‘නුව­ණ­ක්කා­ර­ක­මට වඩා ‍ෙළන්ග­තු­ක­මට හැරෙන මෝඩ­කම හොඳයි’ | සිළුමිණ

‘නුව­ණ­ක්කා­ර­ක­මට වඩා ‍ෙළන්ග­තු­ක­මට හැරෙන මෝඩ­කම හොඳයි’

 අපේ රටේ ජන සංගීතය පාසල් අනු විෂයක් බවට පත්වන්නේ 1960 දශකයේ මුල් භාගයේදී ය. ඒ එවකට ජනසංගීත මහ පර්යේෂකයන්ගේ අප්‍රමාණ වූ උත්සහයක මහඟු ප්‍රතිඵලයක් ලෙසිනි. එදා මොහු ජනසංගීතය පිළිබඳ අංකුර ශිල්පියෙකි. මේ අංකුර ශිල්පියා අද වෙන විට ජනසංගීතය ඇසුරු කොට හෙළ ගීත රසික රසිකාවියන්ගේ අමන්දානන්දයට පත් කළ ප්‍රතිභාපූර්ණ ශිල්පියා යැයි කිව්වොත් නිවැරැදිය. අද අපි ‘පැහැසර හමුවට’ කැඳවන්නේ ඒ ජන සංගීත ශිල්පියා ය. එසේ නොමැති නම් ඇදුරාණන් ය. එසේත් නොමැතිනම් ‘මහගැමි’ රංගධරයා ය. හේ රෝහණ බැද්දගේ ශූරීන් ය.

උපන් දිනය?

උපන් දින දෙකයි. එකක් 1935 - 10 - 27 අනෙක 1935 11 - 01

ඒ මොකද?

ඒ කාලේ ගම්වල දරුවෝ උපදින්නේ ගෙදරමනේ. ලියාපදිංචි දිනයයි උපන් දිනයයි අතරේ පටලැවිල්ලක් විය යුතුයි.

උපන් ගම!

හොරණ උඩුව

දෙමව්පියන්?

නෝමිස් බැද්දගේ පියා එළිසහාමි මගේ මවු

* පවුලේ සහෝදර සහෝදරියන්?

පස් දෙනයි! මම තුන්වැනියා.

* මුලින් ම අකුරු කළේ?

උඩ‍ුවේ කනිෂ්ඨ පිරිමි පාසලෙන්.

* පසුව?

‍හොරණ තක්ෂිලා මධ්‍ය මහ විදුහල. එහිදී මා ඉංග්‍රිසි හා සිංහල යන මාධ්‍ය දෙකින් ම විභාග සමත් වුණා.

මොනවද විභාග?

එස්.එස්.සී. ඉංග්‍රීසි මාධ්‍යයෙනුත්. ජ්‍යෙෂ්ඨ පාඨශාලා පත්‍ර විභාගය සිංහල භාෂාවෙනුත්.

* එතනින් අධ්‍යාපනය අවසන් වුණා?

නෑ! උසස් පෙළ පෞද්ගලික අයැදුම්කරුවකු ලෙස පෙනී සිට සමත්වෙන විට රජයේ ගාන්ධර්ව නැටුම් විභාගයෙනුත් මම අදියර තුනම ඉහළින් සමත් වී සිටියා.

* ඉන්පසු නැටුම් ගුරුවරයෙකු ලෙස කටයුතු කළා?

නෑ! මා උසස් පෙළ සමත්වෙලා හේවුඩ් එකේ සංගීතය හැදෑරුවා. ඒ අධ්‍යාපන නිමවීමෙන් පසු නැටුම් ගුරු පත්වීම ලැබුණා.

* ඒ කොහේටද?

1959.03.03 දින ‍හොරණ කුළුපණ විද්‍යාලයට මේ වෙන විට මම සරත්චන්ද්‍ර මහතාගේ මනමේ නාට්‍යයේ සංගීත කණ්ඩායමේ බටනළා වාදකයෙක්ව සිටියා.

* නැටුමට - ගැයුමට ආසන්න පරිසරයක් ගෙදර තිබුණා?

අපෝ නෑ! පරම්පරාවේ කවුරුවත් කලාවට සම්බන්ධ නෑ.

* ඔබ මෙතරම් අපේකමට පෙම්බැඳි නිර්මාණවේදියකු වූ පසුබිම?

අපි ගම්වල හොඳ ගොවියෝ. ගොවිකම ම තමයි අපේ කමට පෙම් බඳින්න අඩිතාලම වැටෙන තැන.

* ඒ ගැන විස්තර කළොත්?

ගමේ තොවිල්පොළේ ගම්මඩුවේ බලියාඟ පොළේ සන්නියකු ම සූනියම්යාගය මේ සෑම තැනක ම චාරිත්‍ර වාරිත්‍ර දැන උගත්කමයි ගොවිකම කියන්නේ. එහේ ම නැතිව කුඹුරු කෙටීම පමණක් නොවෙයි.

* ඔබ මේ සුන්දර උඩුව ගමේ මේ කී සියලු දෑ අත්වින්දා?

ඔව්! මගේ විශ්ව විද්‍යාලය ගමයි. අඬහැරය පාමින් සී සෑමත් මට තව ම පුළුවන්.

* ඒ කියන්නේ ඔබ හොඳ ගැමියෙක්... ඒ වගේ ම ගොවියෙක්...?

සත්‍ය ලෙසම! පොල් පටවපු කරත්තේ බැඳගෙන කිරිවත්තුඩුවේ පොළට ගිහින් විකුණගෙන ආපු මිනිහ මම.

* මේ අපූරු ගැමියා අපේකම ඉංග්‍රීසි භාෂාවෙන් අද ලෝකයට කියා දෙනවා?

ජපානය, එංගලන්තය, ප්‍රංශය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, චීනය, මැලේසියාව, ඉන්දියාව, නේපාලය, සිංගප්පූරුව, කුවේට්, ඩුබායි, අබුඩාබි ආදි ලෝකයේ රටවල් ගණනාවක මා සංචාරය කොට දේශන පවත්වා තිබෙනවා.

* හද්දාපිටිසර උපන් ගැමියා! එහේ ම නැතිනම් ගොවියා! මෙතරම් දුර ගමනක් පැමිණීමේ රහස?

මගේ ජීවිතය ගොඩනඟාගත්තේ කෘෂිකාර්මික ජීවන රටාව හා බෞද්ධ සංස්කෘතිය පදනම් කරගෙන. ඒකයි එහි රහස.

* අපි දැන් ඔබේ සංගීත ජීවිතය දෙසට හැරෙමු?

මා සංගීතය හැදෑරීමට ‘හේවුඩ්’ එකට ඇතුළු වී හින්දුස්ථානී සංගීතය ඉගෙන ගත්තේ ඩබ්ලිව්.ඩී. අමරදේවයන් ඇසුරේ.

* පසුව?

එතුමාට ගුරුවරයකු ලෙස වැඩිකල් කටයුතු කිරීමට කාලය තිබුණේ නෑ. පසුව බී. වික්ටර් පෙරේරා මහතා යටතේ සංගීත හැදෑරුවා.

* ඔබ මේ ආ ගමනේ විශේෂ කඩඉම් පිළිබඳ සඳහන් කළොත්?

1959 සිට 1986 දක්වා ගුරුවරයකු ලෙසත් 1986 සිට 1991 දක්වා කැලණිය විශ්ව විද්‍යාලයේ සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ ජන සංගීත උපදේශක ලෙසත් 2000 වසරේ සිට සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙසත් කටයුතු කළා.

* ඔබ කාර්ය බහුල චරිතයක්. ඇයි පදිංචිය සඳහා කොළඹ තෝරා නොගත්තේ?

නගරයේ පහසුකම් පැත්තට හැරෙන නුවණක්කාරකමට වඩා ගමේ ළෙන්ගතුකම පැත්තට හැරෙන මෝඩකම මට හොඳයි. ගැමි පරිසරය, ගැමි වහර, ගැමි නුවණ මට හොඳයි.

* ඩබ්ලිව්.බී. මකුලොලුව මහතා හා සම්බන්ධවීම ඔබේ ජීවිතයේ තවත් කඩඉමක්?

ඔව්! එතුමා නිෂ්පාදනය කළ ‘හෙළ මිහිර’ ජන ගීත සංදර්ශනය සඳහා මා බඳවාගත්තා. ඊට ටික කලකට පසුව එතුමාගේ ‘දෙපානෝ’ ගීත නාටකයට ද මා සම්බන්ධ වූවා.

* ඔ‍ෙබ් ම නාට්‍ය නිර්මාණ?

ගල්වැහි, බළල් සාස්තරේ, අලකලංචිය, මාමයි බෑණයි සහ මෑතක හදපු රාළහාමි, අලකලංචියට සම්මාන පවා ලැබෙනවා.

* කුමක් ද ඒ සම්මාන?

සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගයෙන් ප්‍රථම ස්ථානය ලැබුවේ ‘අලකලංචිය’ යි. ඒ 1972 දී.

* පාසල් නාට්‍ය තරගයෙන් කිව්වේ?

මා එතකොට හොරණ තක්ෂිලාවේ ගුරුවරයෙක්. තක්ෂිලාවෙන් තමයි මේ නාට්‍ය ඉදිරිපත් කළේ.

* තක්ෂිලාවේ සිටියදි කළ වෙනත් නිර්මාණ?

1969 දි මා නැවත නාට්‍යයක් කළා. එහි නම ‘හෙලේනා’ නමුත් වේදිකාවට ගෙන ඒමට නොහැකි වුණා.

* ඒ ඇයි?

එය පුහුණුවීම් අතරේ වැල්ලවායේ දුෂ්කර ගමකට මාරු කළා.

* හේතුව?‍

තව ම දන්නේ නෑ.

* එතකොට ‘හෙලේනා’ ට මොකද වුණේ?

නාට්‍ය නතර වුණා! නමුත් ‘හෙලේනා’ අදටත් ඉන්නවා.

* මොකක්ද ඒ කතාවේ තේරුම?

නාට්‍ය පටන් ගන්නේ මගේ රත්තරන් හෙලේනා ගීතයෙන්. නාට්‍ය නතර වුණා. ගීතය ජනප්‍රිය වුණා.

* කොහොමද ඒ?

ගුවන් විදුලියේ පර්යේෂණ අංශයේ සී.ද.එස්. කුලතිලක මහත්තය මට ආරාධනාවක් කළා පර්යේෂණ ගී වැඩසටහනක් කරන්න. මම ඒ වැඩසටහනට මේ ගීතය පටිගත කළා 1974 දි.

* ඉන් පසුව දිගට ම මෙම ගීතය ජනප්‍රියත්වයට පත්වුණා?

නෑ! මේ ගීතය මුලින් ම ප්‍රචාරය කැර තිබුණේ ලූෂන් බුලත්සිංහල. ඔහුගේ වැඩසටහනකදී ගීතය දවසක් දෙකක් ප්‍රචාරය වුණා ම මෙයට විරුද්ධ ව ගුවන් විදුලියට පෙත්සම් ආවා.

* ඒ මොනව කියලද?

ගීතයක් හැටියට කිසි ම වැදගැම්මක් නැති බොළඳ රචනාවක් කියලා... තවත් දෙයක් එහි තිබුණා.

* එතකොට කවුද ගුවන් විදුලියේ බලධාරියා?

රිජ්වේ තිලකරත්න මහත්මයා මෙම ගීත වැඩසටහන නිෂ්පාදනය කළේ. සේන ගුණසේකර ඔහුව ගෙනවිත් තමයි මේ පෙත්සම විභාග කැර තිබුණේ.

* එහිදි මොකද වෙලා තිබෙන්නේ?

රිජිවේ තිලකරත්න මහත්මයා මේ ගීතය අහලා තිබිල නෑ! සේනගෙන් ඇහුවලු කවුද මේ කියන්නේ රත්තරන් හෙලේනෙක් ගැන. ඒ කියන්නේ බණ්ඩාරනායක මැතිනිය ගැන නේද කිලා ඇහුවලු! ඇයි අර පෙත්‍සමේ එහෙම කතාවකුත් තිබිලා තියෙනවා.

* පසුව?

සේන කියලා තියෙනවා ඒක හීනෙකින්වත් හිතපු දෙයක් නොවේ. රෝහණ කෝලම් නාඩගම් වාගේ දේවල්වල ආභාසය තමයි ගීතවලට පදනම් කැර ගන්නේ කියල.

* කොහොමද මේ චෝදනාවලින් ගැලවිලා ගීතය ජනප්‍රිය වෙන්නේ?

මේ කතාවලින් පසුව රිජ්වේ මහත්තයා කිව්වලු මට ම මේ ගීතය අහන්න ඕනැ කියලා. පසුව සේන ගිහින් ඒ ගීතය අහන්න සලස්වලා.

* රිජ්වේ තිලකරත්න මහත්මයා ගීතය ඇසුවට පසුව? ෂහ්....! මේක මරු ගීතයක්නේ සේන! මේක තැටිගත කරලා හැමදාම ගහනවා. (ප්‍රචාරය කරනවා) කිව්වලු.

* රත්තරන් හෙලේනා ඔබේ ගමනෙදි හැරවුම් ලක්ෂ්‍ය වුණා?

ඔව්! මේ ගීතයේ එන ‘.... කවුද’ කියලා අහන්නේ ටී.එම්. ජයරත්න.

* ඔභ ගායනය කැර ඇති ගීත සංඛ්‍යාව?

හරියට ම කිව නොහැකියි! නමුත් මා ගායනය කළ සියලු ගීතවල පද හා සංගීතය මගේ.

* එතකොට මාමයි - බෑණයි ගීතය?

මගේ රත්තරන් හෙලේනාගේ ඉදිරි පියවරක් කියලයි මට හිතෙන්නේ.

* ඔබට කොහොමද බෑණා හමුවන්නේ?

දයානන්ද ගුණවර්ධනයන්ගේ නාට්‍ය වේදිකාවෙදි තමයි බන්දුල වි‍ෙජ්වීර හමුවෙන්නේ. එම නාට්‍ය රංගනයේදී ප්‍රේක්ෂකයන් අපව යුග ගී ගායකයන් ලෙස හඳුනා ගන්නවා.

* මේ ප්‍රේක්ෂක හඳුනා ගැන්ම මාමයි - බෑණයි නිර්මාණය කරන්නට ඔබට උත්තේජනයක් සපයනවා?

ඔව්! තුල්හිරියේ පැවැති සංගීත සංදර්ශනයකදී බන්දුල මට යෝජනා කළා අපි යුග ගීතයක් ගයමු කියලා.

* පසුව?

මම මේ යෝජනාව ගැන කල්පනා කරලා මාමගෙයි බෑණගෙයි සංවාදයක් හැටියට මේ ගීතය නිර්මාණය කළා.

* මේ ගීතය පළමුවෙන් ම රූපවාහිනි, නාළිකාවකින් විකාශය වෙන්නේ?

අබේවර්ධන බාලසූරිය ජාතික රූපවාහිනියට නිෂ්පාදනය කළ නන්දන වින්දන තුළින්.

* ඔබ දෙපළ රඟමින් ගීතය ගායනා කළා?

ඔව් එහි රසවත් සිදුවීම් බොහෝමයි.

* අප දැනගන්න කැමතියි?

අපි ගීතය පටිගත කරන්න රූපවාහිනියට යන විට එහි වාද්‍ය ශිල්පීන් හිටියේ නෑ. ගුවන් විදුලිය පැත්තට ගිහින් මා ටියුලින් ජයරත්නව කැඳවාගෙන ආවා සර්පිනාවත් එක්ක.

* ඊට පස්සේ?

බන්දුල ගිහින් චන්ද්‍රපාල ජයසුන්දර එක්කරගෙන ආවා තබ්ලාවක් එක්ක.

* තබ්ලාවයි සර්පිනාවයි වාදනය කරලා ගීතය පටිගත කළා.

ඔව්! රූපවාහිනියේ කැන්ටිමේ මුදලාලිගෙන් සරොම් දෙකකුයි තුවායකුයි ඉල්ලගෙන එවලෙම ‘ෂූට්’ කළා.

* මා කැමතියි ඔබේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු දැනගන්න?

මගේ බිරිඳ පද්මලතා බැද්දගේ. ඇයත් ගුරුවරියක්. ගම කැස්බෑව.

* ඇය හමුවන්නේ?

1967 මකුලොලුව මහත්තයගේ ‘දෙපානෝ’ නාට්‍යයෙන්. ඇයත් එහි සිටියා.

* ප්‍රේම සබඳතාවක්?

අපි ගැළපෙන බව අපට හැඟුණා. මම ඇගේ ගෙදරට ගිහින් පියාණන්ගෙන් කෙළින් ම ඇහුවා. දෙපැත්තේ ආශිර්වදය මැද අපි විවාහ වුණා. අපට දුවයි පුතයි ඉන්නවා. ඒ අය විවාහකයි.

* දැන් අපි වත්මන් සමාජය දෙසට හැරෙමු?

එදා සමාජයේ තිබුණ ගුණවත් බව අද නෑ. සමාජයේ උගතුන් නෑ. මා කියන්නේ පොතපත උගතුන් ගැන නොවෙයි.

* ඒ කියන්නේ?

අද ජීවිතය පිළිබඳ උගතුන් නෑ කියන එකයි. ජීවිතය පිළිබඳ පිරිපුන් මිනිසුන් නෑ. මහාචාර්යවරකේ වෙන්න අවශ්‍ය පොත පතේ දැනුම පමණයි. පොතේ දැනුමෙන් පිරිපුන් මිනිසුන් බිහිවන්නේ නෑ.

* අද සමාජයේ හොඳ ගතිගුණ නැතිවෙලා?

නැතිවෙලා නොවෙයි නැති කැර ගත්තා. පරිහානියට යන මිනිසුන්ගේ ගුණධර්ම නැති වෙනවා. ගුණධර්ම නැති සමාජයක ඊළඟ පරපුරත් ගුණධර්මයෙන් තොරයි.

* හරි ම ඛේදනීය තත්වයක්?

ඔව්! හැම මිනිහම පෙනී ඉන්නේ හොඳ මිනිහෙක් විදිහට. නමුත් ඇතුලාන්තය වෙනස්.

* මේකට හේතු කාරණා හැටියට ඔබ දකින්නේ මොනවද?

මම කරුණු හයක් දකිනවා. නීරෝගිකම නැතිකම, ආචාර ධර්ම නැති එක, අවවාද අනුශාසනා නොපිළිපැදීම, නූගත්කම (මම ඉහතින් සඳහන් කළ) චරිතවත් නොමැතිවීම හා නොපසුබට බව නැතිවීම මේ කරුණු නිසා සමාජය පිරිහිලා ගැමියාගේ වචනයෙන් කියනව නම් නැහැදිච්චකම සමාජගතවෙලා.

* මෙය අප නිවැරැදි කර ගත යුතුයි.

නැහැදිච්චක ම ඇතුළේ හැදිච්චකම හදන්න බෑ.

* ඔබේ දෛනික ජීවිතය ගෙවෙන හැටි?

මා පාන්දර හතරට අවදි වෙනවා. පැය දෙකක් පමණ භාවනා කරනවා. පසුව උදෑෂන ආහාරයට හීල්බත් කනවා. දවසේ අනෙකුත් කටයුතු ඉන්පසුව කරනවා.

* ඔබ ජීවිතයේ තෘප්තිමත් ද?

අපෝ ඔව්! මම බැඳීම්වල එල්ලිලා නෑ. මට තිබෙන්නේ අඳින ඇඳුම් ටිකයි. පොත්පත් ටිකයි පමණයි. මට ඕනෑ ම වෙ ලාවක මිය යා හැකියි. බලාපොරොත්තු නෑ. ආශාවල් නෑ. ඒවයින් මිදිලයි මා ඉන්නේ. 

 

Comments