ගුරු ග්‍රහ මාරුවේ විජ­ය­ග්‍රා­හකයා කවුද ? | සිළුමිණ

ගුරු ග්‍රහ මාරුවේ විජ­ය­ග්‍රා­හකයා කවුද ?

දැන් ගුරු ග්‍රහයා ගමන් ගන්නේ ඔබේ ලග්නයෙන් 07 වැන්නේය. ඒ අනුව ඔබේ කේන්දරයේ 09 සහ 12 අධිපතියා වූ ගුරු ඔහුට ඉතා සතුරු 06 වැන්න සහ පඨවි ශක්ති පීඩනයෙන් නිදහස්වීම ම ඔබ ලැබූ ජයග්‍රහණයකි. රෝ සතුරු පීඩනයත් ඒ සමඟම අවසන් වෙයි. ගිනි බලයෙන් යුත් මේෂයට වායූ බලයෙන් යුත් 7 වැන්න වූ තුලාව ප්‍රධාන ප්‍රතිපෝෂක රාශිය වෙයි. එය එක එල්ලේ ම ඔබේ පෞරුෂය සහ ප්‍රතිරූපය කෙරෙහි ඇතිකරන ධනාත්මක ආරෝපණයකි.

දෙවනුව 7 වැන්නෙන් 5 වැන්න හෙවත් ඔබේ ලග්නයෙන් 11 වැන්න වූ ඔබට මිතුරු වායූ බලැති කුම්භය උත්තේජනය කිරීම නිසා මෙතෙක් විඳී ආර්ථික දුෂ්කරතා දුරු වී නව අයමාර්ග උදාවෙයි. තෙවනුව 7 වැන්නෙන් 9 වැන්න වූ ඔබේ ලග්නයෙන් 3 වැන්න වූ ඔබට මිතුරු වායූ බලැති මිථුනය උත්තේජනය වීම නිසා ඔබේ නිසග හැකියාවන් සහ විශ්වය සමඟ වූ සබඳතාවන් සුසර වීමද ඉතා යහපත් වෙයි.

සමස්තයක් වශයෙන් ගත් කළ ඔබට සියලු සුබඵල උදාකරන ප්‍රතිපෝෂක වායූ ත්‍රිකෝණයම මෙතැන් සිට ඉතා ප්‍රශස්තව බලවත් වෙයි. එය වසර 12 කට පසුව උදා වූ භාග්‍යයකි. විවාහය හවුල් කටයුතු විදේශ ගමන් නව අයමාර්ග උසස් අධ්‍යාපනය සහජ හැකියාවන් සහ ආධ්‍යාත්මික ප්‍රබෝධය සහ ඔබේ සමාජ ප්‍රතිරූපය උසස්වීම ආත්ම ශක්තිය බලවත්වීම යනාදී වූ සුබඵල රැසක් භුක්ති විඳීමට ඔබට අවස්ථාව සහ කාලය උදාවෙයි.

ගුරු මාරුව සිදුවන්නේ ඔබේ ලග්නයෙන් 06 වැන්නේය. ඔබට සතුරු වායූ බලැති 06 වැන්නේ ගුරු ග්‍රහයා ගමන් කිරීම එතරම් සුබ තත්ත්වයක් නොවේ. ගුරු ඔබගේ කේන්දරයේ 08 වැන්න වූ ගිනි බලැති ධනුවේ සහ ජල බලැති 11 වැන්න වූ මීනයේ අධිපතියා වෙයි. මේ නිසා විශේෂයෙන්ම ඔබ පරෙස්සම් විය යුත්තේ රුධිරගත සීනී රුධිරගත මේදය සහ අධික තරබාරුව යනාදී රෝගකාරක පීඩනයන් හැකිතාක් අවම කැර ගැනීමටය. ඒ මිස මේ පිළිබඳව අනියත භීතියක් ඇති කැර ගැනීම අවශ්‍ය නොවේ.

ඔබේ ලග්නයෙන් 02 වැන්න වූ වායූ බලැති මිථුනය සහ 10 වැන්න වූ වායූ බලැති කුම්භය ගුරු වෙතින් උත්තේජනය වීම සාපේක්ෂව ඔබට වාසිදායක වෙයි. රැකියාව ව්‍යාපාරය ආශ්‍රිතව හදිසි විපර්යාස හට ගන්නා නමුත් එය ඔබට දිගුකාලීනව වාසිදායකය. එසේ නමුත් මෙහිදී ඔබේ ලග්නයෙන් 12 වැන්න වූ ඔබට සතුරු ගිනි බලැති මේෂ රාශිය උත්තේජනය වීම සිදුවන නිසා ප්‍රඥාව මුල් කැර ගත් ඉවසිලිමත් උපායශීලී පිළිවෙතක් අනුගමනය කළ යුතුව තිබේ.

සමස්තයක් වශයෙන් ගත් කළ ඔබේ කේන්දරයේ 06 - 10 - 02 - 12 යන ස්ථාන ගුරු ග්‍රහයාගේ ඍජු සහ වක්‍ර බලපෑමට ලක්වෙයි. එහි හොඳ සහ නරක යන දෙකම මිශ්‍ර වී තිබේ.

ශාරීරික සහ මානසික පීඩනය තීව්‍ර වන සිදුවීම්වලට ගොදුරුවන හෙයින් ඒ දෙ අංශයෙන්ම කිසියම් අභ්‍යන්තර විනයක් පවත්වා ගැනීම ඔබ සතු වගකීමකි.

මෙතැන් සිට ගුරු ග්‍රහයා ගමන් ගන්නේ ඔබේ ලග්නයෙන් 05 වැන්න වූ ඔබට මිතුරු වායූ බලැති තුලාවේය. මේ සමඟ ම ඔබේ ලග්නයත් 05 වැන්නත් 09 වැන්නත් වූ මූල ත්‍රිකෝණය ඉතා බලවත් ලෙස උත්තේජනය වෙයි. එහි ප්‍රතිඵලය වන්නේ ඔබේ පෞරුෂය සමාජ ප්‍රතිරූපය සහ ආත්ම ශක්තිය ප්‍රබල වීමයි.

මෙතෙක් හිමි නොවූ අවස්ථාවන් සහ නව සබඳතාවන් නිර්මාණය වෙයි. මේ ඔබේ ජීවිතයේ දොළොස් වසරකට පසුව සිදුවන පරිවර්තනයකි. එසේම 05 වැන්න යනු ඔබේ රැකියාව හෝ ව්‍යාපාරය හෝ තනතුරු ආදිය නිවේදනය කරන 10 වැන්නෙන් 08 වැන්න වන හෙයින් ඒ ආශ්‍රිත හදිසි වෙනස්වීම් සහ පරිවර්තනයන් සිදුකරයි.

මෙහිදී ලැබෙන දේ බාර ගැනීමට සූදානම් වීම මිස ඊට එරෙහි වන්නට ගියහොත් තිබෙන දෙයත් අහිමි විය හැකි බව තේරුම්ගත යුතුව තිබේ. දරුවන් - ප්‍රේම සබඳතාවන් සහ විනෝදාත්මක කටයුතුවලදී යම් යම් බාධක අවහිරකම් මතුව එන කාලයකි.

එහෙත් සමස්තයක් වශයෙන් ගත් කළ මේ ගුරු මාරුව ඔබට සුබදායක වෙයි.

ගුරු ඔබේ 07 සහ 10 අධිපති ග්‍රහයා වන හෙයින් ද ඔහු පිළිවෙළින් 07 න් 11 සහ 10 න් 08 යන මර්මස්ථාන උත්තේජනය කරන හෙයින් රැකියාව - ව්‍යාපාරය සහ විවාහය - හවුල් කටයුතු ආදිය සම්බන්ධයෙන් ඉතා ඉවසිලිමත්ව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙයි. එවිට මේ සියලු දෙයින්ම විපුල ඵල ලැබිමට අවස්ථාව තිබේ.

ගුරු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 4 වැන්නට පිවිසීම නිසා මෙතෙක් පැවති බලවත් පීඩනයක් දුරු වී යයි. ගෘහස්තය මෙන්ම රැකියා ව්‍යාපාරික ස්ථානවලද යහපත් පරිවර්තනයන් හට ගනී.

එමෙන්ම ඔබට සතුරු වායූ බලැති 08 වැන්න ගුරු ග්‍රහයා වෙතින් උත්තේජනය වන අතර එමගින් නිර්මාණය කරන්නේ ද්විත්ව විපාකයකි. විශේෂයෙන්ම රුධිරගත මේදය රුධිරගත සීනී අධික තරබාරුව ආදී තත්ත්වයන් පාලනය කැර නොගතහොත් ඔබ වෙත බරපතළ සෞඛ්‍ය තර්ජන මතුව ඒමට ඉඩ සැලසෙයි.

අනෙක් අතින් මෙතෙක් ඔබට අහිමි වී තිබූ රැකියාවේ උසස්වීම් හිඟ වැටුප් වරප්‍රසාද යනාදිය අනපේක්ෂිතව ඔබට හිමිවන තත්ත්වයක් උදාවෙයි. ඔබේ ලග්නයෙන් 06 සහ 09 අධිපති ගුරු 04 වැන්නේ ඔබට සතුරු වායූ බලය උද්දීපනය කිරීම නිසා රැකියාවේ වෙනසක් සහ විදේශගතවීම් ආදියට මග සැලසෙයි.

එසේම ඔබට සතුරු වායූ බලැති 12 වැන්න ද ගුරු වෙතින් උත්තේජනය වන හෙයින් රැකියාවේ සහ පදිංචියේ වෙනසක් සඳහා මෙන්ම මෙතෙක් ඔබ විසින් පරිහරණය කරන ලද දේ අතහැර යෑමට සිදුවන වාතාවරණයක් ද උදාවෙයි. සමස්තයක් වශයෙන් ගත් කළ මේ ගුරු මාරුව ඔබේ ජීවිතය උඩු යටිකුරු කරවන පරිවර්තනයක් බැව් පෙන්නුම් කරයි. එහෙත් දිගුකාලීනව ගත් කළ එය ඔබට ඉතා වාසිදායක වෙයි. අලුත් වෙනසට එරෙහිව යෑම වෙනුවට ඒ වෙනස සඳහා ඔබ සූදානම්වීම සහ ඊට අනුගතවීම ප්‍රඥාගෝචර වෙයි.

ගුරු ඔබේ කේන්දරයේ 05 සහ 08 වැන්නාධිපතියා වෙයි. දැන් ගුරු ගමන් ගන්නේ ඔබේ ලග්නයෙන් 03 වැන්නේ ය. ජන්ම කේන්දරයේ ගුරු දුබලව හෝ පීඩිතව හෝ සිටින්නේ නම් මේ ගුරු මාරුව ඔබට සුබදායක නොවන බැව් කිව යුතුය.

මේ එක එල්ලේම ඔබේ රැකියාව සහ ව්‍යාපාරය කෙරෙහි අනිටු විපාක ගෙන දෙයි. ශාරීරික සහ මානසික පීඩනය තීව්‍ර කෙරෙන අවස්ථාවකි. එහෙත් ගුරු චලනය වන්නේ ඔබට ඉතා මිතුරු වායූ ප්‍රතිපෝෂක ත්‍රිකෝණය වූ 3- 7- 11 යන භාවස්ථාන ත්‍රිත්වයම උත්තේජනය කරමිනි. එය සැඟවුණු ආශීර්වාදයකි. ඒ අතරම ඔබේ 09 වැන්න වූ ඔබට මිතුරු ගිනි බලැති මේෂය ද ගුරු වෙතින් එක එල්ලේ උද්දීපනය වෙයි.

මෙහි අර්ථය වන්නේ මින් ඉදිරියට ඔබ ඔබේ ආධ්‍යාත්මික ගුණ වගාව පෝෂණය කැර ගතහොත් එය ඔබට මහත් භාග්‍යයක් වන බවයි. ඔබේ සැබෑ මිතුරන් සහ මිතුරු වෙසින් මෙතෙක් සිටි සතුරන් හෙළිදරවු වෙයි. ඒ සමඟම මෙතෙක් පැවති සබඳතාවන් වෙනුවට නව සබඳතාවන් ගොඩනැගෙයි.

කෙසේ නමුත් මේ කාලයේදී ඔබේ රැකියාව හෝ රැකියා ස්ථානය හෝ වෙනස්වන අතර මෙතෙක් අහිමි වූ උසස්වීම් හිඟ වැටුප් සහ වරප්‍රසාද හිමිවීමේ වාතාවරණයක් නිර්මාණය වෙයි. එමෙන්ම අලුත් රැකියා අවස්ථා උදාවෙයි. විශේෂයෙන්ම මතක තබා ගත යුත්තේ හදිසි හෝ අනපේක්ෂිත ගැටුම්කාරී අවස්ථාවන් නිසි ලෙස ඔබ විසින් කළමනාකරණය නොකළහොත් එයින් අනර්ථයක් සිදුවිය හැකි බවයි. සමස්තයක් වශයෙන් ගතහොත් මේ කාල පරිච්ඡේදය යනු දෛවය විසින් ඔබේ අභ්‍යන්තර ශක්තිය පිරික්සන අවස්ථාවක් වෙයි.

ඔබේ ලග්නයෙන් දෙවැන්න වූ වායූ බලැති තුලාවේ ගමන් ගන්නා ගුරු ඔබේ කේන්දරයේ ගිනි බලැති 04 සහ ජල බලැති 07 වැන්නේ අධිපතියා වෙයි. මේ සමඟම මෙතෙක් ඔබේ හිසමත තිබූ විශාල පීඩනයක් ඉවත්වන්නා සේම මෙතෙක් ඔබේ ගමනට එරෙහිව තිබූ බාධක අවහිර දුරුවී යයි.

රැකියාවේ සහ ගෘහස්ත පරිසරයේ ප්‍රගතිදායක වෙනස්කම් හටගනී. එමෙන්ම නව මිතුරු සහ සමාජ සබඳතාවන් ගොඩනැගෙන අතර එමගින් මහත් ප්‍රතිලාභ හිමිවෙයි.

එහෙත් මේ සමඟම ඔබේ කේන්දරයේ ඔබට පරම සතුරු වායු බලැති 12 - 06 යන මර්මස්ථාන දෙක සමඟ 02 වැන්න ද උත්තේජනයවීම නිසා ඔබේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මතභේදාත්මක සහ ගැටුම්කාරී අවස්ථාවන් නිර්මාණය වෙයි.

එහෙයින් අත්තනෝමතික ලෙස කටයුතු කිරීම වෙනුවට නම්‍යශීලීවීම අත්‍යවශ්‍ය වෙයි.

එසේම ගුරු ඔබේ කේන්දරයේ ගිනි බලැති 08 වැන්න උත්තේජනය කිරීම ද එතරම් සුබදායක නොවේ. අනපේක්ෂිතව ඔබේ කටයුතු කඩාකප්පල්වීමට බලපාන්නේ ඔබ අනුන් මත විශ්වාසය තබා ඔවුන්ට වගකීම් පවරා ඔබ නිහඬව සිටීමේ දුර්වලතාව නිසා බැව් මෙහිදී ප්‍රත්‍යක්ෂ වෙයි.

කෙසේ නමුත් මේ ගුරු මාරුව ඔබට ඉතා යහපත් කාල පරිච්ඡේදයක ආරම්භය වෙයි.

ගුරු ඔබේ කේන්දරයේ 03 සහ 06 අධිපතියා වෙයි. පිළිවෙළින් එකී ස්ථාන දෙක ඔබට මිතුරු ගිනි බලයටත් ඔබට සතුරු ජල බලයටත් අයත් වෙයි.

මුලින්ම කිව යුත්තේ මේ ගුරු මාරුව විසින් ඔබට දැඩි අභියෝගාත්මක වාතාවරණයක් නිර්මාණය කරනු ලබන බවයි. දෙවනුව එකී ගුරු ලග්නයේ සිටිමින් ඔබට මිතුරු 05 සහ 09 යන වායූ මූල ත්‍රිකෝණය ප්‍රබලව උද්දීපනය කරයි. මෙහි අර්ථය වන්නේ ගුරු විසින් ඔබ වෙත ඉදිරිපත් කරන දුෂ්කර අභියෝග පීඩනයන් ජය ගැනීම සඳහා උවමනා බලය ද ගුරු ග්‍රහයා විසින්ම ඔබ වෙත ප්‍රදානය කරනු ලබන බවයි. තෙවනුව එකී ගුරු ඔබේ කේන්දරයේ 7 වැන්න වූ ඔබේ ප්‍රතිපෝෂක මේෂය එක එල්ලේ උද්දීපනය කරන හෙයින් ඔබේ අභියෝග ජයගැනීමට වුවමනා හවුල් කරුවන්ද බලගැන්වෙයි. මේ අනුව වසර දොළොසකට පසුව ඔබට ඔබේ ජීවිතය අලුත් කැරගැනීමට අවස්ථාව සහ මෙතෙක් කිසිදා ගමන් නොකළ අලුත් මාර්ගයක් ද විවෘත වෙයි. දරා ගැනීමේ සහ ප්‍රතිචාර පළකිරීමේ අලුත්ම ක්‍රමවේදයක් මේ අනුව නිර්මාණය වෙයි. අලුත් විෂය ක්ෂේත්‍රයන් අධ්‍යයනය කිරීමට මේ කාලය ඉතා යෝග්‍ය වන අතර ඉදිරි කාලයේදී එහි ප්‍රතිලාභ හිමිවෙයි.

එහෙත් ශරීර සෞඛ්‍යය සම්බන්ධයෙන් ඔබ පීඩනයකට ගොදුරුවන බවත් පෙන්නුම් කරයි. රුධිරගත සීනී රුධිරගත මේදය අධික තරබාරුව යනාදිය පාලනය කැර නොගතහොත් ඔබ ලොකු අමාරුවක වැටෙන බවත් කිව යුතුව තිබේ.

ගුරු ඔබේ කේන්දරයේ ගිනි බලැති 02 සහ ජල බලැති 05 වැන්නේ අධිපතියා වෙයි. දැන් ඔහු ගමන් ගන්නේ ඔබට සතුරු වායු බලැති 12 වැන්නේය.

එමෙන්ම ඔබට පරම සතුරු ගිනි බලැති 08 වැන්න ගුරු ග්‍රහයා විසින් එක එල්ලේ උත්තේජනය කරනු ලැබේ. මීට අමතරව 12 වැන්නේ ගමන් ගන්නා ගුරු ඔබේ කේන්දරයෙන් 04 වැන්න උත්තේජනය කරන හෙයින් මේ වර්ෂය බොහෝ අංශ වෙතින් ඔබට අවදානම් සහගත වෙයි.

05 වැන්න යනු 10 න් 08 වැන්නය. ඒ අනුව ඔබේ රැකියාව සහ ව්‍යාපාරික කටයුතු කෙරෙහි උදා කරන්නේ පීඩනයකි. 02 අධිපති 12 වැන්නේ ගමන් කිරීම නිසා තැන්පත් ධනය කෙරෙහි පමණක් නොව කුටුම්බය සහ ඔබේ ආහාර පාන පුරුදු මෙන්ම වචන භාවිතය සම්බන්ධයෙන් ද සැලකිලිමත් විය යුතුය. මෙතෙක් 11 වැන්නේ සිටිමින් ඔබට ආවරණය දුන් ගුරු ග්‍රහයා මෙතැන් සිට එකී රැකවරණය ඉවත් කරනවා පමණක් නොව 02 වැන්නේ ඔබට සතුරු ගිනි බලයම භාවිතයට ගනිමින් ඔබගේ පෙර ක්‍රියාකාරකම් පිළිබඳව ප්‍රතිචාර පළ කරයි.

ලග්නයෙන් 08 වැන්නද ඒ සමඟම උත්තේජනය කරන හෙයින් වඩාත් පරෙස්සම්විය යුතුව තිබේ. මේ ගුරු මාරුව ඔබට ඔබ තුළින් ම ප්‍රතිශෝධනයකට ලක්වීමට දෛවය විසින් ලබාදී ඇති අනගි අවස්ථාවක් වෙයි. එහි අර්ථය වන්නේ ආගමික සහ ආධ්‍යාත්මික මාර්ගයක් ඔස්සේ ගමන් කළ යුතු බවයි.

ඔබේ ලග්නාධිපති සහ 4 අධිපති ගුරු දැන් ගමන් කරන්නේ කේන්දරයේ ඔබට මිතුරු වායූ බලැති 11 වැන්නේ ය. ඔබ සතු ඉඩකඩම් යාන වාහන ගෘහස්ත පරිසරය සහ ඔබේ ඉදිරි සැලසුම් ආදිය අනපේක්ෂිතව වෙනසකට ලක්වෙයි.

එහෙත් දෙවනුව ඔබගේ පෞරුෂය සහ සමාජ ප්‍රතිරූපය ද රැකියාවෙන් හෝ ව්‍යාපාරයෙන් හෝ ලබන ආදායම ද ඉහළ නැංවෙයි. 11 වැන්නේ සිටින ගුරු 03 සහ 07 යන ඔබේ මිතුරු වායූ බලැති ප්‍රතිපෝෂක ත්‍රිකෝණය බලවත් කරන හෙයින් නිසග හැකියාවන් ද සමාජ සබඳතා සහ හවුල් කටයුතු ද අය මාර්ග ද යහපත් අතට පරිවර්තනය කරයි.

ඊට අමතරව ගුරු ඔබේ කේන්දරයේ 05 වැන්න වූ ඔබට මිතුරු ගිනි බලැති මේෂය එක එල්ලේ උත්තේජනය කරන හෙයින් රැකියාවේ වෙනසකට මුල පුරන අතර මෙතෙක් ඒ ආශ්‍රිතව පැවති අවහිරකම් ද දුරු කරයි.

ප්‍රේම සබඳතා සහ දූ දරුවන් ආශ්‍රිතව ජය ලබයි. මේ දොළොස් වසරකට පසුව ඔබට දෛවයෙන් හිමි වූ ස්වර්ණමය කාලපරිච්ඡේදයකි.

අධ්‍යාපනික තරග විභාග ජය සහ ශිෂ්‍යත්ව ආදියට සුදුසුකම් ලබන කාලයකි. මේ සියලු දෙයටම වඩා විශිෂ්ට වන්නේ ධනු ලග්නයෙන් උපන් ඔබ මෙතැන් සිට විශ්වය සමඟ ඇති අභිරහස් සබැඳියාවන් සුසර කැර ගැනීමේ අවස්ථාව හිමිකර ගැනීමයි. එහෙත් හදිසි අනතුරු සහ අසාත්මිකතා ආශ්‍රිත රෝගාබාධ තීව්‍ර කරන කාලයක් බවත් මතක තබාගත යුතුය.

ඔබේ ලග්නයෙන් 10 වැන්න වූ වායූ බලැති තුලාවේ ගමන් කරන ගුරු විසින් ඉතා වෙහෙසකර සහ ප්‍රතිඵලදායි රැකියා සහ ව්‍යාපාරික කටයුතු උදාකර දෙන අතර එයින් දුෂ්කරතා මැද ඔබ ජය ලබයි.

වෘත්තීය අංශයේ මෙතෙක් පැවති උදාසීන ස්වභාවය වෙනුවට ඉතා කාර්‍යබහුල ජීවිතයක් උරුම වන අතර එයින් වෘත්තීය ස්ථාවරභාවයක් ද හිමිකර ගනී. ඔබේ කේන්දරයේ 10 -06 සහ 02 යන වායූ ත්‍රිකෝණය ගුරු විසින් උත්තේජනය කිරීම යනු ඔබට සතුරු ගිනි බලැති 12 සහ ඔබට මිතුරු ජල බලැති 03 අධිපතියාගේ බලය වර්ධනය වීමකි.

මේ නිසා රැකියාව - තැන්පත් ධනය - සහ රෝ සතුරන් ආදී ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අවුල්කාරී වාතාවරණයක් මතුව එන නමුත් ඒ අභියෝග ජයගැනීමට ද ඔබට සවිය ලැබේ. රැකියාවේ ස්ථිර වෙනසක් පෙන්නුම් කරයි. විදේශගතවීම සහ විදේශ රැකියාවන් සඳහා යොමු වීම ඉතා පලදායි වෙයි.

විශේෂයෙන්ම ශරීර සෞඛ්‍යය සම්බන්ධයෙන් ඔබ පීඩනයකට ගොදුරුවන බවත් පෙන්නුම් කරයි. රුධිරගත සීනී රුධිරගත මේදය අධික තරබාරුව යනාදිය පාලනය කැර නොගතහොත් එය අවදානම් තත්ත්වයක් විය හැකිය.

දැන් ගුරු ග්‍රහයා ගමන් ගන්නේ ඔබට ඉතා මිතුරු වායූ බලැති 09 වැන්නේය. ඒ සමඟ ම මෙතෙක් පැවති දුෂ්කර කාලය හමාර වෙයි. ඔබේ 11 සහ 02 අධිපති ගුරු 09 වැන්නේ සිටිමින් නව අයමාර්ග විවෘත කර දෙන අතර උසස් ප්‍රභූන් සහ විදේශ සබඳතා යනාදියෙන් මහත් ප්‍රතිලාභ ගෙන දෙයි. ඒ සමඟම ඔබේ පෞරුෂය සමාජ ප්‍රතිරූපය සහ වර්ධනය කෙරෙන අතර ජීවිතයේ අලුත් පරිච්ඡේදයක් උදාවෙයි.

ඔබේ ලග්නය 05 සහ 09 වැන්න යන මූල ත්‍රිකෝණය බලවත් කරන ගුරු ග්‍රහයා සෑම සියලු අංශයකින්ම සුබඵල ගෙන දෙන අතර ඔබේ ලග්නයෙන් 03 වැන්න වූ ඔබට මිතුරු ප්‍රතිපෝෂක ගිනි බලැති මේෂය බලවත් කිරීම නිසා විශ්වයේ අභිරහස් දොරටුවක් විවෘත වනවා පමණක් නොව ඔබේ සහජ හැකියාවන් විශිෂ්ටත්වයට පත්වෙයි.

සමස්තයක් වශයෙන් ගත් කළ මේ ගුරු මාරුවේ විජයග්‍රාහකයා වන්නේ ඔබය.

ඔබේ ලග්නාධිපති සහ 10 අධිපති ගුරු දැන් ගමන් කරන්නේ කේන්දරයේ ඔබට පරම සතුරු වායූ බලැති 08 වැන්න නම් මර්මස්ථානයේ ය.

ඔබේ රැකියාව ව්‍යාපාරය වෘත්තීය කටයුතු මෙන්ම තනතුරු වගකීම් ආදී සියල්ල දැඩි අවදානමකට මුහුණ දෙයි. දුෂ්කර කාලයක ආරම්භය සනිටුහන් වෙයි. ඊට අමතරව ඔබේ කේන්දරයේ 12 - 08 - සහ 04 යන භාවස්ථාන ත්‍රිත්වයම ගුරුගෙන් උත්තේජනය වෙයි. ඊටත් අමතරව 02 වැන්න වූ මේෂය අහිතකර ලෙස පීඩනයට ලක්වන හෙයින් ද එය 10 න් ත්‍රිකෝණස්ථානයක් වීමත් සුබදායක නොවන මුත් අවදානමෙන් ගැලවීමේ මාර්ගය ද අවස්ථාවද උදාවෙයි.

පීඩනය දරා ගැනීම සහ ඊට ඔරොත්තු දීම මිස පීඩනයට එරෙහිව ඔබ විසින් ප්‍රතිපීඩනයක් ඇති කිරීමට උත්සාහ කළොත් හානිය දෙගුණ වෙයි. ඉවසීම සහ උපායශීලීත්වය ඇත්නම් ඔබට මේ දුෂ්කර කාලය හමාර කළ හැකිය.

සමාජ අපවාද සහ ඔබේ ප්‍රතිරූපයට හානි කරවන සිදුවීම් බහුල වන්නා සේම සෑම අතකින්ම ඔබ හුදෙකලා කෙරෙන ස්වභාවයක් පෙන්නුම් කළත් ගුරු ග්‍රහයා විසින් ඔබව සොලවනු ලබන මුත් විනාශ කරන්නේ නැත. එහෙයින් දරාගැනීමේ සහ ඉවසීමේ ධාරිතාව ඉහළ නංවා ගැනීම මැනවි.

 

Comments