තොවිලයකින් කළ කටුවන සටන | සිළුමිණ

තොවිලයකින් කළ කටුවන සටන

පසුගිය සතියෙන්...

කටුවන කොටුව පැවතෙන්නේ ඉතා ඈත යුගයේ සිට බවට සාක්ෂි ලෙස පරාක්‍රමබාහු රජු සමඟ සුගලා දේවිය පාත්‍රා ධාතුව රැකගැනීමේ සටනේ යෙදුණු ක්‍රිස්තු වර්ෂ 1153-1186 කාලයේ තොරතුරු දැක්විය හැකිය. කඳු යායකින් වට වුණු මනරම් ප්‍රදේශයක් වන කටුවන පෘතුගීසීන්ද බලකොටුවක් ලෙස භාවිත කර ඇති අතර, ලන්දේසීන් එය වඩාත් හොඳින් කළු ගල් බැමි බැඳ තහවුරු කරගත්තේ මුහුදුබඩින් එන සතුරු උවදුරු වැළැක්වීමට මෙන්ම කන්ද සපරගමුව හරහා උඩරටට යෑමට හැකි රට මැද පිහිටි හොඳම ස්ථානය ලෙස සිතූ බැවිනි. හොඳම ගම්මිරිස්, කුරුඳු මෙන්ම අලි වෙළෙඳාමටද මේ කොටුව ඔස්සේ කටයුතු යෙදුණු බව ඉතිහාසය සටහන් තබයි. ගුරුළු සන්දේශය, කැටකිරිලි සන්දේශය වැනි කවිකාරකම්වලින් මේ සටනේ තොරතුරු සහ වීරත්වය විදහා පෑමට කවීන් සමත් වී ඇත. ඒ සන්දේශවලද සඳහන් ආකාරයට සිංහල සේනාව විසින් අල්ලාගත් පසු කටුවන කොටුවේ සිටි ලන්දේසි සෙබළුන් වෙනත් තැන්වලට ගෙන ගිය අතර, දින කීපයකට පසු හිස් ගසාදමා ඇත. ඒ අවස්ථාවල ඔවුන් කෑමොරදුන් හඬ අදටත් ඇසෙන බව ඇතැමුන්ගේ විශ්වාසයයි...

කටුවන සටන ජය ගන්නට අපේ සේනාව විවිධ යුද උපක්‍රම යෙදූ බවට කතා බොහෝය. ඉන් එකක් නම් ශාන්තිකර්ම උපක්‍රමයයි. ලන්දේසීන් හීනෙන්වත් නොසිතන තරම් වෛවර්ණයෙන් යුතු මේ ක්‍රමය ඔවුන් කොටුව තුළ සිර වී සිටි මානසිකත්වයට හොඳ ශාන්තියක් එක් කිරීමට සමත් විය. එහි සූදානම පවා බොහෝ සෙබළුන්ට යටත්විජිතයක මෙවන් විචිත්‍රත්වයක් දැකිය හැකි අපූර්ව අවස්ථාවක් විණි.

“වරින් වර විවධ බලපෑම් එල්ල වුණු නිසා සෙබළුන් හෙම්බත් වෙලා හිටියේ. ඒ අතර පණිවිඩ හුවමාරුවක්වත් නැතිව තනිකන්දෝසේ වගේ හිටිය කොටුවේ ලන්දේසීන්ට තොවිලයක් දකින්න ලැබීම අපූරු අත්දැකීමක් වුණා. දැන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන පාරේ, ඒ කියන්නේ කොටුවේ ප්‍රධාන දොරටුව ආසන්නයේම වගේ තමයි මේ තොවිලේ සූදානම් කර තිබෙන්නේ.“ උදය ඇමටියගොඩ කුඩා කතරගම දේවාලයේ බස්නායක නිලමේ පැවසූයේ සිය මුතුන් මිත්තන්ගේ මුඛ පරම්පරාවෙන් පැවතෙන තොරතුරකි.

යටත්විජිත මානසිකත්වයෙන් සිටි ඔවුන්ට අපේ සංස්කෘතියේ ඇති මෙවන් අංග තේරුම් ගැනීමට අපොහොසත් වූවා විය යුතුය. එසේ නොමැතිව ඔවුන්ගේ චරපුරුෂ සේවය මෙවන් සූදානමක් පිළිබඳ තොරතුරු යන්තමින් හෝ නොදැන්වූවායැයි සිතීම අපහසු වේ. හේතුව ඒ වන විටත් ලන්දේසීන් කටුවන කොටුව අවට පදිංචිකරුවන් ලෙසද ස්ථාවර වී සිටි බවට ඇති සාක්ෂිය.

“අහල පහල ගෙදරක ආතුරයෙක්ට හොඳටම අසනීපයි. ඒ නිසා තොවිලයට අවශ්‍ය සියල්ල සූදානම් කළා. තොවිල්පොළ සකස් කළා; අටමගල හැදුවා. ඒවාට කෙහෙල් බඩ, ගොක් කොළ, පුවක් ගස් ආදිය අවශ්‍යයි. ඒවා ගේන අතරෙ කොටුව ළඟ තිබ්බා කියලා කවුරුත් මුකුත් හිතන්නේ නෑ. ලන්දේසි සෙබළුනුත් ඒ ගැන මුකුත් හිතුවේ නෑ. ප්‍රදේශයම හරිම කලබලෙන් එහෙ-මෙහෙ දුවමින් සූදානම් වෙනවා. කොටුවක් තියෙනවාද කියලවත් නිනව්වක් ඒ අයට නැහැ. කෙහෙල් බඩ එහෙන් මෙහෙන් ගෙනැත් පුරවලා තිබුණේ සැරසිලිවලට...“ ඇමටියගොඩ නිලමේ විස්තර කළේය.

තොවිල් ගේ ආරම්භ විය. පහතරට යක් බෙර පද කඳු වළල්ලට වැදී දෝංකාර දිනි. රෑ පුරා කවි කියමින්, ගිනි පන්දම් ලෙළවමින්, වෙස් මුහුණු බැඳ කළ මේ අපූරු නර්තන සන්දර්ශනය ඒකාකාරී ලෙස තුවක්කු බයිනෙත්තු අත දරා සිටි ලන්දේසීන් වශීකෘත කළ බව පුදුමයක් නොවේ. එහෙත් ඔවුන් දැන නොසිටි කරුණ වන්නේ මේ නැටුම් නටන්නේ හැඩවත්තේදී හැඩ වුණු අපේ සෙබළුන් පිරිසක් බවය. තොවිලයකට අවශ්‍ය කෙසෙල්බඩ ප්‍රමාණය නොදත් ලන්දේසීන් කොටුව අසල ගොඩ ගසා තිබූ කෙසෙල් බඩ තුළ ඇත්තේ අවි ආයුධ බව සිහිනෙන් වත් සැක සිතන්නට නැත. එසේ වූවා නම් කතාව හාත්පසින් වෙනස් වන්නට ඉඩ තිබිණි.

“තොවිලයක් ඉවර වන වේලාවක් ලන්දේසි දන්නේ නෑ නේ. නිදි වරාගෙන කොටුවේ තාප්ප උඩින් මේ නැටුම් බලන් ඉන්න ඇති. වෙලාව ආව ගමන් අපේ මුත්තලා අර කෙහෙල් බඩ අස්සේ තිබුණු ආයුධත් අරගෙන කටුවන කොටුව අස්සට පැන්නා. ලන්දේසීන්ට වෙච්ච දේ හිතාගන්න වත් වෙලාවක් තිබුණේ නෑ කියලත් කතාවක් තියෙනවා.“

එහෙත් විශ්‍රාමලත් විදුහල්පති පී.එල්.ඒ. රණසිංහ මහතා පවසන්නේ වෙනස් කතාවකි. “එදා ගරා යක් නැටුම තමයි නැටුවා කියන්නේ. හැබැයි අපට නම් අහන්න ලැබුණේ කටුවන සටන ඉවර වුණාට පස්සෙ මේ ප්‍රදේශයේ හිටපු යක්කු - ඒ කියන්නේ ලන්දේසි - එළවා දමන්න, ඒ දෝසය එතැනින් ඉවරයි කියන්න වගේම සටන දිනූ සතුටට අපේ සේනාවට තිබෙන ඇස්වහ කටවහ දෝස යන්නත් එක්ක තොවිලයක් කර ශාන්තියක් පැතුවා කියලයි.“

කටුවන ආශ්‍රිතව පරම්පරා ගණනක් පුරා වෙසෙන ව්‍යාපාරික එම්. ප්‍රියන්ත මහතාට ඒ තොරතුර ලැබෙන්නේ මෙසේය: “කොටුව කඩන්න උපක්‍රමයක් හැටියට තමයි තොවිලේ නටලා තියෙන්නේ. කොටුව ඇතුළෙ තියෙන ළිඳ දක්වා උමඟක් කපලා තිබිලා තියෙනවා. තොවිලෙ බලන්න සොල්දාදුවෝ රැස් වුණාම කෙසෙල් බඩ විදිහට කඩු ගෙනියලා ලන්දේසී සෙබළුන්ට ගහලා. උමඟෙන් ඇවිත් කොටුව ඇතුළට රිංගුවා කියලයි කියන්නේ...“

අවස්ථාව කුමක් වුවත් රම්මල් කන්ද ප්‍රදේශයේ මේ ශාන්තිකර්ම ක්‍රම එදා සිට පැවතෙන බවට පුරාවිද්‍යාඥ සුමිත් රණසිංහ මහතාගේ ‘රම්මල් පුවත‘ පර්යේෂණ වාර්තාවද ‘මේ ප්‍රදේශයේ ජනශ්‍රැති අංග අතර භූත දෝෂ, අණවින, කොඩිවින කැපීම්, පිදේනි දීම, තොවිල් නැටීම, ගැබිනි මවුවරුන්ට ආසිරි පැතීම සඳහා දරු නැළැවිල්ල නම් යාච්ඤාව වැනි ශාන්තිකර්මද පැවැත්වේ. මේ කාර්ය සඳහා ඇප-කැප වී සිටින කට්ටඩීන් හා ඇදුරන් මන්ත්‍ර ශාස්ත්‍ර කටපාඩමින් රැකගෙන එයි. එවැනි පරම්පරා කීපයක් මේ අඩවිය තුළ තවමත් සිටිති,‘ යනුවෙන් සාක්ෂි දරයි.

එයටම අනුව, කටුවන කොටුවේ වාස්තු විද්‍යාත්මක ලක්ෂණ මෙසේය: 1520න් පසු යුරෝපයේ ඉදි වූ බලකොටුව තාක්ෂණය මාතර බලකොටුව, මාතර තාරකා කොටුව, තංගල්ල බලකොටුව මෙන්ම කටුවන කොටුවේ දැක ගත හැකි වේ. කොටු තාප්පයේ තැනින් තැන තුවක්කු කුහර තැනීම, බලකොටුවේ සතර දිසාවේම අට්ටාල ඉදි කිරීම සහ හාත්පසින් සතුරාට ප්‍රහාර එල්ල කළ හැකි භූමියක් නිර්මාණය කිරීම ඒ ලක්ෂණ කීපයකි. කටුවනට සුවිශේෂ වාස්තු විද්‍යාත්මක කරුණ වන්නේ එය උතුරු දකුණු දෙදිසාවට මුහුණ ලෑ අට්ටාල දෙකකින් යුතු වීමයි. ඒවායේ කාලතුවක්කු 12ක් රැඳවිය හැකි කුහර දොළසක් තිබූ බව 1734 බලකොටුව නැරඹූ හයිට්ගේ වාර්තාවල සඳහන් වේ. එහි අරමුණ වන්නට ඇත්තේ මුහුදේ සිට පැමිණෙන සතුරු සේනාවලට සහ උඩරටින් එන සතුරු සේනාංකවලට පහර දීමය. රට අභ්‍යන්තරයේ තැනූ ලන්දේසි බලකොටු අතරින් සැලැස්මෙන් ඉතා විශාල කොටුව ලෙස මෙය ගැනේ. හයිට්ගේ විස්තරයට අනුව අඩි 12ක් උසින් හා අඩි 6ක් පළලින් වූ ඕලන්ද ගෘහ නිර්මාණ ලක්ෂණ සහිත මෙහි සෙබළුන් 40කට පහසුකම් තිබූ බව වාර්තා වන බව පවසන රණසිංහ මහතා පෙන්වා දෙන්නේ 1980 දශකයේ කරන ලද සංරක්ෂණ කටයුතුවලදී කොටුවේ අට්ටාල, වෙඩි කුහර විකෘත කර ඇති බවයි.

කටුවන මාතර හටන නම් ග්‍රන්ථය සම්පාදනය කළ කිරිඇල්ලේ ඤාණවිමල හිමියන්ට අනුව එවැනි ගෘහ නිර්මාණ ශිල්පයක් භාවිත කර ඇත්තේ සෙබළුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටත් කොටුවේ දිගු කාලීන පැවැත්ම තහවුරු කිරීමටත්ය. කොටුව තුළ ඇති උමඟ ලෙස හඳුන්වන ළිඳ, පඩිපෙළ, නේවාසිකාගාරය, ශල්‍යාගාරය මෙන්ම වෙඩි බෙහෙත් ගබඩාව හඳුනාගැනීමේ ලක්ෂණ තවමත් පවතී. මේ නිර්මාණයේදී ඕලන්ද ගොඩනැඟිලි තාක්ෂණය මෙන්ම මෙරට පහතරට පෙදෙසේ එවක භාවිත වූ ගොඩනැඟිලි තාක්ෂණය මිශ්‍රව යොදාගත් බව ඔවුන්ගේ මතයයි. එහෙත් පුරාවිද්‍යාඥ රණසිංහ මහතා පෙන්වා දෙන්නේ 1617 යුගයේ ලෝකයේ ඉදි කළ බලකොටු සමග සසඳන කල යුරෝපීය සොල්දාදුවකු සිටගත් විට ඇති උසට සරිලන ලෙස විද්‍යාත්මක පදනමකින් යුතුව, අත්-තුවක්කු රඳවාගෙන ප්‍රහාර එල්ල කළ හැකි අයුරින් කටුවන කොටුව ද ගොඩනඟා තිබූ බවයි. එහි සිට ලන්දේසී හමුදාව එල්ල කළ ප්‍රහාර නිසා සිංහල සෙබළුන් 5500න් වැඩි සංඛ්‍යාවක් මිය ගියහ. එහෙත් මාතර තාරකා කොටුව මෙන් නොව කටුවන කොටුවේ සංරක්ෂණයෙන් පසු අද පවතින උස නිවැරැදිව සකසා නැත. ඒ කෙසේ වෙතත් එදා සිංහලයන් කොටුව තැනීමට සහාය දුන්නා සේම එය හොඳින් අධ්‍යයනය කර තිබූ බව අවසන් සටන ජය ගැනීමෙන් පැහැදිලි වේ.

ඉතිරිය මතුවට...
අරුණි මුතුමලී
ඡායාරූප - සුදත් නිශාන්ත/ 
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

Comments