ගුණාත්මක නොවන ශ්‍රී ලංකාවේ සේවා නියුක්තිය | සිළුමිණ

ගුණාත්මක නොවන ශ්‍රී ලංකාවේ සේවා නියුක්තිය

 බොහෝ විට අපට නිතර අසන්නට ලැබෙන මාතෘකාවක් ලෙස සේවා නියුක්තිය හඳුන්වාදිය හැකි ය. ‘සේවා නියුක්තිය’ යන සංකල්පය පිළිබඳ නිවැරදි අවබෝධයක් ඇතැම් විට ඔබට නැතුවා විය හැකි ය. ඇත්ත වශයෙන් ම සේවා නියුක්තිය යනු කුමක්ද? වර්තමානයේ ශ්‍රී ලංකාවේ සේවා නියුක්තියේ හැසිරීම කෙබඳුද? පසුගිය දින කීපයකට පෙර ඉදිරිපත් කළ අතුරු අයවැය තුළින් සේවා නියුක්තියට කුමන ආකාරයේ දායකත්වයක් සපයා තිබේ ද? යන කරුණු පිළිබඳව අවධානය යොමු කරමු.

සරලව හැඳින්වුවහොත් සේවා නියුක්තිය යනු රටක රැකියා අපේක්ෂා කරනු ලබන ජනගහනයෙන් සත්‍ය වශයෙන් ම රැකියාවල නිරත ව සිටින ප්‍රතිශතයයි. යම්කිසි රටක මෙම ප්‍රතිශතය ඉහළ අගයක් ගන්නේ නම් එය සුභදායක තත්ත්වයකි‍. යම්කිසි රටක මෙම අගය ඉතා පහළ අගයක් ගන්නේ නම් එය එතරම් සුභදායක තත්ත්වයක් නොවේ. එනම් රැකියාවල නියුක්තව සිටින ජනගහනය අඩු ය. එවිට රටේ නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට හැකියාවක් පවතින ජනගහනය අඩු ය. “එවිට රටේ නිෂ්පාදනයේ ද පසුබෑමක් දක්නට හැකි ය.

රටේ සේවා නියුක්ති අනුපාතය ඉහළ අගයක් ගන්නේ නම් එමඟින් අදහස් වන්නේ රැකියා අපේක්ෂිත ජනගහනයෙන් වැඩි ප්‍රමාණයක් කිසියම් රැකියාවක නිරත වී සිටින බවයි. එනම් ඔවුන්ට කිසියම් ආදායම් තත්ත්වයක් පවතින බැවින් භාණ්ඩ හා සේවා මිල ගැනීම සිදු කරයි. එනම් නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ අලෙවි කරගැනීමට නිෂ්පාදකයාට හැකිවේ. එවිට ඔවුන්ගේ ආදායම් තත්ත්වය ඉහළ ගොස් නව භාණ්ඩ වෙළෙඳපොළට හඳුන්වා දිය හැකි ය. එනම් වෙළෙඳපොළේ භාණ්ඩවලට ඉහළ ඉල්ලුමක් පවතී. එය යම්කිසි රටකට ඉතාමත් හොඳ තත්ත්වයකි.

ඉහළ අගයක්

ශ්‍රී ලංකාවේ සේවා නියුක්ති අනුපාතය 95.6 කි. එය ඉතාමත් සුබදායක තත්ත්වයකි. එම අනුපාතය මඟින් පෙන්නුම් කරන්නේ රැකියා කිරීමට අපේක්ෂා කරනු ලබන ජනගහනය 100 ක් ලෙස ගතහොත් ඉන් 95 ක් හෝ 96 ක් වැනි පිරිසක් රැකියාවක නිරතව සිටින බවයි. එය තවත් ඉහළ අගයකට ගෙනයා හැකි නම් ඉතාමත් සුබදායක වේ.

ශ්‍රී ලංකාව තුළ සේවා නියුක්ති අනුපාතය 95.6% ක් ලෙස වාර්තා වූව ද එහි ගුණාත්මක බවේ යම් යම් දුර්වලතා දක්නට ඇත. එනම් රැකියා අපේක්ෂිත ජනගහනයෙන් 95% හෝ 96% කට අයත් ප්‍රමාණයක් කිසියම් රැකියාවක නිරත වූවත් ඔවුන් නිරතවී සිටින්නේ ඔවුන්ට සරිලන රැකියාවම ද යන්න පිළිබඳ ගැටලුවක් පවතී. ජීවත්වීම සඳහා කිසියම් මුදලක් උපයා ගැනීමට කිසියම් හෝ ආර්ථික කටයුත්තක නියැළුණත් ඔවුන් වඩාත් දක්ෂතාවයක් දක්වන කාර්යයේ නියැළෙන්නේ නම් වඩාත් ඵලදායි නිමැවුමක් රටට ලබාගත හැකිය. බොහෝ විට ප්‍රායෝගිකව බහුලව ලංකාවේ සේවා නියුක්තිය තුළ මෙම ගැටලුව පවතී. එය නිවැරැදි කරගැනීමට රටක් වශයෙන් අපට හැකියාව ලැබේ නම් ඉතා ශීඝ්‍ර සංවර්ධනයක් කරා යෑමට අපට හැකියාව ඇත.

නොගැලපීම්

උදාහරණයක් ලෙස රාජ්‍ය අංශයට අනුයුක්ත කර ඇති ඇතැම් කළමනාකරණ උපාධිධාරීන් එම ආයතනයේ පිළිගැනීමේ නිලධාරි තනතුර සිය රැකියාව ලෙස කරන්නේ නම් එය එම තැනැත්තාගේ හෝ තැනැත්තියගේ රැකියා තෘප්තිය පිළිබඳව ද ප්‍රශ්නයකි. එනම් කළමනාකරණ උපාධියක් සහිත කෙනෙකු එම තත්ත්වයට ගෙන ඒම සඳහා රජය විසින් විශාල මුදලක් වැය කර තිබේ. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පාසලේ 01 වස‍රේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිමවන තෙක් රජය විසින් දරනු ලබන පිරිවැය ඉතා විශාල ය. එවැනි කළමනාකරණ ගුණාංග සහ කළමනාකරණ හැකියාවක් ඇති කෙනෙකු වඩාත් සුදුසු වන්නේ රජයේ හෝ පුද්ගලික අංශයේ කළමනාකාර තනතුරක් සඳහා මිස වෙන තනතුරක් සඳහා නොවේ. එවැනි අයකු කළමනාකරණ තනතුරක් නොවන කුමන ආකාරයේ රැකියාවක නිරත වූවත් එමඟින් වඩාත් ඵලදායි සේවාවක් රටට ලබාගත නොහැකි ය. එය රටට බරපතළ අවාසියකි.

ශ්‍රී ලංකාවේ සේවා නියුක්තිය ගැන විමර්ශනය කිරීමේදී අනෙක් ප්‍රධානතම දුර්වලතාවය වන්නේ ඔවුන් සතුව පවතින ඍණාත්මක ආකල්පයි. බොහෝ අය රැකියාව ලෙස රාජ්‍ය අංශයේ ම රැකියාවක් අපේක්ෂා කරන තත්ත්වයක් පවතී. පුද්ගලික අංශයේ රැකියාවක් කිරීමට එතරම් උනන්දුවක් නොදක්වන තත්ත්වයක් ග්‍රාමීය වශයෙන් විශ්ලේෂණය කිරීමේදී සොයාගත හැකි ය. කෙසේ නමුත් මෙම තත්ත්වය නාගරික වශයෙන් බහුලව දක්නට නොලැබේ.

අධ්‍යාපන රටාව

අනෙක් කරුණ වන්නේ ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන අධ්‍යාපන රටාව රැකියා වෙළෙඳපොළ ඉලක්කගත නොවීමයි. විදේශ රටවල නම් ඔවුන්ගේ අධ්‍යාපන රටාව නිර්මාණය වී තිබෙන්නේ එම රටේ රැකියා වෙළෙඳපොළ ඉලක්ක කරගෙන ය. එය හඳුන්වන්නේ “ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන රටාව” ලෙස නමුත් ලංකාවේ ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක නොවන නිසා සේවා නියුක්ති අනුපාතය ඉහළ අගයක් තිබුණත් එය ඵලදායි ලෙස රටට ලබාගත නොහැකිව තිබේ.

එනම් පුද්ගලිකව සෑම කෙනෙක් ම වඩාත් දක්ෂතාවයක් දක්වන කාර්ය හඳුනාගෙන ඒ අනුව එයට උචිත අධ්‍යාපන ක්‍රම වේදයක් සැකසීමයි. එවිට එම පුද්ගලයා වඩාත් දක්ෂවන්නේ වඩු කර්මාන්ත ශිල්පය සඳහා නම් ඔහුට අධ්‍යයනය ලබාදිය යුතු වන්නේ වඩු කර්මාන්තය සඳහා මිස වෛද්‍යවරයකු කිරීම සඳහා නොවේ. ලංකාවේ බොහෝ දෙමාපියන්ගේ ආකල්පය වන්නේ තම දරුවා වෛද්‍යවරයකු, ගණකාධිකාරිවරයකු හෝ ඉංජිනේරුවකු කිරීම සඳහා පමණි. කිසිම දෙමාපියකු තම දරුවා හොඳ වඩු කර්මාන්ත ශිල්පියෙකු, හොඳ මේසන් බාස් කෙනෙකු කිරීමට උත්සාහ නොදරන නිසා අද වනවිට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා ඉතා විශාල ඉල්ලුමක් පවතී. ඔබගේ නි‍ෙවස ඉදිකිරීමේදී මේසන් බාස් කෙනෙකු හෝ වඩු කර්මාන්ත ශිල්පියෙකු සොයා ගැනීමට ඔබ කොතරම් වෙහෙසක් දරන්නට ඇත්ද? එය ඉතාමත් අසීරු කටයුත්තකි. නමුත් ඔබට අසනීපයක් හැදුණු විට වෛද්‍යවරයකු සොයා ගැනීම එතරම් අපහසු කටයුත්තක් නොවේ. නමුත් අප කල්පනා කළ යුත්තේ වෛද්‍ය වෘත්තිය, ඉංජිනේ‍රු වෘත්තිය, ගණකාධිකරණ වෘත්තිය මෙන් ම මේසන් බාස්වරයකුගේ සේවය, වඩු කර්මාන්ත ශිල්පියාගේ සේවය, කැටයම් ශිල්පියාගේ සේවය රටකට අත්‍යවශ්‍ය බවය. එම නිසා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමවේදයේ වෙනසක් කළ හැකි නම් ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමවේදය තුළින් ‍රටේ ඵලදායි සේවා නියුක්තියක් නිර්මාණය කරගැනීමට හැකිවන බව නිසැකය.

බදු සහන

පසුගිය දින කීපයකට පෙර ඉදිරිපත් කළ අතුරු අයවැයෙන් කුඩා ලොරි රථ සඳහා ආනයනික බද්ද අඩුකර තිබුණි. බොහෝ දෙනා විමසන ලද ප්‍රශ්නයක් වී තිබුණේ සුඛෝපභෝගී මෝටර් රථ සඳහා එම බදු සහනය ලබා නොදුන්නේ ඇයි? යන කාරණාව ය. නමුත් ශ්‍රී ලංකාව වැනි රටකට වඩාත් වැදගත් වන්නේ සුඛෝපභෝගී වාහන නොව ඉතා කුඩා කර්මාන්තයක් හෝ සිදු කිරීමට හැකි කුඩා ලොරි බව අප සිහියට ගතයුතු ය. ඉතා කුඩා කර්මාන්තයක් කිරීමට අපේක්ෂා කරන්නේ නම් හෝ දැනට ඔබගේ කර්මාන්තය සඳහා අවශ්‍ය ප්‍රවාහන කටයුතු සඳහා ඉහත බදු සහනය වඩාත් වැදගත් වනු ඇත. එමඟින් ස්වයංරැකියාවක ඔබ නිරත වන්නේ නම් පෙරට වඩා අඩු මිලක් යටතේ එම වාහන ගෙන්වා ගැනීමට ඔබට අවකාශ ලැබේ. එවිට ඔබ ස්වයංරැකියාවක නිරත වන්නේ නම් එය දැනට තිබෙන තත්ත්වයට වඩා තරමක ඉදිරි පියවරක් ලබාගැනීමට ඔබට හැකියාව ලැබේ. මෙවැනි කර්මාන්ත කරුවන් දිරිගන්වමින් ඔවුන්ට බදු සහන ලබාදෙමින් ඔවුන්ව දිරිමත් කරන්නේ නම් නුදුරු අනාගතයේදී සේවා නියුක්තියේ ගුණාත්මක භාවයේ ද වෙනසක් සිදුවේ යැයි ධනාත්මක අපේක්ෂාවක් තබාගත හැකි ය.

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.