සිත නමැති ධර්මයට වසඟ වන හැටි | සිළුමිණ

සිත නමැති ධර්මයට වසඟ වන හැටි

ලොව විද්‍යමාන වස්තූන් අතර ප්‍රධාන වනුයේ සිත ය. එසේ හෙයින් බෞද්ධ දර්ශනය තුළ සිත ප්‍රධාන කොටගෙන ජීවිතය සහ ලෝක ස්වභාවය පිළිබඳ ගැඹුරු වූත් සියුම් වූත් විග්‍රහයන් ඉදිරිපත් කොට ඇත. සිත කෙතරම් ප්‍රබල වන්නේ ද යන්න සිදු කළ විසිතුරු වූ දේශනාවක් සංයුත්ත නිකායේ දැක්වේ. එහි දී සිත සත්ත්වයා විෂයෙහි බලපවත්නේ කෙසේ ද යන්න ගැඹුරින් විග්‍රහ කොට තිබේ.

“සිතින් ලොව පමුණුවනු ලැබේ. සිතින් අදනා ලැබේ. සියල්ලෝ ම සිත් නමැති මේ එක ම දහම්හුගේ වසයට ගියාහුය.”

(සංයුත්ත නිකාය, දේවතා සංයුත්තය, චිත්ත සූත්‍රය, 72 පිටු. බු. ජ. ත්‍රි.)

ලොව සියලු දෙනා සිත නමැති එක ම ධර්මයේ වසඟයට පත්ව ඇති අයුරු මෙහිදී පෙන්වා දී ඇත. එසේ ම සිත කිලිටි වීමෙන් සත්ත්වයා කිලිටි වන්නේ ය. සිත පිරිසිදු වීමෙන් සත්ත්වයා පිරිසිදු වන්නේ ය.

(චිත්තේන සංකිලිස්සේන සංකිලිස්සන්ති මානවා - චිත්තේ සුද්ධෙ විසුජ්ඣන්ති ඉති වුත්තං මහෙසිනො) බුදුරජාණන් වහන්සේ මේ ආකාරයෙන් සිතෙහි ක්‍රියාකාරිත්වය සත්ත්වයා විෂයෙහි බලපවත්වන ආකාරය මැනවින් විග්‍රහයට ලක් කොට තිබේ. සත්ත්වයා යනුවෙන් අප විග්‍රහ කරන දේ තුළ සැබවින් ම විද්‍යමාන වනුයේ ස්කන්ධ පඤ්චකය යි. රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ යනු එම පසයි. ධර්මය තුළ නාම - රූප වශයෙන් සංක්ෂිප්ත ලෙස දක්වා ඇත්තේ මෙම කරුණු ම ය. එසේ හෙයින් සත්ත්වයා යනු නාම - රූප ධර්මයන්ගේ එකතුවක් ලෙස දැක්විය හැකි ය. සත්ත්ව යන්න සම්මුති විග්‍රහය තුළ පමණක් දක්නට ලැබෙන අතර පරමාර්ථ වශයෙන් ප්‍රකට වන්නක් නොවන බව නුවණින් දත යුතු ය.

බෞද්ධ දර්ශනයෙහි අපේක්ෂිත අර්ථය වනුයේ මෙම නාම රූප ධර්මයන්ගේ සැබෑ ස්වභාවය ප්‍රකට කොට සත්ත්වයාට ජීවිතය සහ ලෝකය පිළිබඳ සැබෑ ස්වභාවය අවබෝධ කොට නිවන කරා පියනැඟීමේ මාර්ගය විවෘත කොට දැක්වී ම ය. බුදුරදුන් ඒ මාර්ගය විවර කිරීමෙහි මාර්ගෝපදේශකයාණන් ය. ඒ බව ඉතිවුත්තක පාලියෙහි ලෝකාවබෝධ සූත්‍රයෙහි මෙසේ දැක්වේ.

“තෙමේ දැමුනේ අනුන් දමනය කරන්නවුන් අතුරෙහි ශ්‍රේෂ්ඨ ය. ශාන්ත වූයේ අනුන් ශාන්ත කරන්නවුන් අතුරෙහි ඍෂි ය. තෙමේ මිදුණේ අනුන් මුදවන්නවුන් අතුරෙහි අග්‍ර ය. තෙමේ එතෙර වූයේ එතෙර කරන්නවුන් අතුරෙහි උතුම් ය.”

(බුද්දක නිකාය, ඉතිවුත්තක පාලි, ලෝකාවබෝධ සූත්‍රය, 485 පිටු.)

විමුක්ති ප්‍රතිලාභ

කරුණු මෙසේ හෙයින් අප වටහාගත යුතු ප්‍රධාන කරුණ නම් බුදුරදුන්ගේ මූලික අභිලාෂය වූයේ සත්ත්වයා සසර දුකින් මිදවී ම ය. ඒ සඳහා අවැසි මාර්ගය ඉතා මැනවින් විග්‍රහ කොට දී ඇත. ඒ මාර්ගය නිවැරැදිව දැන ජීවිතය තුළ ප්‍රායෝගිකව පුරුදු කොට සිත දමනය කොට සත්‍යය අවබෝධයෙන් දුක් කෙළවර කිරීම සඳහා උත්සාහවත් විය යුතු ය.

නිවන් දකින දහම් මඟ යනුවෙන් විවරණය වන මෙම ලිපි මාලාවෙහි මූලික අපේක්ෂාව වනුයේ ද තථාගත ධර්මය පිළිබඳ නිවැරැදි අවබෝධයක් ජනතාව වෙත ලබා දෙමින් කිසිදු අන්තයක් හෝ දෘෂ්ටියක් භජනය නොකොට සැබෑ ධර්ම මාර්ගය විවර කොට දීම ය. විමුක්ති ප්‍රතිලාභය සඳහා අවැසි සියලු ධර්මයන් ඉතා නිවැරැදිව ඉදිරිපත් කිරීම මෙමඟින් සිදු කෙරේ. මෙහිදී දක්නට ලැබෙන සුවිශේෂී කරුණ වනුයේ ධර්ම මාර්ගය පිළිබඳ දක්වන ලද සියලු විග්‍රහයන් සූත්‍ර විනය, අභිධර්ම යන ත්‍රිපිටක ග්‍රන්ථ සහ එම ග්‍රන්ථයන් අරභයා රචිත අටුවා, ටීකා සහ පශ්චාත් කාලීන මූලාශ්‍රයන් පාදක කොටගෙනම කරුණු විග්‍රහ කිරීම ය.

විසුද්ධි මාර්ගය, විමුක්ති මාර්ගය, අභිධම්මත්ථ සංග්‍රහ ආදි ධර්මය පිළිබඳ කරුණු විග්‍රහ කරන ලද ප්‍රධාන ග්‍රන්ථයන් ද උපයෝගී කොට කරුණු දක්වනු ලැබේ. ඉදිරිපත් කරන සෑම කරුණක්ම දක්වන ලද්දේ කවර මූලාශ්‍රයක් පදනම් කොටගෙන ද යන්න ඒ ඒ කරුණට පහතින් දක්වනු ලැබේ. එවිට පාඨකයාට ඉතා විශ්වසනීය අයුරින් කරුණු අවබෝධ කර ගැනීමේ පහසුව සැලැසේ. මූලාශ්‍රය, සූත්‍ර නාමය, පිටු අංකය ආදි සියලු විස්තර දක්වා ඇති හෙයින් වැඩිදුර අධ්‍යයනය සඳහා උනන්දු වන සියලු දෙනාට එය මහත් උපකාරී වනු ඇත.

චතුරාර්ය සත්‍යය, පටිච්ච සමුප්පාදය, කර්මය, චිත්ත, භාවනා කර්මස්ථාන, පුද්ගල චරිත, සතිපට්ඨන, සම්‍යග්ප්‍රධාන, ඍද්ධිපාද, ඉන්ද්‍රිය, බල, බොජ්ඣංග, චෛතසික, රූප, නිර්වාණ ආදි ගැඹුරු ධර්මයන් ත්‍රිපිටකය සහ අටුවා, ටීකා ග්‍රන්ථයන්හි ඉතා ගැඹුරින් සහ සියුම් ලෙස විග්‍රහ කොට තිබේ. නිර්වාණාවබෝධය ලැබීමේ අපේක්ෂාවෙන් පිළිවෙත් පූරණය කරන සියලු දෙනා මෙම ධර්ම පිළිබඳ නිරවුල් වූ පිරිසිදු දැනුමක් ඇතිව එම මාර්ගයන් අනුගමනය කළ යුතු ය.

උසස් චිත්ත දියුණුවක් ලැබීමට නම් නිවැරැදි මාර්ගය අනුගමනය කළ යුතු ම ය. මාර්ගය වරදවා කෙතරම් කාලයක් එම වැරැදි මාර්ගය අනුගමනය කළ ද දියුණුවක් ලද නොහැකි ය. එය නිෂ්ඵල වෑයමකි. එසේ හෙයින් ධර්මය අවබෝධ කිරීමේ ප්‍රධාන මාවත වනුයේ ධර්මතාවයන් පිළිබඳ නිවැරදි සහ පිරිසිදු දැනුමක් ගොඩනඟාගෙන නිවැරදි මාවත ඔස්සේ සිත පුරුදු කිරීම ය.

ධර්මය පිළිබඳ නිරවුල් අවබෝධයක් නොමැති තැනැත්තාට උසස් දියුණුවක් ලද නොහැකි ය. බොහෝ පිරිසකට සිත දියුණු කොට උසස් දියුණුවක් ලැබීමේ වුවමනාව සහ කැමැත්ත තිබුණ ද නිවැරැදි මාර්ගය සහ ධර්මතාවයන් පිළිබඳ පිරිසිදු නිරවුල් අවබෝධයක් නොමැති හෙයින් දියුණුවක් ලැබීමට නොහැකි වී ඇත. ඇතැමෙක් දියුණුවක් නොලබා ම ධර්ම කරුණු වැරදි ලෙස තේරුම් ගෙන තමා දැන් දියුණුවට පත්ව මාර්ගඵල අවබෝධය ලබා ඇතැයි දෘෂ්ටි ගතව මුළා බවට පත්ව නොමඟ ගොස් ඇත.

මේ සියල්ලට හේතුව ධර්මය පිළිබඳ මනා දැනුමක් නොමැති වීමය. එසේ හෙයින් චිත්ත දියුණුවක් ලබා තම ජීවිතය විමුක්ති මාර්ගයට ප්‍රවිෂ්ට කර ගැනීමේ වුවමනාව ඇති සියලු දෙනා විසින් කළ යුත්තේ ධර්මය පිළිබඳ ගැඹුරු දැනීමක් ප්‍රථමයෙන් ම ඇති කර ගැනීම ය. එම සුතමය ඥානය නොමැතිව ධර්මය අවබෝධ කළ නොහැකි ය.

ධර්ම මාර්ගය

මෙහිදී සුතමය ඥානය ලෙස දැක්වූයේ ධර්මය පිළිබඳ කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන් ගොඩනඟා ගන්නා ලද අවබෝධයයි. එනම් අනුන්ගෙන් අසා ධර්ම මාර්ගය පිළිබඳ දැන ගැනී ම ය. අන්‍යයන්ගෙන් අසා දැන ගැනීමක් නොමැතිව එම ජීවිතයේ ම ධර්මය අවබෝධ කරගැනීමේ හැකියාව පවතිනුයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට සහ පසේ බුදුරජාණන් වහන්සේට පමණි. එසේ නොවී කෙතරම් ප්‍රඥාවන්තයකුට වුවද අන්‍යයන්ගෙන් ධර්ම මාර්ගය නොඅසා මාර්ග ඵල අවබෝධයට පත් විය නොහැකිය.

මෙහිදී දක්වන ලද්දේ ප්‍රථම මාර්ග ඵලය බව විශේෂයෙන්ම දත යුතු ය. එනම් නිවන් මගෙහි ප්‍රථම ඵලය වන සෝතාපන්න ඵලය පිළිබඳවය. සෝතාපන්න වීමට අවශ්‍ය වන ප්‍රධාන කරුණු දෙක නම් පරතෝඝෝසය සහ යෝනිසෝමනසිකාරය යන කරුණු ය. මෙහි පරතෝඝෝස යනු අනුන්ගෙන් ධර්මය අසා දැන ගැනීමය. මේ පිළිබඳ පසුව දීර්ඝව කරුණු දක්වනු ලැබේ.

විමතියක් ඇතිවීම

මෙම කරුණ මෙසේ දැක්වීමේ දී සමාජය තුළ මෙතෙක් කාලයක් ධර්මය අනුගමනය කළ පිරිසට ‍යම් විමතියක් ඇති වීමේ සම්භාවිතාව අධික ය. එයට හේතුව නම් බොහෝ දෙනා උත්සාහ දරනුයේ කෙටිම මාර්ගයෙන් ඉතා ඉක්මනින් නිවන් දැකීමේ අපේක්ෂාවෙන් කටයුතු කරන හෙයිනි.

නිවන් දැකීමට කෙටි හෝ පහසු මාර්ගයන් නොමැති බව ප්‍රථමයෙන්ම දත යුතුය. මෙය වටහා ගැනීම හෝ පිළිගැනීම තරමක් අපහසු වුව ද සත්‍යය මෙය බව දත යුතු ය. ඉදිරියේ දී මේ ලිපි මාලාවෙන් කරුණු විග්‍රහ කරන කල්හි එය මනාව ප්‍රකට වේ. මේ ප්‍රථම ලිපියෙන් අප උත්සාහ දරනුයේ ලිපි මාලාවෙහි ස්වභාවය පිළිබඳ පාඨකයා දැනුම්වත් කිරීම පමණක් වේ.

ධර්මය අවබෝධ කළ රහතන් වහන්සේ ඇතුළු මාර්ගඵල ලාභි උතුමන්ගේ ජීවිත පිළිබඳ මනා අධ්‍යයනයක් සිදු කරන කල්හි ධර්මය අවබෝධ කිරීම සඳහා ගත් වෑයම මැනවින් ප්‍රකට වේ. ධර්මය අවබෝධ කිරීම එක් ජීවිතයක් හා පමණක් සම්බන්ධ නොවන බව දත යුතු ය.

ධර්මය අවබෝධ කිරීම

ඇතැමුන් රහතන් වහන්සේගේ මේ ජීවිතය දෙස පමණක් බලා වැරදි නිගමනයන්ට එළඹ තිබේ. එහෙත් සාංසාරික ජීවිත පිළිබඳ කරුණු දැක්වෙන අපදාන පාලිය සහ ථෙර ථෙරී ගාථා අධ්‍යයනයෙන් ධර්මය අවබෝධ කිරීම සඳහා පෙර ජීවිතයන්හි සිදු කරන ලද මහත් වූ කැප කිරීම් පිළිබඳව මනාව දත හැකි ය. ඒවා ද මැනවින් අධ්‍යයනය කළ යුතු ය.

එසේ සිදු කරමින් ම ධර්ම මාර්ගය පිළිබඳ අවබෝධයක් ප්‍රථමයෙන් ම ඇති කරගත යුතු ය. මේ සම්බුද්ධ ශාසනයෙහි ප්‍රඥාවන්තයින් අතර අග්‍රස්ථානය ලැබූයේ සාරිපුත්ත මහරහතන් වහන්සේය. උන්වහන්සේගේ ප්‍රඥාව දෙවැනි වූයේ බුදුරජාණන් වහන්සේට පමණි. එවැනි මහා ප්‍රඥාවන්ත ස්වභාවයකින් යුතු වූ උන්වහන්සේට පවා සෝතාපන්න වීමට අස්සජි මහරහතන් වහන්සේගෙන් ධර්මය ඇසීමටම සිදු විය. එය එසේ වූ කල අන්‍යයන් පිළිබඳ දැක්විය යුත්තේ කවර වූ ආකල්පයක් ද යන්න නුවණින් තේරුම්ගත යුතුය.

කරුණු මෙසේ හෙයින් ධර්ම මාර්ගයට ප්‍රවිෂ්ට විය යුත්තේ මනා අවබෝධයකින් යුක්තවමය. ඒ සඳහා අවැසි පිළිවෙත් මාර්ගය නිවැරැදිව සහ සියුම්ව මෙම ලිපි මාලාවෙන් ඉදිරිපත් කෙරේ. ජීවිතය තුළ උසස් දියුණුවක් ලැබීමේ අපේක්ෂාවෙන් කටයුතු කරන සියලු දෙනා එය නුවණින් යුතුව විචක්ෂණව අධ්‍යයනය කොට ප්‍රායෝගිකව ධර්මය ජීවිතය තුළ පුරුදු කිරීමට උත්සාහ ගත යුතු ය.

 

බෞද්ධ දර්ශනය (විශේෂවේදී)
ධුර්ධ ධර්ම ඩිප්ලෝමාධාරී

ලබන සතියට
ධර්මය අවබෝධය සඳහා මාර්ගයට ප්‍රවිෂ්ට විය යුත්තේ කෙසේ ද?

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.