කාගේ ඉවසීමේ සීමාව ඉක්මවා යයිද? | සිළුමිණ

කාගේ ඉවසීමේ සීමාව ඉක්මවා යයිද?

 2017 සැප්තැම්බර් 3 වනදා උදෑසන නැගෙනහිර ආසියාවේ හටගත් ප්‍රබල භූමිකම්පාවක්.. අමෙරිකානු භූ විද්‍යා ඒජන්සියට අනුව රිච්ටර් මාපකයේ 6.3ක් ලෙස සටහන් වු භූ චලනයෙන් උතුරු කොරියාවේ කඳු නාය ගියේය. දකුණු කොරියාව ජපානය චීනය හා රුසියාව යන රටවලටද දැනුණු භූමි කම්පාවෙන් එම රටවල ආරක්ෂක අංශවල විමසිල්ල අවදි විය. මද වේලාවකින් උතුරු කොරියාව නිවේදනය කළේ තම රට කේන්ද්‍ර කරගනිමින් භූමිකම්පාවක් සිදු නොවු බවයි. භූ කම්පනය කුමක්ද යන්න අසල්වැසි රටවල් හා බලවත් රටවල ආරක්ෂක අංශ ඒ වනවිට අවබෝධ කරගෙන තිබිණි. එය උතුරු කොරියාවේ හයවැනි න්‍යෂ්ටික අත්හදා බැලීමයි. කලින් අවස්ථා පහටම වඩා මෙවර වෙනසක් ඇති බව හමුදා නිරික්ෂකයන්ට අවබෝධ විය. ඒ ප්‍රබලත්වයයි.

උතුරු කොරියාව මේ වසර මුල සිටම අන්තර්ජාතික ප්‍රජාව අතර කතාබහට ලක්වුයේ අතිශය ආක්‍රමණ ශිලි යුදමය ක්‍රියාමාර්ග හේතුවෙනි. ඔවුහු වසර පුරාම පාහේ මිසයිල අත්හදා බැලුවේ ලොව වෙනත් කිසිදු යුද බලවතකු නොකළ ආකාරයෙනි. එමෙන්ම නිරතුරුව යුද අභ්‍යාස සිදුකළේය. රටම දිස්වුයේ එකම හමුදා කඳවුරක් ලෙසිනි. උතුරු කොරියාවේ රජයේ හොරණෑ මාධ්‍ය යුද සාර්ථකත්වය හා අසහාය නායක කිම් ජොං අන් ගේ වීර වික්‍රමාන්විත බව ගැන කියා පෑවේ ප්‍රවෘත්ති නිවේදිකාවන් භාවාතිශය ලෙස මවාගත් රංගන ශෛලියේ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරිමේ කලාවක් විදහා දක්වමිනි. එය දකින අනෙක් රටක නරඹන්නකුගේ මුහුණට සිනාවක් නැඟුනද උතුරු කොරියානු පාලනයට එය කදිම ප්‍රශස්ති කලාවක් විය. ලෝකය උතුරු කොරියාවේ යුද ක්‍රියාමාර්ග ගැන තොරතුරු දැනගත්තේ මේ විකාර රූපී ප්‍රවෘත්ති විකාශයන් තුලිනි. ලොව හාස්‍යය ගෙනදෙන ආකාරයෙන් ඉදිරිපත් කළ ප්‍රවෘත්තියේ බොහෝ විට ගැබ්වු පණිවුඩ ජගත් ප්‍රජාව කුකුසට බියට හා අවිනිශ්චිත බවකට ලක්කරන්නට සමත් විය. උතුරු කොරියානු රූපවාහිනි ප්‍රවෘත්තියේ බොහෝ විට ගැබ්වුයේ සාර්ථක මිසයිල අත්හදා බැලිමක් පිළිබඳ පණිවුඩයකි. එසේත් නැත්නම් අසල්වැසි රටකට හෝ ලෝක බලවතෙකුට කෙරෙන තර්ජනයකි. නැතහොත් එරට “අසහාය ශ්‍රේෂ්ඨ නායකත්වයේ යුද අභිලාෂයන් “ පිළිබඳ ගුණ වැනුමකි.

පසුගිය ඉරිදා කොරියානු අර්ධද්විපය සසල කළ භූ චලනයෙන් පසුව අසල් වැසි රටවල්, ආරක්ෂක අංශ හා ගෝලීය මාධ්‍ය උතුරු කොරියාවේ රූපවාහිනි ප්‍රවෘත්ති වෙත නෙත් යොමා සිටියේ අනිවාර්යයෙන්ම කිසියම් වු පණිවුඩයක් අපේක්ෂාවෙනි. ඔවුන්ගේ සැකය නිවැරැදි බව තහවුරු කරමින් උතුරු කොරියානු රූපවාහිනි නිවේදිකාව වෙනදාටත් වඩා මවාගත් ඔද තෙද සහිත උත්ප්‍රාසය මුසු කෘත්‍රිම සිනහවක් හා මවාගත් ආඩම්බරයක් විදහා දක්වමින් කියා සිටියේ තම රටේ කිසිදු භූමිකම්පාවක් හට නොගත් අතර අති නවීන හයිඩ්‍රජන් බෝම්බයක් අත්හදා බැලු බවයි. න්‍යෂ්ටික අත්හදබැලීමට පෙරාතුව නායක කිම් විද්‍යාඥයන් සමඟ එක්ව බෝම්බය පරික්ෂා කරන ආකාරය දැක්වෙන නිශ්චල ඡායාරූප හා වීඩියෝ දර්ශන පෙළක්ද විකාශය කරමිනි.

න්‍යෂ්ටික බෝම්බයක ප්‍රබලත්වය ගණනය කරනු ලබන්නේ කිලෝටොන් වලිනි. උදාහරණ වශයෙන් හිරෝෂිමා වෙත හෙළනු ලැබු ලිට්ල් බෝයි පරමාණුක බෝම්බය කිලෝටොන් 13-18 ප්‍රමාණයේ ප්‍රබලතාවකින් යුක්ත විය. නාගසාකි වෙත හෙළනු ලැබු ෆැට් මෑන් බෝම්බය කිලෝටොන් 20-22 ත් අතර වේ. සැප්තැම්බර් 3 වෙනිදා එනම් පසුගිය ඉරිදා උතුරු කොරියාව අත්හදා බැලූ හයිඩ්‍රජන් බෝම්බයේ ප්‍රබලතාව කිලෝටොන් 50ත් 300ත් අතර විය හැකි බව භූ කම්පණයේ ස්වරූපය අධ්‍යයනය කළ න්‍යෂ්ටික විද්‍යාඥයෝ ප්‍රකාශ කරති. මේ අනුව අපට අවබෝධ කරගත හැක්කේ උතුරු කොරියාව සතු අලුත්ම න්‍යෂ්ටික බෝම්බයෙන් සිදුකළ හැකි විනාශය කොතරම්ද යන්නයි. හිරෝෂිමා නාගසාකි දෙස බලද්දි එය සිතාගැනිමටවත් අපහසු තත්ත්වයකි. මෙය ලොව මෙතෙක් සිදුකළ ප්‍රබලතම න්‍යෂ්ටික අත්හදා බැලිම නොවන බව සැබෑවකි. අමෙරිකා එක්සත් ජනපදය 1954 මාර්තු 1 වෙනිදා ශාන්තිකර සාගරයේ කිකිණි දුපතේ සිදුකළ න්‍යෂ්ටික අත්හදා බැලිමේ ප්‍රබලත්වය කිලෝ ටොන් 15000කි. ලොව ප්‍රබලතම නෂ්ටික අත්හදා බැලිම ලෙස සැලකෙන සෝවියට් දේශය 1961 ඔක්තෝබර් 30 වෙනිදා සිදු කළ සාර් බොම්බා න්‍යෂ්ටික පිපිරවීමේ ප්‍රබලත්වය කිලෝටොන් 50000කි. ඒ අනුව බලන කළ මහ බලවතුන් සතු න්‍යෂ්ටික අවි ශක්තිය ඉතා ඉහල තැනක පවතින අතර ඊට අභියෝග කිරිමට නම් උතුරු කොරියාව තව බොහෝ දුර යා යුතුය. එහෙත් මින් ලැබෙන පණිවුඩය නම් උතුරු කොරියාව නමැති අන්තර්ජාතික හිතුවක්කාරයා ඉතා ප්‍රබල න්‍යෂ්ටික අවි තාක්ෂනයක් අත්කරගෙන ඇති බවකි. අත්හදා බැලු අලුත්ම බෝම්බය මිසයිලයකට සවිකළ හැකි තාක්ෂණික ශක්තියද තමන් සතු බව උතුරු කොරියාව නිවේදනය කළේය. එසේනම් ඔවුන් න්‍යෂ්ටික බලවතකු ලෝකයේ ළඟාවිය හැකි ඉහළතම හිණිපෙත්තට ළඟා වි සිටින බව එමඟින් තහවුරු වෙයි.

දෙවැනි ලෝක යුද්ධයේ අවසානයත් සමඟ කොරියානු අර්ධද්විපය බෙදා වෙන්කරගත් මහ බලවතුන් වු අමෙරිකාව හා සෝවියට් දේශය 1950 – 1953 කොරියානු යුද්ධයත් සමඟ තිරසාර වශයෙන් කොරියානු ජාතිය උතුරු කොරියාව හා දකුණු කොරියාව වශයෙන් රටවල් දෙකක් ලෙස බෙදා වෙන්කර ගත්තේය. එකම ජනවර්ගයක් දේශපාලනික සංකල්පයක් මත එදා මහබලවතුන්ගේ වුවමනාව වෙනුවෙන් බෙදි වෙන්වු අතර එය අද දක්වාම නොවෙනස්ව පවතී. එකිනෙකාට එරෙහිව අවි අමෝරාගෙන සිටින්නේ එකම ජාතිකයකට සංස්කෘතියකට හා ඥාති පරම්පරාවන්ට අයත් ජනකොටස් දෙකකි. මේ අතරින් උතුරු කොරියාව නිරවි යුද්ධය අවසානයේ සමාජවාදි බල කඳවුරේ බිද වැටීමෙන් පසු ලොව ශේෂ වු එකම ස්ටාලින්වාදි වාමාංශික රාජ්‍යයයි. උතුරු කොරියාවේ නිර්මාතෘ කිම් ඉල් සුං, ඔහුගේ ඇවෑමෙන් පාලනය බාරගත් පුතු කිම් ජොං ඉල් හා ඔහුගේ මරණින් පසු පාලකයා වු කිම් ජොං අන් රට මෙහෙයවන්නේ අන්තර්ජාතික ප්‍රජාවෙන් හුදෙකලා වු බලපෑම්කාරි රාජ්‍යයක ස්වරූපයෙනි. ඔවුන් ඉතිහාසය දෙස බලන කළ අන්තර්ජාතික ප්‍රජාව හා සිදු කළ බල ගනුදෙනු වලදී යොදාගෙන ඇති කේවල් කිරිමේ ශක්තිය වන්නේ යුද තර්ජනාත්මක බලපෑම්කාරි රාජ්‍ය තාන්ත්‍රිත රටාවකි. තමා බලවතකු බව පෙන්වා යමක් දිනාගැනිම එරට සාම්ප්‍රදායික ක්‍රමවේදය බව ඉතිහාසය දෙස බලන කළ අපට පෙනේ. බටහිර මාධ්‍ය විසින් මවා ඇති රාක්ෂස ප්‍රතිරූපය සැබැවින්ම උතුරු කොරියාවේ ස්වභාවයද යන්න ගැන බරපතළ ගැටලුවක් පැවතුනද ලොව නැඟෙනහිර කෙළවරේ ඇති මේ ස්ටාලින්වාදි වාමාංශික රාජ්‍යය නිරතුරුව බලපෑම්කාරි කේවල් රටාව යොදාගන්නා බවනම් තහවුරු වු කරුණකි. දිගින් දිගටම සිදුකරන අවි අත්දාබැලිම් වලින් උතුරු කොරියාව ලබාදෙන පණිවුඩය කුමක්ද? තමන් ආසියාවේ ඉතා දියුණු න්‍යෂ්ටික අවි බලයක් සහිත බලවතෙකු බවයි. එවැන්නෙකුට ලෝකයේ හිමිවන තැන තමන්ටද ලැබිය යුතු බව උතුරු කොරියාවේ ස්ථාවරයයි. එමෙන්ම තමන් ලොව කිසිම බලවතකුට නොදෙවෙනිය යන පණිවුඩයද එහි ගැබ්වේ. න්‍යෂ්ටික අවි පරික්ෂන හා මිසයිල අත්හදා බැලීම් යනු අමෙරිකාවේ දැඩි මතධාරි ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනයට ලබාදෙන තෑග්ගක් බව එක්සත් ජාතින්ගේ උතුරු කොරියානු තානාපති හැන් තේ සොං ප්‍රකාශ කළේ තම රට අමෙරිකාව හා සමතැනක සිටින බව අඟවමිනි.

දැන් යථාර්ථය වන්නේ ලෝකයට අති ප්‍රබල න්‍යෂ්ටික යුද බලවතකු මෙන්ම කිසිවකුට අවනත නැති රාජ්‍යයක් සමඟ කල්ගත කිරිමට සිදුවිමයි. එය ඉතිහාසයේ සිට මේ දක්වා යථාර්ථයක් ලෙස පැවතුණද වර්තමානයේ එය වඩාත් යථාවත් වු යථාර්ථයකි. උතුරු කොරියාව සම්බන්ධයෙන් ලෝකය මතයන් දෙකක් දරයි. පළමුවැන්න උතුරු කොරියාවට යුදමය වශනේ පාඩමක් ඉගැන්විමට කාලය එළඹ ඇති බවට අමෙරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන් දරණ මතයයි. දෙවැන්න උතුරු කොරියාව සමඟ රාජ්‍ය තාන්ත්‍රිකව මේ ප්‍රශ්නය විසඳිය යුතුය යනුවෙන් රුසියාව හා චීනය දරණ මතයයි. උතුරු කොරියාවේ වඩාත්ම සමිප රාජ්‍යය වන්නේ චීනයයි. රුසියාව රාජ්‍යතාන්ත්‍රික වශයෙන් චීනය තරමටම උතුරු කොරියාවට බැඳී නොපැවතුනත් යහපත් සබඳතා පවත්වාගෙන යන රටකි. එහෙත් උතුරු කොරියාවට සැබෑවටම බලපෑමක් කිරිමට නම් චීනය ඒ සඳහා යොමුකරලීම වඩාත් සාර්ථක ක්‍රියාමාර්ගය බව ටුම්ප් පාලනයේ අපේක්ෂාවයි. අමෙරිකාව උතුරු කොරියානු ප්‍රශ්නයේදි දිගින් දිගටම චීනයට බලපෑම් කරන්නේ එබැවිනි.

ප්‍රථම බලපෑම්කාරී පියවර ලෙස උතුරු කොරියාවට දැඩි සම්බාධක පැනවීමට අමෙරිකාව හා අනෙකුත් බටහිර රටවල් සුදානම් වෙයි. මේ පිළිබඳ යෝජනාවක් එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලය හරහා ඉදිරිපත් කෙරේ. ට්‍රම්ප් පාලනය ඊට අමතරව උතුරු කොරියාව හා ගනුදෙනු කරන රටවලටද තහංචි පැනවීමක් අපේක්ෂා කරයි. මුලික වශයෙන් රටවල් 80ක් පමන උතුරු කොරියාව සමඟ ගනුදෙනු කරයි. 2015 එරට අපනයන ආදායම අමෙරිකානු ඩොලර් කෝටි 283කි. එරට නිෂ්පාදන වලින් 80% ක් මිල දී ගන්නේ චීනයයි. නව සම්බාධක මගින් අමෙරිකාව අපේක්ෂා කරන්නේ උතුරු කොරියාවේ අන්තර්ජාතික වෙළෙදාමට වැට බැදිමටයි. එහෙත් රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් ප්‍රකාශ කරන්නේ වත්මන් අර්බුදයට එය පිළියමක් නොවන බවයි. තණකොළ කා හෝ ජිවත් වී න්‍යෂ්ටික අවි වැඩපිලිවෙල රැක ගැනීම උතුරු කොරියාවේ ස්වභාවය බවට රුසියානු ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ගැන යළි සළකා බැලීම වටී.

උතුරු කොරියාව ගැන තම ඉවසීමේ සීමා ව ඉක්ම යමින් පවතින බවත් කිම් ජොං අන් යුද්ධයක් ඉල්ලා සිටින බවටත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩි ට්‍රම්ප් හා ඔහුගේ පාලනයට සම්බන්ධ ප්‍රධානින් පසුගියදා කළ ප්‍රකාශ කෙරෙහි සැළකිල්ල යොමු කීරීම වටී. එසේනම් අන්තර්ජාතික යුද ක්‍රියාමාර්ගයකින් උතුරු කොරියාව නිහඩ කළ හැකිද? අමෙරිකාව එවැනි ස්ථාවරයක් ගැන අදහස් පළකර තිබුණත් යුද ක්‍රියාමාර්ගයක් යනු අතිශය විනාශකාරි පියවරක් වනු ඇතැයි යන්න අන්තර්ජාතික වශයෙන් සියලු පාර්ශව පිළිගන්නා කාරණයකි. එය උතුරු කොරියාවට සමස්ත විනාශයත් දකුණු කොරියාව හා ජපානය ඇතුලු අසල්වැසි රටවලට අති විශාල විනාශයකුත්, ප්‍රතිළුල වල බිහිසුණු බව සිතිය නොහැකි තරමේ න්‍යෂ්ටික යුද්ධයකුත් එහි අවසන් ප්‍රතිළුල විය හැකිය. මේ නිසා උතුරු කොරියාව සම්බන්ධයෙන් ක්‍රියාකිරිමේදි අතිශය විමසිලිමත් එමෙන්ම හානිකර ප්‍රතිඵල උදා නොකරන එහෙත් හුදෙක් ඇල්මැරුණු හා ඵලදායක නොව සාකච්ඡා වලට පමණක් සීමා නොවන රාජ්‍ය තාන්ත්‍රික වැඩපිළිවෙලක අවශ්‍යතාව ලෝකය හමුවේ පවතී. මෙහිලා වඩාත් වැදගත් වන්නේ චිනයේ දායකත්වයයි. 1960 දශකයේදී චීනය උතුරු කොරියාව සමග ආරක්ෂක සහයෝගිතා ගිවිසුමකට පවා එළඹ ඇත්තේ යුද ක්‍රියාමාර්ගයකින් එරට ආරක්ෂා කිරිමේ පොරොන්දුවක්ද සහිතවයි. අදට එය කොතරම් වලංගුද යන්න ගැන සැකයක් පැවතුනද මේ ප්‍රශ්නයේදි වඩාත්ම ක්‍රියාකාරී හා ඵලදායක පියවරක් ගත හැක්කේ චීනයටයි. වළං කඩයට පැන්න ගවයා සේ දැන් හැසිරෙන උතුරු කොරියාව අල්ලා බැඳ දැමිමේ රැහැන ලෙස තවමත් චීනයට භුමිකාවක් පවතින අතර කල් ගතවීමට ප්‍රථම යම් ක්‍රියාමාර්ගයක් ගැනිමේ වගකීමද ලෝකය සතුව පවතී.

ප්‍රසාද් කෞශල්‍ය දොඩන්ගොඩගේ 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.