කළු දේශපාලනයට අනතුරු අඟවන සුදු රෙදි නඩු තීන්දුව | සිළුමිණ

කළු දේශපාලනයට අනතුරු අඟවන සුදු රෙදි නඩු තීන්දුව

 හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාද වරදකරුවකු කරමින් කොළඹ මහාධිකරණය මඟින් පසුගිය බ්‍රහස්පතින්දා දී ඇති නඩු තීන්දුව අංශ කිහිපයකටම අදාළව සලකා බැලීමේ දී ඉතා තීරණාත්මක මෙන්ම ඉතිහාසගත වන නඩු තීන්දුවක් ලෙසද සැලකිය හැකිය.

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන අය වගඋත්තරකරුවන් කරමින් මේ නඩුව පවරනු ලැබ තිබුණේ නීතිපතිවරයා විසිනි. 2015 ජනාධිපතිවරණ සමයේ දී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් කෝටි 60ක මුදලක් වැය කරමින් සුදු රෙදි මිලට ගෙන සිල් රෙදි සේ යොදාගැනීම සඳහා ඡන්ද දායකයන් අතරේ බෙදාදීම මේ දෙපළට එරෙහිව එල්ල වී තිබූ චෝදනාව විය. සාමාන්‍ය සමාජය අතර 'සිල් රෙදි නඩුව' ලෙස ප්‍රචලිතව පැවැති මේ නඩුවට අදාළ මූලික විමර්ශන සිදු කරන ලද්දේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසිනි. ඒ අනුව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් විමර්ශනය කරන ලද ක්‍රියාවලියකට අදාළව පවරන ලද නඩුවක් සම්බන්ධයෙන් ප්‍රකාශිත පළමු නඩු තීන්දුව ලෙසටද මේ නඩු තීන්දුව හැඳින්විය හැකිය.

නිසැක වශයෙන්ම මේ නඩු තීන්දුවට පදනම් වූ කරුණ සැලකිය හැක්කේ මහජන මුදල් අවභාවිත කිරීමක් ලෙසටය. එය එක්තරා අන්දමකින් මහජන මුදල් අවභාවිත කිරීමකටත් වඩා මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් ලෙසද හැඳින්විය හැකිය. ඒ සියල්ලටමත් වඩා මේ රටේ දූෂිත දේශපාලන සංස්කෘතිය මඟින් රාජ්‍ය ආයතන අවභාවිත කිරීමක් ලෙසටද මේ සිදුවීම හඳුන්වා දිය හැකිය. එහෙත් අප දන්නා ආකාරයට මේ නඩු පැවරීමට පදනම වූයේ ඒ අතරින් එක් චෝදනාවක් පමණි. එනම් පොදු දේපළ අවභාවිත කිරීම යන චෝදනාව පමණකි. ඒ අනුව නඩු තීන්දුවට පදනම් වූ චෝදනාවට අමතරව තවත් වැරදි කිහිපයක්ම ඒ තුළ නිසැකවම සිදු වී තිබේ.

පොදු දේපළ රටක ධනවත්කම කෙරෙහි මෙන්ම රජයේ ආදායම කෙරෙහිද බලපායි. ඒ අනුව පොදු දේපළ ආරක්ෂා කිරීම මෙන්ම වර්ධනය කිරීම ඕනෑම ආණ්ඩුවක වගකීමකි. විශේෂයෙන්ම මෙවැනි සිදුවීම් හරහා මතු කෙරෙන තවත් එක් වැදගත්කමක්ද තිබේ. එනම් පොදු දේපළ පිළිබඳව පිළිගත් අර්ථකථනයකට හා ජාතික ප්‍රතිපත්තියක් ඇති කරගැනීම කෙරෙහි යොමු වීමේ අවශ්‍යතාවයි. දීර්ඝ කාලයක් තිස්සේ අප රටේ පැවතෙමින් ආ දේශපාලන සංස්කෘතිය ගොඩනැඟී පැවතියේ බලයට පත් වන දේශපාලන නායකයන්ට හිතුවක්කාරී ලෙස පොදු දේපළ පරිහරණය කිරීමට ඉඩ ලැබෙන ආකාරයටය. එමඟින් අයථා ප්‍රයෝජන ලබාගැනීමට හැකි වන ආකාරයටය. මේ නඩු තීන්දුව පිළිබඳ සමාජය තුළ ඇතැම් කොටස් දක්වා ඇති ප්‍රතිචාර තුළද ඒ බව පැහැදිලි වේ. ඇතැමුන් මේ නඩු තීන්දුව අර්ථ දැක්වීමට උත්සාහ ගෙන ඇත්තේ බෞද්ධාගමික පුනර්ජීවනය උදෙසා ගනු ලැබූ පියවරකට එරෙහිව සිදු කරන ලද කටයුත්තක් හැටියටය. ඒ අතර රාජපක්ෂවාදී දේශපාලකයන් මෙන්ම ඇතැම් භික්ෂූන් වහන්සේද සිටිති. ශ්‍රී ලංකා ජාතික සංඝ සභාව මගින් පවත්වන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවක දී එක් හිමිනමක් විසින් පළ කර ඇති අදහස් ඊට නිදසුන්ය. එහි දී උන් වහන්සේ සඳහන් කර ඇත්තේ "සිල් රෙදි කෑල්ලක් වෙනුවෙන් වටිනා මනුස්සයන්ට අවුරුදු තුන-හතර සිරබත් කන්නට සිදු වී ඇති" බවය. ඒ අනුව උන් වහන්සේ සඳහන් කර ඇත්තේ "උපාසක උපාසිකාවන්ට බෙදූ සිල් රෙදි නැවත එකතු කර, ඉදිරි සතිය තුළ දී බොරලැස්ගමුවේ සිට කරේ තබාගෙන විත් මේ රෙද්ද අපට එපා යැයි කියමින් බුද්ධ ශාසන අමාත්‍යාංශයට නැවත ලබාදෙන" බවකි. එහෙත් කොළඹ මහාධිකරණය මඟින් ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිට යන මහත්වරුන්ට දඬුවම් පමුණුවා ඇත්තේ සිල් රෙදි බෙදාදීම නිසා හෝ බෞද්ධාගමික වත් පිළිවෙත් සඳහා දක්වා ඇති අනුග්‍රහයක් නිසා හෝ නොවේ. රාජ්‍ය මුදල් සාපරාධි සාවද්‍ය පරිහරණයට කුමන්ත්‍රණය කිරීම, සාපරාධි සාවද්‍ය පරිහරණය, සාපරාධි සාවද්‍ය පරිහරණයට අනුබල ලබාදීම වැනි චෝදනා පදනම් කරගෙනය; පොදු දේපළ පනත යටතට ගැනෙන වරදකටය.

මෙහි දී සැලකිල්ලට ගත යුතු තවත් කරුණක්ද තිබේ. එනම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට හෝ ඔහුගේ කාර්යමණ්ඩලයට හෝ මේ රටේ බෞද්ධ උවසු-උවැසියන් උදෙසා සිල් රෙදි ලබාදීමට අවශ්‍යතාවක් වෙතැයි අදහස් කළේ නම් එය පවා සිදු කළ යුතුව තිබුණේ රටේ පවත්නා මූල්‍ය නීති හා අනෙකුත් නීතිවලට පටහැණි නොවන ආකාරයටය. රාජ්‍ය මුදල් අනිසි ලෙස භාවිතයට නොයොදවමින් අවශ්‍ය නම් එම කටයුත්ත නීත්‍යනුකූල ලෙස සිදු කිරීමට හැකියාවක් තිබිණි. එසේ වී නම් ඒ සඳහා වැය කරන මුදල් සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීම තුළ හෝ බුද්ධ ශාසන අමාත්‍යාංශය යටතේ පවත්නා ප්‍රතිපාදන තුළ හෝ එය සිදු කිරීමට හැකියාව තිබිණි. එහෙත් ඒ වෙනුවට ඔවුන් සිදු කර ඇත්තේ බුද්ධ ශාසනයට හෝ මේ රටේ ආගමික කටයුතුවලට කිසි සේත්ම අදාළ නැති විදුලි සංදේශ නියාමන කොමිසමේ මුදල් ඒ සඳහා යොදාගැනීමය. එසේ යොදාගෙන ඇත්තේද රටේ පිළිගත් මූල්‍ය විනයට සපුරා පටහැණි වන ආකාරයටය. අවම වශයෙන් විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියකින්ද තොරවය. විදුලි සංදේශ නියාමන කොමිසමට අදාළ වන කටයුත්තක දී පවා ඒ ආකාරයට නිසි ක්‍රමවේදයන්ගෙන් හා පිළිගත් මූල්‍ය නීතිරීතිවලින් බැහැරව මුදල් යෙදවීමට හැකියාවක් නැත. එසේ තිබිය දී විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව සතු රුපියල් දසලක්ෂ හයසීයක් තරම් විශාල මුදලක් සුදු රෙදි මිලට ගෙන බෙදාහැරීම සඳහා යොදාගැනීම කිසිසේත්ම නීතියට එකඟ විය හැකි තත්ත්වයක් නොවේ.

ඒ සමඟම ඊට අදාළව සලකා බැලිය යුතු තවත් එක් වැදගත් කරුණක්ද තිබේ. එනම්: මේ සමස්ත ක්‍රියාවලිය සිදු වන්නේ මේ රටේ ප්‍රධානතම මැතිවරණයක් ආසන්නයේදීය. එනම්: රට තුළ ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබියදීය. 2017 නොවැම්බර් 20 වැනිදා මේ රටේ ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබිණි. එසේ තිබිය දී සිල් රෙදි මිල දී ගැනීමට යොදාගත් රුපියල් මිලියන 600ක මුදල විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවේ මුදලින් ජනාධිපති ලේකම් කාර්යාලයට යොමු කර ඇත්තේ 2015 දෙසැම්බර් මස 05 වන දිනයේදීය. එකී මුදල් යොදවා මිලට ගත් සුදු රෙදි විහාරස්ථාන හරහා බෙදාහැරීමට තීරණය වී තිබුණේ 2015 ජනවාරි මස 04 වන දිනට යෙදී තිබුණ පුන් පොහෝ දිනයේදීය. එනම් ජනාධිපතිවරණය පවත්වන ලද ජනවාරි මස 08 වන දිනට දින හතරකට පමණ පෙරදීය. එය මැතිවරණ නීති අමු අමුවේම උල්ලංඝනය කිරීමකි. ඒ අනුව මේ රටේ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ගණනාවක් ද මේ පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයා වෙත පැමිණිලි කර තිබූ අතර මැතිවරණ කොමසාරිස්වරයා ද විශේෂ ප්‍රකාශයක් කරමින් එය නීති විරෝධි ක්‍රියාවක් බවට ප්‍රකාශ කර තිබූ අතර අදාළ සුදු රෙදි බෙදාහැරීම තහනම් කිරීමට ද කටයුතු යොදන ලදි.

ඒ සමගම අප තේරුම්ගත යුතු අනෙක් වැදගත් කාරණය වන්නේ මෙකී නඩු තීන්දුව හරහා වැරදිකරුවන් කර ඇති එක් පුද්ගලයකු වන්නේ එක්තරා කාලයක මේ රටේ ප්‍රධානතම රාජ්‍ය නිලධාරියා ලෙස කටයුතු කර ඇති පුද්ගලයකු වීමය. ඒ අනුව මේ නඩු තීන්දුව කෙරෙහි පුද්ගල සාධක හෝ තනතුරක ඇති බලවත් භාවය යන කිසිවක් බලපා නැති බව ද පැහැදිලිව පෙනී යයි. එය ඉතා යහපත් ලක්ෂණයක් වනවා පමණක් නොව, එමඟින් මුළුමහත් සමාජයටම ලබා දී ඇති පූර්වාදර්ශයද ඉතා යහපත්ය.

මෙහි දී අප සලකා බැලිය යුතු තවත් මානයක්ද තිබේ. එනම් මෙකී තීන්දුව මඟින් වරදකරු කර ඇති එක් චරිතයක් වන ලලිත් වීරතුංග මහතා යනු ඔහුගේ වෘත්තීය සගයන් අතර මෙන්ම පොදුවේ බොහෝ රාජ්‍ය නිලධාරීන් අතර ප්‍රසාදයට ලක්ව සිටි අයකු වන අතරම ශ්‍රී ලංකා පරිපාලන ක්ෂේත්‍රයේ පළපුරුදු හා ජ්‍යේෂ්ඨතර නිලධරයකුද වූ වගය. සත්‍යවශයෙන්ම ඔහුට එල්ල වී තිබූ චෝදනාවට අදාළව සැලකීමේදීද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා යටතේ ජනාධිපති ලේකම් තනතුර දරමින් ඔහු විසින් සිදු කර ඇති අනෙකුත් බොහෝ වගකීම් සැලකීමේදීද ඔහු සැලකිය හැක්කේ මේ රටේ දූෂිත දේශපාලන සංස්කෘතිය විසින් ගොදුරක් බවට පත් කරගන්නා ලද තවත් එක් ප්‍රබල චරිතයක් ලෙසටය. එය එසේ වුවත් වරදෙහි ස්වභාවය තුළ පුද්ගල තත්ත්වයන් සැලකිල්ලට නොගැනීම හේතුවෙන් නීතිය හමුවේ ඔහු වරදකරුවකු වී තිබේ. එය විශේෂයෙන්ම මේ රටේ පරිපාලන නිලධාරීන්ද ඇතුළු රාජ්‍ය මූල්‍ය පාලනයට අදාළ සියලු දෙනාම ගැඹුරින් තේරුම්ගත යුතු කරුණකි. එහෙත් එය තේරුම් ගැනීමේ දී නිවැරදි හා බුද්ධිමත් ආකාරයට එය තේරුම් ගැනීමද ඉතා වැදගත් වනු ඇත.

මක්නිසාද යත්: රටක මහජන මුදල් භාවිතයේ දී ඒ සඳහා සුජාත භාවයක් ලැබෙන්නේ ලැබෙන නියෝග මත හෝ මුදල් රෙගුලාසිවලට අනුකූල වීම නිසාම නොව, හෘදය සාක්ෂිය තුළින් ඒ සඳහා ලැබෙන එකඟත්වය මත වන නිසාය.

ඒ සමඟම මෙකී නඩු තීන්දුව මඟින් ලබා දී ඇති ඉතා වැදගත් සංඥාවක්ද තිබේ. එනම්: නීතිය හමුවේ වරදක් වන කාරණයක දී කලක් මේ රටේ ප්‍රමුඛතම රාජ්‍ය නිලධාරියාව සිටි අයකුට පවා දඬුවම් ලබාදීම තුළ, දඬුවම් ලැබීමෙන් වැළකී සිටිය හැකි කිසිදු බලවතකු නොසිටිය හැකි බවය. එය යථාර්ථයක් වන්නට නම් මෙකී තත්ත්වය මේ රටේ දේශපාලකයන්ට අදාළවද ක්‍රියාත්මක විය යුතුව තිබේ. මේ තීන්දුවෙන් පසු මේ රටේ යුක්තිගරුක හා නීතිගරුක ජනතාව බලා සිටින්නේ එම දිනයද එළැඹෙන තුරුය.

සුනිල් ජයසේකර

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.