කාන්තාව සතු සහජ හැකියාව පවුලේත් රටේත් උන්නතියට යොදා ගන්න | Page 2 | සිළුමිණ

කාන්තාව සතු සහජ හැකියාව පවුලේත් රටේත් උන්නතියට යොදා ගන්න

අත්කම් නිර්මාණයට, දරා ගැනීමට හා උත්සාහයට කාන්තාව සතු සහජ දස්කම තම පවුලේත්, රටේත් උන්නතිය සඳහා යොදා ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙරට කාන්තා පරපුරෙන් ඉල්ලා සිටී.

සුජීව සේනසිංහ කාන්තා පදනම මඟින් පවත්වන ලද ‘දිරිය කතුන්’ ස්වයං රැකියා පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කළ කොළඹ දිස්ත්‍රික්කයේ කාන්තාවන් 3000 කට සහතික පත් සහ මහන මැෂින් පිරිනැමීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමින් රැස්ව සිටි පිරිස ඇමතූ අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

ඉදිරි පළාත් සභා ඡන්දයේදී අවම කාන්තා නියෝජනය 25% දක්වා පවත්වා ගැනීම අනිවාර්ය කිරීමට කටයුතු කර ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. පළාත් පාලන මැතිවරණයේදී අනිවාර්යයෙන් ම එක්සත් ජාතික පක්ෂයෙන් 25% කාන්තා අපේක්ෂිකාවන් ඉදිරිපත් කරන අතර ඉදිරියේ පැවැත්වෙන සෑම මැතිවරණයක් සඳහාම සෑම පක්ෂයකින් ම කාන්තා නියෝජිතයන් දැනට වඩා වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත් කළ යුතු බවද අග්‍රාමාත්‍යවරයා කීය. රටේ සමස්ථ ජනගහනයෙන් 52%ක් වන කාන්තාවන්ට සමාජයේ හිමි විය යුතු ස්ථානය තවමත් ලැබී නැතැයි කී අග්‍රාමාත්‍යවරයා අධ්‍යාපන, වෛද්‍ය, නීතිය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක ඉහළ තනතුරු දරන කාන්තාවන් සිටියද ව්‍යාපාරික, තොරතුරු තාක්ෂණ මෙන් ම දේශපාලන ක්ෂේත්‍රයෙහි ද උසස් තීරණාත්මක තනතුරු දැරීමේදී ලාංකීය කාන්තාව සැලකිය යුතු මට්ටමකට ළඟාවී නැති වීම අඩුපාඩුවක් වන බවද කීය. ඉදිරි වසර කිහිපය තුළ රට ශීඝ්‍ර ආර්ථික සංවර්ධනයක් අත්කර ගැනීම සඳහා යන ගමනේදී ඒ සඳහා මෙරට කාන්තාවන්ගේ දායකත්වය ඉහළින් ම ලබාගත යුතු බවද අග්‍රාමාත්‍යවරයා කීය.

ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතාගේ සංකල්පයක් අනුව 2016 සැප්තැම්බර් මාසයේදී ඇරැඹුණු ‘දිරිය කතුන්’ ස්වයං රැකියා පුහුණු පාඨමාලාව මගින් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පුහුණු මධ්‍යස්ථාන 15කදී අඩු ආදායම් ලාභී කාන්තාවන් 3000 කට නොමිලේ මැහුම් ගෙතුම් හා අත්කම් භාණ්ඩ නිර්මාණය කිරීමේ පුහුණුව ලබා දී ඇති අතර තවත් කාන්තාවන් 5000 ක් පුහුණුව ලබමින් සිටිති. පළමු අදියරේ සාර්ථක ලෙස පුහුණුව ලත් කාන්තාවන් 3000 දෙනකුට සහතිකපත් පිරිනැමීම හා ඔවුනට පහසු ගෙවීමේ ක්‍රමයට මහන මැෂින් පිරිනැමීමද, අග්‍රාමාත්‍යවරයා අතින් පසුගියදා මාලබේදී සිදු කරනු ලැබිණ. පුහුණුව නිම කළ කාන්තාවන් විසින් නිර්මාණය කරන ලද ඇඳුම්, ඇඳ ඇතිරිලි, කොට්ටඋර, මේස රෙදි, තිර රෙදි, විසිතුරු මෝස්තර, අත්බෑග් සහ පාවහන් ඇතුළු නිර්මාණ රාශියක් ඇතුළත් ප්‍රදර්ශනයක් ද එදින පැවැත්විණ. අගනා රෙදිපිළි සහ අමුද්‍රව්‍ය යොදගෙන මනා වර්ණ සංයෝජනයෙන් යුතුව ඉතා විචිත්‍රවත් අන්දමින් නිමවන ලද මෙම අත්කම් භාණ්ඩ සඳහා දෙස් විදෙස් වෙළෙඳපොළ අවස්ථා උදා කරදීමද මෙම ප්‍රදර්ශනයෙහි අරමුණක් විය. දිරිය කතුන් විසින් සාර්ථකව නිමවන ලද භාණ්ඩ වර්ග 25 ක් දැනටමත් ඔඩෙල් ආයතනය මඟින් මිලදී ගනු ලබන අතර ඉදිරියේදී එම භාණ්ඩ අලෙවි කිරීම සඳහා ඔවුන්ටම ආවේණික ‍අලෙවිසැලක් ඇරැඹීමට කටයුතු යොදා ඇතැයි එහිදී ඇමැති සුජීව සේනසිංහ මහතා පැවැසීය. ජාති ආගම් පක්ෂ පාට භේදයකින් තොරව දිවයින පුරා සිටින අවශ්‍යතාව ඇති ඕනෑ ම කාන්තාවකට මෙම දැනුම හා පුහුණුව ලබා දීමට අනාගතයේදී කටයුතු කරන බවද ඇමැතිවරයා කීය.

“අද ස්වයං රැකියා ලාභීන් වුවත් තවත් වසර 2 - 3 කින් පසුව කුඩා ව්‍යාපාරිකාවන් වශයෙන් ඔබ හමුවීමට මා අපේක්ෂා කරනවා. ස්වයං රැකියාව තුළින් ලබා ගත් දැනුම හා පුහුණුවට ඔබේ ශක්තිය හා කැපවීම මුසු කොට තමන්ගේ ම ව්‍යාපාර අරඹන්නට උත්සාහ කළ යුතුයි. අද ස්වයං රැකියාව තුළින් තමන්ටත් තම පවුලටත් ආර්ථික ශක්තියක් ලබා දෙන ආකාරයෙන් ම හෙට ඔබේ ම ව්‍යාපාරයක් ඇරැඹීම තුළින් තවත් කිහිප දෙනකුට රැකියා අවස්ථා ලබා දීමටත් ඔබේ නිෂ්පාදන අලෙවි කිරීම තුළින් රටේ ආර්ථික වර්ධනයට දායක වීමටත් ඉදිරියේදී ඔබට හැකියාව ලැබෙනවා. වර්තමානයේ අතින් මසන ලද නිමි ඇඳුම් හා අත්කම් භාණ්ඩ සඳහා විශාල ඉල්ලුමක් තිබෙනවා. හැම තැනම දකින්නට‍ නොලැබෙන එකිනෙකින් වෙනස් දුලබ මෝස්තරවල ඇඳුම් අඳින්නට ගැහැනු පිරිමි කවුරුත් කැමතියි. මේ අත්කම් හා මෝස්තර දකින විට ඔබ තුළ විශාල නිර්මාණ ශක්තියක් ඇති බව පේනවා. ඔබ තුළ ඇති ශක්තිය හඳුනාගන්න. හැකියාව වර්ධනය කරගන්න. මැහුම් ගෙතුම් හා අත්කම් නිර්මාණයට කාන්තාව සතු සහජ දක්ෂකම් තිබෙනවා. ඒ සහජ හැකියාවෙන් ප්‍රයෝජන ගන්න. ඔබේ හැකියාවන් වර්ධනය කරගන්නට ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. ඔබටම කියා ව්‍යාපාරයක් ඇරැඹීමට අවශ්‍ය අත හිත දීමට සූදානම් පිරිස් හා ආයතන ර‍ෙට් තිබෙනවා. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා මෙන් මම ඔබෙන් ඉල්ලා සිටිනවා.”

ව්‍යාපාරික ක්ෂේත්‍රයෙන් මෙන් ම දේශපාලන ක්ෂේත්‍රයන් ද අපේ රටේ ඉදිරියට ඇවිත් සිටින්නේ කාන්තාවන් සුළු සංඛ්‍යාවක් පමණයි. රටේ ආර්ථික, සමාජීය හා දේශපාලන ක්ෂේත්‍රයන් හි වැදගත් තීන්දු තීරණ ගන්නා ප්‍රධාන තැන්වලට කාන්තාවන් වැඩියෙන් ඉදිරිපත් විය යුතුයි. එමෙන් ම ඔවුන්ට ඒ සඳහා වැඩිපුර අවස්ථා ලබා දිය යුතුයි. සෑම පක්ෂයකින් ම මැතිවරණ සඳහා ඉදිරිපත් කරන කාන්තාවන්ගේ සංඛ්‍යාව වැඩි කළ යුතුයි. පසුගිය මැතිවරණ ක්‍රමයේ පැවැති මනාප ක්‍රමය නිසා කාන්තාවන්ට දේශපාලන ක්ෂේත්‍රයට පිවිසීම මහත් අසීරු කාරියක් වුණා. ඒ ක්‍රමය අපි වෙනස් කරන්නට සූදානම්. කේවළ හා අනුපාත ඡන්ද ක්‍රමයෙන් ඉදිරි මැතිවරණ පැවැත්වීමට අපි අදහස් කරනවා. සෑම පක්ෂයකින් ම අවම වශයෙන් 25% ක කාන්තා නියෝජනයක් පවත්වා ගැනීම ඉතා වැදගත්. ඒ අනුව ඉදිරියේදී කාන්තාවන්ටත් වැඩිපුර දේශපාලන ක්ෂේත්‍රයට පිවිසෙන්නට අවස්ථාව උදා වෙනු ඇතැයිද රැස්ව සිටි පිරිස අමතමින් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

සිංගර් ආයතනය සහ හැටන් නැෂනල් බැංකුව මඟින් සහන මිලකට පිරිනමන ලද මහන මැෂින් සියයක් මූලික අදියරේදී කාන්තාවන්ට බෙදා දෙන ලදි. විශාල වට්ටමක් සහිතව ලබා දෙන ලද මෙම මැෂින් කුඩා වාරිකවලින් ගෙවිය යුතු පහසු ණය ක්‍රමයක් යටතේ පිරිනමනු ලැබිණ.

මේ වන විට ‘දිරිය කතුන්’ වැඩසටහන යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ කාන්තාවන් 5000 ක් පුහුණුව ලබති. ඉදිරියේදී දීපව්‍යාප්තව මෙම වැඩසටහන පැවැත්වීමට අදහස් කෙරේ. දැනට රුපියල් ලක්ෂ 100 ක් යොදවා තමා සහ තම හිතමිතුරන්ගේ ධන පරිත්‍යාගයෙන් මෙම වැඩසටහන සඳහා අරමුදලක් අරඹා ඇතැයි ඇමැති සේනසිංහ පවසයි. දීපව්‍යාප්ත වැඩසටහන සඳහා අරමුදල් රැස්කිරීමට දිවයින පුරා පාපැදිවලින් ගමින් ගමට ගොස් කැටවලට මුදල් එකතු කිරීමට අදහස් කර ඇතැයිද ඇමැතිවරයා කියයි. අවසානයේදී රටපුරා කාන්තාවන් ලක්ෂයකට ස්වයං රැකියා පුහුණුව ලබා දී ඔවුන් ආර්ථික අතින් සවිබල ගැන්වීම තම අරමුණ බවද ඔහු කියයි. කාන්තාවන් ආර්ථික අතින් සවිබල ගැන්වීම තුළින් ඔවුන්ගේ පවුල්වල ආර්ථිකය නංවාලීමත්, රැකියා සොයා විදෙස් රටවල් වෙත ඇදී යන කාන්තාවන් රට තුළ රඳවා ගැනීමෙන් වර්තමානයෙහි රට තුළ ඇතිවී තිබෙන බරපතළ සමාජීය ගැටලු අවම කිරීමත් මෙම වැඩසටහනේ අරමුණ වන බවද ඇමැතිවරයා පවසයි.

ඡායාරූප

සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය

Comments