ධනයෙන් බලයෙන් උමතුවීමට වඩා දැනුමෙන් උමතුවීම භයානකයි? | සිළුමිණ

ධනයෙන් බලයෙන් උමතුවීමට වඩා දැනුමෙන් උමතුවීම භයානකයි?

මිනිසා උමතුවන්නේ බලයෙන් පමණක් නොවේ. මිනිසා උමතුවන්නේ ධනයෙන් පමණක් නොවේ. ඔහු උමතුවන්නේ ආදරයෙන් පමණක් ද නොවේ. මිනිසා දැනුමෙන් ද උමතු වේ. දොන් කිහෝතේ යනු දැනුමෙන් උමතු වූ පුද්ගලයෙකුගේ කතා වස්තුව යැයි කෙටියෙන් කියන්නට හැකිය.

සාමාන්‍යයෙන් අප සිතන්නේ දැනුම හේතුවෙන් මිනිසා තැන්පත් වන බවය. සන්සුන්වන බවය. නැණවත් වන බවය. එහෙත් ඇත්ත නම් ඊට සපුරා වෙනස් ය. ඇතැම් දේශපාලන පක්ෂ විසින් සරසවි සිසුන් කඬේ යවනු ලබන්නේ දැනුමෙන් උමතු කිරීමෙනි. ඔවුන් පිකටින් කරන්නේ සත්‍යග්‍රහ කරන්නේ ඔවුන්ට ලබාදෙන යම් දැනුමක් හේතුවෙන් ලබන පන්නරය හා ජවය තුළිනි. 71 කැරැල්ල සිදු කළේ පංති පහකින් ලබාදෙන ලද දැනුමෙන් උම්මන්තක වූවෝ යැයි යමෙකුට කිව හැකිය. 71 කැරැල්ල උමතුවක් යැයි අපට නොසිතෙන්නේ ද අප යම්කිසි දැනුමකින් උමතු වී සිටින නිසා යැයි කෙනෙකුට කිව හැකිය.

කෙසේ හෝ මා මේ කියන දෙයෙහි අදාළත්වය ඔබ පරීක්ෂා කළ යුත්තේ මා මෙහි ලියා ඇති දෙය කියවීමට ද වඩා දොන් කිහෝතේ නැතිනම් දොන් ක්වික්සෝට් නම් වූ 16 වෙනි සියවසේ ලියැවුණු ස්පාඤ්ඤ නවකතාව කියැවීමෙනි. ලියුම්කරුගේ අදහස්වලට ද වඩා මේ දීර්ඝ නවකතාවේ රචකයා වන මිගෙල් ඩි සර්වන්ටීස් සෙවෙද්රාගේ අදහස්වලට සවන්දීමෙනි. ඔහුගේ අදහස් ‘උදයසිරි’ගේ අදහස්වලට වඩා ඉතා සරලය. රසවත්ය. සුන්දරය. තර්කානුකූලය. බුද්ධිමත්ය. හාස්‍යජනකය. ධනයටත් බලයටත් වඩා මිනිසා දැනුමෙන් උමතු විය හැකි බව මට ද හැඟී ගියේ දොන් කිහෝතේ තුළිනි. මා තුළ ද යම් තරමක් දුරට දොන් කිහෝතේ සංකීර්ණය පවතින මට ද වැටහී ගියේ මේ නවකතාව තුළිනි. ‘ඊඩිපස් සංකීර්ණයට’ වඩා ‘කිහෝතේ සංකීර්ණය’ වටහාගැනීම එදා 16 වෙනි සියවසේ ස්පාඤ්ඤයට පමණක් නොව 21 වෙනි සියවසේ ශ්‍රී ලංකාවට ද වැදගත් බව මට වටහාදුන්නේ මේ කෘතියයි. සැබවින්ම එදා මිගෙල් ඩි සර්වන්ටීස් සවේද්‍රා දොන් කිහොතේ කියන්නට උත්සාහ කළ දෙය අද දක්වාත් ලෝකයට වැටහී නැති බව ලෝකය අද ද ගමන් කරන දිසාව දෙස බැලීමේ දී පෙනී යයි. අදත් වැඩිපුර ඉන්නේ දොන් කිහෝතේලාය. මිගෙල් ඩි සර්වන්ටීස් උපහාසයට හා හාස්‍යයට ලක්කළ දොන් කිහෝතේලාය.

දොන් කිහෝතේ වයස අවුරුදු හැටක් පමණ වූවෙකි. ඔහු මුළු ජීවිත කාලය ම කළේ විවිධ වීර ක්‍රියා කරන මනඃකල්පිත වීරයන් පිළිබඳ එවකට බෙහෙවින් පළවූ පොත් කියවීමය. මේ මහා වීරවරු රාක්ෂකයන්ගෙන් කුමාරිකාවන් බේරා ගනිති. ඔවුහු යකඩ හිස්වැසුමක් පැළඳ යකඩ හැට්ටයකින් සැරසී අතින් හෙල්ලක් හෝ පළිහක් ද නොඑසේ නම් කඩුවක් හෝ හෙල්ලයක් ද රැගෙන අසු පිටින් රටින් රට සංචාරය කරති. ඔවුන්ගේ එකම අරමුණ දුකට පත්වූවන් එයින් මුදවාගැනීමය. අසාධාරණය පිටුදැකීමය.

මායාකරුවන්ගෙන් රජවරු මුදවා ගනිති. සිරකර සිටින අහිංසක කුමාරවරු බේරාගනිති. සමහර විට ඔවුහු ද මායාකරුවන්ගේ ග්‍රහණයට හසුවේ. එහෙත් කෙසේ හෝ අවසානයේ ඒ මායාවන්ගෙන් ජයගනිති. එහෙත් කොතෙක් කරදර උවදුරු ආවත් ඔවුහු ස්වකීය වීර චාරිකාව අත් නොහරිති. එක් වීරක්‍රියාවක් කොට තවත් වීරක්‍රියාවකට යති.

මේ වීර චාරිකාවල දී ඔවුහු දෙවඟනන් වන් සුරූපී කුමාරිකාවන්ගේ ආදරයට ද ලක් වෙති. සමහර විට ඒ අතරට ඔවුන් යක්ෂයන්ගෙන් බේරාගත් කුමාරිකාවෝ ද අයත් වෙති. එහෙත් මේ වීරයා දැනටමත් ආදරයෙන් බැඳී සිටින්නෙකි. එහෙයින් ඔහුට ඔවුන්ගේ ආදරය ප්‍රතික්ෂේප කිරීමට සිදුවේ. එහෙත් මේ කුමාරිකාවෝ ඔහුගේ ආලය ඉල්ලා හඬා වැටෙති. එහෙත් ඔහු එය ප්‍රතික්ෂේප කර තවත් වීරක්‍රියාවන් උදෙසා පිටත් වෙයි. ඔහුගේ අරමුණ තමන් දිවි හිමියෙන් ආදරය කරන තමන්ට දිවි හිමියෙන් ආදරය කරන තම කුමරියගේ නාමයෙන් හැකි තරම් වීර ක්‍රියාවන් කිරීමය.

සමහර විට මේ වීරයාගේ කඩුවේ මුවහත හමුවේ දහස් ගණන් භටයන්ගෙන් යුත් සේනාවන් පැර දී හිස් ලූ ලූ අත පලායති. තවත් විටක ඉතාම බලගතු රාක්ෂයන්ගේ හිස් ඔහුගේ අසිපතේ මුවහතින් කැපී වෙන්වේ. බියකරු මකරුන් මරන ඔහු ඔවුන්ගේ දිව කපාගෙන තබාගනියි.

ඔහු පසුපස යන ඔහුගේ අහිංසක සහකරුවෙක් ද සිටියි. ඔහුගේ වීර ක්‍රියාවන්හි එකම හවුල්කරුවා ඔහුය. වීරයා රාක්ෂයෙකුගෙන් රාජධානියක් බේරාගනියි. රට වැසියෝ ඔහුට රජකම පිළිගන්වති. එහෙත් ඔහුගේ කැමැත්ත රජකමට නොව වීර ක්‍රියාවන්ටය. එහෙයින් ඔහු තමන්ට ලැබුණු රජකම සැමවිටම තමා සමඟ සිටි තමාගේ අහිංසක මෝඩ සහකරුට පිරිනමා යළිත් තනිව පිටත් වේ.

දොන් කිහෝතේ මෙවන් වීරයන් ගැන ලියැවුණු එකළ රැල්ලක් මෙන් පැතිරුණු සෑම පොතක්ම කියවන්නට වූවේය. ඔහුට ඒ පොත්වල සමහර කොටස් මුළුමනින් ම කට පාඩම්ය. ඔහුට ඒවා මනඃකල්පිත සිදුවීම් වූවේ නැත. ඒවා සැබවින් ම එලෙසම සිදුවූ බව ඔහු කල්පනා කළේය. විශ්වාසයට ගත්තේය. ඒවා කතාකරුවන්ගේ ප්‍රබන්ධ කියා ඔහුට මොහොතකටවත් සිතුණේ නැත. මෙසේ පොත් කියවා වීරයන් පිළිබඳ දැනුමින් ඔහුගේ සිත පුරවා ගැනීම අවසන් වූයේ ඔහුටත් එවන් වීරයකු වීමට සිතීමෙනි.

ඒ අනුව ඔහු නිවසේ තිබුණු පරණ කේතලයක් හා එවැනි දේ මාට්ටු කර වීරයන් පළඳින ආකාරයේ වීරෝදාර හිස්වැසුමක් නිර්මාණය කරගත්තේය. තවත් එවැනි දේවලින් කඩු පලිහ ආදිය තනාගත්තේය. ස්වකීය වයස්ගත අශ්වයා ස්වකීය අජානේය අශ්වයා බවට පත්කරගත්තේය.

ඔහුගේ උදව්කරු හැටියට අසල්වැසි දිළිඳු ගොවියකු කැමතිකරවා ගත්තේ ඔහුට මාසික වැටුපක් ද එයට අමතරව තමන් රාක්ෂයකු වෙතින් බේරාගන්නා පළමු රාජධානිය ම ඔහුට පවරා දෙන බවට ද පොරොන්දුවක් දෙමිනි. කිහෝතේගේ මේ සහචරයාගේ නම සැන්චෝ නම් විය.

මේ කතාවේ බොහෝ තැන්වල දී මේ පොත් කියවා දැනුමෙන් උමතු වූ කිහෝතේට වඩා මේ නූගත් දිළිඳු සැන්චෝ නැණවත් බව හාස්‍ය රසයෙන් අනූනව ප්‍රකාශයට පත් වේ. එනම් පොතෙන් පතින් ලබන දැනුම විසින් කිහෝතේ බොළඳ බවට පත්කර ඇති බව ද අකුරු නොදැන දැකීමෙන් ඇසීමෙන් ප්‍රත්‍යක්ෂයෙන් ලබන ලද දැනුම ඇති සැන්චෝ නැණවත් බව ද පෙන්වන මේ දෙදෙනා හා සම්බන්ධ හාස්‍ය ජනක සිදුවීම් මේ නවකතාව පුරා දැකිය හැකිය.

පොත් කියවා දැනුමින් මනස විකල් කරගත් කිහෝතේ වීර ක්‍රියා කිරීම උදෙසා මහලු අසුපිට නැ‍ඟී යකඩ කේතලය හිස පැළඳ පිටත් ව යයි. අශ්වයකු අහිමි සැන්චෝ ද ස්වකීය බූරුවා පිට නැ‍ඟී ඔහු සමඟ පසුපසින් යයි. කිහෝතේ සොයන්නේ විනාශ කිරීමට රාක්ෂයන්ය. බේරාගැනීමට කුමාරිකාවන්ය. දිනාගැනීමට රාජ්‍යයන්ය. සටන් වැදීමට මහා සේනාවන්ය.

එසේ යන ඔහුගේ දෙනෙතට ඉතා විශාල යෝධයන් පිරිසක් දිස්වේ. ඔහු සැන්චෝට පවසන්නේ මේ මහා යෝධයන් පැරදවීම සඳහා සූදානම් වන ලෙසය. එහෙත් සැන්චෝට නම් යෝධයන් පෙනෙන්නේ නැත. ’උතුමාණෙනි කෝ යෝධයෝ’ කියා ඔහු අසන්නේ එහෙයිනි. ඒ අනුව කිහෝතේ අත දිගුකර යෝධයන් පිරිස පෙන්වයි. ඒ දෙස බලන සැන්චෝට පෙනෙන්නේ උසට උසේ සවිකර ඇති සුළං මෝල් කිහිපයකි. සැන්චෝ එම සුළං මෝල් පෙන්වා යෝධයින් යැයි අදහස් කළේ ඒවාද යැයි කිහෝතේගෙන් අසයි. කිහෝතේ එසේ බව පවසයි. එවිට සැන්චෝ පවසන්නේ ඒ යෝධයන් නොව සුළංමෝල් බවය. එහෙත් කිහෝතේ එය පිළිගන්නේ නැත. කිහෝතේ අස්වයා පිට නැ‍ඟී කඩුව අමෝරා යෝධයන් සමඟ සටනට යයි.

එහෙත් යෝධයන් ඔහුට මෙල්ල වන්නේ නැත. දිගට හරහට යෝධයන්ට කඩුවෙන් පහර දෙන විට සිදුවන්නේ යෝධයන් මිය යාම වෙනුවට කඩුව දෙකට තුනට කැඞී යාමය. ඒ නිසාම කිහෝතේ සටන නවත්වයි. ස්වකීය ස්වාමියාගේ පරාජය දකින සැන්චෝ ළඟට පැමිණ ‘උතුමාණෙනි මං ඕකනේ කිව්වේ මේ යෝධයෝ නෙමෙයි සුළං මෝල් කියලා’ කියා පවසයි. එහෙත් කිහෝතේ පැර දී ඇති බව සැන්චෝ සිතුවත් කිහෝතේ එසේ සිතා නැත.

ඔහු සැන්චෝට කියන්නේ මේ සුළං මෝල් නොව යෝධයන් බවත් එහෙත් තමන් සමඟ සටන් වැදීමට ඇති නොහැකියාව නිසා ඔවුන් මායා බලයෙන් සුළං මෝල් බවට පත්වී සටන මග හැරිය බවත්ය. සැන්චෝට ස්වකීය ස්වාමියාගේ නැණ මහිමය ගැන පුදුම වීම හැර කරන්නට වෙනත් දෙයක් නැත.

තවත් වරක් තණ බිම මැද්දෙන් දෙදෙනා යන විට තණ පිටිය ඈතින් දූවිලි වලාවක් ඉහළට නැ‍ඟෙනු දැක කිහෝතේ වහා සැන්චෝව නවත්වා පවසන්නේ මහා සේනාවක් පැමිණෙමින් සිටින බවය. ඒ සමඟ ම අනෙක් පසින් ද දූවිලි වලාවක් මතු වේ. තවත් සේනාවක් එන බව කියා කිහෝතේ සටනට සැරසෙන ලෙස සැන්චෝට අණ කර තමා ද සූදානම් වෙයි.

දැන් සේනා දෙක ළංව ළංව එයි. එවිට සැන්චෝට පෙනෙන්නේ ඒ යුද සේනාවන් දෙකක් නොව තණ පිටිය මැදින් දිව එන සුවිශාල බැටළු රංචු දෙකක් බවය. එහෙත් කිහෝතේ හෙල්ල අමෝරාගෙන සටනට පිටත් ව යයි. ‘උතුමාණෙනි ඒ සේනාවන් දෙකක් නෙමෙයි බැටළු රංචු දෙකක්’ කියා සැන්චෝ කෑගැසුවත් කිහෝතේ එය කනකට නොගනී.

ඔහුට පොතේ ලෝකය තණ පිටිය තුළ එලෙසින් ම අවශ්‍යය. කෙසේ හෝ මහා වීරයකු වීමට අවශ්‍යය. බැටළුවන් සේනාවක් බවට පත්කර තමන්ට මහා වීරයකු වීමට අවශ්‍යය. ඒ නිසා ඔහු බැටළු රංචුව මැදට පැන සේනාවක් සමූලඝාතනය කරන්නා සේ අහිංසක බැටළුවන්ට හෙල්ලෙන් අනින්නට වෙයි.

බැටළුවන් බලාගන්නා ගොපල්ලෝ මෙය මුලින් විකාර නාට්‍යයක් සේ දැක්කත් පසුව සිදුවන විනාශය දැක තත්ත්වය පාලනය කරන්නට වහා මැදිහත් වෙයි. අවසානයේ සිදුවන්නේ මහා වීරයාට නොසෑහෙන සේ තැළුම් කන්නටය.

පණ්ඩිතයන් තරම් වෙනත් මෝඩයන් නැතිබව හාස්‍ය මුසුව ඔප්පු කරන මෙවන් බොහෝ රසවත් සිදුවීම් මේ නවකතාව පුරාම දැකිය හැකිය. මෙය ලෝකයේ ශ්‍රේෂ්ඨතම කෘතින් අතරට ද අයත් වන්නකි.

අද ඇත්තේ පණ්ඩිතයන්ගේ ලෝකයකි. දැනුමෙන් උමතු වූ ලෝකයකි. සැන්චෝලාෙඳ වෙමින් කිහෝතේලා වැඩිවන ලෝකයකි.

වීරයන්ගේ පොත් කියවා උමතු වූ කිහෝතේට බැටළුවන් පවා යුද සේනා සේ පෙණුනා සේ මාක්ස්වාදී පොත් කියවූ අපේ තරුණයන්ට එක් කලෙක තමාගේ මව්පියන් නෑදෑයන් පවා ධනපතියන් සේ පෙණිනි. දැනුමේ ස්වභාවය එබඳුය. මේ අනුව දැනුමට යට නොවී ප්‍රවේසමෙන් දැනුම පරිහරණය කිරීමේ හැකියාව සෑම අයෙකුටම අවශ්‍යය.

දැනුමට ආකර්ෂණය නොවී තැන්පත්ව මැදහත් ව කටයුතු කිරීමේ හැකියාව සෑම අයෙකුටම අවශ්‍යය. දොන් කිහෝතේ පොත කියා දෙන්නේ එයයි. ඒ දැනුම ලබාගැනීම අප සැමට වැදගත්ය.

බලයෙන් ධනයෙන් උමතුවීමට වඩා දැනුමින් උමතුවීම භයානක විය හැකිය. මිථ්‍යාදෘෂ්ටිය ඉතා බරපතල පාපකර්මයක් වශයෙන් බුදුරජාණන්වහන්සේ දේශනාකර වදාළේ ඒ නිසා විය හැකිය. දෙව්දත් තෙරුන් නිවනට නොව නිරයට වැටුණේ ද බුදුදහමින් නිවන සොයා යෑම වෙනුවට බුදුදහම දැනුමක් කරගෙන බුදුන් මරා බුදු වීමට සිතූ හෙයිනි.

ධ්‍යාන බලය පවා උපදවාගෙන සිටියත් තමන්ගේ දැනුමෙන් නිදහස් වීමට තරම් නුවණක් උන්වහන්සේට නොතිබිණි. ඉඳ ඉඳ එක වෙහෙර, විඳ විඳ දහම් මනහර, සිඳ බිඳ දුක් සසර, අනේ දෙව්දත් නොදුටු මොක්පුර. කියා වෑත්තෑවේ හාමුදුරුවන් අතින් ලියැවුණේ උන්වහන්සේට කාව්‍ය ශාස්ත්‍රය දැනුමක් නොවූ නිසාය. 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.