සාහිත්‍ය ගිනි කෙළිය | සිළුමිණ

සාහිත්‍ය ගිනි කෙළිය

සාහිත්‍ය මාසය සාහිත්‍යකරුවන්ට සුබදායක සමයක් ලෙස සැලැකේ. ඊට හේතුවක් වන්නේ රාජ්‍ය සම්මාන, ස්වර්ණ පුස්තක සහ ගොඩගේ සම්මාන ඇතුළු ජාතික මට්ටමේ සම්මාන උලෙළ කිහිපයක් පැවැත්වීම ඔස්සේ සාහිත්‍ය කෘති ඇගැයීමට ලක්වීම ය. එම කෘතිවලට පාඨක ඉල්ලුමක් ඇති වීම නිසා ප්‍රකාශකයන්ට ද ලේඛකයන්ට ද සතුටු විය හැකි ය.

සාහිත්‍යයෙහි අරමුණ පාඨකයාගේ භාවමය ලෝකයට ඇතුළු වී ජීවිත පරිඥානය පුළුල් කිරීම ය. එසේ හෙයින් එය වින්දනය මඟින් පාටක මනස විකසිත කරවීමේ අපූරු මාර්ගයකි.

මිනිස් හදවතෙහි සද්ගුණය වර්ධනය කිරීම සාහිත්‍යයේ අරමුණකි. එය සිදුවන්නේ ජීවිතාවබෝධය පුළුල් වීම ඔස්සේ ය.

එදා ආගමෙන් සිදු වූ දේ අද සාහිත්‍යයෙන් ඉටුවන්නේ නැයි ඉංග්‍රීසි විචාරකයකු වන මැතිව් ආනෝල්ඩ් පැවසුවේ එ නිසා ය. මිනිස් දිවිය අර්ථවත් කර ගැනීම උදෙසා සාහිත්‍යයෙන් කෙරෙන කාර්යය සුළුපටු නොවන බව මෙයින් පෙනේ. එසේ වුවත් සාහිත්‍ය මාසයෙහි සිදු වන ඇතැම් සිදුවීම් සාහිත්‍යයෙහි උදාර බව පළුදු කරන බව පෙනෙන්නට තිබේ. මෙහි දී ජනමාධ්‍යයෙහි භූමිකාව කැපී පෙනේ.

ජනමාධ්‍ය බොහෝ විට කුණු අවුස්සන්නාගේ කාරිය ඉටු කරයි. මේ අනුව සාහිත්‍ය මාසයෙහිදී ජනමාධ්‍යවේදියා ද සාහිත්‍ය කුණු ඇවිස්සීමට පෙලඹෙයි. කුණු ඇවිස්සීම පුවත්පත පාඨකයන් අතරට යැවීමේ කෙටි මගකි. මෙහි දී සාහිත්‍ය සම්මානය ද අඩයාළමක් කර ගනිති.

සාහිත්‍ය සම්මානයක් හිමි වීම ලේඛකයාගේ පාර්ශ්වයෙන් අසිරිමත් සිදු වීමකි. සම්මාන අපේක්ෂාවෙන් සිට එය නොලැබූ ලේඛකයා සෝකයට පත් වෙයි. සම්මානය ලද පුද්ගලයා පිළිබඳ ද්වේෂයෙන් පසුවන්නෝ ද මේ අතර වෙති.

ගොඩගේ සහ රාජ්‍ය සාහිත්‍ය කමිටුවල දීර්ඝ කලක් කටයුතු කළ අයෙකු වශයෙන් මේ සම්බන්ධයෙන් කනගාටුදායක අත්දැකීම් මෙන් ම සතුටුදායක අත්දැකීම් ද මට ඇත.

වරක් හොඳම ගීත රචනා එකතුවට නිර්දේශ වී සිටි ප්‍රසිද්ධ රචකයෙක් රාජ්‍ය සම්මානය නොලැබීමෙන් කෝපයට පත් විය.

ඔහු විවිධ නම්වලින් පෙනී සිටිමින් ජාතික පුවත්පත් කිහිපයක සාහිත්‍ය පිටු මඟින් සාහිත්‍ය අනුමණ්ඩලයට පහර දුන්නේ ය. සමීක්ෂණ වාර්තා නැවත පිරික්සා බැලු විට පෙනී ගියේ ග්‍රන්ථ විනිශ්චය සඳහා පත් කළ බාහිර සමීක්ෂණ කණ්ඩායම් තුන ම නිවැරැදි ව කටයුතු කර සුදුසු ම කෘතිය තෝරා ඇති බව ය.

සම්මානය සඳහා තම කෘතිය නිර්දේශ වුව ද වෙනත් කෘතියකට සම්මානය හිමි වීම නිසා කිපුණු නවකතාකරුවකු සාහිත්‍ය පිටු ඔස්සේ සමීක්ෂණ මණ්ඩල පතුරු ගැසීමේ අශිෂ්ට සම්ප්‍රදායක් ගොඩ නඟමින් සිටින අයුරු අපි දකිමු. මෑතක සිට ඔහු මේ කටයුත්ත සඳහා බුද්ධ චීවරයට නිගා දෙමින් හැසිරෙන කහකඩයකු ද අඩයාළමක් කර ගනිමින් සිටිනු පෙනේ.

මුළු වසර පුරා ම කිසිදු සාහිත්‍ය කෘතියක් පිළිබඳ විචාරයක් නොලියූ පිටු සංස්කාරකවරු ද සාහිත්‍ය මාසයේ ගල් පෙරළන්නන් හට තම පිටුවල ඉඩ වෙන් කරති.

කුමන හෝ සම්මාන කමිටුවකට ඇතුළත් කර නොගැනීම නිසා සම්මාන කමිටු සාමාජිකයන් සමඟ වෛරයෙන් පසුවන දෙතුන් දෙනෙක් ද සිටිති. ඔවුන්ගේ කාරිය වන්නේ සම්මාන උලෙළවලින් පසු ව කමිටු සාමාජිකයන් පතුරු ගැසීම ය. ඔවුන්ගේ සුදුසුකම් වේලාපත්කඩයේ සිට සොයා බැලීමක් ද කෙරේ. බැරි වෙලාවත් සම්මාන කමිටු සාමාජිකත්වයක් හිමි වුවහොත් අර ඝෝෂාව නවත්වා දමා කරබාගෙන වැඩ කිරීම ඔවුන්ගේ සිරිත ය.

එවිට ඉතිරි වී සිටින විවේචකයන්ගෙන් ඔවුහු ද බැට කති.

සාහිත්‍ය මාසයෙහි විවිධ පුද්ගලයන්ට එරෙහි ව කැලෑ පත්තර ගැසීම ද සමහර විට සිදු වේ. කලින් කල තැපෑලෙන් ලැබුණු එවැනි කැලෑ පත්තර කිහිපයක් මේ ලියුම්කරු සතු ය.

මෙහි දී පුවත්පත් සාහිත්‍ය පිටු සංස්කාරකවරුන්ගේ වගකීම විය යුත්තේ පොත්වල හැඳින්වීමක් පළ කිරීමට අමතර ව හොඳ සාහිත්‍ය කෘතියක් පළ වූ විට ඒ ගැන විචාරයක් පළ කිරීම ය. සමීක්ෂකයෝද පාඨකයෝ ය. සමීක්ෂණය සඳහා පොත් කියවීමට සීමා නොවී පුවත්පත්වල පළවන විචාර කියවීමේ අවස්ථාව ද එවිට ඔවුන්ට ලැබේ.

තෝරාගත් විචාරකයන්ට පොත් යවා විචාර ගෙන්වා පළ කිරීම ද සාහිත්‍ය පිටු සංස්කාරකවරුන්ගේ වගකීමක් විය යුතු ය. මුළු වසර පුරා එබඳු ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කළ විට වසරක් තුළ දී පළ වූ උසස් ගණයේ හා අවර ගණයේ කෘති පිළිබඳ කතිකාවතක් පාඨක ලේඛක සමාජයෙහි ගොඩ නැ‍ඟේ. එවිට සම්මාන පොරයෙහි කොටස්කරුවකු වීමේ පාපයෙන් පිටු සංස්කාරකවරුන්ට නිදහස් විය හැකි ය.

සාහිත්‍යයේ ගිනි ඇවිළීම සඳහා සැප්තැම්බරය තෙක් බලා සිටින සාහිත්‍ය විදූෂකයන් දෙතුන් දෙනකු සිටින බව කලක් තිස්සේ ලද අත්දැකීම් අනුව අපට පෙනී යයි. ඔවුන් තරම් සාහිත්‍ය දන්නා පිරිසක් මේ දූපතෙහි මතු නොව ලෝක ධාතුවෙහි ම නැත.

ඔවුන්ගෙන් ඇසිය යුතු පැනය වන්නේ ඔබලා අවුරුද්ද පුරා ම නිවාඩු ලබා සිටියේ ද යන්න ය. මෙය අශිෂ්ට පුරුද්දකි. කුඩුකේඩුකම, කුහකකම, හීනමානය, උද්දච්චකම, නැහැදිච්චකම සහ අශිෂ්ටත්වය මිස සාහිත්‍ය රසිකයකු, විචාරකයකු තුළ පිහිටිය යුතු සංයත බව, මැදහත් බව තුලනාත්මක දැනුම සහ ශිෂ්ටත්වය ඔවුන්ට නොමැති බව පැහැදිලි ය.

ලොව කිසිදු සම්මාන උලෙළක් සියලු දෙනා තෘප්තිමත් වන තීන්දු ලබා දීමට සමත්ව නැත. නොබෙල් තෑග්ගට ද එය අදාළය. විවේචන අඩුවෙන් ම එල්ල වන සම්මාන ප්‍රදානයක් මිස විවේචනය නොමැති සම්මාන ප්‍රදානයක් කිසිදා තිබී නොමැත.

එසේ වුවද සාහිත්‍ය ගැන නොදන්නා අය අරක්කු බෝතලයට හෝ වෙනත් වරදානවලට සම්මාන තෝරන බව කීම තරම් අමනකමක් තවත් නොමැති බව, රාජ්‍ය, ගොඩගේ සහ ස්වර්ණ පුස්තක සම්මාන කමිටුවල සාමාජිකයෝ දනිති.

සම්මාන කමිටුවල අඩුපාඩු නැතැයි කීමට මම ඉක්මන් නොවෙමි. සැලකිල්ලට ගත යුතු ප්‍රශස්ත කෘතියක් ගිලිහී තිබේ නම් ඒ පිළිබඳ සාධක සහිත ව කරුණු දැක්වීමේ අයිතිය පිළිගත යුතු ය. එහෙත් අවාසනාව වන්නේ එය එසේ නොවී වෙන වෙන කරුණු ඉස්මතු වීම ය.

ප්‍රශස්ත කෘතියක් හැලී යෑම කෙරෙහි බලපාන එක් කරුණක් සඳහන් කරමි. මා දන්නා තරමින් විද්‍යොදය සම්මාන හැර අනෙක් සම්මාන උත්සවවලදී ග්‍රන්ථ තෝරා ගැනීම සිදු කරනු ලබන්නේ සමීක්ෂණ මණ්ඩලයක් මඟිනි. රාජ්‍ය සාහිත්‍ය සම්මානයේදී බාහිර සමීක්ෂණ මණ්ඩල තුනක් මඟින් කෘති තෝරා ගැනීම සිදු වේ. පියවර 1, 2, 3 වශයෙනි. අවසන් සමීක්ෂණ මණ්ඩලයේ වාර්තාව සාහිත්‍ය අනුමණ්ඩලය අතට පත් වේ. මෙය මා දන්නා විධිමත් ම ක්‍රමයයි. එහෙත් එහිදී ද අඩුපාඩු සිදුවිය හැකි ය.

සමීක්ෂණ මණ්ඩල සමන්විත වන්ෙන් ද එම විෂය පිළිබඳ ප්‍රාමාණිකයන් විසිනි. එබඳු අවස්ථාවලදී සමීක්ෂණ මණ්ඩලයේ තීන්දු වෙනස් කිරීමේ හැකියාවක් නොමැත. අදාළ වර්ෂයේ කවි පොත් සියල්ල කියවා තිබූ මහාචාර්ය අනුර වික්‍රමසිංහ ද මා ද සමීක්ෂණ වාර්තාවෙන් සසල වූ නමුත් කළ හැකි දෙයක් නොවී ය.

විනිශ්චය මණ්ඩලයක බහුතරය ගන්නා තීන්දුවට එම විනිශ්චය මණ්ඩලයේ ම සුළුතරය විරුද්ධ වුව ද ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම අනුව බහුතරයේ මතය පිළිගැනීමට සිදු වේ.

මේ කිසිවක් නොදන්නා විවේචකයෝ විනිශ්චය මණ්ඩලවලට ද සම්මාන කමිටුවලට ද ද්වේෂයෙන් පහර දෙති.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.