ඔස්ට්‍රෙලියාවේ ම නවතින ලීග් රග්බි කිරුළ | සිළුමිණ

ඔස්ට්‍රෙලියාවේ ම නවතින ලීග් රග්බි කිරුළ

ප්‍රශාන්ත ඇල්පිටිය

රග්බි ක්‍රීඩාව මේ වනවිට ලොව පුරාම ජනපි‍්‍රය ක්‍රීඩාවකි. වත්මනදී රග්බි ක්‍රීඩාව දෙවර්ගයකින් පැවැත්වෙයි. ඒ රග්බි සංගම් සහ රග්බි ලීග් වශයෙනි.

බොහෝ ක්‍රීඩා මෙන්ම රග්බි හෙවත් රගර් ක්‍රීඩාවත් ලොවට දායාද කළේ එංගලන්තයයි. ප්‍රථම රග්බි තරගය 1871 වසරේදී පැවැත්වීය. වර්ෂ 1895 දී රග්බි ක්‍රීඩාව දෙකඩ විය. ඒ ක්‍රීඩකයන්ට ගෙවන මුදල සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් මත රග්බි ලීග් ක්‍රීඩාව ආරම්භ විය.

අද වනවිට මෙම රග්බි සංගම් සහ රග්බි ලීග් සඳහා වෙන වෙනම ලෝක කුසලාන තරගාවලි පැවැත්වේ. 2017 රග්බි ලීග් ලෝක කුසලාන තරගාවලිය ලබන ඔක්තෝබර් සහ දෙසැම්බර් මාසවලදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාව ඇතුළුව ලොව බහුතරයක් රටවල පැවැත්වෙන්නේ රග්බි සංගම් ක්‍රීඩාවයි. මේ වනවිට මෙම ක්‍රීඩාවේ නිරත වන ලියාපදිංචි පිරිස 2,360,000 කි. සමාජ ගණන 18,630 කි. එහි මවු සම්මේලනය වනුයේ අන්තර්ජාතික රග්බි පාලක මණ්ඩලයයි. එහි ප්‍රථම ලෝක කුසලාන තරගාවලිය පැවැත් වූයේ 1987 වර්ෂයේදීය.

දැනට ලොව පුරා ලියාපදිංචි වී තිබෙන රග්බි ලීග් ක්‍රීඩාවේ නිරත වන පිරිස 600,000 කි. ලියාපදිංචි සමාජ ගණන 5000 කි. රග්බි ලීග් ලෝක කුසලාන ප්‍රථම තරගාවලිය 1954 වසරේදී පවත්වා තිබේ. ඕස්ට්‍රේලියාව වැඩිම අවස්ථා ගණනකදී ලෝක ශූරතාව හිමි කරගෙන තිබේ. ඒ 10 වතාවකදීය. මෙම ක්‍රීඩාවේ මවු සම්මේලනය වනුයේ රග්බි ලීග් ජාත්‍යන්තර සම්මේලනයයි.

මෙම රග්බි ක්‍රීඩා දෙවර්ගයේ නීති රීති අතර වෙනස්කම් ඇත. එමෙන්ම ක්‍රීඩා කරන ප්‍රමාණයත් වෙනස්ය. රග්බි සංගම් තරගයකදී කණ්ඩායමකට අයත් වන ප්‍රමාණය 15 කි. එය රග්බි ලීග් ක්‍රීඩාවේදී 13 කි.

රග්බි ලීග් ක්‍රීඩාවට වැඩි ජනපි‍්‍රයතාවයක් හිමි වී තිබෙන්නේ උතුරු එංගලන්තය, ඕස්ට්‍රේලියාවේ කුවින්ස්ලන්තය, නිව්සවුත් වේල්ස්, නවසීලන්තය, දකුණු ප්‍රංශය සහ පැපුවා නිව්ගිනියා වැනි රටවලය. පැපුවා නිව්ගිනියාවේ ජාතික ක්‍රීඩාව වන්නේ ද රග්බි ලීග්ය.

රග්බි ලීග් ක්‍රීඩාවට අදාළව වාර්ෂිකව සමාජ මට්ටමෙන් ප්‍රධානතම වෘත්තීමය තරගාවලීන් ද්විත්වයක් පැවැත්වේ. ඒ යුරෝපීය සුපර් ලීග් සහ ජාතික රග්බි ලීග් තරගාවලියන්ය.

මින් ජාතික රග්බි ලීග් තරගාවලිය ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තයේ දී පැවැත්වේ. 2017 වසරේදී මෙම තරගාවලිය පැවැත්වෙන්නේ 20 වැනි වරටයි. මෙම තරගාවලියේ ප්‍රධානතම රට වනුයේ ඔස්ට්‍රේලියාවයි. තරගාවලියට සහභාගි වන කණ්ඩායම් ගණන 16 කි. මින් ඕස්ට්‍රේලියාවෙන් කණ්ඩායම් 15 කි. නවසීලන්තයෙන් කණ්ඩායමකි. පැවැත්වෙන මුළු තරග ගණන 192 කි. මෙම කණ්ඩායම්වලට ලොව විවිධ රටවල ක්‍රීඩකයෝ තරග කරති.

2017 ජාතික රග්බි ලීග් තරගාවලියේ මුල් වටයට සුපුරුදු පරිදි කණ්ඩායම් 16 ක් සහභාගි විය. එහිදී දැක්වූ දස්කම් මත අවසන් වටයට කණ්ඩායම් 08 ක් සුදුසුකම් ලැබීය. එම කණ්ඩායම් සියල්ලම ඔස්ට්‍රේලියාවෙන් වීම විශේෂත්වයකි. මෙවර තරගාවලියේ අවසන් මහා තරගය ලබන ඔක්තෝබර් මස 01 වැනිදා පැවැත්වීමට නියමිතය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.