සිනමා විචාර කෘති ලිවීම ඉතා අසීරු කාර්යයක් | සිළුමිණ

සිනමා විචාර කෘති ලිවීම ඉතා අසීරු කාර්යයක්

• ලාංකේය සිනමා ඉතිහාසයේ වසන්ත ඔබේසේකරයන් ඔබ ස්ථානගත කරන්නේ කෙබඳු ස්ථානයක ද?

ඔහු ලාංකේය සිනමා ඉතිහාසයේ සංධිස්ථාන හතරක මා ස්ථානගත කර තිබෙනවා. 1970 වන දශකයේ සමාජ සහ දේශපාලන ප්‍රසාරණ ග්‍රහණය කරගත් සිනමා පට මාදිලියක් බිහි වෙනවා. ඒ අනුව සිනමා පට මාදිලියේ ප්‍රමුඛ සිනමාකරුවකු ලෙස ඔහු ස්ථානගත කරන්න පුළුවන්. ඉන් අනතුරුව 1980-90 දශකය වන විට ආසියාතික ස්ත්‍රියගේ ලාංකේය භූමිකාව සිනමානුරූපීව ඉදිරිපත් කරන්නේ කෙසේද යන කාරණාව පිළිබඳව කථා කරන සිනමාකරුවකු ලෙස ඔහු ස්ථානගත කරන්නට පුළුවන්. ඉන් අනතුරුව විශේෂයෙන් ම ආසියානු සමාජයේ මිනිසුන් අතර ඇති මානව සම්බන්ධතාවල අභ්‍යන්තරයේ ඇති සංකිර්ණ මුහුණුවර සිනමාව යන ප්‍රකාශන මාධ්‍යයෙන් ඉදිරිපත් කරන්නේ කෙසේ ද යන කාරණාව පිළිබඳව කථා කරන්නේ කෙසේ ද? කියන කාරණාවේදී තවත් තැනක ඔහු ස්ථානගත කරන්න පුළුවන්. ඉන් අනතුරු ඔහු තවත් අදියරකට පැමිණෙනවා. ඒ අදියරේදී අවාසනාවකට මෙන් එක් චිත්‍රපටයක් පමණයි, නිෂ්පාදනය කිරීමට හැකි වන්නේ. ඒ 'ආගන්තුකයා' කියන චිත්‍රපටයයි. ඔහුට සිව්වන අදියරේදී තවත් චිත්‍රපට නිර්මාණය කරන්නට හැකි වුණා නම් සිනමා කර්මාන්තයේ කැපී පෙනෙන සිනමා කරුවකු බවට පත් වෙනවා, මෙන්ම ලාංකේය සිනමාව වෙනස් මඟකට රැගෙන ගිය යන නිර්මාණකරුවකු ද වනවා නිසැක යි‍.

• ඔබ මේ සිනමාකරුවා ජිවතුන් අතර සිටින කාලයේදී මෙවැනි කෘතියක් නිර්මාණය නොකළේ ඇයි?

මම මේ කෘතිය ලියා නිම කළේ මීට වසරකට පෙරාතුවයි. ඔබේසේකරයන් පිළිබඳ මේ කෘතිය සම්පාදනය කිරීමට පෙර මම සිනමාකරුවන් කිහිප දෙනකු පිළිබඳ කෘති කිහිපයක් ලියා නිම කළා. ආචාර්ය ධර්මසේන පතිරාජ, එච්.ඩී. ප්‍රේමරත්න, ලෙනින් මොරායස් වැනි සිනමාකරුවන් කිහිප දෙනකු පිළිබඳ මා කෘති සම්පාදනය කළා. ඒ ග්‍රන්ථ සම්පාදනය කිරීමේදී අදාළ පුද්ගලයා සමඟ විශාල කුලුපග ඇසුරක් පැවැත්වූයේ නැහැ. මගේ ග්‍රන්ථයට අවැසි කරුණු පමණයි මා ඒ අදාළ පුද්ගලයන්ගෙන් ලබාග‍ත්තේ‍. වසන්ත ඔබේසේකරයන් සමඟ මට ඔහු පිළිබඳ ලියන ලියවිල්ලේදී අමුද්‍රව්‍ය සපයාගැනීමට වත්, ඔහු සමඟ කථා කිරීමට වත් අවස්ථාව ලැබුණේ නැහැ. අවාසනාවකට මෙන් ග්‍රන්ථය ප්‍රකාශයට පත් වන්නේ ඔහුගේ නික්ම යෑමත් සමඟ. ඇත්තටම ඔහුගේ වියෝව සහ ග්‍රන්ථය අතර සම්බන්ධයක් මා දකින්නේ නැහැ. හුදෙක් සිනමාවට ඔහු කළ සේවාව ඇගැයීමට පමණ යි, මට අවශ්‍යව තිබුණේ.

• මේ කෘතිය දීර්ඝකාලීන පර්යේෂණයක ප්‍රතිඵලයක්ද?

මා දේශීය වශයෙන් වඩා ප්‍රිය කරන සිනමාකරුවෙක් වසන්ත ඔබේසේකරයන්. සිනමාකරුවන් පිළිබදව උනන්දුව දැක්වීමට ආරම්භ කළ අවධියේ සිට ම මා ඔබේසේකරයන්ගේ සිනමා භාවිතය පිළිබඳ වඩා උනන්දුවක් දැක්වූවා. අප ව සසල කළ සහ අප කම්පනය කළ සිනමාරූපි චිත්‍රපට නිර්මාණය කළ සිනමාකරුවකු‍ ලෙස, ගෞරවාදරයට පාත්‍ර වූ නිර්මාණකරුවකු ලෙස ඔබේසේකරයන් හඳුන්වන්න පුළුවන්. ඒ නිසා කාලයක් මුළුල්ලේ ඔහුගේ චිත්‍රපට නරඹමින් ඔහුගේ නිර්මාණ ඇගයීම් පිළිබඳ ලියවුණු තැන් පරිශීලනය කරමින් ඔහුගේ ඇති සමත්කම් මා ඥානනය කරන්න උත්සාහ කළා. වසන්තයන්ගේ සිනමා භාවිතයට යම් ඉඩක් සිනමා සාහිත්‍යයෙන් ලබා දිය යුතුයි කියන අදහස මගේ තිබුණා. සිනමා විචාර කෘති සම්පාදනය කිරීම ඉතා අසීරු කාර්යයක්. මා ඔහු පිළිබඳ රැස් කරගත් කරුණු විධිමත් ව සැකසීමේදී දැඩි පරිශ්‍රමයක් දරන්න සිදු වනවා. සිනමාකරුවන් පිළිබඳ තොරතුරු සම්පාදනයේදී ඔවුන්ගේ චිත්‍රපට නැවත නැරඹිමේ සහ ඔවුන් පිළිබඳ ලියවුණු සහ කියවුණු දේ ගොනු කරගැනීමට පහසු ක්‍රමවේද අපේ රටේ නැහැ. මේ ප්‍රායෝගික ගැටලුව අපේ රටේ විචාර කෘති සම්පාදනයේ නිරත වන බොහෝ දෙනකුට මුහුණ පාන්නට වන ගැටලුවක්. මේ ගැටලු ජය ගනිමින් මහත් පරිශ්‍රමයක් දරමින් මේ කෘති සම්පාදනය කළේ සැබවින්ම ඔහු සිනමා සාහිත්‍යයේ ලියවිය යුතු නිර්මාණකරුවකු නිසා යි.

• පොතේ ආකෘතිය පෙළගැසෙන්නේ කුමනාකාරයෙන් ද?

ඔහුගේ සිනමා භාවිතය ස්ථානගත කළ ආකාර හතරක් මේ පොතේ අන්තර්ගත වෙලා තියෙනවා. ඒ අනුව දීර්ඝ ලියවිලි හතරක් ඔස්සේ මේ පොත පෙළගස්වා තිබෙනවා. ඒ ලියවිලි හතර අනුවයි මෙහි ආකෘතිය පෙළගැසෙන්නේ. ඔබේසේකරයන් පිළිබඳව ඇයි අපි සිනමා සාහිත්‍යයෙන් කථා කළ යුත්තේ යන කරුණය පිළිබඳව පූර්විකාවෙන් මා කථා කළා. ඉන් අනතුරුව සිනමා භාවිතය පිළිබඳ කතා කළා. පළමු ලියවිල්ල මා නම් කළේ 'තරුණ්‍යය' නමින්. 1970 දශ‍කයේ සහ ඊට ආසන්නයේ සමාජ හා දේශපාලනික වටපිටාව පිළිබඳව සිනමාකරුවන් විග්‍රහ කරන ආකාරය පිළිබඳවත් ඉන් අනතුරුව දෙවැනි ලියවිල්ල මා පෙළගස්වන්නේ 'ස්ත්‍රිය' කියලයි. විශේෂයෙන් ආසියාතික සමාජයේ ශ්‍රී ලාංකේය ස්ත්‍රියගේ භූමිකාව පිළිබඳව ඔහුගේ විග්‍රහයේදී වසන්ත හැසිරෙන ආකාරයත් 'දඩයම', 'කැඩපතක ඡායා' සහ 'මාරුතය' වගේ චිත්‍රපට මේ පිළිබඳ විග්‍රහයක යෙදෙනවා. වසන්තයන් වරප්‍රසාද ලත් පන්තියේ ස්ත්‍රිය‍ පවා පුරුෂ මූලික අසංවිධිත සමාජ වටපිටාවේ පවා පීඩාවට පත් වන ආකාරය පිළිබඳ ව පුළුල් විග්‍රහයක යෙදෙනවා. තුන්වැනි ලියවිල්ල 'මනුෂ්‍ය සම්බන්ධතා' නමින් මා නම් කරනවා. ආසියාතික රටවල මිනිසුන්ගේ සිතුම්පැතුම් ආකල්ප සංකීර්ණ ස්වභාවය ඇතුළතින් ඔහු දකින ආකාරය, ඔහු විග්‍රහ කරන ආකාරය මෙහිදී මා විග්‍රහ කරනවා. ඇතැම් විට මේ සමාජයේ බොහෝ සංකීර්ණ සම්බන්ධතා අපව විස්මයට සහ තිගැස්මට පත් කරන ආකාරය සහ එහි ස්වභාවය ඔහු හොදින් විග්‍රහ කරනවා. මනුෂ්‍ය සම්බන්ධතාවල සියුම් මනෝභාව සවිඥානක ව විග්‍රහ කරන ආකාර විස්මයජනකයි! ඊළඟ අදියර මා 'ආගන්තුකයා' නමින් නම් කරනවා. සියලු සම්ප්‍රදායන් රැකගැනීමේදී ඇති වන ගතික ස්වභාවයන් කැටි කරගනිමින් ඔහු සමාජය ප්‍රශ්න කරන්නකු ලෙස මෙහිදී කටයුතු කරනවා. අපිට ඔහු එසැණින් ග්‍රහණය කරන්න බැහැ. ආගන්තුකයාගෙන් ඔහු කිසියම් දාර්ශනික තලයකට සිනමාව රැගෙන යෑමට උත්සාහ කරනවා. අවාසනාවකට මෙන් ඔහුගේ සිනමා ගමන එතැනින් නවතිනවා.

• කරුණු රැස් කිරීමේදී අනුගමනය කරන ලද ක්‍රමවේද සඳහන් කළොත්...

ම‍ගේ ස්වාධීන මතය මේ මඟින් ඉදිරිපත් කිරීම තීව්‍ර කිරීමට සමකාලීන හා පසුකාලීන සිනමා විචාරකයන් ඔහු පිළිබඳ දැක්වු අදහස් වඩා වැදගත් වුණා. වර්තමානයේ විශේෂයෙන් සිනමා විචාරකයන්ගේ මතවාද පරිශීලනය කිරීමකින් තොරව මෙවැනි සිනමා විචාර කෘති සම්පාදනය කිරීම අයෝග්‍යයි. ඒ අනුව වර්තමාන සහ පැරණි විචාරකයන් වසන්ත‍ගේ සිනමා භාවිතය පිළිබඳව දැක්වූ අදහස් පොදුවේ ‍මේ කෘතිය සම්පාදනයේදී සලකා බැලුවා. මා වසන්තයන්ගේ සිනමා භාවිතය පිළිබඳව ඔහුගේ ආකල්ප ද මෙහිදී සලකා බැලුවා. ඇත්තට ම එයත් ඉතා වැදගත්. ඔහුගේ චිත්‍රපටවලින් ඔහු අපේක්ෂා කළ දේ සාර්ථකව ප්‍රකාශයට පත් වෙලා තියෙනවා ද කියා සොයා බැලීම සිනමා විචාර කෘතියකදී අතිශයින් වැදගත්. ‍කරුණු සොයා බැලීම ඉතා වෙහෙසකර කාර්යභාරයක් වුණා. මේ පොතට වාණිජ වටිනාකමක් ‍දීම නොවෙයි මා අපේක්ෂා කළේ; මෙවැනි විශිෂ්ට ගණයේ නිර්මාණකරුවන් පිළිබඳව සිනමා සාහිත්‍යය තුළ යම් ප්‍රාමාණික සටහනක් තැබිය යුතුයි කියන කාරණාවයි මා මූලිකව මෙය සම්පාදනයේදී අපේක්ෂා ‍කළේ. මින් පෙර මේ නිර්මාණකරුවා පිළිබඳ කෘතියක් සම්පාදනය වී තිබුණේ නැහැ. සිනමා සාහිත්‍යයේ ලිවිය යුතු, ඒත් ගිලිහී යන සිනමාකරුවන් පිළිබඳ විශේෂ අවධානයකින් සිට, ඒ පිළිබඳ සාධාරණයක් කිරීමට මා නිරන්තරයෙන් උත්සාහ කළා.

 

ෙස්යාරූ - චමින්ද නිෙරා්ෂන්

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.