවලම් කෘතියේ (47, 178, 266 පිටු) සඳහන් වේ.

“සාම්ප්‍රදායික වැව් ගම්මාන සංස්කෘතිය තුළ තමයි සොබාදහමට අනුකුලව මිනිසා ජීවත් වූයේ. ඒ වැව් ගම්මානයේ ගොවි ගෙදර තිබුණු සාම්ප්‍රදායික මෙවලම් ගැන තමයි මම මේ කෘතියෙන් ලිව්වේ. අපට අස්පර්ශනීය හා ස්පර්ශනීය උරුමයන් තිබෙනවා. මෙවලම් කාලයත් එක්ක නවීකරණය වෙනවා. ස්පර්ශ මෙවලම් නවීකරණය වෙනවා කියන්නේ ඒහා බැඳී තිබෙන අස්පර්ශනීය දේත් සාම්ප්‍රදායික දේත් එක්ක අතහැරෙනවා කියන-එක. උදාහරණයක් ලෙස, අපේ අම්මලා තුන්වේලට බත් උයන කොට හාල් මිටක් අයින් කරනවා. මේක අයින් කරන්නේ මුට්ටියකට. මේ මුට්ටියට කියන්නේ මිටි හාල් මුට්ටිය කියලා. මේ හාල් භාවිත කරන්නේ යම් පින්කමකට, නැති බැරි කෙනකුට දෙන්න ආදි වශයෙන්. හාල් මිට අයින් කරන කොටම අම්මගෙ හිතේ ඇති වෙන්නේ දානමය හැඟීමක්; පින් සිතුවිල්ලක්. ගෙදර කෑම පිළියෙල කරන-එකත් දානයක් වගේ කටයුත්තක්. ආහාරවල රසය වගේම ගුණයත් තිබෙනවා. ආහාරවල ගුණය වැඩි වෙන්නේ අම්මාගේ හිතේ ඇතිවන පින් සිතුවිල්ලත් සමඟයි. නමුත් අද ගෙවල්වල මිටි හාල් මුට්ටිය කියන-එක නැහැ...

“මේවා වැව් ගම්මානවල තිබුණ දෙවල්. එදා මිනිස්සු සරල මෙවලම් භාවිතා කළේ. ගොවියයි ගෙවිලියයි තමයි ඒ කියන්නේ ස්වාමියයි බිරියයි තමයි තමන්ට අවශ්‍ය දේ නිෂ්පානය කර ගත්තේ. ඇඹරුම් ගල, මිරිස් ගල, කැත්ත, උදැල්ල, වළං හදාගත්තේ කම්මලෙන් - කුඹල්කාරයන්ගෙන්. අනෙක් සියල්ල ඔවුන් විසින්මයි හදාගත්තේ. ගැමි ගෙදර මෙවලම් පිළිබඳ හඳුන්වා දෙන අතරේ ඒ රූපසටහන් පෙන්වන අතරේ ඒ හා බැඳුණු සංස්කෘතියත් කියාදීමේ හඳන්වා දීමේ අරමුණත් මට තිබුණා. ඒ සියල්ල ඇතුළත් කර තමයි ගොවිගෙදර මෙවලම් කෘතිය ලියැවුණේ.”

ගැමි පරිසරය ගැමි සංස්කෘතිය පිළිබඳ බොහෝ දේ සොයන කතාබහ කරන, ලියන මහින්ද කුමාර දළුපොත අපේ ජනශ්‍රැතිය හා බැඳුණු යොවුන් නවකතාවක්ද ලියා ඇත්තේය. එය නම් කර ඇත්තේ “පුංචි අන්දරේ” නමිනි. රජවාසල කවටයා නමින් අතීතයේ සිට ප්‍රකටව සිටින අන්දරේ චරිතය අදද අප දකික්කේ විහිළුකාරයකු ලෙසිනි. නමුදු බොහෝ ජන මූලාශ්‍රය ඔස්සේ අන්දරේ පිළිබඳ අධ්‍යයනය කරන දළුපොත “පුංචි අන්දරේ” යොවුන් නවකාවෙන් අපට අන්දරේ හඳුන්වා දෙන්නේ ස්ථානෝචිත ප්‍රඥාවන්තයකු ලෙසය. මේ කෘතියේ සුවිශේෂත්වය නම් ලේඛකයා කිසිම විටෙක අන්දරේ මෙන්න මේ වගේ යැයි කියා කියවන්නාට චිත්ත රූප මවාගැනීමට ඉඟි සපයන්නේ නැත. “පුංචි අන්දරේ” කියවන ඕනෑම කෙනකුට තම සිතැඟි අනුව අන්දරේගේ රූපය මවාගැනීමට හැකි ය. “පුංචි අන්දරේ” යොවුන් නවකතාව සම්බන්ධයෙන් දළුපොතට ඇත්තේ මෙවැනි අදහසකි:

“රටේ ප්‍රචලිත දෙයක් තමයි අන්දරේ රජවාසල කවටයෙක් කියන-එක. ඒත් මම මෙතෙක් හඳුනාගත් සාධක අනුව ඒ පවතින මතය බැහැර කරනවා. අද අපේ ළමයි පිටරට වීරයන් හොයාගෙන යන්නේ. ඒත් අපේ රටේ වීරයෝ ඉන්නවා. අන්දරේ කියන්නේ අපේ දරුවන්ට හොඳ වීරයෙක් හැටියටයි මම දකින්නේ. අන්දරේ කියන්නේ කවටයෙක් නොවෙයි. ඔහු ස්ථානෝචිත ප්‍රඥාවන්තයෙක්. අන්දරේගේ යොවුන් විය මම ගොඩනගන්නේ ජන මූලාශ්‍රය ඔස්සේ. අන්දරේ කියන්නේ අපට අපේ සංස්කෘතිය විසින් ගොඩනගපු කෙනෙක්.”

මහින්ද කුමාර දළුපොත “පුංචි අන්දරේ” ලියා ඇත්තේ ඉතා සරල භාෂා රටාවකිනි. ස්පයිඩර් මෑන්, රජ ඉබ්බෝ... ආදි වශයෙන් කාටූන් ලෝකයේ වීරයන් ද, හැරී පෝටර්ලා ද සොයා යන දඟකාර දරුවන්ට “පුංචි අන්දරේ” අලුත් අත්දැකීමක් වනු ඇත.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.