නොසිතූ මොහොතක පිහිටට ආ ඩොල්ෆින් හිතවත්තු | සිළුමිණ

නොසිතූ මොහොතක පිහිටට ආ ඩොල්ෆින් හිතවත්තු

සැන් මිගෙල් දූපතෙන් යළි ගමන ආරම්භ කළ ඩිලන් මීළඟ අරමුණ වූයේ ගරචිනේ ගම්මානය කරා ඉක්මනින් යෑමය. ඔහු ඒ සඳහා පහුරු ගමන ආරම්භයේදී ජීපීඑස් උපකරණයට කාණ්ඩ අංක යොදා ගරචිනේ නම ඇතුළත් කළේය. ගමන අතරමඟදී ඔහු මඳ නින්දකට වැටුණේ තෙහෙට්ටුව නිසාය. එහෙත් එක්වරම ජීපීඑස් උපකරණය ලබා දුන් අනතුරු ඇඟවීම් සංඥාවෙන් ඩිලන් තිගැස්සී අවදි විය.

“බලනකොට පහුර නියමිත මාර්ගයෙන් පිට පැනලා සෑහෙන දුරක් ගිහින්... මං එන්ජින් එක නතර කරලා රුවල දාගෙන ගියේ. මට හිතුණා මොකක් හෝ අවුලක් කියලා. බැලින්නම් සුළං දිශාව වෙනස් වෙලා. ඒ කියන්නෙ ගිනිකොන දිශාව වෙනුවට පහුර නිරිත දෙසට යනවා. මං ඉක්මනටම බෲස් පණ ගැන්වුවා. ඒත් වැඩක් වුණේ නෑ. මට තේරෙන්නෙ නිකන් එක තැන ඉන්නව වගේ. ඒත් නොදැනීම දිය යටින් පහුර වේගයෙන් ඇදගෙන යනවා. එදා තමයි මං දියවැලක අත්දැකීම මුලින්ම ලැබුවේ.”

එසේ දියවැල විසින් පහුර රැගෙන ගිය ඉසව්වේ පැනමා බොක්කේ ඈතින්ම පිහිටි දූපත වූ ගලේරාව පිහිටා තිබිණි. ගලේරා දූපතෙන් මූදු බොක්කක ස්වභාවය අවසන් වී පැසිෆික් සාගර කලාපයයි. දියවැල් ස්වභාවය තිබුණත් ඩිලන් කෙසේ හෝ පහුර ගලේරාව දෙසට රැගෙන යෑමට සමත් වූයේය.

ගලේරාව දූපත වටා රවුමක් ගිය ඩිලන් දියවැල පහව යෑමෙන් පසු ගරචිනේ දෙසට යාත්‍රා කිරීමට සැරැසිණි. එහෙත් ඔහුට යාත්‍රා කිරීමට ලැබුණේ ටික දුරකි. පහුර නැවතත් මහා දියවැලකට හසු විණි. එවර ඩිලන් මුහුණ පෑවේ ඉතාම බියකරු සිද්ධි දාමයකටයි. දැන් ඔහුගේ පහුර දියවැල විසින් ඇදගෙන යන්නේ විශාල රළ පහරවල් ඉහළට නඟින පැසිෆික් සාගරයටය. දියවැල කෙතරම් වේගවත්ද කිවහොත් ඩිලන් පවසන පරිදි පැය කීපයකින් ගලේරා දූපත ද නොපෙනී තෙරක් නොපෙනෙන මහා සාගරයේ ඔහු අතරමං විය.

“ඇත්තටම මට හිතාගන්න බැරිවුණා මොකක්ද කරන්නෙ කියලා. සැන් මිගෙල්වලදි විලාරියල් කිව්වා මේ දියවැල් ගැන. මම සැන් මිගෙලයට යන්න ටික දිනකට කලින් ධීවරයෝ සිවු දෙනෙක් ඒ වගේ දියවැලකට හසුවෙලා කිලෝමීටර් 1800ක් විතර ඈතට අරන් ගිහිල්ලා තිදෙනෙක් මැරිලා. එක්කෙනෙක් බේරුණු බවකුයි ඔවුන් පැවැසුවේ. මට එකපාරටම ඔළුවට ආවේ ඒ කතාව.

කොටින්ම කිව්වොත් මුහුදු දියවැල් ගැන මම හරියටම දැනගත්තෙ ඒ අවස්ථාවේදී. ඒවා කොයිතරම් සැඩද, ප්‍රචණ්ඩද කියනවානම් මට හිතාගන්න බැරිවුණා දියවැල් කියන්නෙ මොනවද කියලා. නිකන් දියකඳ උඩ සිටගෙන සිටින වගක් මට තේරෙන්නෙ. ඒ කියන්නෙ කිසිම චලනයක් නැතිව ඔහේ පාවි පාවි ඉන්නවා වගේ පේන්නෙ. ඒත් දිය යටින් ඉතාම වේගයෙන් ඇදගෙන යන බව තේරෙන්නෙ පස්සෙ. ඒක අතිභයංකර හැඟීමක්... බලන බලන හැම පැත්තෙන්ම මහා සාගරය... ඒ දියවැල ගොඩබිමෙන් කිලෝමීටර් 150ක් විතර ඈතට මාව ඇදගෙන ගියා.

මට තේරුණා මං විශාල ප්‍රශ්නයකට මුහුණ දීලා ඉන්නෙ කියලා. අවශ්‍ය ‍දිශාවට යන්ඩ බැහැ. දිශාව පෙන්වන්න තිබුණ එකම මෙවලම ජීපීඑස් එකත් වැඩ නැහැ. ඒ මොකද සාමාන්‍යයෙන් ජීපීඑස් එකක් වැඩ කරන්නෙ අවම පැයට කිලෝමීටර් 8ක වගේ වේගයකින් යද්දී. ඒත් ඒ අවස්ථාවේ පහුරේ වේගය අඩුවෙලා පාවිපාවී ඉන්නෙ. හැබැයි ඒත් යටින් ඇදගෙන යනවා.”

ඔහුගේ ලෝක සංචාරයේ මෙතෙක් අත්දුටු බිහිසුණු මොහොතට මුහුණදී සිටි ඩිලන් දියවැලට හසුවීමෙන් අනතුරුව මුහුණ පෑවේ තවත් අතිශය බියකරු අත්දැකීමකටයි. ඒ කුණාටු තත්ත්වයකටයි. ඔහුට දැනුණේ මරණය තම අත ළඟටම පැමිණ ඇති බවය.

මට තේරුණා සාගරය මැදට තමයි පාවි පාවි යන්නෙ කියලා. මට කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා තිබුණේ නෑ. මොකද එවැනි කුණාටුවකින් බේරෙනවා කියන්නෙ ඇත්තටම පෙර වාසනාවක්. මං දැක්ක දියරැලි තට්ටු තුන හතර උස බිල්ඩින් හා සමානයි. කුණාටු තත්ත්වයකදී මහ සාගරය අතිබිහිසුණුයි. දියරැලිවලට වඩා මාව භීතියට පත් කළේ අකුණු ගැහිල්ල. ඇත්තටම එය දැනුත් මතකයට නැඟෙන විට බය හිතෙනවා. අකුණක් වැදුණානම් මගේ කෑලිවත් සොයාගන්න බැරි වෙනවා.”

අවසානයේ ඔහු තීන්දු කළේ සියල්ල දෛවයට ඉඩදී බලා සිටීමටය.

“මං එන්ජින් එකත් ඕෆ් කරලා ඔහේ පාවි පාවි හිටියා. කිසිම අරමුණක් නෑ. ඕනෑම දේකට මූණ දෙනවා කියන හැඟීමෙන් තමයි හිටියේ. වෙලාවකට හිතුණා ඔය ඔස්ට්‍රේලියාව හරි කොහේහරි පැත්තකට සේන්දු වෙයි කියලා. ඒත් ඉතින් ඒකටත් වාසනාව තිබුණොත් කියන දේ ඔළුවෙ තිබුණා.”

මරණය පෙනෙන තෙක් මානයේ සිටි ඩිලන්ට යළි ජීවිත අපේක්ෂා ඇතිවූයේ ඔහු නොසිතූ මොහොතක ලද පිහිටක් නිසාය. සැබැවින්ම එය ඔහු ජීවිතයේ මුහුණ දුන් එක්තරා පුදුම සහගත සිදුවීමකි.

“මං ඒ විදිහට කරගන්න දෙයක් නැතිව ඉන්නකොට මගේ පහුර අසලට එකපාරටම කොහෙන් ආවද දන්නෙ නෑ විශාල ඩොල්ෆින් රංචුවක් ආවා. උන් මගේ පහුර වටා කැරකෙමින් නොයෙක් ආකාරයේ ඉඟිබිඟි පාන්න ගත්තා.

පස්සෙ මට තේරුණා ඒ උන් එන්නෙ මගෙත් එක්ක කතාවට කියලා. එහෙම පැයක් දෙකක් ඉඳලා උන් ටික යන්න ගියා. එහෙම දවස් එකහමාරක පමණ කාලයක් ආවා-ගියා. මං ඉතින් ඒ ගැන වැඩි දෙයක් හිතුවේ නැහැ. ඒත් මට තිබුණ එකම සැනසීම. මම දැන් තනිවෙලා නෑ කියන හැඟීම මට ආවා. මමත් ඉතින්, ‘ආ ඩොල්පින් කොච්චර ෂෝක්ද... ලස්සනයිද... බැලු බැලු අත ඩොල්පින්ලා....’ කිය කියා උන් එක්ක කතාවට වැටුණා.”

මේ වෙද්දී ඩිලන් මුහුණ දී සිටි ලොකුම ගැටලුව වූයේ තමන් ගමන් කළ යුතු දිශාව නොදැනීමයි. ඊට විසඳුම් දුන්නේ ඩොල්පින් රංචුවය. ඩොල්පින් රංචුව ‍ඩිලන් ගොඩබිම පෙනෙන මානයට රැගෙන ආවේ විස්මිත අයුරිනි.

“මට හිතුණා මේ ඩොල්ෆින්ලා දිගින් දිගටම එන්නෙ මාව නියමිත දිශාවට රැගෙන යන්න තමයි කියලා. ඊට පස්සෙ මං කල්පනා කළා එන්ජිම පණ ගන්වලා ඩොල්ෆින් රංචුව පිටුපස යන්න. පස්සේ අනේ උන් මාව ගොඩබිම පෙනෙන තෙක්ම අරන් ආවානේ. මට හිතාගන්න බැරි වුණා මේ ඩොල්පින් කියන මාළුවා මොනතරම් බුද්ධිමතෙක්ද කියලා.”

එම සිදුවීම ඩිලන් සිය ලෝ වටා සංචාරයේදී විඳි අති භයානක සේම අති සුන්දරම අත්දැකීම ලෙස ඔහු සලකයි. මහ සාගරයත් නිල්වන් අහස් තලයත් අතරින් ගොඩබිම දිස්වන විට ඩිලන්ගේ සතුට නිම් හිම් නැතිවිය. අනතුරුව ඔහු සේන්දු වූයේ දාරියන් වනාන්තරයේ පැනමා බොක්කට මුහුණලා පිහිටි බෲහාස් නමැති ගම්මානයටයි.

ඔහු එහිදී ඉන්ධන ලබා ගත්තද ඒ ඉන්ධන පිරිසුදු නොවීම නිසා ඔහු යළි අකරතැබ්බයකට මුහුණ දුන්නේ බෲස්ගේ ඉන්ධන පෙරනයේ කුණු-රොඩු හිරවී ලෙඩවීම නිසාය. බෲහාස් සිට ගරචිනේ වෙත පහුර නැවතත් ගමන් කළේ බෝට්ටුවක් ආධාරයෙන් ඇදගෙනය.

ගරචිනේ යනු රතු ඉන්දියානු සම්භවයක් සහිත ජන කොට්ඨාසයක් වෙසෙන දාරියන් වනාන්තරයේ තවත් ගම්මානයකි. එහිදී පහුරට අවැසි ඉන්ධන පෙරණය සොයා ගැනීමට ඩිලන්ට හැකි විණි.

“පැනමාවෙන් පිටත් වෙලා මං මුලින්ම ඒමට සැලැසුම් කළේ ගරචිනේවලටනේ. එහෙත් මං දවස් තුනක් හිටියා. ගරචිනේවලින් ගොස් වනවෙන්තුරාවෙන් තමයි පහුරේ ගමන අවසන් කරන්න හිතුවේ.”

ලබන සතියට

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.