මම බලෙන් අත්දැකීම් සොයා ගියේ නෑ | සිළුමිණ

මම බලෙන් අත්දැකීම් සොයා ගියේ නෑ

“මගේ තාත්තාත් ආශාවෙන් බලා හිටියා මං පළමු පොතෙන් පසු ඉක්මනටම තවත් පොතක් කරයි කියලා. ඒත් මගේ ගුරු වෘත්තියත් ගේ දොර දූ දරු ප්‍රශ්නත් නිසා එය දිනෙන් දින කල් ගියා. මේ නිර්මාණයත් මා අත්දැකීම් සොයාගෙන ගොස් ලියූවක් නොවෙයි. එදිනෙදා සමාජයේ මට අත්දකින්නට ලැබෙන දේ ඇසුෙරන් ඉබේ ම ගොඩ නැඟුණා. කතාවක් ලියනවා කියා අත්දැකීම් සොයාගෙන ගොස් මං නොදන්නා දෙයක් ලිව්වොත් එය කෘත්‍රිම දෙයක් වේයැයි මට හිතුණා. මේ පොත ලියන්න මෙපමණ කාලයක් ගත වුණේ ඒ නිසා විය හැකියි.”

‘මුසික අඩවිය’ විශේෂයෙන්ම ප්‍රධාන චරිත තුනක් වටා ගෙතේ. පොතේ එක් එක් පරිච්ඡිද තමරා, චන්දුල හා රඛිත යන මේ ප්‍රධාන චරිත වෙනුවෙන් වෙන් ව තිබීම මේ කතාව නිර්මාණයේ පෙනෙන විශේෂත්වයකි. අද බොහෝ නිවෙස්වල මූසික ප්‍රශ්නය විසඳිය නොහැකි ප්‍රශ්නයකි. එය අඩු වැඩි වශයෙන් කොයි කාටත් එක ලෙස බලපාන්නේ ය. කතුවරිය මූසික ප්‍රශ්නය ද විවරණය කරන්නේ මෙහි එන චරිතවලට අනුගත වෙමිනි. ඇය මෙහිදී මධ්‍යම පාන්තික ජිවන රටාවේ එන චරිත හා සමාජ අර්බුද නිරූපණය සඳහා මූසිකයන් යොදා ගන්නී ය. කතාවේ මූලික ම චරිතය වන තමරාට මූසික ප්‍රශ්නයක් තිබුණද එය ප්‍රධාන කොට කතාව නිර්මාණය නොවේ. එහෙත් ඇය පරිච්ජේද නම් කරද්දී සෑම පරිච්ජේදයක් ම මී චාරිකාව, මී ද්වාර වැසීම, මී වලිග යනාදී ලෙසින් මූසික ප්‍රශ්නයට අදාළ ව නම් කරන්නී ය. මූසිකයන් ගැන කිව්වද අදාළ සිද්ධිය ඒ චරිතවල හැසිරීමෙන් ඇය මනා ලෙසින් ඉස්මතු කරන්නී ය. එසේ ම මෙහි එන තවත් චරිතයක් වන සරණි යනු ඉහළ පන්තියේ තරුණියකි. ඇය සම්බන්ධ පරිච්ජේදයන්හි මූසික ප්‍රශ්න කතා නොකෙරෙන්නේ සමාජයේ පන්ති අතර වෙනස ද පෙන්වමිනි. මූසිකයන් සංකේතවත් කරමින් කතාව ඉදිරියට ගෙනයන කතුවරිය පාඨකයනට රුචි අයුරින් මූසික ප්‍රශ්නය දැකීමට ද ඉඩ හරී.

ඉතාම සරල ව ගලාගෙන යන කතාව තුළින් කතුවරිය මහා ගැඹුරු මාතෘකා විවරණය නොකරන්නී ය. එහෙත් කතාවේ එන චරිතවල හැසිරීම් හා කතාබහේදී මනා ලෙසින් සමාජ ආර්ථික හා දේශපාලන විවරණයක් ඉදිරිපත් කෙරේ.

මේ නවකතාවේ අප දකින තවත් විශේෂත්වයක් වන්නේ භාෂා භාවිතයයි. කතාවේ ආකෘතියට ගැළපෙන ලෙස භාෂාව යොදා ගත් බව මෙහිදී කතුවරිය පවසයි. ඇය මේ කතාවේ ඉදිරිපත් කරන චරිත විද්‍යාව හා ගණිතය ඉගෙන ගත් සමාජ පන්තියක සිටින්නෝ ය. එහෙයින් ඇය භෞතික විද්‍යා, රසායන විද්‍යා, ගණිතය හා ජිව විද්‍යාවේ එන වදන් බොහොමයක් යොදා ගනී. ඇතැම් සාමාන්‍ය පාඨකයනට ඒ වදන් තේරුම් නොගියත් එය කතාව රස විඳීමේ බාධාවක් නොවේ. දෙස් විදෙස් ඇතැම් සාහිත්‍යයන් හි මේ ලක්ෂණය බහුල ව යොදා ගැනීම දක්නට ලැබෙන අතර කතුවරිය ද එය අනුගමනය කරමින් විද්‍යාව සිංහල සාහිත්‍යයට යොදා ගැනීමට ගත් අපූරු උත්සාහයක් ලෙස මෙය දැකිය හැකි ය. ඒ අතර ම මෙහි බො‍හෝ දෙබස් සඳහා උපහාසය යොදා ගෙන තිබෙන අයුරක් ද පෙනේ. අද අප බොහෝ ග්‍රන්ථවල දකිනුයේ උපහාසය බලෙන් මෙන් පාඨකයා වෙත පටවන අයුරකි. කතාව එක දිගට රස විඳිය හැකිවනසේ භාෂාව වෙනස් කරමින් මෙලෙස උපහාසය යෙදීමෙන් පාඨකයා වෙහෙසට පත් නොකර කතාව ඉදිරියට ගෙන යෑමට කතුවරිය සමත් වී ඇත්තේ ය.

හුදෙක් ප්‍රේම කතාවක් නොවුවත් කතුවරිය චරිත ගොඩ නැංවීමේදී යොවුන් ප්‍රේමය ඉතාම සංයමයකින් යුතුව යොදා ගන්නී ය. මිනිස් සිත වැඩ කරන ආකාරය හා මානසික පෙරැළි ගැන කතාකරමින් ඇය චරිත හසුරුවා ඇත්තේ ය. නවකතාවේ එක් පරිච්ජේදයක දී තමරාට ඇගේ පැරැණි ප්‍රේමණීය මතකයන් අලුත් කරමින් මාධව යන චරිත‍ය මුණ ගැසීමක් සිදු වේ. දෙදෙනා යළි වෙන්වන්නේ ඔවුන් අතර අනියම් සබඳකමකට මුලක් පිරෙන බවක් පාඨකයාට අඟවමිනි. ඒත් කතාව ගලාගෙන යද්දී එවැනි දෙයක් සිදු නොවන තැනට කතුවරිය වග බලා ගනී. මේ ආකාරයේ පාඨක සිත සැකයෙන් හා කුතුහලයෙන් පුරවන සිදුවීම් කතුවරිය පරිච්ඡ්දයෙන් පරිච්ඡ්දයට ආකෘතියක් ලෙසින් යොදා ගන්නී ය.

වර්තමානයේ ඇතැම් ග්‍රන්ථවල හුදෙක් එක්තරා මට්ටමක පාඨක කොට්ඨාසයක් ඇද ගනුවස් අමු අමුවේ ලිංගික කරුණු කතාවලට ඔබ්බවා ඇති අන්දම අපි දකිමු. එසේම ඇතැම් ඉහළ සාහිත්‍ය කෘතිවලද ලිංගික කරුණු මහ ඉහළින් විග්‍රහ කරද්දී කතුවරිය ලිංගික කරුණු ඉතා සංයමයකින් යුතුව ව්‍යංග්‍යාර්ථයෙන් රසවත් ව ඉදිරිපත් කිරීමක් මේ කෘතියේ දක්නට ලැබේ.

කතාවේ මූලික චරිතය වන තමරා උගත් මධ්‍යම පාන්තික කාන්තාවකි. ඇගේ මානසික ගැටුම්, රැකියාවේ හා ගෙදර දොර ප්‍රශ්න මේ සියල්ල කතුවරිය අපූරුවට විග්‍රහ කරන්නේ මධ්‍යම පාන්තික සමාජයේ සෑම කාන්තාවකගේම අත්දැකීම්වලට සම කරමිනි. උගත් කාන්තාවක වුවද තමරාට තමා අපේක්ෂා කරන ඉලක්කයට යෑමට ඇයගේ විවාහය හා දරුවා හරස් වෙයි. ඇගේ බලාපොරොත්තු යම් යම් දේ වෙනුවෙන් කැප කරද්දී ඇය යම් තරමක අපේක්ෂාභංගත්වයට පත් වන්නී ය. එසේම අද බොහෝ කුටුම්බයන්හි බිරියෝ සිය සැමියන් අතින් ඉටුවිය යුතු වගකීම් හා යුතුකම් නිසිලෙසින් ඉටු නොවන බවට චෝදනා කරති. මෙය බොහෝ කාන්තාවන්ට අඩු වැඩි වශයෙන් පොදු දෙයකි. එහෙත් සැමියා බලාපොරොත්තු වන දේ බිරිය අතින් ඉටු නොවන අවස්ථා ද වෙයි. තමරා ධනාත්මකව නොසිටීම නිසා චන්දුල ද අපේක්ෂාභංගත්වයට පත්වීම මගින් කතුවරිය දෙපක්ෂයේ ප්‍රශ්න සමබර කිරීමට උත්සාහ දරයි. විවාහයට පෙර මවාගෙන සිටින සුන්දර ලොව සැබෑ ජීවිතයේ අත්දකින්නට නොලැබීම පිළිබඳ මෙහි සාකච්ජා කරනුයේ යෞවන යෞවනියන්ට ආදර්ශයක් දෙමිනි.

කතුවරිය ගුරුවරියක බව අපි මුලින්ම සඳහන් කළෙමු. ඇය සිය ගුරු වෘත්තියේ දී සිසුන් පිළිබඳ ලැබූ අත්දැකීම් මේ කතාවට මැනවින් පාදක කරගත් ආකාරයක් පෙනේ. ටියුෂන් අධ්‍යාපනය මඟින් පාසල් අධ්‍යාපනය ගිල ගැනීම, ගුරු වෘත්තිය බාල්දු වී සියල්ල මුදලට විකිණෙන සමාජයක් බිහිවීම පමණක් නොව තරුණ දියණියන් සිටින නිවෙස්වලට සරසවි සිසුන් ගෙන්වා ටියුෂන් දීමෙන් සිදුවන අනපේක්ෂිත සිදුවීම්ද කතුවරිය මෙහි එන චරිත මගින් කදිමට විස්තර කරයි. ඉන් පාඨකයනට කිසියම් පණිවිඩයක්ද දීමට ඇය උත්සාහ දරයි.

“අද ඇතැම් සම්මානනීය ලේඛකයන් බලෙන් අත්දැකීම් සොයාගෙන ගොස් ලියන බවක් පේනවා. එසේම ලේඛකයාට කියන්න අවශ්‍ය දේ කීමට පොත් ලියන බවක් පේනවා. මං ඉන් මිදී මගේ සැබෑ අත්දැකීම් ඇසුරෙන් මේ කතාව ගොඩ නැඟුවා. එසේම ලිවීම ආරම්භයේදී අවසානය මෙසේ විය යුතුයැයි මගේ ‍අදහසක් තිබුණේ නෑ. කතාව ලියාගෙන යද්දී චරිතවල හැසිරීම ඉබේ ම ගොඩ නැඟුණා. ඒ‍ අනුව කතාවේ අවසානය ලියැවුණා” යැයි කතුවරිය පවසයි.

සේයාරූ - විමල් කරුණාතිලක 

Comments