සිනමාවේදි මගේ ඇත්ත පෙම්වතා වුණේ ජෝතිපාල | සිළුමිණ

සිනමාවේදි මගේ ඇත්ත පෙම්වතා වුණේ ජෝතිපාල

හෙට්ටිආරච්චිගේ රෙජිනොල්ඩ් ජෝතිපාල 1936 පෙබරවාරි 12 වැනි දා කොළඹ කැටවලමුල්ලේදී මෙලොව එළිය දුටවේ ය. දුක්කම්කටොලුවලින් ගහණ ජීවිතයක් ගත කළ හෙතෙම සිය ගමන් මඟ ඇරඹි මොහොතේ පටන් මෙරට කලා ක්ෂේත්‍රයේ ඇතැමුන්ගේ ගැරහුම් හා නොපනත්කම්වලින් බොහෝසෙයින් පීඩා වින්දේය. එහෙත් ඒ කිසිවක් ගණනකට නොගෙන සිනාසී අධෛර්යමත් නොවී සිටියේ පණ හා සමාන මිතුරු කැලත් නොපසුබට උත්සාහය නිසා යැයි පැවසීම අතිශයෝක්තියක් නො වේ. මෙරට ගේයපද රචනා කරන මහාචාර්යවරයකු වරක් පවසා සිටියේ “උසස් වින්දන ශක්තියක් ඇති බුද්ධිමතකුට ඔහුගේ ගායනා කිසිසේත් ඉවසා සිටිය නොහැකි බවයි. එසේම ඔහු ගායනා කරන ගේය පද රචනා ඕලාරික ඒවා බවයි”. ඒ මහැදුරාට අනුව ඔහු “පීචං ගායකයකු” වේ. ඔහු ජීවමාන සමයේ එසේ හෙළාදැක කතා කළා පමණක් නොව ගුවන්විදුලියේ තහනමකටද ලක්කෙරිණි. එසේ කළ ඇතැමුන් අද “ස්ටාර්” වැඩසටහන්වලට හා වෙනත් වැඩසටහන්වලට සහභාගි වී ගුණ වයන ආකාරය දකින විට ඇති වන්නේ ජුගුප්සාජනක හැඟීමකි.

එහෙත් මෙරට සිනමාවේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන 70-80 දශක ගැන කතා කරන විට ඔහුගේ හඬ හැර සිනමා රංගන ශිල්පීන්ගේ රංගන පෞරුෂය ඔසවා තැබීමට හේතු වූ වෙනත් හඬ මාධුර්යයක් නැති තරම්ය. සිනමාව ජනකාන්ත කරවීමට හේ පසුබිම් ගායනයෙන් දැක් වූ සමත්කම පරයා යාම කෙසේවතුද ඊට අලගු තබන්නටවත් ගායකයකු බිහි නොවීම ඔහුගේ අපූර්වත්වය මොනවට කියාපාන්නකි. මෙතරම් දියුණු තාක්ෂණික මෙවලම් තිබියදීත් ජෝතිපාලට ගැරහූ අය සිනමා නිර්මාණ කොතෙක් කළ ද සිංහල සිනමාව උත්කර්ෂයට පත් කර ජනකාන්ත කරවීමට නොහැකි වීම දෛවයේ සරදමකි.

අප හදවත් නැළ වූ මේ ආශ්චර්යමත් ගීත කෝකිලයා 1987 ජූලි 07 වැනි දා අප දෙනෙත් හඬවා භෞතිකව නික්ම ගියද හේ තබාගිය නිර්මාණ තවමත් අප හදවත් නළවයි. එවන් වූ අපූර්ව කලාකරුවකු මෙන්ම උතුම් මනුෂ්‍යයකු වූ එච්. ආර්. ජෝතිපාලයන් ගැන හෙළයේ සිනමා රාජිනිය මාලනි ෆොන්සේකා මෙසේ සිය මතකය අවදි කළාය.

මෙරට සිනමාව පෝෂණය කළ තිස්ස ලියනසූරිය, ලෙස්ටර් ජේමිස් පීරිස්, එඩී ජයමාන්න, රුක්මණීදේවී, ඩොමී ජයවර්ධන, ජෝ අබේවික්‍රම, ටෝනි රණසිංහ,විමල් කුමාරද කොස්තා ආදී මෙතෙක් කතා කළ අය හා ඉදිරියේදී කථා කිරීමට බලාපොරොත්තු වන සිනමා තාරකාවන් අතර පහළ වූ මහා ධනයක් ලෙස එච්.ආර්. ජෝතිපාල අවිවාදයෙන් හඳුන්වා දෙන්න පුළුවන්. ඔහු ගේ කට හඬ සිනමාවට මහා වෘක්ෂයක් බඳුයි. ඒ මහා වෘක්ෂයේ පිපුණු නොයෙක් සුවඳ පුෂ්පයන්ගෙන් වහනය වුණේ ඔහුගේ සුමධුර ස්වරයේ රාව සුගන්ධය කියලයි මට හිතෙන්නෙ. හින්දි සිනමාවේ ගායකයන්ගේ කට හඬවල් අගය කරමින් සිටි යුගයක ඒ හා කරට කර තරග කළ හැකි, එය පරයා නැගුණු අපටම අනන්‍ය වූ පෞර්ෂයකින් යුතු කට හඬක් අපිට ඇහුන නම් ඒ ජෝතිපාල ගේ හඬයි. නමුත් අපිට සෑහෙන කාලයක් ගියා ඒ වටිනා කම දැන ගන්න හඳුන ගන්න.

ඇත්ත ම කිව්වොත් මුල්කාලයේ මම ජෝතිපාලට කැමැත්තකින් හිටිය කෙනෙක් නෙමෙයි. නමුත් මම දායක වුණු චිත්‍රපටවලට පසුබිම් ගායකයකු ලෙස ඔහු ගේ හඬ දෙසවන් සිපගනිද්දි හදවත ඇහැරුණා. එතැන ඉඳන් මට ඔහුව දැනෙන්න පටන්ගත්තා. ඔහු ගයන සුගායනයකට අනුව රංගනයේ යෙදෙද්දි ඔහුගේ හැඟුම්බර හඬ මාව අවදි කළා. ඒ නිසා මට හුඟක් පහසු වුණා මගේ රඟපෑම සාර්ථකව කරගෙන යන්න. ඇත්තටම මම සිනමාවේ කෙනකුට ආදරය කළා නම් ඒ මා සමඟ රඟපෑ ප්‍රේමවන්තයින්ට නොවෙයි, මම ආදරය කළේ ජෝතිගේ කට හඬටයි . එදා මට දැණුන ඒ හැඟීම් මට දීල තියෙන්නෙ ඔහුගේ හඬයි. නමුත් ඒ බව මම තේරුම් ගත්තෙ කාලයක් ගියාට පස්සෙයි. එහෙම බලද්දි ප්‍රේමවන්තියක් ලෙස මගේ හැඟීම් කුළුගන්වා මගේ භාවයන් අවදි කර ආදරයෙන් පිරුණු යුවතියක් බවට පත් කරල තියෙන්නේ ජෝතිපාල. ඔහුගේ කට හඬ. විජේ ඒක්ක රඟපෑවත්, ගාමිණී අයිය එක්ක රඟපෑවත්, ටෝනි අයියා එක්ක රඟපෑවත්, රවි එක්ක රඟපෑවත්... මම ආදරය කරල තියෙන්නේ ඒ අයට නෙවෙයි. ඒ හැඟුම්බර කට හඬටයි. එහෙම බලනකොට ඇත්තටම මගේ පෙම්වතා වෙලා තියෙන්නේ මගෙත් එක්ක රඟපාපු ඒ නළුවන් නොවෙයි ජෝතිපාලයි.

කෙනකුට තමන්ගේ චරිත නිරූපණය සාර්ථක කර ගන්න එවැනි සිනමාත්මක හඬ පෞරුෂයක් තිබීම විශාල වාසියකි. මොකද ඒ හඬ ඇහෙනවත් එක්කම වෙන මම ලෝකෙකට ඇතුළු වුණා වගේ. ඒ චරිතයට ඇතුළු වෙන්න හැඟීම් අවදි කරගන්න ඒ හඬ බෙහෙවින් ප්‍රයෝජනවත් වෙනවා. ඒ අනුව නිරායාසයෙන් රංගනයේ යෙදෙන්න පුලුවන්කමක් ලැබෙනවා. ඒ දේ හැම ගායකයකුටම කරන්න බැහැ. ඒ නිසා ම ජනකාන්ත සිනමාවේ සිහින කුමාරයාගේ හඬ ජෝතිගේ හඬ බවට පත් වුණා කියලයි මම හිතන්නේ. පසුව ඒ හඬ සිනමාවට නැතිවම බැරි කටහඬක් බවට පත්වෙනවා. සමහර ප්‍රේක්ෂකයො චිත්‍රපටි බලන්න ආවේ ජෝතිගේ සිංදු අහන්න. ඒ නිසා එක පැත්තකින් ජෝති ජනප්‍රිය වෙද්දි අනෙක් පසින් රඟන ශිල්පීන් ජනප්‍රිය වුණා. මේ කාරණා දෙක එකිනෙකට සහසම්බන්ධ කාරණයක් බවට පත් වුණා. ඊට හොඳම සාක්ෂිය ජෝති මියගිය මොහොතේ විජය කළ කතාව.

“එච් ආර් ජෝතිපාල නැතිව ගියාම හුඟ දෙනකුට පාඩු වුණා. මං හිතන්නෙ වැඩියෙන්ම පාඩු වුණේ අර දුප්පත් අම්මට. යාළුවො අඬන්න ඇති, මිත්‍රයො අඬන්න ඇති, හිතවතුන් හිතවතියො අඬන්න ඇති. ඒ සියලු ඇස්වලට වඩා කඳුළු ගලන්න ඇත්තේ ඒ දුප්පත් අම්මගෙ ඇස්වලින්. ඒ අම්මා තරම් වෙන කවුරුවත් අඬන්න නැතුව ඇති. ඒ අම්මා ඇඬුවේ ආදරයයි, කරුණාවයි, දුකයි ඒ වගේම පාඩුව නිසා. යාළු මිත්‍රයොත් එහෙමයි. එච්.ආර්. ජෝතිපාල මැරුණයි කිව්වාම මම ඇඬුවේ නැහැ. අපි උඹ බං කියලා කතා කරන මට්ටමේ යාළුවෝ. මැරෙන්න ඉස්සෙල්ල මම ජෝතිපාලට කියල තිබුණා, උඹ මැරුණදාට උඹේ මළමිනිය බලන්න මම එන්නේ නැහැ කියලා. ඒ කිව්වේ හේතුවක් ඇතිව. මට ඕන කළේ එච්.ආර්. ජෝතිපාලගෙ මළමිනිය බදාගෙන අඬන්න නෙවෙයි. ජෝතිපාල කියන සහෘද හිතවතාව මැරෙන්න නොදී තවත් දවසක් හරි ජීවත් කරවන්න. අවුරුදු විස්සක නළුවෙක් හැටියට ජීවත් වෙච්ච මට, අවුරුදු විස්සක් මගේ හඬින්ම මංවගේ ම මටම ගැලපෙන විදියට අවුරුදු විස්සක් සින්දු කිව්ව එච්.ආර්. ජෝතිපාල මැරුණාම ඒ හඬ මට ලබාදෙන්න වෙනකෙකුට තියා මටවත් පුළුවන් කමක් නැහැ”.

ඒ කට හඬ එඩී ජයමාන්න, ආනන්ද ජයරත්න, ජෝ අබේවික්‍රම, ටෝනි රණසිංහ, ගාමිණී ෆොන්සේකා, විජය කුමාරතුංග, තිස්ස විජේ සුරේන්ද්‍ර, සනත් ගුණතිලක, රවින්ද්‍ර රන්දෙණිය, දමිත් ෆොන්සේකාට වගේම පසුකාලීනව ලාල් වීරසිංහ, රංජන් රාමනායක ගේ සිට අර්ජුන් කමලනාත් දක්වා නළුවන්ට ඔවුන්ගේ සිනමා පෞරුෂය ගොඩනගා ගන්න පිටිවල් වුණා කිව්වොත් මම නිවැරදියි. ඔහුගෙ කට හඬ ඇහෙද්දි ඉබේටම වගේ මම ප්‍රේමයෙන් මුසපත්වෙලා මගේ රංගන කාර්යයේ නිරතවෙනවා. එහෙම බලද්දි ඔහුගේ හඬ නළුවන්ට විතරක් නෙවෙයි නිළියන් වන අපටත් අපේ රංගනය සාර්ථක කර ගන්න විශාල පිටිවහලක් වුණා. එවැනි හඬක් අපිට අහිමි වීම විශාල පාඩුවක්. අදට වුණත් තරුණයෙක් ගායකයෙක් විදියට ඉදිරියට එන්න ගායනා කරන්නෙ ඔහුගේ ගීත. එමගින් තමයි ඔවුන් ප්‍රේක්ෂක, ශ්‍රාවක ප්‍රතිචාර දිනාගන්නේ. ජනප්‍රිය වෙන්නේ. හොඳම උදාහරණය සුරේන්ද්‍ර පෙරේරා. පුදුම හතෙන් එකක් කියන්නා වගේ ඔහු අපේ සිනමාවට මහා විශ්මයක් එකතු කළා.

“සුරතලී” චිත්‍රපටයේ “සිරියමෙසාරා නැඟෙවි හද මෝරා” ගීතය ගායනා කරමින් තමයි ඔහු සිනමා පසුබිම් ගායනයට පිවිසෙන්නේ. ඒ ආපු ගමන අද තරම් සරල නැහැ. අද ජනප්‍රියත්වයත් සමඟ ගායන ලෝකට පිවිසෙන්න ඕන තරම් අවස්ථා විවර වී තිබෙනවා. නමුත් ඒ කාලෙ ඔහු හුඟක් දුක් වින්දා ඒ තත්ත්වයට එන්න. ඔහු මුලින්ම මගුල් උත්සවවල, උත්සවවල ගීත ගායනා කර තිබෙනවා. ඒ ගීත බොහොමයක් හින්දි ගීත. විශේෂයෙන්ම මොහොමඩ් රාෆීගේ වගේ අයගෙ ගීත.

විජයගේ ඉල්ලීමට අනුව මා රඟපෑ “අභිරහස” චිත්‍රපටයේ “සුසුදු රැල්ල වැල්ලෙ පෙරලි ගීත ගයයි.. යළි... යළී” ගයමින් ඔහු මා සමඟ රඟපෑවා. ඒ චිත්‍රපටයේ මම පෙනී සිටියේ ඒ ගීතයට පමණයි.

නමුත් ජෝති ගයන බෙහෙවින් ජනපිය වුණු “සිතුම් පැතුම් සඳ ආදරේ”, “සරා සඳේ සිනාහ සේලේ- මිහිදුම් සිහින”, “මල්වැහි සීතල මල් වැස්සේ”, “මී පිරුණ සුවඳමල් වනේ”, “සල් සපු නා නිල්මානෙල්”, ලෝකයේ වෙනස් වුණේ - සංගීතා”, “ආවාසොයා ආදරේ”, “ඔබ ළඟඉන්න ළඟ ඉන්න මගෙ වාසනා - තුෂාරා”, “සෙනෙහස පෑවා යළි හමු වූවා - යළි හමුවන්නයි”, “ආදර මල්පවනේ”, “මාප්‍රර්ථනා ආශාවෝ - ළසඳා”, “හද විමන් දොරින් - කස්තුරි සුවඳ”, “අමර පෙම් ලතාවේ - සදහටම ඔබ මගේ”, “වසන්තයේ මේ ආදරේ දේදුනු පායා - හොඳට හොඳයි” ,“ සුදු පාට මී දුම් ගලාලා - එදත් සූරයා අදත් සූරයා”, “ආශා රොනින් පිරුණු - හත්දින්නක් තරු”... ඇතුළු බෙහෙවින් ජනාදරයට පත්වුණු බොහොමයක් චිත්‍රපටවලට මම රංගනයෙන් දායක වුණා.

ඔහු හරිම සංවේදී පුද්ගලයෙක්. වෙලාවකට පොඩි ළමයෙක් වගේ. ඔහු ප්‍රසංග වේදිකාවල ගීත ගායනා කරල හම්බවෙන මුදල් ඔහු කවදාවත් ගෙදර අරන් ගියේ නැහැ.

අතර මඟ කාටහරි උදව්වක් කරන්න වුණොත් ඔහු ඒ මුදල ඒ අයට දෙනවා. ඒ වගේ කෙනෙකු තුළ ලෙහෙසියෙන් දකින්න නොලැබෙන හරි උතුම් ගතිගුණ ඔහු සතුව පැවතුණා. ඔහු උපතින් කතෝලිකයකු වුණත් බුදු දහමේ හරය වන සියල්ල අත හැර අපිස් ජීවිතයක් ගෙවූ අහිංසක මනුෂ්‍යයෙක්.

මට මතකයි, කේමදාස මාස්ටර් දවසක් කොහේදි හරි කියනවා ‘‘ජෝතිපාල සංගීතය හදාරලා නැහැ. ඒත් ජෝතිපාල තරම් ඉයර් එකට කියන්ඩ පුළුවන් කෙනෙක් තවම මට හමු වී නැහැ.”. පස්සෙ කාලෙ එහෙම අය මාස්ටර්ට හමුවෙන්න ඇති. නමුත් මාස්ටර් වගේ කෙනෙක්ගෙන් පැසසුම් ලබන්න කෙනෙක් කොයිතරම් වාසනා වන්ත වෙන්න ඕනද. ඒ වාසනාව ඔහුට තිබුණා. ඒ වගේම මාස්ටර් තවත් අවස්ථාවක කියනවා “ පරිපූර්ණ ස්ක්‍රීන්වොයිස් එකක් ලංකාවේ සිනමාව ආලෝකමත් කළා නම් ඒ ජෝතිගේ කට හඬයි” කියල. මම මේ කියන දේවල් ඒ විදියටම නොකිව්වා වෙන්න පුළුවන්. නමුත් එවැනි අදහසක් තමයි ජෝතිපාල පිළිබඳව මාස්ටර් තුළ තිබුණේ.

අද කොතරම් දියුණු තාක්ෂණය තිබුණත් නොයෙකුත් සංගීත නාද රටා තිබුණත් අපට තාම ඇහෙන්නේ ජෝතිලාගේ, මිල්ටන්ලගේ, එම් එස් ලගේ ගීත. ඒ අය අතරින් ජෝති කියන්නේ සිනමා පසුබිම් ගායනයේ එක යුගයක්. ඔහු සිනමා සංගීතයේ පුරාවෘත්තයක් බඳුයි. ඒ අඩුව සම්පූර්ණ වන දවසක් මට මගේ දිවිය තිබෙන තෙක් දකින්න ලැබේදැයි සැක සහිතයි.

 

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.