2025 පොහොසත් රටක් | සිළුමිණ

2025 පොහොසත් රටක්

 මෙරට සියලු පුරවැසියන්ට ඉහළ ආදායමක් සහ වඩා හොඳ ජීවන තත්ත්වයක් උදා කර ගැනීම සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම හා ඉන්දියානු සාගර කලාපයේ නවීන වෙළඳපොළ ආර්ථික කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ අභිලාෂය පෙරදැරිව වසර 2025 වන විට ශ්‍රී ලංකාව පොහොසත් රටක් බවට පත් කිරීම පිණිස කැපවුණු සම්මුතිවාදී රජයේ නව ආර්ථික දැක්ම - V 2025 ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී එළි දැක්විණි.

මෙම “2025 පොහොසත් රටක්,, නව ආර්ථික දැක්ම තුළ සම්මුතිවාදී රජයේ ආර්ථික දැක්ම, සංවර්ධනය සඳහා පවතින සීමා, වර්ධනයේ නව ප්‍රවේශය, සර්ව ආගමික රාමුව ශක්තිමත් කිරීම, වර්ධන රාමුව ශක්තිමත් කිරීම, ඉඩම් හා ශ්‍රම ප්‍රාග්ධන වෙළෙඳපොළ ප්‍රතිසංස්කරණ, ආර්ථික හා සමාජයීය යටිතල පහසුකම්, තාක්ෂණය හා ඩිජිටල්කරණය, සමාජ ආරක්ෂණ වැඩසටහන්, කෘෂිකර්ම සහ තිරසර සංවර්ධනය, පාලනය සහ වගකීමට බැඳී සිටීම, සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම හා ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය කිරීම ආදී කරුණු රැසක් අන්තර්ගත වේ.

යෝජිත මෙම නව ආර්ථික වැඩසටහන තුළින් මීළඟ තෙවසර තුළ සංවර්ධනය සඳහා ඇති ගැටලු විසඳීමේ පුළුල් ආර්ථික ක්‍රමෝපායන් ක්‍රියාත්මක යෝජනා කරෙන අතර වසරකට ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 5,000 ක මට්ටමක් තෙක් ඉහළ නැංවිම, රැකියා දස ලක්ෂයක් උත්පාදනය, වසරකට විදේශිය ඝෘජු ආයෝජන ඇමෙරිකානු ඩොලර් බිලියන පහක් දක්වා ඉහළ නැංවිම සහ වසරකට අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 20 ක් දක්වා දෙගුණ කිරිම ආදී ඉලක්ක වෙත වැඩි අවධානයක් දැක්වීමට අපේක්ෂිතය. මෙම අතරමැදි ඉලක්ක මගින් ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත් කිරීමේ 2025 දැක්මට අවශ්‍ය පදනම සකස් කිරීමටද බලාපොරොත්තු වේ.තවද “2025 පොහොසත් රටක්,, රජයේ නව ආර්ථික වැඩසටහනේ දක්වා ඇත්තේ ඩිජිටල් සහ අනෙකුත් නැගී එන තාක්ෂණයන් භාවිතය තුළින් ගෝලීය වශයෙන් තරගකාරී රටක් බවට පත්වීමටද ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවයි.

කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ දියුණුව සඳහා වූ වැඩපිළිවෙල ගණනාවක් ද 2025 තෙක් වන ආර්ථික දැක් ම තුළින් හඳුන්වා දී තිබේ. ආර්ථික විශේෂඥයින් පවසන්නේ මෙරට සංවර්ධනය වේගවත් කිරීම සඳහා කෘෂිකාර්මික ක්ෂේත්‍රයට ප්‍රමුඛ කාර්යභාරයක් පැවරී ඇති බවත් V 2025රජයේ නව ආර්ථික වැඩසටහනට අනුව කෘෂිකාර්මික ක්ෂේත්‍රයෙන් මෙරට ස්වයංපෝෂිත කිරීම සඳහා වන ප්‍රගතිශීලී යෝජනා රැසක් විස්තරාත්මක ලෙස මෙහිදී ඉදිරිපත් කර ඇති බවයි. තවද සමාජ ආරක්ෂණ වැඩසටහන් පිළිබඳව වැඩි අවධානයක්ද මෙම නව ආර්ථික වැඩසටහනේ දක්වා ඇති අතර වත්මන් රජය යටතේ සියලුම සේවකයින් සඳහා දායක විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ක්‍රමවේදයක් ආරම්භ කරන බවත් සමෘද්ධි වැඩසටහන වැඩිදියුණු කරන බවත් විශේෂයෙන් සදහන් කර ඇත.

සම්මුතිවාදී රජයේ දෙවර්ෂ පූර්ණයට සමගාමීව මෙම නව ආර්ථික වැඩසටහන එළිදැක්වුණු අතර එහිදී අදහස් දක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ කවුරුන් කෙසේ කීව ද සම්මුතිවාදී ආණ්ඩුවේ පසුගිය වසර දෙක හමාරක ගමන් මග සාර්ථක වූ බවයි. සම්මුතිවාදී ආණ්ඩුව ගොඩනගමින් මීට පෙර කිසිවෙකු නොදුටු අලූත් දේශපාලන අත්දැකීමක් රටට ලබාදුන්නේ රටේත්, ජනතාවගේත් අනාගතය වෙනුවෙන් බවද කී ජනාධිපතිවරයා ආණ්ඩුවේ ගමනට කෙතරම් විවේචන, විරෝධතා සහ චෝදනා එල්ලවුව ද, එම ගමන්මග අභියෝගාත්මක වුවද, එය රටත් ජනතාවත් වෙනුවෙන් අනිවාර්යයෙන් ඉටුකළයුතු කාර්යයක් බවද ආණ්ඩුවේ ගමන මනා අවබෝධයකින් යුතුව ශක්තිමත් ලෙස ඉදිරියට ගෙනයමින් රටත්, ජනතාවත් වෙනුවෙන් වූ වගකීම නොපිරිහෙළා ඉටු කරන බවද සදහන් කළේය.

චන්දිමා එදිරිමාන්න
ඡායාරූප - රුක්මල් ගමගේ

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.