ඉදිරි අට වසරටත් සම්මුතියෙන් බැඳෙයි | සිළුමිණ

ඉදිරි අට වසරටත් සම්මුතියෙන් බැඳෙයි

 'වසර 2025දී පොහොසත් රටක්.' මේ පසුගිය සඳුදා (4දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් එක්ව සාමූහිකව එළිදැක්වු යහපාලන සම්මුති ආණ්ඩුවේ ඉදිරි වසර 08 සඳහා වන 'Vision 2025' ආර්ථීක සංවර්ධන සැලැස්මේ තේමා පාඨයයි.

මේ තේමා පාඨය හා බැඳුණු, ඉන්ද්‍රචාප ලියනගේ ගයන තේමා ගීතයක්ද මෙදින 'අහන්න' නමින් එළිදැක්විණි. එමඟින් කියවුණේ බැල්මකින් වත් වචනයකින් වත් කිසිවකුට වත් හිංසාවක් නොවන්නට ඇති සාමයේ සංහිඳියාවේ අයිතියයි.

සාමය - සම්මුතිය යනු ආර්ථික සංවර්ධනයේ මූලික අඩිතාලම බව එහිදී ගයා වයා ආමන්ත්‍රණය කර, ජනතා සිත් සතන් තුළට සප්ත ස්වරයෙන් කාවද්දන්නට මහඟු උත්සාහයක් ගෙන තිබිණි.

සාමය - සංහිඳියාව පිළිබඳ මූලික දේශපාලන පුර්වාදර්ශ සපයමින් මේ සංවර්ධන සැලැස්ම එළිදැක්විම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් එදින පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයට එකම නිල රථයකින් ප්‍රවේශ වනුද දක්නට විය.

නිදහසින් පසු මේ ගෙවී යන 70 වසරකට ආසන්න කාලය තුළ තට්ටුමාරු ක්‍රමයට රට කළ මේ පක්ෂ දෙක මෙතුවක් කල් සිදු කළේ පක්ෂ ඇතුළතත් ඉන් පිටතත් ගහමරාගැනීම්වලින් පිරි, එකිනෙකා නුරුස්සන වෛරි පුද්ගලානුබද්ධ දේශපාලනයකි.

ඒ යුගය නිමා කර, මෙලෙස එකම වේදිකාවක් මත හිඳ වසර 2ක ඇවෑමෙන් විවිධ හැලහැප්පිලි සිත්රිදවීම් මැද වුව යළිත් ඉදිරි 8 වසර සඳහාත් සම්මුතියෙන් බැඳෙමින් සංහිදියාව පෙරටු කොටගත් ආර්ථීක සංවර්ධන ක්‍රියාදාමයක් රට හමුවේ තැබීම අප ඉතා පැසසිය යුතු කාරණාවකි.

මේ එළිදැක්වීමේ අවස්ථාවේ වෙනදා අප දකින දේශපාලන විවේචන පම්පෝරි රැගත් පුද්ගල දේශපාලන කතා වෙනුවට ආරාධිතව පැමිණි තරුණ තරුණියන් පිරිසක් හා ප්‍රශ්න හා පිළිතුරු සැසියකට ජනපතිත් අගමැතිත් සහභාගි වනු දක්නට ලැබිණි.

එහිදී ඔවුන් දෙපොළ එක හඬින් කියා සිටියේ ලංකාවට පමණක් නොව, මුළු ලොවටම නව දේශපාලන ආදර්ශයක් ලබා දෙමින් ආ දෙවසරක සම්මුති ආණ්ඩුවේ මේ ගමන කවුරුන් කෙසේ කොපමණ විවේචන සිදු කළත් සාමයේ නාමයෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් නව දිශානතියකට රට යොමු කළ බවයි.

රට හමුවේ ඉදිරිපත් කළ මේ සම්මුති ආණ්ඩුවේ ආර්ථික සංවර්ධන සැලැස්මේ මුඛ්‍ය හරය ලෙස ඔවුන් ගෙනහැර දැක්වුයේ “සමාජ සාධාරණත්වය සහ වෙළෙඳපොළ තරගකාරිත්වය සුසංයෝග වු සියලු දෙනාට ප්‍රතිලාභ හිමි වන දැනුම පදනම් කරගත් ඉහළ තරගකාරි සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක් ගොඩනැඟීමට ඇප කැප වන බව” යි.

“ඒ කියන්නේ සෑම පුරවැසියකුටම හොඳ ආදායමක් සහ හොඳ ජීවන මට්ටමක් ඇති කරන්න කටයුතු කරන බවයි. එය කරන්න නම් ශ්‍රී ලංකාව ඉන්දීය සාගරයේ ආර්ථීක කේන්ද්‍රථානය, එහෙමත් නැති නම් මර්මස්ථානය බවට පත් කරන්න ඕනෑ. දේශීය වෙළෙඳපොළ ශක්තිමත් වෙලා, අපගේ කෘෂිකර්මාන්තය, සේවා සහ කාර්මික අංශය ශක්තිමත් වෙලා සැමට සම අවස්ථා හිමි වන හොඳ ආර්ථිකයක් හැදෙන්නේ එතකොටයි” යන්න මේ 'Vision 2025' ලේඛනයේ සටහන්ව තිබිණි.

සම්මුති ආණ්ඩුවේ මේ ඉදිරි වසර 08 සඳහා වන ගමනට තිබෙන බාධකද ඒවා බිඳ හෙළන සැලසුම්ද 'Vision 202'5 මඟින් මෙසේ ජනගත කර තිබිණි.

බාධා

රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේත්, යටිතල පහසුකම්වලත් එමට ප්‍රශ්න තිබෙන බව රජය කියයි. ඒ හා සම්බන්ධ නීති රීති රාශියක් යල් පැන ගිය ඒවා බවත්, ඒ නිසා මේ සැම අංශයක්ම කඩිනම්න් ප්‍රතිසංස්කරණයන්ට බඳුන් කළ යුතු බවත් අවධාරණය කර තිබේ.

තුන් අවුරුදු සැලසුම්

මෙහිදී 2025දී රට පොහොසත් කරන්න තුන් අවුරුදු ඉලක්කගත කඩිනම් වැඩ පිළිවෙළක් රජය පළමුව යෝජනා කරයි.

වාර්ෂික ඒක පුද්ගල ආදායම එක්සත් ජනපද ඩොලර් 5,000කට ගෙන එමින් රැකියා දශ ලක්ෂයක් බිහි කරන බව එහිදී යළියළිත් පවසයි.

අලුත් දැක්මක් හා අලුත් ප්‍රවේශයක්

පෞද්ගලික ආයෝජන වැඩි කරගෙන දැනුම සහ තාක්ෂණය පදනම් කරගත් භාණ්ඩ හා සේවා වෙළෙඳපොළක් ගැන සිහින මවනවා නම් අලුත් දැක්මක් හා අලුත් ප්‍රවේශයක් ඒ සදහා ඕනෑ බවද කියයි.

“අපි තරගකාරිත්වය, දිරිගැන්විම සහ විනිවිදභාවය ඇති කිරීම මඟින් දූෂණය නැති කිරිමට අපේක්ෂා කරමු.” ඒ ඉදිරි තෙවසරක කඩ්නම් ආර්ථක වැඩපිළිවෙළේ මූලික අපේක්ෂාවයි.

ආර්ථික රාමුව ශක්තිමත් කිරීම

මෙහිදී ආණ්ඩුව මූලිකවම සවිමත් කරන්නට යන්නේ ආර්ථික රාමුවයි.

දැනටමත් අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ තෙවසරක (2016-2019) ආර්ථීක ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා වැඩ පිළිවෙළ මඟින් යම් දිශානතියකට ප්‍රවේශ වෙමින් ඇති රටේ ආර්ථිකය තවදුරටත් මුල්‍ය අරමුදලේ නිර්ණායක තෘප්ත කරමින් දෙස් විදෙස් ආයෝජන විශ්වාසය ඇති කරවමින් ඉහළට ඔසවා තැබීම මේ තෙවසරක කඩිනම් ආර්ථික වැඩපිළිවෙළේ ඒකායන අරමුණු වන්නට ඇත.

එහිදී රුපියල් ට්‍රිලියන 4කට අධික රාජ්‍ය ණය බර, පුළුල් වු අය-වැය පරතරය සහ වගකීමක් නැති මූල්‍ය ප්‍රතිපත්තිය රටේ ආර්ථීක සංවර්ධනයට වින කටින මූලික සාධක ලෙස හඳුනාගෙන ඇත. රජයේ බදු ප්‍රතිපත්ති සමාජ සාධාරණත්වයක් ඇති විදියට මේ වන විට වෙනස් කරන්නට මුල පුරා ඇත. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සුසංයෝගයෙන් ආර්ථීකය ඔසවා තැබීමට දෙපාර්ශ්වයටම එකට වැඩ කළ හැකි වටාපිටාවක් සැකසීම අත්‍යවශ්‍ය බව වටහාගෙන ඇත.

ආයෝජන බාධක ඉවත් කිරීම

රටට එන විදේශීය ආයෝජනවලට පහසුකම් සලසන්නට ඇති ඉඩකඩ සීමා සහිත බව ආණ්ඩුව කියයි. ඒ නිසා ඒ ආශ්‍රිත සියලු ප්‍රතිපත්ති වෙනස් කර, ස්ථාවර ආයෝජන ආර්ථික ප්‍රතිපත්ති රට හමුවේ ස්ථාපිත කළ යුතු බව ප්‍රමාද වී හෝ ආණ්ඩුව වටහාගෙන ඇත. එහිදී අපනයන අභීමුඛ ආයෝජන කෙරෙහි ප්‍රමුඛත්වය දෙමින් වෙළෙඳපොළ මූලික පහසුකම් වැඩි කරන්නත්, රේගු ක්‍රමවේද කඩ්නම් හා පාරදෘශ්‍ය කරන අලුත් වෙළෙඳ ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන්නත් දැනටමත් ආණ්ඩුව කටයුතු කරමින් සිටී.

කෘෂිකර්මාන්තයේ ඵලදායිත්වය වර්ධනය

අප සතු සාඩම්බර කෘෂීකර්මාන්ත උරුමයට නව අගය එකතු කිරීමේ ක්‍රියාදාමයක් මගින් ඉහළ අන්තර්ජාතික වටිනාකමක් ලබා දීමට රජය අපේක්ෂා කරයි. එහිදී කෘෂිකර්මාන්තයේ ඵලදායිත්වය නංවමින් අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුතු අපනයන අභිමුඛ කෘෂිනිෂ්පාදන බිහි කිරීමට ගොවි මහත්වරුන් දිරිමත් කිරීමට ආණ්ඩුව වෙහෙසෙයි. කෘෂිකර්මාන්තය දියුණු කර, රටේ ආහාර සුරක්ෂිත බව ඇති කිරීමද රජයේ අභිප්‍රායයි.

ඉඩම්, ශ්‍රමය හා ප්‍රාග්ධන වෙළෙඳපොළ ප්‍රතිපත්ති

රට සතු වටිනාම සම්පත මානව සම්පතයි. ඒ සඳහා ධනාත්මක චින්තනයෙන් යුතු ජව හා සෞඛ්‍ය සම්පන්න ශ්‍රම බළකායක් ඇති කිරීමට ආණ්ඩුව පෙරමුණ ගනී. එහිදී සේව්‍ය-සේවක සම්බන්ධතා ශක්තිමත් කර නිෂ්පාදන ධාරිතාව වැඩි කරන්නට කටයුතු යොදන බව කියති. පෞද්ගලික අංශය සංවර්ධනයට දායක කරගන්නට නම් ප්‍රාග්ධන වෙළෙඳපොළ පුළුල් කළ යුතු බව රජය වටහාගෙන ඒ සදහා අවශ්‍ය අණ පනත් දැනටමත් සංශෝධනය කිරීමට පියවර ගෙන ඇත. ඉඩම් ප්‍රතිපත්තිද දෙස් විදෙස් ආයෝජකයන්ට සෙත සැලසෙන අයුරින් වෙනස් කළ යුතු බවද රජයේ විශ්වාශයයි.

අධ්‍යාපනය, සෞඛ්‍යය, පරිසරය

ආණ්ඩුව පවසන්නේ මේ පොහොසත් රට හදන්න අධ්‍යාපනය, සෞඛ්‍යය, පරිසරය සහ අනෙක් යටිතල පහසුකම්ද එක හා සමානව දියුණු විය යුතු බවයි. හැම පුරවැසියකුටම හිසට වහලක්, බොන්න පිරිසුදු වතුර ටිකක්, පෝෂ්‍යදායි ආහාරවේලක්, හොඳ ප්‍රවාහන පද්ධතියක් වගේම හුස්ම ගන්න පිරිසුදු වාතාශ්‍රයකුත් තියෙන්න ඕනෑ බවද කියයි. අපේ ඓතිහාසික සංස්කෘතික හර පද්ධතිය රැකගන්න අවශ්‍ය බවත් එහිදී අවධාරණය කර ඇත.

ඩිජිටල් ශ්‍රී ලංකාවක්

ආර්ථීක සංවර්ධනය යථාර්ථයක් කරන්නට නම් ඒ සඳහා දිනෙන් දින වෙනස් වන තාක්ෂණය සමඟ නිරතුරුව අත්වැල් බැඳගත යුතු බව රජය වටහාගෙන අවසන්ය. ඒ අනුව ඩිජිටල්කරණයෙන් ශක්තිමත් ආර්ථීකයක් ගොඩනගන්නට අපේ සංවර්ධන උපාය මාර්ග ඒ වෙනස්කම්වලට අනුගත කිරීමට අවශ්‍ය කරන නියාමන ප්‍රතිසංස්කරණ සහ ආයෝජන සිදු කළ යුතු බව ආණ්ඩුව කියයි.

සහනාධාර

2025 ගොඩනඟන්නට බලාපොරොත්තු වන පොහොසත් රට සඳහා කාටත් ප්‍රතිලාභ ලැබෙන ශක්තිමත්, සාධාරණ සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක් අවශ්‍ය බව ආණ්ඩුව අවධාරණය කරයි. රජයේ විශ්‍රාමිකයන්ට පමණක් දැන් ලැබෙන විශ්‍රාම වැටුප ශ්‍රමබළකායේ හැම කෙනකුටම ලැබීමට ඇති අයිතිය රජය පිළිගෙන ඇත. සමෘද්ධි ආධාර ලබා දීමේ දී මෙතෙක් පවත්නා විෂමතා ඉවත් කර සමාජයේ අත්‍යවශ්‍ය ඉලක්කගත කණ්ඩායම්වලට පමණක් එය ලබා දිය යුතු බව රජයේ ස්ථාවරයයි.

තිරසාර සංවර්ධනය, බලශක්ති ප්‍රතිසංස්කරණ හා ස්වාභාවික ආපදා

තිරසාර සංවර්ධන ප්‍රතිපත්තියට අනුගත නොවි ආර්ථීක සංවර්ධනය ගැන පමණක් සිදු වුව හොත් අනාගත පරපුරකට රටක් ඉතිරි නොවිය විය හැකි බව රජය විශ්වාශ කරයි. ඒ නිසා අප අවට ගහකොළ සතාසීපාවා ඇළදොළ ගංගා මේ සියල්ල සපිරි අවට පරිසරය අම්මා තාත්තා සේ රැකබලාගත යුතු බව කියයි.

මෙතෙක් බස්නාහිර පළාතට පමණක් සීමා වි තිබුණු ආර්ථීක සංවර්ධනයේ ප්‍රතිලාභ රටේ සෑම පළාතකටම සමසේ බෙදී යෑමට ඇවැසි වාතාවරණය බිහි කිරීමටත් අපේක්ෂිතය.

එසේම විදුලිබල හා බලශක්තිය යන ඉහළ වියදම අඩු කරමින් පරිසර හිතකාමි විදුලි උත්පාදන ප්‍රභවයන් කෙරෙහි විශ්වාශය තැබීමටද රජය පියවර ගැනීමට නියමිතය.

මෑත කාලයේ ස්වාභාවික ආපදාවලින් රටේ සමාජ ආර්ථීක දේහයට සිදු කළ විනාශයද අතිමහත්ය. ඒ නිසා මේවා වළක්වා ගැනීමට ඇවැසි පුර්ව සූදානම් ක්‍රියාමාර්ග ගැනීමටත් රජය කටයුතු කරනු ඇත.

ජනතාවට වගකියන ආණ්ඩු ක්‍රමයක්

වසර 2025දී පොහොසත් රටක් හදන්නට නම් ජනතාවට වගකියන ආණ්ඩුවක් හා ආණ්ඩුක්‍රමයක් ඇති කිරීමට රජය වගබලාගනියි. එහිදී ආණ්ඩුවත් එහි ආයතනත් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙළක් දැනටමත් ආරම්භ කර ඇත. මෙහිදී දූෂණය අවම කර, කාර්යක්ෂමතාව උපරිම කරගන්නට සැම උත්සාහයක්ම දරන බව ආණ්ඩුව කියයි. දැනටමත් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය නීතිගත කර තිබේ. ග්‍රාම රාජ්‍ය සංකල්පය මත පිහිටා ජනතා සහභාගිත්වය ඇති ආණ්ඩුක්‍රමයක් ඇති කිරීම අත්‍යවශ්‍ය බවද අවධාරණය කරයි.

පසු විපරම

සම්මුති ආණ්ඩුවේ ඉදිරි වසර 08 සඳහා වන 'Vision 2025' ආර්ථීක සංවර්ධන සැලැස්ම මෙසේ ජනගත වෙද්දී එය ප්‍රායෝගික යථාර්ථයක් කිරීමට නම් පසුවිපරම හා ක්‍රමවත් සම්බන්ධිකරණයකින් යුත් යන්ත්‍රණයක් අත්‍යවශ්‍යය. එහිදී ආණ්ඩුව අතර සම්බන්ධිකරණය මෙන්ම ආණ්ඩුව හා පෞද්ගලික අංශය අතර සම්බන්ධිකරණය හා සංහිදියාව අත්‍යවශ්‍ය බව ආණ්ඩුව ප්‍රමාද වී හෝ අවබෝධ කරගෙන ඇත. එහිදී නවීන තාක්ෂණය තවදුරටත් සියලු කටයුතු පහසු කරන කාර්යක්ෂම කරන මෙවලම වනු ඇත.

ජන්මයට වඩා පුරුද්ද ලොකු වෙයිද?

මේ අනුව රටේ ප්‍රධාන පක්ෂ දෙක සැබැවටම ස්වකීය ඡන්දදායකයා පොහොසත් කරවන්නට සංහිඳියාවෙන් වෙළී අලුත් ගමනක් යෑම සඳහා වැර දරන මේ මොහොතේ අප අතීතයෙන්ද පාඩම් උගත යුතුවාක් මෙන්ම පවත්නා සමාජ ආර්ථීක දේශපාලන වටාපිටාවද විමර්ශනය කර ඒ සදහා වටාපිටාව සකස් කරගත යුතුය.

ඒ අන් කවර හේතුවක් නිසාවත් නොව දකුණේ දරුණු තරුණ නැඟීටිම් දෙකකින් උතුරේ තිස් වසරක් පුරා දිග් ඇද්දී ගිය වර්ගවාදි යුද්ධයකින් මිල කළ නොහැකි ජීවිත හා දේපොළ හානියක් කරගත් තත්ත්වයක වුවද අප ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගත් නිසා යළි යළි ගෙවන මිල ඉතා ඉහළ බැවිනි.

ඉතා දිගු කලක් තිස්සේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් සමාජය වසා පැතුරුණු වංචාව දුෂණය පවුල්වාදය ආත්මාර්ථකාමිත්වය හා රාජ්‍ය ප්‍රචණ්ඩත්වය මේ සියල්ල සපිරි ගජ මිතුරු ධනවාදි සමාජ අර්ථ ක්‍රමය එක රැයකින් දුරු කර ජනතාව අපේක්ෂා කළ සුපිරිසුදු හා නිවැරදි දේශපාලන සංස්කෘතියක් ගොඩනැඟීම අතිදුෂ්කර ක්‍රියා දාමයක් බව සත්‍යයකි.

මේ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද හොඳ හැටි අවබෝධ කරගෙන සිටියි.

අනික් අතට, අපි පරාධීන දේශයක පුරවැසියන් ලෙස යැපුම් මානසිකත්වයෙන් සැමදා ආණ්ඩුවේ සහනාධාර මත විශ්වාසය තබමින් උපතට විපතට කොටහළු මඟුලට යන මේ සැම දෙයකටම දේශපාලකයන් සරණ යමින් උකටලිව කල් මරමින් සිටින්නෙමු. අපට අවැසි කාර්යය ඔවුන්ගෙන් මඟහැරෙන විට අපි නිරතුරුවම පවතින හා පැවති ආණ්ඩුවල අසමත්කම් ගැන නිතර දෙවේලේ දෙස් දෙවොල් තබන්නෙමු.

හිටපු ජනාධිපති ජේආර් ජයවර්ධන වරක් කීවා සේම පළමුව අප විසින්ම අපේ සමාජ ආර්ථීක සුරක්ෂිතතාව සලසාගත යුතුය. සෞඛ්‍යය අපේ අධ්‍යාපන මට්ටම අපේ දැනුම, අපේ කුසලතාව, අපේ ආකල්ප අප ඉදිරියට ගෙන යන අපේ අතමිට සරු කරන ගාමක බලවේගයන්ය.

එනයින් අප වහ වහා කළ යුත්තේ නිරතුරුව යාවත්කාලීන වන දෙස් විදෙස් භාණ්ඩ හා සේවා වෙළෙඳපොළේ අවශ්‍යතාවන් තෘප්ත කරන දැනුම, කුසලතා, ආකල්පවලින් සැමට පළමුව සන්නද්ධව තරගයට මුහුණ දීමයි.

සැබැවින්ම, වසර 2025දී පොහොසත් රටක් වීමට නම් දේශපාලන ප්‍රතිපත්ති ප්‍රකාශවල කුමක් සඳහන් වුවද අප අපම ක්‍රියාත්මකව දැහැමින් සෙමෙන් ප්‍රඥාගෝචරව අවස්ථා හඳුනාගෙන කටයුතු කිරීම හැර අන් විකල්පයක් නැත. මෙනිසා ආර්ථික දිවැස් කියන්නන් කුමක් කෙසේ කොපමණ දෑ කීවද, ප්‍රකාශ නිකුත් කළද ජනතා අභිලාශය විය යුත්තේ සැම විටම ආණ්ඩු-දේශපාලකයන් පසුපස යන යැපුම් මානසිකත්වයෙන් මිදී නිදහස් නිවහල් ස්වාධින ස්වයං ආර්ථීක චින්තනයකට තම මනස යොමු කරවාගැනීමයි.

එවිට කවර හෝ ආණ්ඩුවක රාජකාරිය පහසු වනවා සේම, රජයේ පිරිවැය අවම කර බදු බර සැහැල්ලු කර සෞඛ්‍යය, අධ්‍යාපනය හා අනෙකුත් අත්‍යවශ්‍ය සුභසාධන කර්තව්‍ය, පොදු භාණ්ඩ සැපයීම හා අත්‍යවශ්‍ය නියාමනවලට පමණක් ආණ්ඩුවේ කාර්යභාරය ලඝු කර කාර්යක්ෂම විනිවිදබවකින් යුතු සාර්ථක පෞද්ගලික අංශයකට රටේ වැඩි සම්පත් ප්‍රමාණයක දායකත්වය යොදවාගැනීමට හැකි ඉඩ කඩ විවර වනු ඇත.

මුදිත ගමගේ 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.