අපි කහඉරේදී වෙන් ෙවමු! | සිළුමිණ

අපි කහඉරේදී වෙන් ෙවමු!

මේ කවිය අතිශය සරල ය. එය වාච්‍යාර්ථය නො ඉක්මවන්නේ යැයි තර්කයක් ද ගොඩනැඟිය හැකි ය. තවද උක්ත අත්දැකීම විස්තාරණය වී නැතැ’යි ද, එහි සූක්ෂ්ම අර්ථ හා භාව උද්ධරණය වී නැතැ’යි ද විවේචනයක් එල්ල කරන්නට ද පුළුවන. එහෙත් කවියා ගේ අනුභූතිය ඔස්සේ අපේ අතීතස්මරණය ඇවිස් ෙසයි. පරණ කතන්දර එළියට එයි. සිද්ධි දාම රඟ දැක්වෙයි. එය ම අපට ප්‍රහර්ෂයකි. වින්දනයකි.

අමෙරිකාවේ නීග්‍රෝ ජාතික කවියකු වූ ලොන්ග්ස්ටන් හෙජස් (1902 - 1967) සරල - සුගම - වාචික භාෂාව සිය නිර්මාණ සඳහා යොදා ගත්තේ ය. ඔහුගේ බොහෝ ප්‍රබන්ධවල ඇත්තේ කථන භාෂාවෙන් හෝ සජීවී සංවාදවලින් හෝ සිද්ධියක් නිරූපණය කිරීම ය. (උදා; “ට්‍රම්පට් ප්ලේයර්,’ “මැඩම් ඈන්ඩ් ද රෙන්ට් මෑන්”) එම නිරූපණ ඔස්සේ සහෘද සිත්හි හටගන්නා හැඟීම් හා දැනීම් බලවත් ය. හෙජස් මේ උපාය මාර්ගය ඔස්සේ සුවිශාල රසික සමාජයක් ගොඩනඟා ගත්තේ ය. එලෙස ම සමාජ සාධාරණත්වය උදෙසා ව්‍යාපාරයක් ද ආරම්භ කළේ ය.

කවියකුගේ ඉලක්ක - අරමුණු හා පරමාර්ථ අනුව අන්තර්ගතය පමණක් නො ව; කවියේ භාෂාව, රිද්මය, ආකෘතිය වැනි වෙනත් ශිල්පීය ලක්ෂණ ද වෙනස් විය හැකි ය.

මේ ප්‍රබන්ධය උපුටා ගත්තේ ශක්තික සත්කුමාර මහතාගේ “පියාපතක් බිම හෙළමි” නම් කාව්‍ය සංග්‍රහයෙන් ය. 2016 මැයි මාසයේ සමාජගත කරන ලද උක්ත කෘතිය යම් පමණක සමාජ සංවාදයක් ඇති කර තිබේ. ඊට කාව්‍ය නිර්මාණ හතළිහක් ඇතුළත් වේ. මා තෝරා ගත් “කහ ඉර මත” නම් ප්‍රබන්ධය එහි හත්වන කවිය ලෙස සටහන් වී ඇත.

කවියෙන් කියැවෙන්නේ හදිසි හමුවීමක් හා ඊට අදාළ අතීතාවර්ජනයක් ගැන ය. අතීතා’වර්ජනයට අයත්වන්නේ අසාර්ථක ප්‍රේම වෘත්තාන්තයකි. කථකයා හදිසියේ ම පාර මාරුවීම සඳහා කහ ඉර වෙත එයි. පාරේ අනෙක් පැත්තේ සිට පරණ පෙම්වතිය ද කහ ඉර මතට එයි. ඒ පාර මාරුවීම සඳහා ය. පෙම්වතිය අතෙහි සුරතල් දරුවෙකි. පෙම්වතා අතෙහි බර බඩු මල්ලකි. ජීවිතය - ආදරය හා ආර්ථිකය පිළිබඳ උපකල්පන රැසක් අපේ සිත් තුළ ජනිත වෙයි.

ලොව බොහෝ දෙනකුට සිය සිතැඟි අයුරු පෙම් සුව විඳින්නට ලැබෙන්නේ නැත. ජාතිය, ධනය, බලය, කුලය, සංස්කෘතිය ආදී සාධක ඒ සඳහා බලපායි. මේවා ක්‍රියාත්මක වන්නේ දෙදෙනකු එකතු කිරීමට නො ව; දෙදෙනකු වෙන් කිරීමට යැයි සිතන්නට පුළුවන. දේශපාලන දෘෂ්ටියකින් ගතහොත් ධනපති ක්‍රමය තුළ පවත්නා සම්පත් ‍බෙදී යෑමේ විසමතාව හා සූරාකෑම මීට ප්‍රධාන හේතුවයි. ඒ අනුව ස්ත්‍රීන් පතන පුරුෂයෝ ඔවුනට නොලැබෙති. පුරුෂයන් පතන ස්ත්‍රීහු ද ඔවුනට නොලැබෙති. මෙයින් හටගන්නා ශෝකය, කලකිරීම හා පසුතැවීම නොයෙක් ආකාරයෙන් සාහිත්‍ය - කලා නිර්මාණවලට පාදක වෙයි.

කහ ඉර මත දී සම්මුඛ වන දෙදෙනාගේ පෙම් පළහිලව්ව ද නිමාවට පත් වී ඇත්තේ වෙන්වීමකින් ය. අපේ අධ්‍යාපනය අවුල් ය. රැකියා සම්පාදනය අවුල් ය. ජීවිතයට මුහුණ දිය යුත්තේ විවිධ අර්බුද මධ්‍යයේ ය. මේ හේතු - සාධක නිසා පෙම්වත්හු සාමකාමීව වෙන් වී වෙනත් අතක් බලාගෙන ජීවත් වෙති. එම ජීවිතය ව්‍යාජ ය . යාන්ත්‍රික ය. බොහෝ විට අතෘප්තිමත් ය. මේ සිද්ධියෙන් මතුවන්නේ විප්‍රලම්භ ශෘංගාරය යි.

ප්‍රේමකීර්ති ද අල්විස් රචනා කොට; මර්වින් පෙ‍රේරා විසින් ගයනු ලබන “මේ නගරය” නම් ගීතය අප සිහියට නැ‍ඟේ. එහි එන කථකයා සිය බිරිය හා දරුවා කැටුව හදිසියේ ම නුවර යති. නුවර වැව, නුගගස්පෙළ, පරණ වීදි ඔහුගේ මතකය අවුස්සයි. පරණ සරසවි ප්‍රේමය එළියට එයි. පෙම්වතිය සිහිවෙයි. ඇය සමඟ ගිය වීදියේ අද බිරිය කැටුව යන්නට ඔහුට සිදු වේ. පුංචි පුතා ද ඔහුගේ අතඟිල්ලක එල්ලී ඇවිදගෙන යයි. කථකයාට අතීතය සිහිවෙයි. අතීත ප්‍රාර්ථනා සිහිවෙයි. සියල්ලෙන් ම මතුවන්නේ දරුණු කලකිරීමකි. එබැවින් ඔහු ජීවිතය සිහිනයකැ’යි සිතමින් ගමන් කරයි.

සත්කුමාරගේ පෙම් යුවළට සිදු වී ඇත්තේ ද එම සන්තෑසිය ම ය. පෙම්වතිය දරුවා තුරුලු කරගෙන එක පැත්තකට මාරුවෙයි. පෙම්වතා බඩුමල්ල රැගෙන තවත් පැත්තකට මාරුවෙයි. මෙයින් පෙනී යන්නේ ජීවන අරගලය යි. මේ අරගලය තුළ ඇඟිල්ලක් ගැසීමට ඉඩක් නැත. හුස්ම ගැනීමට ඉඩක් නැත. එබැවින් ප්‍රේමයට අවකාශ නැත. පරණ ප්‍රේමයට මොන ඉඩක්වත් නැත. කවියා මේ අදහස් තීව්‍ර වන ස්ථානයක දී දෙදෙනා මුණගස්වා ඇත. ඒ කහඉරි ය.

කහ ඉර කොයි අතින් බැලුව ද විවිධාර්ථවත් ය. පදිකයා ඒ දෙස බලන්නේ ද එය පාවිච්චි කරන්නේ ද එක විලාසයකට ය. රියැදුරන් ඒ දෙස බලනුයේ තව විලාසයකට ය. පොලිස් නිලධාරීන්ට නම්; එය නීතියේ කොටසකි. එලෙස ම කහ ඉරි මත මිනිස්සු මිය යති. රථවාහන හැප්පෙති. එය මාකර ස්ථානයක් හැටියට ද, රථවාහන නීතියේ සාධකයක් හැටියට ද සලකනු ලැබේ. කවියා පරණ පෙම්වතුන් සම්මුඛ කරන්නේ එබඳු අධිසංවේදී ස්ථානයක දී ය.

සම්මුඛ වීම මෙන් ම පාත්‍ර වර්ගයා සම්මුඛ වන ස්ථානය ද සාහිත්‍ය - කලාවේ දී ඉතා වැදගත් ය. ඊශ්‍රායල් ජාතික කවියකු ගේ ප්‍රකට නිර්මාණයක් වන “At The Mosque” යන ප්‍රබන්ධය අපට සිහිපත් වේ. එහි එන මිතුරෝ දෙදෙන බොහෝ කාලයකට පසු පල්ලියේ දී මුණ ගැසෙති. දෙදෙනා ම පූර්ව අරගලයක කොටස්කාරයෝ ය. ඔවුන්ගේ සටනට පසු බිම වූයේ ද මේ පල්ලිය යි. එහෙත් දෙදෙනාට ම අතීතස්මරණවලින් තෘප්තිමත් විය නොහැකි ය. එකෙක් නිග්‍රහයට ලක් ව ප්‍රතික්ෂේප වූ තැනැත්තෙකි. අනෙකා මොළය විකල් වූ පිස්සෙකි. මෙහි පල්ලිය යනු හැඟීම් උද්දීප්ත කරන පසුබිමකි. අනෙක් අතට සංකේතයකි.

සත්කුමාරගේ පෙම්වතා ද අපූරු තැනැත්තෙකි. ඔහු පෙම්වතිය විවේචනය කරන්නේ නැත. තමාට දොස් පවරා ගන්නේ ද නැත. ඔහු පැසුණු මිනිසකු ලෙස උපේක්ෂා සහගත ව ගැටලුව දෙස බලයි. කථකයාගේ නිගමනය වන්නේ එය කාලය පිළිබඳ ප්‍රශ්නයක් බව ය. කාලය පිළිබඳ ප්‍රශ්නය ද විවිධාර්ථවත් ය.

අ‍පේ නව පරපුරේ ගායකයෝ විප්‍රලම්භ ශෘංගාරය සාහසික ලෙස අලෙවි කරති. සමහරු සෙම් - සොටු පෙරාගෙන; බෙරිහන් දෙමින් මා හැර නො යන්නැ’යි පෙම්වතියට ආයාචනා කරති. තව සමහරු තම ආත්මය පාවා දෙමින් පෙම්වතිය ළඟ දණෙන් වැටෙති. තවත් සමහරු ඔයා යන්න කියා හොඳට ම හඬා වැටෙති. මේ කවියේ එන පෙම්වතා එසේ නැත. ඔහු මනුෂ්‍යයකු ලෙස යථාර්ථයට මුහුණ දෙයි. කවියා ද විප්‍රලම්භ ශෘංගාරය අලෙවි කරන්නේ නැත.

සාකල්‍යයෙන් ගත් කල ප්‍රධාන අදහස් තුනක් කවිය ඔස්සේ සංවාදයට ලක් වන බව පෙනෙයි.

(I) ජීවන අරගලය

(II) මානුෂීය ප්‍රේමය

(III) ජීවිතයේ අරුත්

අප මුහුණ දෙන ජීවන අරගලය නිරූපණය සඳහා සත්කුමාර ප්‍රධාන යෙදුම් තුනක් උපයෝගී කර ගනියි. එක; ‘හැල්මේ යන ජීවිතේ’ යන්න ය. දෙක; “ඔ‍ෙබ් අතේ සිඟිති පුතෙක්” යන්න ය. තුන; “මගේ අතේ බඩු මල්ලක්” යන්න ය. හැල්මේ යන ජීවිතේ යන්න අපූරු යෙදුමකි. හැල්මේ යනු ගැමි වචනයකි. ඊට යෙදෙන ඉංග්‍රීසි වදන වන්නේ “trot” යන්න ය. නො නවත්වා වේගයෙන් දිවීම එහි අර්ථය යි. අශ්වයා ගේ ධාවනයට ද “trot” යන්න යෙදෙයි. ජීවිත සටනේ දී අපට ද නැවතීමක් නැත. ඉස්පාසුවක් නැත. රාජ්‍ය සේවකයා රතු ඉරට කලින් වැඩට යා යුතු ය. ලොක්කාගෙන් බැණුම් ඇසිය යුතු ය. ගෙදර වැඩ කළ යුතු ය. මුළු ජීවිතය ම තරගයකි. දරුමල්ලන් ඇති කල තත්ත්වය තවත් උත්සන්න වෙයි.

ශ්‍රී ලංකාවේ විවාහක ස්ත්‍රීන්ගේ ජීවිත දරුවන් උදෙසා ම ගෙවී යයි. ඔවුන් පෙරළා තමන්ගේ ජීවිතවල පහසුව හා සැපය ගැන හිතන්නේ නැති තරම් ය. විවාහක පුරුෂයන්ගේ තත්ත්වය ද ඊට වඩා වෙනස් නැත. බඩුමල්ලේ කතාවෙන් ඒ බැව් සනාථ වෙයි. මේ කවියෙහි “ඔබේ සෙවණ මගේ සෙවණ” යැයි පාදයක් තිබේ. පෙම්වතියගේ කුටුම්බය දැන් වෙනත් එකකි. පෙම්වතාගේ කුටුම්බය ද වෙනත් එකකි. කැමැති හෝ අකැමැති හෝ එම සෙවණෙහි රැ‍ඳෙන්නට ඔවුනට සිදු වී ඇත. කවියා අවසන් ලෙස කියා සිටින්නේ කුමන තත්ත්වයක් යටතේ වුව මානුෂික බැඳීම් මුළුමනින් ඉවත් කළ නොහැකි බව ය. ඔවුන් ළතවන්නේ ඒ නිසා ය.

අපගේ සිත් රිදෙන්නේ අතීත පෙම්කතා යළි - යළිත් මතකයට නැ‍ඟෙන බැවින් ය. අවසන් ලෙස ජීවිතය යනු කුමක්දැ’යි විමසන තැනකට අප තල්ලු වෙයි.

Comments