මියන්මාරය වාර්ගික අර්බුදයක් අබියස | සිළුමිණ

මියන්මාරය වාර්ගික අර්බුදයක් අබියස

 මියන්මාරය මහා ව්‍යසනයක් කරා ගමන් කරමින් සිටින පෙරනිමිති දක්නට ලැබේ. නැ‍ඟෙනහිර ආසියාවේ බෞද්ධ රටක් වන මියන්මාරයෙන් මෙවැනි ව්‍යසනයක පෙරනිමිති දක්නට ලැබීම සැබවින්ම කණගාටුදායකය. දශක දෙකකට ආසන්න කාලයක් නිවාස අඩස්සියේ සිටි අවුන් සාන් සුකී ඉන් නිදහස්ව ප්‍රජාතන්ත්‍රවාදි මැතිවරණයකින් බලයට පත්ව තවමත් ඉක්ම ගොස් ඇත්තේ වසර කිහිපයකි. ඒ ඇසිල්ලේ මෙවැනි ජාතිවාදී ගිනිදලු ඇවිළී යෑම සැබවින්ම කණගාටුදායකය.

මියන්මාරය තම සාමකාමි නිහඬතාව බිඳදමා ‍රුධිර ගංගා ගලා යන යුද පිටියක් බවට පත් වූ ආසන්නතම සිදුවීම වාර්තා වන්නේ පසුගිය අගෝස්තු 25 වැනිදා ය. ඒ මියන්මාරයේ රාකිණේ ප්‍රදේශයේ ක්ෂණිකව සිදු වූ ප්‍රහාර මාලාවක් ‍සමඟිනි. මේ ප්‍රහාර එල්ල කර ඇත්තේ මේ ප්‍රදේශයේ ජීවත් වන රොහින්ග්යා මුස්ලිම්වරුන් විසින් බව ප්‍රකාශිතය. රොහින්ග්යා මුස්ලිම්වරුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්යැයි පැවසූ කණ්ඩායමක් ප්‍රදේශයේ පොලිස් ස්ථාන සහ හමුදා කඳවුරු රාශියකට ප්‍රහාර එල්ල කළ බව එහිදී වාර්තා විය. මේ සිදුවීමෙන් දින දෙකක් ගත වන අවස්ථාවේ එනම් පසුගිය 28වැනිදා රොහින්ග්යා මුස්ලිම්වරුන් වැඩි වශයෙන් ජීවත් වන රාකිණේ ප්‍රදේශයට පැමිණි මියන්මාර් හමුදාව නිවාස රාශියක ජනතාව අමතමින් තම නිවෙස්වලින් ඉවතට පැමි‍ණෙන මෙන් අණ නිකුත් කර තිබේ. ඒ අනුව නිවෙස්වලින් ඉවතට පැමිණි ජනතාව පසෙකට කළ හමුදාව ඔවුන්ගේ නිවාස ගිනිබත් කරදැමූ බව මේ සිදුවීමට මුහුණ පෑ ජනතාව ප්‍රකාශ කර තිබේ. පසුව ඒ ජනතාව පෙළගස්වා නගරයේ හිස්ව තිබූ ගොඩනැඟිලි දෙකක් වෙත ගමන් කරන ලෙස පවසා තිබේ. එලෙස ගොඩනැඟිලි දක්වා ගමන් ගන්නා අතරතුරේදී ඇතැම් දෙනා පිරිසෙන් මිදී අසල වූ කඳුකරයට දිව ගොස් සැඟවීමට සමත් වී තිබේ. එහෙත් එතරම් වාසනාවන්ත නොවූ බහුතරයක් දෙනා අදාළ ගොඩනැඟිලි වෙත ගෙන ගොස් පහර දී මරාදැමීමටත් ඉන් පසු එම ගොඩනැඟිලිද ගිනිබත් කිරීමටත් මියන්මාර හමුදා කටයුතු කළ බව වාර්තා වී තිබේ. ඉහත කී සිදුවීම් හේතුවෙන් මියගිය පිරිස හාරසීයක් පමණ වන බවද ප්‍රකාශිතය.

මේ සිදුවීමෙන් පසුව රොහින්ග්යා මුස්ලිම්වරුන් විශාල වශයෙන් තම ජීවිතාරක්ෂාව පතා අසල්වැසි බංග්ලාදේශයට පලා එමින් සිටින බව වාර්තා වේ. මේ වන විට එලෙස පලා ආ පිරිස එක්ලක්ෂ විසිපන්දහසක් පමණ වන බවත්, තවත් ලක්ෂ ගණනින් සරණාගතයන් බංග්ලාදේශ මියන්මාර දේශසීමා ප්‍රදේශයේ වනගතව සැඟවී සිටින බවත් මාධ්‍ය වාර්තා කර තිබේ. තවත් බොහෝ දෙවා බෝට්ටු මඟින් සයුර තරණය කර බංග්ලාදේශයට අතුළු වීමේ උත්සාහයක යෙදෙන බවද වාර්තා වේ. මෙසේ පැමිණෙන සරණාගතයන් අතරින් බහුතරය ළමයින් සහ කාන්තාවන් වන අතර, ඔවුන් කිසිදු සටන්කාමි සිදුවීමට සම්බන්ධයක් නොදක්වන හෙයින් ඔවුන් මුහුණ දෙන්නා වූ මේ අත්දැකීම් ඉතා කණගාටුදායක බවද පැවසිය යුතුය.

බොහෝ කලක් සාමකාමි රටක් ලෙස මෙන්ම සහ අවුන් සාන් සුකී ගේ නිවාස අඩස්සිය හේතුවෙන් ලොව පුරා ප්‍රසිද්ධියට පත් මියන්මාරය මෙලෙස එක්වරම ලේ ගංගාවක් බවට පත් වීමට හේතු විමසන විට පෙනී යන්නේ මේ සිදුවීමේ ගිනිපුපුර දශක ගණනාවක් තිස්සේ අළු යට සැඟවී තිබුණු බවයි.

මේ සිදුවීම් මලාවේ ප්‍රධාන චරිත වන රොහිනිග්යා මුස්ලිම්වරුන් යනු එක්තරා මුස්ලිම් ජන කොට්ඨාසයක් ලෙස හැඳින්විය හැකිය. ඔවුන්ගේ නිජබිම ලෙස හැඳින්විය හැකි කිසිම භූමි ප්‍රදේශයක් මේ පෘථිවි තලයේ නැත. ඒ වෙනුවට ඔවුන් බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්තානය, තායිලන්තය, මැලේසියාව වැනි විවිධ රටවලින් පැමිණ මියන්මාරයේ පදිංචි වූවන් ලෙස හඳුනාගැනීම වඩා සුදුසුය. නිජබිමක් නැති මේ ජන කොට්ඨාසය දැන් දශක ගණනාවක් තිස්සේ මියන්මාරයේ රාකිණේහි පදිංචිව සිටින බැවින් තමන්ට බොහෝ අයිතිවාසිකම් ලැබිය යුතු බව ඔවුන්ගේ අදහස වී තිබේ. එම අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් ඔවුන් කිසියම් අන්දමකින් සංවිධානය වී සිටි බවටද නොයෙක් තොරතුරු මීට පෙරදීද ලැබී තිබේ. කෙසේ වුවද මේ දක්වා එය මෙතරම් දුර දිග ගිය අවස්ථාවක් සම්බන්ධව වාර්තා නැත.

මේ සමඟ මියන්මාරයේ බෞද්ධ ජනතාවද විරෝධතා පැවැත්වීමට කටයුතු කර තිබේ. 'ලෝකය මුස්ලිම්වරුන්ගේ පමණක් නොවන බව' ඔවුන්ගේ සටන් පාඨය වී තිබේ.

කෙසේ වුවද මේ සිදුවීම් මෙසේ සිදු වන විට මියන්මාර් රජය කිසිදු කැපීපෙනෙන මැදිහත් වීමක් මේ දක්වා සිදු නොකිරීමද විශේෂත්වයක් ලෙස දැක්විය හැකිය. ඇතැම් විට මියන්මාර රජය වඩා ආරක්ෂිත පිළිවෙතක සිටිමින් කටයුතු කිරීමට උත්සාහ දරනවා විය හැකිය. එහෙත් මේ වන විට මියන්මාර රජය සමූලඝාතනයක නිරත වන බවත් අවුන් සාන් සුකී හිට්ලර්ගේ නැඟණියක බවටත් හුවා දක්වමින් ලොව පුරා මාධ්‍ය වාර්තා ගලා යන බවද සඳහන් කළ යුතුය.

කොයියම්ම ලෙසින්, කිනම් ජනවර්ගයක් අදාළ කරගනිමින් සිදු වුවද මනුෂ්‍ය ඝාතන අනුමත කළ නොහැකිය. එහෙයින් මියන්මාරය හෙට දිනයේදී සාමකාමිව සියලු ජනතාවට සැනසිල්ලේ ජීවත් විය හැකි භූමියක් වනවා නම් මනුෂ්‍යයන් ලෙස එය අප කාගේත් සතුටට හේතු වනු ඇත.

ටිරෝනි වෑවලගේ 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.