මහා කති­කා­වෙන් පිටමං කළ සංගී­ත­ඥයා | සිළුමිණ

මහා කති­කා­වෙන් පිටමං කළ සංගී­ත­ඥයා

සුවහසක් රසික හදවත් සිය මියුරු සත්සර රාවයෙන් නැළවූ හෙතෙම සිංහල සිනමාව ජනකාන්ත කිරීමට පුරෝගාමී වූ ප්‍රදීපස්ථම්භයකි. හේ සිය මධුර වූ ස්වර වර්ණ සත්සරයෙන් අපගේ ප්‍රේමනීය හැඟුම් අවදි කර සිය භෞතික කාය අත හැර ගියේය. එහෙත් අදත් ඔහු කළ නිර්මාණ අප හදවත් සනහාලයි. සරත් දසනායක නම් මේ අපූර්වතම ගීතනු නිර්මාපකයා, සංගීතඥයා පිළිබඳව හෙළයේ අග්‍රගන්‍ය නිළි මාලනී ෆොන්සේකා මෙසේ හඬ අවදි කළාය.

සිංහල සිනමා සංගීතය හැටේ දශකය අවසාන කාලය වෙනකම්ම තිබුණේ ඉන්දියානු සංගීතය ඇසුරේ. ඊට හේතුව තමයි මුල් කාලයේ චිත්‍රපටි සංගීත අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කළේ දකුණු ඉන්දීයානු සංගීත අධ්‍යක්ෂවරුන් වීම. එස්. දක්ෂිණමුර්ති, පී. එස්. දිවාකර්, ටී. ආර්. පාපා, වී ක්‍රිෂ්ණමුර්ති වැනි අය ඔවුන් අතර සිටියා.

නමුත් ඔවුන් අතර සිටි ටී. එ‍ෆ්. ලතීෆ්, ෂෙල්ටන් ප්‍රේමරත්න, පී. එල්. ඒ. සෝමපාල, බී. එස්. පෙරේරා, සුනිල් සාන්ත වගේ අයත් සිටියා. මේ අයගෙන් සුනිල් ශාන්ත, බී. එස්. පෙරේරා, ෂෙල්ටන් ප්‍රේමරත්න වගේ අය ඇරුණාම ගොඩක් අය සිනමා සංගීතය සඳහා හින්දි හෝ දෙමළ තනු තමයි යොදාගත්තේ. ඒ ගීත තමයි බොහෝ දෙනා ගීත විදියට විඳිමින් සිටියේ, අගේ කළේ. හැටේ දශකය අවසාන වෙන්න ඔන්න මෙන්න කියලා තමයි සරත් දසනායක චිත්‍රපට පසුබිම් සංගීතයට පිවිසෙන්නේ. දසේව මට මුලින්ම මුණගැසෙන්නේ ‘විශ්මය’ චිත්‍රපටයෙදි, එහි සංගීත අධ්‍යක්ෂවරයා විදියටයි.

දසේ චිත්‍රපට සංගීතයට ආවේ ‘සිතිජය’ චිත්‍රපටයෙන් වුණාට ‘විශ්මය’ චිත්‍රපටය ඊට කලින් පෙන්නුවා. ‘සිතිජය’ චිත්‍රපටයට වේහැල්ලේ පියතිලකත් ‘විශ්මය’ චිත්‍රපටයට සෝමපාල ලීලානන්දත් දසේට උදවු කර තිබුණා. එතෙක් පැවති චිත්‍රපට පසුබිම් සංගීතය ආපු ගමන කිසියම් ආකාරයකට සාධනීය වෙනසකට ලක් කරන්න සමත් වුණු දැවැන්ත සංගීත නිර්මාණ ශිල්පියෙක් විදියට මම දසේව හඳුන්වා දෙන්න කැමතියි. ඒ කාලේ හින්දි තනුවලට සිංහල වචන දාල චිත්‍රපටි ගණනාවකම ගීත නිර්මාණය වුණා. මමත් ඒවායේ රඟපාල තියෙනවා.

හැත්තෑව දශකයේ මුල් කාලය වෙනකම්ම වගේ හින්දි ගීතයෙන් සිංහල චිත්‍රපට ගීත ග්‍රහණයට අරගෙන තිබුණා. එදා සිංහල චිත්‍රපට පසුබිම් සංගීතය තුළ තිබුණු ඒ විශාල හිඩසක් පුරවන්න නිර්මාණාත්මක සංගීතවේදීන්ගේ අවශ්‍යතාවයක් ඇති වි තිබුණා. ඒ අඩුව සම්භාව්‍ය සිනමා සංගීතය සෝමදාස ඇල්විටිගල හා ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් අතින් පරිසමාප්තියට පත්වෙද්දී, සිංහල සරල සිනමා සංගීතය සරත් දසනායක අතින් පරිසමාප්තියට පත්වුණා.

එනිසා ශංකර් ජායිකිෂන්ලා, ලක්ෂ්මිඛාන්ත් පෙයාර්ලාල්ලා අනුකරණයෙන් ගොඩනැගෙමින් තිබූ සංගීතය මායිමකටවත් නොගෙන ස්වතන්ත්‍ර ගී තනු නිර්මාණය කරමින් සිංහල සිනමා සංගීතය හින්දි සංගීතයේ ඒකාධිකාරියෙන් මුදවා ගැනීමට කටයුතු කළ පුරෝගාමී සංගීතඥයින් අතර දසේ මේ වෙන කොටත් තමන්ගේ අනසක පතුරවා හමාරයි.

ඒ විදියට ජනප්‍රිය සිනමා සංගීතයේ පැවතුන විශාල අඩුව දසේ සම්පුර්ණ කළේ මම කලින් සඳහන් කළ හින්දි ගී තනු හා දෙමළ ගී තනුවලට අභියෝග කළ හැකි මට්ටමේ නිර්මාණ කරපු නිසාම නෙමෙයි. ඔහුගේ සංගීතයේ අපි කලින් නොදුටු නොඇසූ අපුර්වත්වයක් තිබුණා නිසා කියලයි මට හිතෙන්නේ. දසේ ඔහුටම ආවේනික වූ නව ආරක චිත්‍රපට පසුබිම් සංගීතයක් සොයා ගියා. එහි විශිෂ්ට ප්‍රතිඵලය වුණේ 1973 දී තිරගත වුණු සේන සමරසිංහ නිෂ්පාදනය කළ ‘සදහටම ඔබ මගේ’ චිත්‍රපටය යි. ගාමිණි අයියයි මායි එහි ප්‍රධාන චරිත නිරූපණය කළා.

එහිදී මගේ හඬට ඇන්ජලීන් අක්කත් ගාමිනී අයියට එච් ආර් ජෝතිපාලත් පසුබිම් ගීත ගායනා කළා. ඇන්ජලීන් අක්කගෙ කට හඬ තමයි මට හොඳටම ගැලපෙන කට හඬ කියලා දසේ විශ්වාස කළා. මේ චිත්‍රපටයේ තිබුණු ‘අමර පෙම් ලතාවේ’ ගීතය හුඟක් ජනප්‍රිය වුණා. නමුත් සේන අයියා මුලින් මේ චිත්‍රපටයට දසේව තෝරගන්න ඒතරම් කැමැත්තක් පළ කළේ නැහැ. මොකද ඔහු දසේ ගැන ඒතරම් දැනන් හිටියේ නැහැ. පස්සේ සෝමපාල ලීලානන්ද අයියා මැදිහත්වෙලා දසේ හදපු සින්දු වගයක් ඔහුට අහන්න දුන්නා.

ඒ ජෝති ගයන ‘නීල දෑස පුරා’,‘දිය පොදක් වෙමින් තොල් වියලෙන පිපාසෙට’, ‘ටජ් මහලක් ’, ‘පහන් ටැඹ යට ’ කියන ගීත. මේ ගීත අහල සෝමේ අයියා සෑහීමට පත් වූණා. ඔහුට එහෙම යි ‘සදහටම ඔබ මගේ’ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන්න ලැබෙන්නේ.

දසේ තුළ තිබුණු කැපවීම නිසාම උරුම වූ සංගීත ඥානය නිසා නව ආරක ජනප්‍රිය ධාරාවේ සිනමා සංගීත සම්ප්‍රදායක් අපට ලැබෙනවා. ඔහු කළ සෑම නිර්මාණයක්ම එකිනෙකට වෙනස්. මේ නිසා බොහෝ රසික ප්‍රජාවක් ඔහුගේ ගීත අසන්න පෙළඹෙනවා.

ඔහු සරල විනෝදාත්මක චිත්‍රපටිවලට ස්වර වර්ණ ගෙත්තම් කළ නිසා දෝ ඔහු ගැන පසුගිය කාලයේ ඇගයීමක් කරන තුරු ඔහු මහා කථිකාවෙන් පිටමං කළ සංගීතඥයකු ලෙසයි සැලකු‍ෙව්. සංගීතය ඔස්සේ මිනිස්සුන්ගේ හදවතට හෘදයාංගමව සමීප වෙනවා කියන්නෙ ලෙහෙසි කටයුත්තක් නෙමෙයි. ඔහු ඒ වීස්මය කර පෙන්වනවා.

සිනමා ප්‍රේක්ෂකයින් ඔහුගේ ගීත තුළින් අමන්දානන්දයට පත්වෙලා ඔහු තැනූ ගීත තැන තැන මුමුණන්න පටන් ගත්තා. චිත්‍රපටය ඉවරවෙලා ඒ ගීත ගායනා කරමින් චිත්‍රපට ශාලාවෙන් එන අය දැක්කම අපිටත් හරිම සතුටක් ඇති වෙනවා. දසේගේ සුමිහිරි ගීතනු නිසා එච්. ආර් ජෝතිපාල, මිල්ටන් මල්ලවාරච්චි,සෙල්ටන් පෙරෙරා, ග්‍රේසන් ආනන්ද,...වගේ ගායකයින් ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගියා.

සරල විනෝදාත්මක චිත්‍රපටිවලට ජනප්‍රිය ගීතවල හිඟයක් තිබුණා. ඒ අඩුව පිරෙව්වේ දසේ. දසේ හින්දි තනු හෝ දෙමළ තනුවලට අභියෝග කරන්න පුළුවන් විදියේ සංගීත නිර්මාණ ශිල්පියෙක් බවට පත් වුණා කිවවොත් නිවැරදියි. එයා අපිට ඔබින අපේම සම්ප්‍රදායක් බිහි කළා. ඒ විදියට සරල විනෝදාත්මක චිත්‍රපටිවලින් මිනිස්සුන්ගෙ හිත්වලට ඇතුළු වෙන්න සමීප වෙන්නද අපිට පුළුවන් වුණේ ඔහු නිසා. ප්‍රේක්ෂකයින්ට සතුටත් ලබාදෙන විදියට තමන්ගේ සංගීත ඥානය ඔහු මෙහෙයෙව්වා.

අපේ දවුල, බෙර, තම්මැට්ටම්, ආදී තාල වාදන යොදාගෙන එයට අපේ ජන ගී එකතු කරගෙන දසේ ගොඩක් නිර්මාණ කළා. ‘කස්තුරි සුවඳ’ චිත්‍රපටයේ එන “ පාට පොදක් තිලකලා” ‘නිල්ල නගන ස්වර්ණ කිකිණි රාවේ’ වගේ ගීත ඒ විදියට කරපු ඒවා. දසේ නූතනයට ගැලපෙන ආකාරයට ජනනාද රටා ප්‍රතිනිර්මාණය කර ජනතාවට රසවිඳීමට සැලැස්සුවා. සී. ද එස්. කුලතිලක, බී. මකුලොලුව වැනි අපේ ජන සංගීතය ඔසවා තැබීමට ක්‍රියා කළ සංගීත ශිල්පීන් දසේට හුඟක් බලපෑවා. ඒ අයගෙ නිර්මාණවල ආභාෂය දසේට තිබුණා.

දසේ සංගීතක්ෂේත්‍රයට පිවිසුණේ අති දක්ෂ සිතාර් වාදන ශිල්පියකු විදියට. මම ඔහුගේ සිතාර්වාදන අසා තිබෙනවා. පුදුම තරම් ලස්සනට ඔහු සිතාරය වයනවා. අපි මොහොතකින් වෙන මම ලෝකයකට ගියා වගේ. සිතට දැනෙන්නේ පුදුම තරම් සැහැල්ලුවක්. දසේගේ සිතාර්වාදනය අපේ දෙසවන් සිපගන්නෙ අමුතුම මිහිරියාවක් ඇති කරමින්. දසේ රවි ශන්කර්ටත් වඩා දක්ෂ ලෙස සිතාර්වාදනය කරනව කියලා ගොඩක් අය කියනවා මටත් ඇහිල තියෙනවා.

මම සංගීතය පිළිබඳව ගොඩක් ලොකුවට දන්නෙ නැති වුණාට ඔහුගේ සිතාර් වාදනයන් අසා සිටින විට ඒ කතාවේ ඇත්තක් තියෙනව කියලයි මටත් හිතන්නේ. ඒ වගේම චිත්‍රපට පසුබිම් සංගීතයෙදී ඔහු විවිධ අත්හදා බැලීම් සිදු කළා. ඒ අතරින් ඔහු නිෂ්පාදනය කළ ‘මිහිදුම් සිහින’ 1982, ‘මධු’ 1990, ‘ආත්මා’ 1994 විශේෂ තැනක් හිමිවෙනවා. ‘මිහිදුම්’ සිහින චිත්‍රපටයේ විජේ එක්ක රඟපාන්න දසේ මාව තෝරගෙන තිබුණා. දයා විමලවීර තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ. එහි තිබුණ ‘සරා සඳේ සිනහ සේලේ’ , ‘සාත්තරේ සාත්තරේ’, ‘කඳුළැලි නැහැ නෙ අප රැහේ’...වගේ ගීත හුඟාක් ජනප්‍රිය වුණා.

මං දවසක් දසේට කිව්වා “ මම කවදා හරි දවසක ෆිල්ම් එකක් කරන කොට එදාට ඒකේ මියුසික් කරන්න ඕන දසේ. හැබැයි මට ඒකෙදි සෂල්ටන් පෙරේරගෙ කට හඬ ඕන කියලා”. මම ‘සසර චේතනා’ රූගත කිරීම් කළේ ඉන්දියාවෙදි. කවුරුවත් ඒ වෙද්දි ඉන්දියාවේ ඒ විදියට චිත්‍රපට රූගත කිරීමක් කරලා තිබුණෙ නැහැ. ඒක මම සිලොන් ස්ටුඩියෝ එකේදි දසේට පෙන්නලා මේකේ සංගීත අධ්‍යක්ෂවරයා විදියට කටයුතු කරන්න පුලුවන්ද ඇහුව්වා. දසේ ඉතාම කැමැත්තෙන් ඒ වැඩේ බාර ගත්තා.

ඒක බලල දසේ එළියට ඇවිත් මට කියනවා. “මේකේ ප්ලේන්, නැව්, හෙලිකොප්ටර් ඔක්කොම තියෙනවා. ඊ ළඟ චිත්‍රපටිය හදද්දි මොනාද දාන්න හිතන් ඉන්නේ. සබ්මැරීන්ද” කියලා. ඊට පස්සෙ ඔහු ඉතාම රමණීය පසුබිම් සංගීතයක් ඒ සඳහා නිර්මාණය කළා. අද මම හරිම ආඩම්බරෙන් මේ කතාව කියන්නේ “අදටත් සෑම පෝය දවසකටම මුල්පෙලේ වැයෙන ගීත අතර ‘බුදුනේ බුදු පියානණේ’ කියන ගීතය ඇහෙනවා. ඒ ගීතය සදාකාලය තුළම පවතින ගීතයක් බවට පත්වුණා. මේ චිත්‍රපටය නිර්මාණය කරද්දි සුනිල් ආරියරත්න මහත්තයා හම්බවෙලා මම කිව්වා.“ සුනිල්, බුදු පිළිමයක් හොරකම් කරන සිද්දියක් පාදක කරගෙන චිත්‍රපටියක් හදනවා. මම රූගත කිරීම් ඔක්කොම දඹදිව බුදුන් වහන්සේ ඉපදුණු, බුදු වුණු, පිරිනිවන් පෑ ස්ථානවලට ගිහින් කරන්නේ.

ඒකට මට බුදු හමුදුරුවන්ට නැවත එන්න කියලා ආරාධනා කරන විදියේ ගීතයක් ලියල දෙන්න” කියලා. ඊට පස්සෙ ඔහු “බුදුනේ බුදු පියාණනේ... මනුසත් දෙරණේ අඳුර මකා.. පුණරාගමනය කළ මැනවී....පුනරාලෝකය කළ මැනවී” කියල ලියල දුන්නා. ඊට පස්සෙ දසේට මේක පෙන්නල “අනේ දසේ ෂෙල්ටන් පෙරේරා මට මේකට ඕන” කියලා කිව්වා. මොකද මට ෂෙල්ටන් පෙරේරගෙ කටහඬ ඇහුණෙ එස්.ඩි බර්මන් ගේ කටහඬේ තිබෙන ධ්වනි පූර්ණ ගුණයට සමානවයි. ‘බන්ධන්’ චිත්‍රපටය ගැනත් මම ඔහුට ඒ වෙලාවේ කිව්වා.

දසේ ෂේල්ටන් පෙරේරට කතා කරලා “මචං මෙහෙම වැඩක් තියෙනවා. හැබැයි පුතෝ බොන්නෙ නැතුව මේක ටිකක් පේවෙලා කරන්න ඕන වැඩක්, මොකද උඹ කියන්නේ” කියලා. මොකද මේ අය ගොඩක් මීවිත එක්ක හිටපු අයනෙ. ඇත්තටම ඔවුන් පේවෙලා ඒ වැඩේ ඉතාම හොඳින් කළා. අදටත් අපි හැමෝම බුක්ති විඳින්නෙ ඔවුන් ඒ කරපු කැපවීම තමයි. මම අද ඒ චිත්‍රපටය කිරීම පිළිබඳව ආත්මීය වශයෙන් පුදුමාකාර තෘප්තියක් ලබනවා.

ගීතයකට නළුනිළියන්ට ගැලපෙන කට හඬවල් තෝරා ගැනීමේ හොඳ ඉවක් දසේට තිබුණා. අදාළ නළු නිළියන්ගේ රූපය පෞරුෂය මනසින් මෙනෙහි කරමින් ගායක ගායිකාවන් තෝරා ගන්න පුළුවන් විදියේ මහ පුදුමාකාර කනක් ඔහුට තිබුණේ. ‘සසර චේතනා’ චිත්‍රපටයට ‘හිම කඳු යහනේ’ ගීතය ගායනා කරන්න සනත්ගෙ කටහඬට ඔහු යොදාගත්තෙ ග්‍රේෂන් ආනන්දව. ‘එක්ටැම් ගේ’ චිත්‍රපටියේ ‘උන්මාද සිතුවම්’ ගීතය ගායනා කරන්න ඔහු යොදාගත්තේ ගුණදාස කපුගේ.

බොහෝ චිත්‍රපටිවලට ඔහු විජේට යොදාගත්තේ එච්. ආර්. ජෝතිපාලගෙ කට හඬ. කරුණාරත්න හඟවත්ත, රසාදරී ෆොන්සේකා වගේ නවක නළු නිළියන් සඳහා මිල්ටන් මල්ලවආරච්චි හා නීලා වික්‍රමසිංහ වැනි ගායක ගායිකාවන්ගේ හඬ දසේ යොදා ගත්තා. සංගීතා, මිහිදුම් සිහින, තුෂාරා, දිනුම් කණුව, නිල්ල සොයා, චංචල රේඛා, සදහටම ඔබ මගේ,...ආදී චිත්‍රපට රැසකට වගේම සරල සිංහල ගීතයට නව රිද්මයක් ලබාදෙන්න දසේට පුළුවන් වුණා. අදටත් අපි ආශ කරන හුඟක් ගීත දසේ නිර්මාණය කළ ඒවා.

‘පාවෙනා නිල් වලාවේ, බොල්වී අහුරු (අමරදේව), රණ්ඩු වේවි යාළු වේවි’ (සුනිල් සිරිවර්ධන, චන්ද්‍රිකා සිරිවර්ධන),‘පෙම් සිසිලාරේ’ (දයාරත්න - අමරා) නීල දෑස පුරා (ජෝතිපාල), පැණි කුරුල්ලනේ (මිල්ටන් මල්ලවආරච්චි), මේ කාලේ පුංචි පැලත් මාළිගා, රූස්ස ගහ යට, සැරයටියෙන් අප යනෙනතුරා (විජය කුමාරණතුංග, චන්ද්‍රලේඛා පෙරේරා), පුංචි දවස්වල (සුජාතා අත්තනායක), සිහින අහසේ වසන්තේ (ග්‍රේෂන් ආනන්ද), පුංචි දවස්වල (සුජාතා අත්තනායක), රෑ පැල් රකින (ත්‍යාගා එන්. එඩ්වඩ් හා අබේවර්ධන) ...ආදී ගීත බොහෝමයක් දසේ අපිට දායාද කරපුවා. මේ මොන නිර්මාණයක් ගත්තත් ඒවා එකකට එකක් වෙනස්. ඒවා අතර විවිධත්වයක් තිබෙනවා. ඒවගේම ඒ හැම ගීයකම දසේගේ අනන්‍යතාවය සලකුනු වී තිබෙනවා.

ස්ටාර් තරගවලට එන දරුවන් ඔහුගේ ගී තනු ගයනකොට අද දසේ හිටිය නම් කොයිතරම් සතුටු වේවිද. මෑතකදි ඔහු වෙනුවෙන් පවත්වපු උත්සවය සඳහා මට ආරාධනා නොකලාම මට ලොකු දුකක් ඇති වුණා. හුඟදෙනෙක් මගෙන් ඇහුව්වා “ඇයි මාලනී ඔයා අවෙ නැත්තේ දසේගෙ වැඩේට. එදා ඉස්ක්‍රීන් එක පුරාම හිටියෙ ඔයානෙ” කියලා. ඒ මොනව වුනත් මම අදත් දසේට ගොඩක් ගෞරව කරනවා. ඔහුගේ මතකය ‘බුදුනේ බුදු පියාණනේ’ ගීතය ඇසෙන වාරයක් පාසාම අවදි වෙනවා. 

 

Comments