අපි පටන් ගන්නේ කොතැනින්ද? | සිළුමිණ

අපි පටන් ගන්නේ කොතැනින්ද?

 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තවත් ලෝක වාර්තාවක් තබමින් ඉන්දියාව හමුවේ ටෙස්ට් 03, එක්දින 05, විස්සයි 20 තරගයද සමඟින් සත්කාරකයන් ලෙස සමස්ත තරගාවලියම 9 - 0 ක් ලෙස පරාජය විය. මීට පෙර ඔස්ට්‍රේලියාව 2009 - 10 දී සියරටේදී පාකිස්තානයට 9 - 0 පරාජයක් උරුමකර දී තිබූ අතර, පසුගිය වසරේ නවසීලන්තය විසින් එරටේදීම බංග්ලාදේශය 8 - 0 කින් පරාජය කරන ලදී. ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයන් සමඟ සනත් ජයසූරිය ප්‍රමුඛ තේරීම් කමිටුවද පරාජයේ වගකීම් බාර ගනිමින් ඉල්ලා අස්විය. පරාජයේ අඳුරු සෙවණැලි මැකීයාමටත් මත්තෙන් ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවී තිබෙන්නේ තවත් දැවැන්ත තරගාවලියකටය. ඒ පාකිස්තානය සමඟය. ටෙස්ට් තරග 02, එක්දින තරග 05 ක් සමඟ විස්සයි 20 තරග තුනක්ද මීට අයත්ය. පාකිස්තානය මේ තරගාවලියට එක්වන්නේ චැම්පියන්ස් ශූරයන් ලෙසවිම ද ඔවුන්ට අමතර ශක්තියක් වනවිට, සෑම අතින්ම වැහැරි ගොස් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට සෑම දෙයක් ම එකිනෙක එකතුකර ගැනීමට සිදුව තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව හමුවේ දිගින් දිගට ම පරාජය වනවිට ජාත්‍යන්තර ක්‍රිකට් විචාරක කුටියේ තමන් ද දැඩි අපහසුතාවට පත්වන බව ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක රසල් ආර්නල්ඩ් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව ඉන්දියාව හමුවේ 9 - 0 කින් තරගාවලිය පරාජය වූ පසුවය.

එහෙම වෙලාවට හුඟක් අමාරුයි. අපි හැම වෙලාවේම උත්සාහ කරන්නේ හොඳ දේවල් මතු කරන්න. ශ්‍රී ලංකාව වගේම ක්‍රීඩකයන් වඩා ඉහළට ඔසවා තබන්න තමයි උත්සහ කරන්නේ. හැබැයි ක්‍රීඩකයන්ගේ පැත්තෙන් ධනාත්මක දේවල් එන්නේ නැති වුණාම, ඒක හුඟක් අමාරුයි. රසල් වැඩිදුරටත් පවසයි.

රසල් පවසන්නේ සම්පූර්ණයෙන් සත්‍යයකි. ක්‍රිකට් ක්‍රීඩාව ගැන වැඩි උනන්දුවක් නොදක්වන පිරිසට පවා වැටහෙන දෙයක් තිබේ. එනම් මීට වඩා යමක් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩකයන්ට පිටිය තුළදී කළ නොහැකිද යන්නයි.

මේ තරගාවලියේදී ඉන්දිය කණ්ඩායම ඉතාමත් හොඳින් සහ සැලසුම් සහගතව සියලු දේ හතරේ සීමාවෙන් පිට මෙන්ම ඇතුළතදී කරන විට චාමර කපුගෙදරට හතරේ සීමාවෙන් එළියේදී කතාබහ කළ දේවල් ඇතුළේදී අමතක වේනම් එතැනින් එහාට කවර කතාද යන්න ඇසිය යුතු නොවේ. ඉන්දීය කණ්ඩායම ඉතා හොඳින් ක්‍රීඩා කළ විට ශ්‍රී ලංකා කණ්ඩායම තම හැකියාවන් අනුව හෝ ක්‍රීඩා නොකළ බව අන්ධයකු වුවද කිසිදු පැකිලීමකින් තොරවම පවසනු ඇත. මේ ඉන්දීය කණ්ඩායම පරාජය කිරීම ලෙහෙසි පහසු නොවන බව ඔවුන් ඔප්පු කළේ තරගයකදි දෙකකදී නොවේ. මේ තරග නවයේදීම ඔවුන් ඒ බව මනාව ඔප්පු කළහ. නමුත් ප්‍රශ්නය වන්නේ අපට කළ හැකි දේවලින් අප කළේ මොනවාද යන්න පමණි. ශ්‍රී ලංකා පුහුණුකරුගේ දඹුලු මහ දැක්මට තවත් ටිකක් එහාට යන්නේ නම් අවසන් විස්සයි 20 තරගයේදී කෝලිගේ ලකුණු 82 ද අපට නැවත නැඟිටින්නට හොඳ තැනකි. පහරවල් එල්ල කිරීම, ස්ථානගත කිරිම, කඩුලු අතර දිවීම්, සබඳතා ගොඩනඟාගැනීම් පමණක් නොව, කෝලිගේ ෆිට්නස් වැනි දේවල් ද ඒ අතර කිහිපයකි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.