හැම අත්දැකීමක් ම මගේ ලේඛනයට පිටිවහලක් | සිළුමිණ

හැම අත්දැකීමක් ම මගේ ලේඛනයට පිටිවහලක්

මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන උෙලළේදී හොඳ ම නවකතාව ලෙස සම්මානය හිමි කරගනු ලැබුවේ ප්‍රවීණ ලේඛක කීර්ති වැලිසරගේ මහතා විසින් ලියන ලද “ ගරුඩ මුහුර්තය” නවකතාවයි. එමෙන්ම මෙවර ස්වර්ණ පුස්තක සම්මාන උෙලළේ අවසන් වටය සඳහා ද මේ නවකතාව නිර්දේශිත වුයේය. 1994 වසරේ සිය පළමු කෙටි කතා සංග්‍රහය වන “ගස් කට්ටිය” පළ කරන ඔහු එතැන් පටන් කෙටිකතා සංග්‍රහ කිහිපයක් හා නවකතා කිහිපයක් ම ලියා පළ කර ඇත්තේ ය. ඔහු විසින් ලියන ලද ‘කාල සර්ප‘ නවකතාව දෙදහස් දහතුන වසරේ දී ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලැබූ අතර ඔහුගේ කෘති උපාලි සාහිත්‍ය සම්මානයෙන්ද, ස්වාධීන සාහිත්‍ය සම්මානයෙන් ද, ගොඩගේ සාහිත්‍ය සම්මානයෙන් ද, ස්වර්ණ පද්ම සාහිත්‍ය සම්මානයෙන් ද පිදුම් ලබා ඇත්තේ ය.

මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභී කීර්ති වැලිසරගේ කොළඹට නුදුරු ව උපන් කීර්ති වැලිසරගේ නිර්මාණාත්මක ලේඛනයට පිවිසෙන්නේ පාසල් වියේ සිට ය. ඔහුගේ ලේඛන කලාව තව තවත් ඔප මට්ටම් වෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සමයේ ය.

“මම උසස් පෙළ විභාගයට ලිව්වේ විද්‍යාලංකාර පිරිවෙනෙන්. පාසල් මට්ටමේ දී නාට්‍ය , ගීත, කෙටි කතා ලිව්වා. විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ කවි ලිව්වා. විශ්වවිද්‍යාලයෙන් අයින් වෙන කාලේ වෙන කොට මම කෙටිකතා කිහිපයක් ම ලියා තිබුණා. නමුත් කෙටි කතා පොතක් මුලින් ම පළ කළේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පාසලක ගුරුවරයකු ලෙස කටයුතු කරන කාලයේ. “තුන්පත් රෑන” නමින් මුලින් ම ලියපු නවකතාව නැති වුණා. නමුත් මගේ ලියවිල්ල කරගෙන ගියා. ඔහු තම අතීතය ගැන එසේ පවසන්නේ ය.

කිර්ති වැලිසරගේ යනු කෙටිකතා කරුවෙක්ද? එහෙමත් නැත්නම් ඔහු පසුකාලින ව නවකතා ලියන්නට පටන් ගත් කෙනෙක් ද යන්න පිළිබඳ ඇතැම් විටෙක සාහිත්‍ය ලෝකය තුළ කතාබහට ලක් කෙරෙන්නෙකි.

“මම මුල් යුගයේ කෙටි කතා ලිව්වා. පළවෙනි කෙටි කතා සංග්‍රහය තමයි ගස්කට්ටිය. ඒ එක්දහස් නවසිය අනුහතර වසරේ. ඉන් පසුවත් කෙටි කතා පොත් කිහිපයක් ම කළා. මගේ මුල් ම නවකතාව තමයි එක්දහස් නවසිය අනූනවය අවුරුද්දේ පළ කළ දුර්යෝගය නවකතාව. ඉන් පසුව උණූ දුවිලි, දැදුරුගිරිකුළු ආදි වශයෙන් නවකතා කිහිපයක් ම පළ වුණා. කවුරුහරි කියනවා නම් මම කෙටි කතාකරුවෙක් කියලා ඒක වැරදි අදහසක්.. මම මුල් යුගයේ ඉඳල ම කෙටි කතා, නවකතා දෙක ම ලිව්වා. නමුත් පසුකාලීන ව තමයි පාඨකයන්ගේ මෙන් ම විචාරකයන්ගේ අවධානය මගේ නවකතා කෙරෙහි යොමු වුණේ.” ගරුඩ මුහුර්තය නවකතාව කීර්ති වැලිසරගේ ලියන්නේ දැරණියගල ප්‍රදේශය ඇසුරු කරගෙන ය. ගරුඩ මුහුර්තය සරල ව කියන්නේ නම් එය ගුරුළාගේ මොහොත හෙවත් අවස්ථව යන්නයි. ගුරුලා හෙවත් ගරුඩා යනු මන:කල්පිත සත්වයෙකි. මේ සංකේත භාවිත කරමින් ඔහු කියන්නට යන්නෙ එක්තරා යුගයක ග්‍රාමීය පරිසරය ඇසූරේ තිබු කතාවකි. මේ පිළිබඳ කීර්ති වැලිසරගේ පවසන්නේ මෙවැනි අදහසකි.

“කෙනෙක් නිර්මාණයක් කරන්නේ ඔහුගේ සිතට දැනෙන, කිසිසේත් මඟහැර යා නොහැකි අත්දැකීම් වපසරියක් සමඟයි. ඒ අනුව මේ නවකතාව සම්බන්ධයෙන් බැලුවොත් මීට අවුරුදු පහළොවකට කලින් විශේෂිත කාරණාවකට නොවන සාමාන්‍ය ගමනකදී නූරී, මාලිම්බඩ, මාගල ආදි ප්‍රදේශවල ඇවිදින්නට යන්න ලැබුණා. ඒ ගමනේදී ඇති වූ පිබිදීමක් තමයි මෙය ලීවිමට හේතුව වුණේ. ඒ වස්තු විෂය මා වෙත කාන්දු වන්නේ ඒ ඔස්සේ. ඒ ප්‍රදේශයේ ගතකරපු කිසියම් කාලයක් පුරා ප්‍රදේශයේ අක්මුල් සොයා යද්දි තමයි මේ පොත ලිවීමට හේතු කාරණා හමු වුණේ. ශතවර්ෂයකට පමණ පෙරාතුව ඒ හුදකලා වු ගම්මානය නැවත කියැවීමක් තමයි මේ. ඉතිහාසයේ අප මුහුණ දුන් බරපතල ඛේදවාචකයන් මෙන් ම දෙදරුම් හරහා අපේ සමාජය නව දිශාන්තයන්ට පරිවර්තනය වීම තමයි ගරුඬ මුහුර්තයෙන් කියන්නට උත්සාහ කළේ.”

මීට දශක කිහිපයකට පෙර තිබුණාට වඩා දැන් සමාජයේ පොත පත සම්බන්ධයෙන් බොහෝ දෙනා උන්නදු ය.

එමෙන් ම ඒ සඳහා විවිධ ඇගැයිම් උත්සව සම්මාන පිදීම් ද ඇත්තේ ය. නිරන්තර ව ම ලේඛනයේ නියැළී සිටින ලේඛකයන්ට එයි ලැබෙන උත්තේජනය කෙබඳුදැයි ඇසු විට වැලිසරගේ පැවැසුවේ මෙවැන්නකි.

“මේ මම හිතන විදිහ. සම්මාන ලැබුණත් නැතත් ලේඛකයෝ පොත පත ලියනවා. මම ලියු කෙටිකතා නවකතා පොත් වලට සම්මාන ලැබී තියෙනවා. නමුත් සම්මාන ලැබිම ම ලේඛකයකුට පොත් ලියන්න උත්තේජනයක් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. කොහොම වුණත් තමන් කරන කාර්යය අගය කරන විට එයින් යම් දිරිගැන්වීමක් වෙනවා .සම්මාන උත්සව පැවැත් වීම හොඳයි. එවැනි ඇගයිම් උළෙලවල් තව තව වැඩිවෙන තරමට හොඳයි.”

ලේඛකයකුට අත්දැකීම් බොහෝ වටින්නේ ය. විවිධ සමාජවලින් පුද්ගල ඇසුරෙන් ලබන අත්දැකීම් නිර්මාණවලට පාදක වන්නේ ය.

මම ඉඩක් ලැබෙන හැම විට ම දෙස් විදෙස් ලේඛකයන්ගේ පොත පත කියවනවා. ඒ වගේ ම තමයි කොළඹ නාගරික සමාජයක මම අද හිටියට අපේ පුංචි කාලේ මේ ප්‍රදේශය ගම්බද ප්‍රදේශ හැටියටයි හඳුන්වන්න පුළුවන්. මම උපන්නේ 1955 ඇතුල්කෝට්ටේ. ඒ යුගයේ පිටකෝට්ටේ මාලඹේ ආදි ප්‍රදේශ වල නාගරික ලක්ෂණ දකින්නට තිබුණේ නැහැ. මම පුංචි කාලේ ගෙවුණේ පාදුක්ක මලගල ආදි පුදේශවල. ඉන් පසුව ගුරුවරයකු ලෙස ඇඹිලිපිටිය, ඇහැලියගොඩ, පදලංගල ප්‍රදේශවල සේවය කළා. ඒ නිසා මට නාගරික අත්දැකීම් වලට වඩා තියෙන්නේ ගැමි පරිසරවල ලැබූ අත්දැකිම්. ඒ වගේම මට නාගරික ජීවිතයත් ආධුනික නැහැ. අද අපි ඉන්නේ අර්ධ නාගරික පරිසර තුළ. මේ හැම අත්දැකීමක් ම මගේ ලේඛනයට පිටිවහලක්.

සේයාරුව - ශාන් රඹුක්වැල්ල

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.