හැම නිර්මාණයකට ම විශිෂ්ටයි කිව්වාම ‘විශිෂ්ට’ කියන වචනෙට අර්ථයක් නැතිව යනවා | සිළුමිණ

හැම නිර්මාණයකට ම විශිෂ්ටයි කිව්වාම ‘විශිෂ්ට’ කියන වචනෙට අර්ථයක් නැතිව යනවා

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයකු ව සිටියදී 1961 වසරේ ‘අකල් වැස්ස’ නම් කාව්‍ය සංග්‍රහය රචනා කරමින් කාව්‍යකරණයට එළැඹි මහාචාර්ය විමල් දිසානායකයන් මේ වන විට කාව්‍ය ග්‍රන්ථ 8ක් රචනා කොට තිබේ.

මහාචාර්ය විමල් දිසානායකයන් කාව්‍යකරණයෙන් මතු නොව සාහිත්‍ය කලා නිර්මාණය හා විචාරය, සන්නිවේදනය, සංස්කෘතික අධ්‍යයනය හා සිනමාව ඈ නොයෙක ක්ෂේත්‍රයන්හි ප්‍රාමාණික විද්වතෙක් ද වෙයි. නිර්මාණකරණයේත් නිර්මාණ අධ්‍යයනයේත් එකසේ නිපුන් මේ කීර්තිධර ශාස්ත්‍රඥයා දැනට ඇමෙරිකාවේ හවායි හි ඊස්ට් වෙස්ට් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා ලෙස සේවය කරයි. බහුවිධ විෂයය විශේෂඥයකු වුව ද ඔහු සිය එක ම ආත්ම ප්‍රකාශන මාධ්‍ය ලෙසින් කාව්‍යකරණය හඳුන්වන බැවින් මෙවර සාහිත්‍ය මාසය වෙනුවෙන් කවිය පිළිබඳ ඔහුගේ අදහස් මෙසේ විමැසීමු.

• ඔබ නිතර පවසනවා අන් අය ඔබ කවියකු වශයෙන් හඳුන්වනවාටයි වඩාත් ප්‍රිය කරන්නේ කියලා. විෂයයන් කිහිපයක ප්‍රමාණිකයකු වශයෙන් සැලැකෙන ඔබ කවියට වඩාත් කැමැති වූයේ ඇයි?

සාහිත්‍ය විචාරය, සන්නිවේදනය හා සංස්කෘතික අධ්‍යයනය කියන විෂය ක්ෂේත්‍ර හා මම සම්බන්ධයි. නමුත් ඒ හැම ක්ෂේත්‍රයකටම වඩා වැඩි ඇල්මක් කවියට තියෙනවා. කෙනකුගේ සියුම් භාවමය හැඟීම් ප්‍රකාශ කිරීමට කවියට පුළුවන්. ඒ නිසා කවියට මගේ විශේෂ කැමැත්තක් තියෙනවා. අනෙක් ක්ෂේත්‍ර පහත් කොට සැලැකීමක් නොවෙයි මෙතැන තියෙන්නේ. මගේ භාවමය ජීවිතයේ පැතිකඩක් විවෘත කරන නිසා මම වඩාත් කැමැති කවියටයි.

• පැරැණි කවි සමයේ වාග්කෝෂය භාවිත කරමින් වර්තමාන අත්දැකීම් අනුව බසක් ගොඩනැඟීමට වෑයම් කළ කවියකු වශයෙන් ඔබ කවියට විශේෂිත බසක් ඇතැයි විශ්වාස කරනව ද?

කවියේ විශේෂත්වය රඳා පවතින්නේ ප්‍රධාන වශයෙන් ම “රූපක” මුල් කැරගත් භාෂාවක් ගොඩනැඟීම මතයි. වාර්තාමය භාෂාව සහ කාව්‍යමය භාෂාව අතර පැහැදිලි වෙනසක් තිබෙනවා. ඒ වෙනස රඳා පවතින්නේ අලුත් රුපක ආදිය යොදා ගැනීම මත.

කාව්‍ය භාෂාවේ විශේෂත්වය කවිවල සාර්ථකත්වයට ඉතාම වැදගත්. හැම යුගයකටම ගැළැපෙන කාව්‍ය භාෂාවක් ‍සකස් කරන්න බැහැ. ඕනෑම කාව්‍යයක භාෂාව සකස් වන්නේ ඒ ඒ යුගයන්ට අනුකූලවයි. දැන් දඹදෙණි යුගයේ තිබුණු භාෂාව කෝට්ටේ යුගයට එනකොට වෙනස් වෙනවා. කෝට්ටේ යුගයේ භාෂාව කොළඹ යුගයට එනකොට තවත් වෙනස් වුණා. එය ඒ ඒ යුගයන්හි පවතින විශේෂතා අනුව නිර්මාණය වන්නක්. නමුත් ඒ යුගයන්ට සරිලන භාෂාවක් තිබීමේ වැදගත්කමක් තියෙනවා.

• කවියක ජීවය රඳා පවතින්නේ ධ්වනිතාර්ථ සහිත බසක් මත බවත්, පැරැණි බස මඟින් ඊට රුකුලක් ලැබෙන බවත් ගුණදාස අමරසේකරයන් ප්‍රකාශ කරනවා. අදට ඔබින කවි කලාවක් ගොඩනැංවීමට නම් පැරැණි බස් වහර උපයෝගී කරගත යුතුයි කියන අමරසේකරයන්ගේ මතයට ඔබ එකඟ ද?

අමරසේකර කියන්නේ වර්තමාන කවිය දියුණු කිරීම සඳහා පැරැණි කවියෙන් විශාල ආභාසයක් ලැබිය හැකියි කියලා. ඔහුගේ ‘අසක්දාව’ ඇසුරු කළ විට ඒක ඔප්පු වෙනවා. ඒක මම පිළිගන්නවා. ඕනෑම රටක ඉංග්‍රීසි සාහිත්‍ය ගත්තත්, ප්‍රංශ සාහිත්‍ය ගත්තත්, ජපාන සාහිත්‍ය ගත්තත් ඒ ඒ රටවල විශිෂ්ට කවියන් හැම විටම තමන්ගේ පාරම්පරික සම්ප්‍රදාය ආශ්‍රයෙන් ආභාසය ලබලා තියෙනවා. අමරසේකර ‘අසක්දාකව’ මඟිනුත් වෑයම් කළේ කෝට්ටේ යුගයේ බස් වහර අදට ගැළැපෙන ලෙස යොදා ගැනීමටයි.

ඔහු අලගියවන්න මුකවෙටි ගෙන් පසුව පැවැති උත්තම අඛණ්ඩ කාව්‍ය සම්ප්‍රදායේ බිඳ වැටිම ගැන කතා කරනවා. නමුත් අලගියවන්න මුකවෙටිගෙයි, ගුණ‍දාස අමරසේකරගෙයි වෙනසක් තියෙනවා. ඒ තමයි අමරසේකර පැරැණි බස් වහර යොදා ගත්තත් ඔහු වර්තමාන ඥාන පරම්පරාවේ සාමාජිකයකු වීම.

අලගියවන්නට ඇසුරු කිරීමට නොහැකි වූ බොහෝ මතවාද අමරසේකර පසුකාලීනව හදාරනවා. ඔහුගේ භාෂාව සකස් වන්නේ ඔහුට ඇසුරු කිරීමට ලැබුණු මතවාදත් උපයෝගී කරගනිමින්. අන්න එතැනින් තමයි අමරසේකරයි, අලගියවන්නයි වෙනස් වෙන්නෙ. අමරසේකර පැරැණි සම්ප්‍රදාය උපයෝගී කරගත්තාට, ඒ උපයෝගී කරගත්තේ නවීන රාමුවක් ඇතුළෙයි. අපි කළ යුතු වන්නේ මේ වෙනස තේරුම් ගැනීමයි.

• මෙවැනි නිශ්චිත රාමු හඳුන්වා දීම මඟින් නිර්මාණකරුවාගේ නිදහස සීමා වීම නිසා නිර්මාණකරණයේ යම් පටු බවක් ඇතිවිය හැකියි නේද?

එය දෙආකාරයකට සිදුවිය හැකියි. එක් අතකින් යම් යම් සීමා පැනවීම නිසා කවියේ වර්ධනයට බාධා පැමිණෙන්න පුළුවන්. එහෙත් ඒ සීමා තමන්ගේ ම වාසියට පරිවර්තනය කර ගැනීම කවියකු සතු දක්ෂකමක්. ඉතිහාසය දෙස බලන විට දක්ෂ නිර්මාණකරුවන් හැම විටම ඒ සීමා තමන්ගේ වාසියට හරවාගෙන තියෙනවා.

නිදර්ශනයක් ගත්තොත් ශේක්ස්පියර්ගේ යුගයේ නාට්‍යවල කාන්තාවන් රඟපෑවේ නැහැනේ. කාන්තා චරිත රඟපෑවේ එක්කෝ කුඩා ළමයි, නැත්නම් පිරිමි අය. මේ ආකාරයට යම් යම් සීමා පැන නැංගත් ඒවා තමන්ගේ වාසියට හරවා ගැනීමයි කළ යුතු වන්නේ. ඒ නිසා මේ ගැටලුව දෙආකාරව ම නිර්මාණකරණයට බලපෑම් කරනවා.

• කවියන් කාව්‍යකරණයේ දී තම නිර්මාණ අනුභූතීන් සංකල්ප රූප චිත්ත රූප, රූපක ආදි වූ නොයෙක් කාව්‍යෝපක්‍රම මඟින් ඔපමට්ටම් කර ගන්නවා. ඒ සඳහා යම් ප්‍රතිභාවක් මෙන්ම අභ්‍යාසයක් ද අවශ්‍ය වෙනවා. මේ ද්විත්වය කාව්‍ය නිර්මාණකරණය සඳහා කරන්නේ කුමන බලපෑමක් ද?

සංස්කෘත පඬිවරුන් ප්‍රකාශ කරලා තියෙනවා. ප්‍රධාන කරුණු තුනක්. ඒ තමයි ප්‍රතිභා, ව්‍යුත්පත්ති, සතතාභ්‍යාස කියන කරුණු තුන. ප්‍රතිභා කියන්නේ නිර්මාණ ශක්තිය. ව්‍යුත්පත්ති කියන්නේ පතපොතෙන් ලබන දැනුම හා ජීවිතයෙන් ලබන දැනුමයි. සතතාභ්‍යාසය කියන්නේ පුරුද්දට. මේ කරුණු තුනම එක වගේ වැදගත්.

ඒ කියන්නෙ කවි ශක්තියක් නැත්නම් කවියකු වෙන්න බැහැ. ඒ විතරක් නොවෙයි, පත පොත කියවලා, දැනුම ඒකරාශි කර ගැනීමත් අවශ්‍යයෙන් ම කළ යුතුයි. මේ දෙක තිබුණත් මදි කවි ලියලා නිතර ප්‍රගුණ කිරීමත් කළ යුතු වෙනවා. ඒ නිසා පැරැණි කාව්‍යවේදයේ ප්‍රකාශ කොට තියෙන මතය සියයට සියයක්ම නිවැරැදියි.

• පවතින සංස්කෘතිකමය සීමාවන් මත සමහර කවීන් තමන් විසින් ම විවිධ සීමා පනවා ගන්නවා. එවැනි ස්වයං වාරණයක් මඟින් පිටතින් පැනැවෙන සීමාවන්ට වඩා වැඩි හානියක් කවියට වෙනවා කියලා ඔබ සිතනව ද?

මොන ම කවියකුට වුණත් අසීමිත නිදහසක් නැහැ. යම් යම් සීමා අනිවාර්යයෙන් ම මතු වෙනවා. පවතින සීමා තමන්ගේ වාසියට හරවා ගනිමින් ඒවා අතික්‍රමණය කිරීමට සිතීම ඉතා වැදගත්. ඇතැම් විට ඒ සීමා බිඳීම තමන්ගේ නිර්මාණකරණයේ ප්‍රගමනයට ඉතාම රුකුලක් විය හැකියි. ඒ පිළිබඳ මා දරන මතය නම් මේ වාරණ ද්විත්වයෙන් වඩාත් හානිකර වන්නේ ස්වයං වාරණයයි.

ස්වයං වාරණයේ සීමාව නිවැරැදිව තේරුම් නොගන්නා තාක් කල් එය නිර්මාණකරුවකුගේ අවගමනයට හේතු වෙන්න පුළුවන්. ඒ නිසා ඇතැම් අවස්ථාවල සීමා තිබීම හානිකරයි. ඒ සීමා බිඳ දමා ඉදිරියට යාමේ වගකීම තියෙන්නේත් කවියාටමයි. නමුත් ඇතැම් අවස්ථාවල එවැනි සීමා රුකුලක් වූ අවස්ථා ද තියෙනවා. ඒවාට හසු නොවී යෑමට උත්සාහ කිරීමෙන් අමුතුම නිර්මාණ බිහිවන අවස්ථා තියෙනවා. මේ පැති දෙකම සැලකිල්ලට ගත යුතුයි.

• මේ පැති දෙක හරිහැටි අවබෝධ කරගත නොහැකි වූ පුද්ගලයන් අතින් කාව්‍යකරණයට සිදුවූ හානි අපමණයි.

ඇත්ත වශයෙන්ම ඔව්. කඩා බිඳගෙන යන්න හදන කිසිම නිර්මාණයක් සාර්ථක වී නැහැ. උසස් නිර්මාණ ඇතිවෙන්නේ සමතුලිතතාව තිබුණොත් පමණයි. එක්තරා ප්‍රමාණයකට අතීතයෙන් ලද උරුමයක්, අනෙක් අතට වර්තමානයට ගැළපෙන සාහිත්‍යයක් නිර්මාණය කිරීමේ ආශාවන් අතර සම්බන්ධයක් ඇතිවෙන්න ඕනෑ. සම්බන්ධය ඇති කිරීමට සියලු සීමා බිඳ දමලම බැහැ. සීමා අතරේ හිරවෙලා ඉන්නත් බැහැ. අන්න එතැන දී තමයි කවියාගේ දක්ෂතාව මතු වෙන්නේ.

• නව පරම්පරාවේ නිර්මාණකරුවන් ගේ කවි කියැවීමට ඔබට අවස්ථාවක් ලැබෙනව ද?

ඇත්තෙන්ම මම ලැබෙන හැම අවස්ථාවකම ඔවුන්ගේ කවි කියවනවා සහ රස විඳිනවා. මට හැම කාව්‍ය ග්‍රන්ථ්‍යක් ම නම් කියැවීමට ලැබෙන්නේ නැහැ

• රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ ඇතුළු සම්මාන ප්‍රදානෝත්සව කිහිපයක් ක්‍රියාත්මක වන මෙවැනි වකවානුවක සම්මානයෙන් පිදීමට තරම් ප්‍රතිභාසම්පන්න කවියන් බිහිවෙනවා කියලා ඔබ හිතනව ද?

මගේ විශ්වාසය නම් ප්‍රතිභාසම්පන්න කවියන් කිහිප දෙනෙකුම සිටිනවා. පරාක්‍රම කොඩිතුවක්කු, මොනිකා රුවන්පතිරණ, වැනි කවින්ගේ බොහෝ නිර්මාණ හොඳ මට්ටමේ තිබුණා. ඔවුන් දෙදෙනා දෙආකාරයක ගමනක් ගිය දෙන්නෙක්. මොනිකා බොහෝ දුරට පාරම්පරික ගැමි සාහිත්‍ය ජනකවි යනාදිය උපයෝගී කරගත්තා. අනෙක් අතට පරාක්‍රම කොඩිතුවක්කු නිදහස් කවි ආරක් අනුගමනය කළ කවියෙක්. ඔහු එයටම සීමා වූවා කියලා නොවේ මම මේ කියන්නේ. මේ දෙදෙනා ම කවිය පිළිබඳ නොයෙක් අත්හදා බැලීම් කළ අයයි. කාව්‍යෝචිත බසක් තම නිර්මාණ කෙරෙහි හසුරුවා ගන්නට මේ නිර්මාණකරුවන් උත්සාහ ගත්තා.

අද තිබෙන එක ගැටලුවක් තමයි, දක්ෂ කවින් සිටියත් ඔවුන්ගේ නිර්මාණ එකතු කොට ග්‍රන්ථ වශයෙන් පළ කිරීමේ අවකාශයක් සමාජයේ නිර්මාණය නොවීම. නමුත් පුවත්පත්වල සඟරාවල ඉතා අනඟි නිර්මාණ ඉඳහිට පළවෙන අවස්ථා තියෙනවා. මේ පද්‍ය එකතු කොට ග්‍රන්ථයක් පළ කිරීමට කවුරුන් හෝ උත්සුක වනවා නම් එය ඉතා වැදගත් වේවි. අපි හැම තිස්සෙම කතා කරන්නේ කිහිප දෙනෙක් ගැන පමණයි. නමුත් මතු නොවූ දක්ෂ නිර්මාණකරුවන් අප අතර සිටිනවා. ඔවුන්ට සාධාරණයක් ඉෂ්ට විය යුතුයි.

• ලංකාවේ නිවැරැදි කාව්‍ය විචාර කලාවක් වර්ධනය වී නොතිබීම එහි ප්‍රගමනයට බාධාවක් නොවේ ද?

මෙහිදී මම අවංක උත්තරයක් දෙන්න ඕනෑ. ඇත්ත වශයෙන් ම ලංකාවේ නිවැරැදි කාව්‍ය විචාරයක් සිදු වෙන්නේ නැහැ.

පුළුල් වශයෙන් සලකා බලන විට සිංහල සාහිත්‍ය විචාරය ඉතා පහත් මට්ටමක තිබෙන්නේ. ඒවාට කිසිම ප්‍රමිතියක් නැහැ. හොඳ පොතක් කියන්නේ මොකද්ද, නරක පොතක් කියන්නේ මොකද්ද කියන එක නිර්භයව කියන්න පුළුවන් වෙන්න ඕනෑ. පළවෙන හැම පොතක්ම විශිෂ්ට නිර්මාණයක් කිව්වොත් විශිෂ්ට කියන වචනය අවලංගු කාසියක් බවට පත්වෙනවා. අද සිදුවෙලා තියෙන්නේ එයයි. විචාරකයෙක් හොඳ පොතක් හෝ නරක පොතක් වෙසෙසින් හඳුනා ගැනීමේ හැකියාව ඇත්තෙක් වෙන්න ඕනෑ.

මොකක්ද මේකට හේතුව. එකක් අපේ විශ්ව විද්‍යාලවලින් ඒ කාර්යය ඉටු වෙන්නේ නැහැ. අද විශ්ව විද්‍යාල අධ්‍යාපනය ඉතා පහළ මට්ටමක තියෙන්නෙ. බලාපොරොත්තු වූ මඟපෙන්වීම සාහිත්‍ය විචාරය සම්බන්ධයෙන් විශ්ව විද්‍යාලවලින් ඉටු වෙන්නේ නැහැ.

අනෙක් කාරණය පුවත්පත් කලාවේදීන්ට යුතුකමක් තියෙනවා ආධුනික ලේඛකයන්ට කුසලතා තිබේනම් අතහිත දෙන්න. බොහෝ විට පුවත්පත්වල ඉඩ වෙන් වන්නේ ප්‍රවීණ අයට පමණයි. මේ කරුණු දෙකම අවශ්‍යයි.

එතකොට ඔබේ ප්‍රශ්නයට පිළිතුරු වෙන්නේ සාහිත්‍ය විචාරය, කාව්‍ය විචාරය අද තියෙන්නේ ඉතාම පහළ මට්ටමක බවයි. පෞද්ගලික ප්‍රශස්ති හා දෝෂාරෝපණ ඉවත් කර ප්‍රමිතියක් ඇති විචාර කලාවක් බිහිවීමට මාර්ගය පාදා ගත යුතුයි.

• කවියක් එක් බසකින් තවත් බසකට පරිවර්තනය කිරීමේදී එහි කාව්‍යමය ගුණය ඒ ආකාරයෙන් ම රැක ගත හැකියි කියලා ඔබ සිතනවා ද?

ඉතා වැදගත් ප්‍රශ්නයක්. කාව්‍ය පරිවර්තනය තමයි දුෂ්කරම කාර්යය. නවකතාවක යටත් වශයෙන් කතා ප්‍රවෘත්තිය හෝ තිබෙනවා. නමුත් කවියක සම්පූර්ණ ජීවය රඳා පවතින්නේ ඒ භාෂාව මත.

සංස්කෘත භාෂාවෙන් රචිත කවියක් සිංහලයට පරිවර්තනය කිරීම එතරම් අසීරු නැහැ. මොකද පොදු සමානතා තිබෙන නිසා. නමුත් ඉංග්‍රීසි හෝ ජර්මන් බසින් පළ වූ කවියක් සිංහලයට පරිවර්තනය කිරීමේදී නොයෙක් ගැටලුවලට මුහුණ දෙන්න සිදු වෙනවා.

කාව්‍ය පිළිබඳ එක් බටහිර නිර්වචනයක් තමයි ‘පරිවර්තනයේදී නැතිවී යන්නේ කුමක් ද? ඒ තමයි කාව්‍ය’ කියලා.

ඒකෙන් ම පේනවා කවි පරිවර්තනය කෙතරම් දුෂ්කර ද කියලා. නමුත් මේ දුෂ්කරතා මධ්‍යයේ විශිෂ්ට කාව්‍ය පරිවර්තනය වෙලා තියෙනවා. මේක ප්‍රබල අභියෝගයක්. නමුත් පරිවර්තන අවශ්‍යයි.

අපේ සාහිත්‍ය විඥානය පුළුල් වීමට නම් නොයෙක් සාහිත්‍ය කෘති පරිශීලනය කිරීම අත්‍යවශ්‍යයි. මොකද අපේ වින්දන මණ්ඩලය පුළුල් විය යුතුයි. මම මුලින් සඳහන් කළ ව්‍යුත්පත්තිය කියන්නේ මෙන්න මේ නොයෙක් ග්‍රන්ථ පරිශීලනය කිරීමේ අවශ්‍යතාවයි.

• අද බොහෝ කවියන් ගීත රචකයන් වී තිබෙනවා. උදාහරණ ලෙස මහාචාර්ය සුනිල් ආරියරත්නයන්, රත්න ශ්‍රී විජේසිංහයන් ඇතුළු බොහොමයක්. මේ නිසා ඔවුන්ගේ කාව්‍ය ප්‍රතිභාවේ යම් අවප්‍රමාණයක් සිදුවී තිබෙනවා.

ඇත්ත වශයෙන් ම අද වෙනකොට ඒක විශාල ගැටලුවක්. ගීතයත් කවියත් කියන්නේ පැහැදිලිවම මාධ්‍ය දෙකක්. ගීතය සීමිත කලාවක්. එය විනාඩි දෙකහමාරක පමණ කාලයක නිර්මාණයක්. ඒ වගේ ම ගීතයක ජීවය රඳා පවතින්නේ එහි රචකයා මත ම පමණක් නොවෙයි. සංගීත නිර්මාණකරුවා හා ගායකයාත් ඊට එකතු වෙනවා. නමුත් පද්‍ය රචනය එහෙම නෙමෙයි. එය මුළුමනින් ම රඳා පවතින්නේ එහි රචකයා මත ම පමණක් නොවෙයි. සංගීත නිර්මාණකරුවා හා ගායකයාත් ඊට එකතු වෙනවා. නමුත් පද්‍ය රචනය එහෙම නෙමෙයි. එය මුළුමනින් ම රඳා පවතින්නේ රචකයා මතයි. කවියක් මඟින් ඉතා සංකීර්ණ හැඟීමක් ඉදිරිපත් වෙනවා. මේ සීමා වටහා ගත්තොත් වඩා සාර්ථක ගී නිර්මාණත්, වඩා සාර්ථක කවි නිර්මාණත් බිහිකර ගත හැකියි. නමුත් ගැටලුව වන්නේ ගීතයෙන් ආභාසය ලබා කවි රචනා කිරීමට යෑමයි. ඒක සාර්ථක නැහැ. මොකද කවියකින් අපේක්ෂිත සංකීර්ණත්වය එමඟින් නැති වෙනවා. මේවා මාධ්‍යයන් දෙකක් බව වටහා ගැනීමයි වැදගත් වන්නේ.

• මෙවැනි පාරිභෝගික සමාජයක කවියාගේ භූමිකාව තවදුරටත් පැවැතිය යුතු ද?

කවියකු සතු වගකීම් කිහිපයක් තියෙනවා. අපේ රටේ පමණක් නොවෙයි විදේශ රටවල පවා කවීන්ගේ භූමිකාව අද සීමිතයි. සමාජයේ කැපී පෙනෙන අය වෙලා ඉන්නේ චිත්‍රපට අධ්‍යක්ෂවරු, ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරු සහ නවකතාකරුවෝ; කවියා කැපී පෙනෙන චරිතයක් වන්නේ නැහැ. එසේ වුවත් භාෂාවේ ජීවය හා භාවික ගුණය රැක ගැනීමට නම් කවියා සිටිය යුතුමයි. සාරධර්ම වටිනාකම් පිළිබඳ විවේචනය කිරීමේ ශක්තියකුත් කවියා සතුව තිබෙනවා. ඒ වගේම ස්ථාවර වින්දනයක අවශ්‍යතාව සහිත කොටසකුත් තවමත් සමාජයේ ඉන්නවා. පාරිභෝගික සමාජයත් කවියාත් අතර ගැටුමක් තියෙනවා. ඒ වගේ ම බැඳීමකුත් තියෙනවා. පාරිභෝගික සමාජයෙන් එල්ල වන සීමා තමන්ගේ වාසියට හරවා ගැනීමේ දක්ෂතාව ප්‍රගුණ කරගන්නට කවියාට හැකි වෙන්න ඕනෑ.

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.