සිංහල ප්‍රශස්ති කාව්‍ය හා එම කෘතීන්ගේ ඓතිහාසික වටිනාකම | සිළුමිණ

සිංහල ප්‍රශස්ති කාව්‍ය හා එම කෘතීන්ගේ ඓතිහාසික වටිනාකම

 

ප්‍රාචීන රටවල රජවරුන්ගේ රාජසභාවල විශේෂ අංගයක් හැටියට වන්දිභට්ටයන් ගණන් ගත හැකියි. සංස්කෘත මහා කාව්‍යයන්ගේ එක ලක්ෂණයක් නම් නායකයාගේ වර්ණනායි. බොහෝ මහා කාව්‍යවල නායකයා රජ කෙනෙකි. එම නිසා නායකයාගේ වර්ණනාවෙන් ඇතැම් රජදරුවන් හා ඔවුන්ගේ කාල පිළිබඳ යම් කරුණු දැනගන්ට හැකි වෙයි. තවත් සංස්කෘත පැරැණි ලිපි අතර ප්‍රශස්ති නමින්ම හඳුන්වන ලිපි කොටසක් ඇත. එසේම සන්නස් ආදි රාජකීය ලිපිවල ආරම්භය ද ප්‍රශස්ති මුඛයෙන් ලියා තිබේ. ලංකාවේ පැරැණි ලිපිවල ද ගුණ වර්ණනා වශයෙන් කළ ආරම්භ වාක්‍යයන්ගෙන් ඇතැම් තැන ඉතිහාසගත කරුණු දැනගන්ට පුළුවන් වේ. කීර්ති නිශ්ශංකමල්ල රජුගේ ලිපිවලින් එම රජුගේ පරම්පරාව පිළිබඳ කරුණු සොයාගන්ට පුළුවනි.

සිංහල සාහිත්‍යයේ ප්‍රශස්ති නමින් දැන් හඳුන්වන්ට පටන්ගෙන ඇත්තේ වෙන වර්ගයක ප්‍රබන්ධ විශේෂයක්ය. එනම් රාජ සභාවලදී යුද්ධයට ගිය විට යුද්ධ කඳවුරුවලදී වන්දිභට්ටයන් නැට්ටුවන් වාදකයන් නාටිකාවන් ආදීන් විසින් රජවරුන් හා තවත් ප්‍රභූ ජන ප්‍රධානීන් ඉදිරියේ කියන ලද කවි සින්දු සිවුපද ඇතුළත් කෘතීන් කොටසක්. මෙම රචනා ඇතුළත් පොත්වලට ප්‍රශස්ති කියා කීම අලුත් පුරුද්දක්. මේ පොත් “ශ්‍රීනාම” “පවත” යන නම්වලින් අඳුනාගත් බව කලකට ඉස්සර කළ පොත් නම් ලැයිස්තු අත්පොත්වල නම් ලියූ තැන් ආදියෙන් දැනගන්ට ලැබේ. එහෙත් මෙම ලිපියෙහි අපිත් “ශ්‍රීනාම” “පවත” යන නම් වෙනුවට “ප්‍රශස්ති” යන නමම යොදමු.

විශේෂයෙන් යුද්ධ වර්ණනා කියන රචනාවන්ට “හටන්කවි පොත්” යයි නම්කර ඇත. මෙම රචනාවලත් සටනට ගිය රජවරුන්ගේත් ජනපතිවරුන්ගේත් වර්ණනා ඇතුළත් නිසා ඒවා ද අපේ ප්‍රශස්ති කාව්‍ය ගණයටම ඇතුළත් කරන්ට පුළුවන.

දඹදිව නොයෙක් රටවල භාෂාවන්හි ඓතිහාසික ග්‍රන්ථයන්හි විරලතාව බැලුවාම සිංහ­‍ෙලහි ඓතිහාසික සාහිත්‍ය ස්වල්ප වෙන්නේ නැත. වංසකථා පොත් රාජාවලි කඩයිම් විත්ති පොත් ආදි ලක්දිව හා සිංහල ජනයාගේ ඉතිහාසය පිළිබඳ කරුණු හොඳින් දැනගත හැකි පොත් රාශියක්ම අපට ලැබී තිබේ. එසේම කාව්‍ය ග්‍රන්ථ සන්දේශ කාව්‍ය ආදියෙනුත් ඉතිහාසය උදෙසාම කළ කෘතීන්ගෙන් දැනගන්ට නුපුළුවන් කරුණු බලාගන්ට ලැබේ. අපේ ප්‍රශස්ති කාව්‍යයන්ගෙනුත් එම කාව්‍යයන්ට නායක වූ රජදරුවන් ජන ප්‍රධානීන් සෙන්පතීන් ආදීන් ගැනත් ඔවුන් කළ යුද්ධ ගැනත් කරුණු දැනගන්ට ලැබෙනවා පමණක් නොව ඔවුන් විසූ කාලවල මිනිසුන්ගේ ජිවිතය පිළිබඳවත් ඔවුන්ගේ කෑම් බීම් ඔවුන් පාවිච්චි කළ ආයුධ ආදි දේ ගැනත් නොයෙක් වැදගත් සාක්ෂි සොයාගන්ට හැකි වේ. එහෙත් අතිශයෝක්තියෙන් බන්ධනය කළ ගුණ වර්ණනා අතර මෙම ඓතිහාසික කරුණු හෝ ඉතිහාසයකට සාක්ෂි වන කරුණු සොයා ගැනීම කළ හැක්කේ බොහෝ සේ පරීක්ෂාකාරීව විමර්ශන බුද්ධියෙන් යුක්තව එම පොත් හැදෑරීමෙනි.

අපට ඉතුරුව තිබෙන පොත් අතුරෙන් පැරැණිතම ප්‍රශස්ති කාව්‍යය හැටියට ගණන් ගනු ලබන්නේ ක්‍රිස්තු වර්ෂ 1410 යෙදී පමණ රයිගම ප්‍රදේශයෙහි රජයට පැමිණ වර්ෂ 1412 හේ සිට 1468 දක්වා ජයවර්ධන කෝට්ටේ රජ කළ ශ්‍රී පරාක්‍රමබාහු මහරජතුමාණන්ට ස්තූති මුඛයෙන් බැඳපු කවි සිවුපද සින්දු ඇතුළත් පැරැකුම්බා සිරිතයි.

පැරැකුම්බා සිරිතේ එන කීම්වලින් පැරැකුම්බා රජුගේ රාජ සභාව පමණක් නොව එම රජුගේ පෙළපත එම රජු රජය තහවුරු කරගැනීමට ප්‍රදේශ රජුන් හා කළ යුද්ධ රජුගේ පාණ්ඩිත්‍යය යනාදි කරුණු රාශියක් පිළිබඳව සමකාලීන වූ වෙන ලියවිලිවල කියන කරුණු සම්මත වෙනවා පමණක් නොව විශේෂ අමුතු කරුණු ද දැනගත හැකි වෙයි. එයින් ස්වල්පයක් සම්බන්ධයෙන් විමසා බලමු.

පොත පටන් ගැන්මේදීම (9 වන සිවු පදයෙහි පටන්) ඉතිහාස පුරාවෘත්ත පුරාණ ආදිය පිළිබඳ දේ ගෙනහැර දැක්වීමෙන් රාජ සභාවේ එබඳු දේ ගැන දැනීමත් එකල රාජධානියේ ඇතිවූ සාහිත්‍ය දියුණුවේ තත්ත්වයත් පිළිබිඹු කරයි. මෙම එක පෙළේ අක්ෂර දහඅටකට වැඩි වූ සිවුපද විස්සෙන් රජ පෙළපතේ ඉතිහාසය අති සංක්ෂෙපයෙන් කියන්නේ සිංහලද්වීපයේ පුරාවෘත්තය විශේෂ තැන් අත්නොහැර හකුළුවාගෙනය. මෙහි වංසකථාවල නොකියන ප්‍රවෘත්ති ද ඇත. ඉන් එකක් නම් ගජබා රජුගේ කථාවයි. පද්‍යයෙන් වුවත් ඒ කථාව පූජාවලියේ 34 වන පරිච්ඡේදයේ කියනවාටත් වඩා විශේෂ විස්තරයක් ඇතුව කියා තිබේ. එනම් ගජබාහු රජ්ජුරුවන් සොළී රට ගියේ මාවටුපුරෙන් පිටත්වීයයි කීමයි. අප්‍රකට විස්තර ද මෙම කෙටි ඉතිහාස කථාවේ එයි. බුද්ධඝෝෂ මහඅටුවා ආචාරීන් වහන්සේගේ කාලයේ සිරිලක රජ කළේ මහානාම රජු බව අපි දනිමු. එහෙත් මෙම රජ්ජුරුවන්ට ඇතැම් අටුවාපාඨ අවසානයන්හි එන ශ්‍රීනිවාස යන නාමය ද ඇතිවූ බව අප්‍රසිද්ධ කරුණකි. සිරිකුඪඩ යන නාමය ධම්පියා අටුවාවේ හා ධම්පියා අටුවා ගැටපදයේ එයි.

 

සු ග ත් හට මෙන් පුදා වැඳැ නිති
ලියවමින් අටුවා දහම් වැඩි
දි ග ත් හෙබවී යසින් මහනම්
සිරි නිවෙස් නම් කුමරු ඔද වැ ඩි (22)

කුමාරදාස රජ ගැන කියන විට මහාවංස, පූජාවලී, රාජාවලි යන පොත්වල නැතිම වැදගත් කරුණක් කියත්. එනම් එම රජ විසින් ජානකීහරණ නම් මහා කාව්‍යය කළ බවයි. සිංහල රජ කෙනෙක් වේවා හෝ නොවේවා කුමාරදාස නම් සිංහල කවියෙක් විසින් ජානකී හරණ නම් මහා කාව්‍යය කළ බව දැන් දනිමු. එහෙත් මහාවංශයෙහි කුමාරදාස රජුගේ කවිත්ත්වයක් පිළිබඳව පමණක්වත් සඳහන් වී නැත. එහි කියන්නේ මෙපමණයි. “ඒ මුගලන් රජ ඇවෑමෙහි කුමාර ධාතුසේනයයි ප්‍රසිද්ධ උහු පුතෙක් දෙවියන් සමාන රූ ඇත්තේ මහා බල ඇති රජෙක් විය. පියහු විසින් කරවන ලද වෙහෙර නවකම් කළේය. දහම් සඟායනා කරවා සස්න පිරිසිදු කෙළේය. සිවුපසින් මහසඟහු පිණවී. නොයෙක් පින්කම් කොට නවවෙනි වස මෙළේය” (40 වන පරිච්ඡේදය 2-3) පූජාවලියේ 34 වන පරිච්ඡේදයේ කියන්නේ මෙසේය: “(මුගලන්) රජ පිත් කුමාරදාස රජ මහ පඬිව නව හවුරුද්දක් රාජ්‍යය කොට කාලිදාස නම් යහළුවා මළ දා තෙමේද ගිනි වැද පරලෝ ගිය.” රාජාවලි පාඨයත් ඊට සමානය. “(මුගලන් රජ) පුත් කුමාරදාසෙන් රජ මහා පණ්ඩිතව නව අවුරුද්දක් රාජ්‍යය කර කාලිදාස යහළුවා මළ ගිනිමැලයට පැන යහළුවා නිසා මිය පරලොව ගියේය.” එහෙත් පැරැකුම්බා සිරිතෙහි එන:

 

වෙහෙ ර දසටක් පුරා කරවා දසඅටක් මහවැව් බැඳී
ව ස ර එකදා බිසව් අබිසෙස් මහණුවම් තෙමගුල් යෙදී
ඇ ජ ර කිවිවර පිනින් ජානකිහරණ ඈ මහකව් බැඳී
කු ම ර දස් රජ කාලිදස් නම් කිවිඳුහට සියදිවි පිදී

(23)

ඓතිහාසික වැදගත් කරුණක් වශයෙන් මෙයින් දැනගත හැක්කක් නම් කෝට්ටේ ශ්‍රී පරාක්‍රමබාහු රජුගේ කාලයේදී කුමාරදාස මහරජ මහ කිවියෙක් හැටියට ගණන්ගෙන තිබුණා පමණක් නොව එම කාලයේදී ජානකීහරණ කර්තෘ හැටියට ද ගණන් ගෙන තිබූ බවයි. මෙම කාලයේදී කුමාරදාසගේ ජානකීහරණය පමණක් නොව එම කිවියන්ගේ ශ්‍රීඝනනන්ද නම් කාව්‍යයත් ලංකාවේ තිබූ බවට සාක්ෂි ආචාර්ය සෙනරත් පරණවිතාන මහතා විසින් ළඟදී එළිදරව් කර ඇත.

මහලු විජයබාහු රජුගේ රුහුණුරට මහානාගපුරය හා සම්බන්ධය ද ලක්දිව සොළීන් වසඟව තිබූ විත්තිය ද එරජගේ රජ කාලය ද එක සිවුපදයෙන් කියත්.

 

සසිරි මානාවුලුපුරෙයි ඉඳුපරපුරෙන් ආ පරසිදු
සොළින් වසඟව තිබූ රට ගෙන එ සානූවක් අවුරුදු
මුනිසසුන් රට වවා අමුතුව මනුරජෙව් පිළිවෙළ සැදු
එ සිරිසඟබෝ විජයබා රජ විසී පස්පන සවුරුදු

(25)

ශ්‍රී පරාක්‍රමබාහු රජුගේ දෙමවුපියන්ගේ කුල පරම්පරාව ද එරජ පළමුව රයිගම්පුර රජ කළ විත්තිය ද නොයෙක් ප්‍රදේශ රජවරු මැඬ පවත්වා ලක්දිව රජ පැමිණි බව ද කියත්.

සිවුපද තුනකින් (48 - 50) පැරැකුම්බා මහරජ ජෝතිය සිටාණන් ද පරාක්‍රමබාහු ඈපාණන්ද පම්පල කුමාරයා ද ජයගත් හැටි කියයි. මේ කීම් සමකාලීන සෙල්ලිපි හා සන්දේශ කාව්‍යයන්ගේ එන කීම් තහවුරු කරයි. තවත් දුරට (51 - 53) සන්දේශ කාව්‍යවල හා අන් ලිපිවල කියන තැන් ද සනාථ කරමින් කර්ණාටික සෙනඟ මර්දනය කළ අන්දම ද ආර්ය චක්‍රවර්තීන් ජයගත් හැටි ද සොළී රටට ගොස් “කුරූඩයන් මාලවරායර්” පැරදූ වගද කියත්. තවත් සිවුපදයක (72)

ස වු ළු ළ ක ළ දඹදෙණිපුර පැරැකුම්බුජ රාජ රත්න
මෙමු ළු ලොව ට පුවතර විය වීරරාජ සිරෝ රත්න

 

යයි කීමේදී පරෙවි සන්දේශයේ (34)
දඹදෙණි අලකපුර වැසි දිනිසුරු විලස
ලොබවත මෙරජ වෙතැ සරසවි සිරි නිවෙස

යන තැන කීමෙන් මේ රජුගේ දඹදෙණිපුරය හා යම් සම්බන්ධයක් ඇතිවූ බවක්ද කියත්.

මේ ලිපියේ ඉතිරි කොටස ලබන සතියේ පළ කෙරේ

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.