කිරි ගොවියාගේ උනන්දුව අවශ්‍ය ම කාලයක් | සිළුමිණ

කිරි ගොවියාගේ උනන්දුව අවශ්‍ය ම කාලයක්

 අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන ආහාර නිෂ්පාදන ජාතික වැඩ සටහන යටතේ දේශීයව ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා විවිධ ක්‍රියාකාරකම් දියත් කෙරෙමින් පවතී. මේ යටතේ එක් එක් ක්ෂේත්‍රවලින් ඒ සඳහා විශිෂ්ට දායකත්වයක් ලබාදෙන ගොවි ප්‍රජාව අගයමින් ඔවුන් අතුරින් තෝරාගත් විශිෂ්ටයින් සඳහා සම්මාන හා ත්‍යාග ප්‍රදානය කිරීම පසුගියදා ඓතිහාසික කන්තලේ ජලාශය අසල දී අතිගරු ජනාධිපතිතුමන් අතින් සිදු කෙරුණි.

මෙහිදී 2016 වර්ෂයේ හොඳම කිරි ගොවියා (එළ ගව) කුඩා පරිමාණ තරගයෙන් පළමු ස්ථානය හිමිකර ගත්තේ වයඹ පළාතේ පොල්පිතිගම ග්‍රාමයේ පදිංචි සුනිල් ප්‍රේමතිලක මහතාය. ප්‍රේමතිලක මහතා පසුගියදා අපට හමුවුණි. එහිදි එතුමා සමඟ පැවැත්වු සංවාදයක කෙටි සටහනකි මේ....

 ඔබගේ ගම් ප්‍රදේශය කොහේද....

මම කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම කොට්ඨාසයේ කලුගල්ල ග්‍රාමසේවක වසමේ පදිංචිකරුවෙක්.

 අධ්‍යාපනය ලැබුවේ....

මුලික අධ්‍යාපනය ලැබුවේ පොන්නිලම මහා විද්‍යාලයෙන්. පසුව වැල්ලව මහ විද්‍යාලයෙන් උසස් පෙළ වානිජ විෂයන් හදාරලා උසස් පෙළ සමත් වුණා. එහෙත් ලකුණු කීපයක් මදිවුණා. ඒ නිසා විශ්වවිද්‍යාලයට ඇතුළු වීමේ වරම් නැතිව ගියා.

 කිරි ගොවි ව්‍යාපාරයට යොමුවුනේ කොහොමද?

පසුව පොලීසියට බැඳීමට උත්සහා කළත් එයත් හරිගියේ නැහැ. රැකියාවක් සොයමින් සිටින අතරේ 2004 වසරේදී මගේ මිත්‍රයෙක් මේ කිරිගොවි පාලන ක්ෂේත්‍රය ගැන මුලින්ම මා තුළ අදහසක් ඇති කළා. එතැන තමයි ආරම්භය. ඒ වන විට මා ආර්ථික පැත්තෙන් ශක්තිමත් නැහැ. ණයක් වෙලා තමයි පළමු කිරිගවයා ගත්තෙ. 2007 වසර වෙනකෙට තවත් සතුන් දෙදෙනෙකු බෝ කරගෙන සතුන් තුන්දෙනෙක් හදා ගන්න මට පුළුවන් වුණා. අද වනවිට මට කිරි ගවයින් 15 ක් පමණ සිටිනවා. දිනකට මා කිරි ලීටර් 50 ක පමණ අස්වැන්නක් අලෙවි කරනවා.

 කවදා හෝ කිරි ගොවියෙක් වෙන්න බලාපොරොත්තුවක් තිබුණද?

මා තුළ කිරිගොවියෙක් වීමේ බලාපොරොත්තුවක් තිබු‍ෙණ නැහැ. මට මතකයි අපි පොඩි කාලෙ අපේ ගෙදර අපේ මවුපියන් ගොවිතැන් වැඩ කරන අතරතුරේදි කිරි ගවයන් සහ මී ගවයන් ඇති කළා. එහෙත් එවා කළේ ගෙදර ප්‍රයෝජනයටයි. ආදායමක් ලබන්න නොවෙයි.

 මේ ව්‍යාපාරයේ යෙදී සිටින අනෙකුත් ගොවියන්ගේ ආර්ථික තත්ත්වය කොහොමද?

අපේ ගමේ තවත් මෙවැනි කිරි ගොවිපල ගණනාවක් තිබෙනවා. මම වගේම ඒ අය යැපෙන්නෙත් එම ආදායමෙන්. ඔවුන්ට උසස් අධ්‍යාපනය ලබන දරුවන් සිටිනවා. විශ්වවිද්‍යාලයට ගිය දරුවන් පවා එම පවුල්වල සිටිනවා. ඒත් මේ අලුත් පරම්පරාව මේ කර්මාන්තයට එනව බොහෝම අඩුයි.

 පවුලේ තොරතුරු කොහොමද?

මම විවාහකයි. මට වයස 11 සහ 9 දරුවන් දෙදෙනෙක් සිටිනවා. මගේ බිරිඳ තමයි මගේ මේ කිරි ගොවි ව්‍යාපාරයේ එකම සහායිකාව.

 ඔබේ කිරි ගොවිපල ගැන විස්තර කරනවා නම් ........

මගේ කිරි ගොවිපල පිහිටා තිබෙන්නෙ අක්කර 3-4 අතර භුමිභාගයකයි. එයින් අක්කර 2 ක පමණ සත්ත්ව ආහාර වශයෙන් සෝගම් තිරිඟු ගිනිසීරියා සහ තවත් විශේෂ තණ වර්ග වවල තියෙනවා. එවායින් සකස් කෙරෙන ආහාර තමයි ‍මගේ කිරිගවයින්ට කන්න දෙන්නෙ. කිරිගවයින්ට දෙන ආහාර ගැන මා විශේෂයෙන් සැලකිලිමත් වෙනව.

 ගොවිපළේ දින චරියාව ....

මගේ දින චරියාව ආරම්භ වෙන්නෙ පාන්දර හතරාමාරටයි. එතැන් සිට සතුන් පිරිසුදු කරනවා. කෑම දීල අවශ්‍ය වැඩකටයුතු ආරම්භ කරනවා. දවසකට සත්ව පාලනය වෙනුවෙන් කරන්න වැඩ කටයුතු රාශියක් තියෙනවා. හවස් වරුවෙ විශේෂයෙන්ම තණ කැබලි කර ඊළඟ දවසටත් එක්ක සුදානම් කරනවා.

 ප්‍රදේශයේ රාජ්‍ය ආයතනවල සහයෝගය කොහොමද?

මම පශු වෛද්‍ය කාර්යාලයත් එක්ක සම්බන්ධ වෙලා ඒ අයගෙ උපදෙස් මත වැඩ කරන්න පටන් ගත්තෙ වසර 2007 සිටයි. මගේ උනන්දුව හා කැපවීම නිසා වසර 2010 වනවිටත් මා පොල්පිතිගම ග්‍රාමයේ දක්ෂතම කිරි ගොවියා හැටියට සම්මානයට පාත්‍රවෙලයි හිටියෙ.

 ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) වැඩසටහන්වලට ඔබ සම්බන්ධ වුණේ කොහොමද.?

මාව මුලින්ම FAO වැඩසටහන්වලට සම්බන්ධ කළේ ප්‍රදේශයේ පශු වෛද්‍ය කාර්යාලයේ උපදේශකතුමියයි. මා සමඟ තවත් කිරි ගොවියන් 5 දෙනෙක් එහි වැඩසටහන්වලට සහභාගි කළා. අපි 2015 වසරේදී තමයි FAO එකේ වැඩසටහන්වලට සම්බන්ධ වුණේ. වසර දෙකහමාරක් විතර අපි ඒ ව්‍යාපෘතිය යටතේ පුහුණු වුණා. එයින් අපට විශාල දැනුමක් ලබාගන්න පුලුවන් වුණා. මම එයින් ලැබු දැනුම මගේ ගොවිපල තුළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළා.

 ජාතික මට්ටමේ තරගයට ඔබව යොමු කළේ කවුද?

FAO එකේ වැඩසටහන් යටතේ තායිලන්ත විශේඥයෙක් පැමිණියා. එයා තවත් ගොවිපලවල් 40 ක් පමණ පරික්ෂා කරල තිබුණා. මේ ප්‍රදේශයේ මා වගේම තවත් දක්ෂ ගොවියන් හිටිය. එතුමා තුළ මගේ ගොවිපල ගැන ලොකු පැහැදීමක් තිබුනා. ඔහු මේ වැඩ පිළිවෙල බෙහෝම අගය කළා. අපගේ සෞඛ්‍ය සංවර්ධන උපදේශකතුමිය තමයි මුලින්ම ජාතික මට්ටමේ තරගයට මගේ නම නිර්දේශ කළේ. මහව නියෝජ්‍ය අධ්‍යක්ෂ මඟින් තමයි තරගයට මගේ අයැදුම්පත ඉදිරිපත් කළා. පශුවෛද්‍ය නිලධාරිනිය සහ අනෙකුත් අය මේ ගැන විශේෂ උනන්දුවක් දැක්වුවා. මගේ මේ ජයග්‍රහණයට ඔවුන් දැක්වු සහයෝගය හේතු වුණා කියල කියන්න කැමැතියි.

 ඔබගේ අනාගත සැලසුම් මොනවාද?

මේ වනවිට මගේ රැකියාව කිරිගව පාලනයයි. එයින් මම රුපියල් හැටදාහක් හැත්තෑදහක් අතර ආදායමක් ලබනවා. මීට වැඩි ආදායම් ඉලක්කයකට යාමට මා බලාපොරොත්තු වෙනව. තවදුරටත් ව්‍යාපාරයක් හැටියට මගේ ගොවිපල වැඩි දියුණු කරගෙන සාර්ථකව ඉදිරියට යාම තමයි මගේ අපේක්ෂාව.

 ජනාධිපති සම්මානය ලැබුණට සතුටුද?

ජනාධිපති සම්මානය ලැබීම මට විශාල සතුටක්. අවුරුදු 13 ක් තිස්සේ මා මගේ ජීවිතය මේ ව්‍යාපාරය වෙනුවෙන් කැප කරලා මේ වෘත්තියේ යෙදුනා. එහි අග්‍රඵලය ලැබුනා යයි කියා මා මේ වෙලාවෙ විශාල සතුටක් ලබනවා. කිරිගොවියෙකු හැටියට ජීවිතය ආරම්භ කළ මා ජනාධිපති සම්මානලාභියෙකු හැටියට සමාජයේ පිළිගැනීමකට ලක් වීම මා ලැබු විශාල ජයග්‍රහණයක්.

 FAO කියන්නෙ රජයට සහය දෙන විදේශ සංවිධානයක්. එකෙන් ඔබට දුන් සහයෝගය කොහොමද?

මා FAO එකේ වැඩසටහන් ගැන විශේෂයෙන් සඳහන් කරන්න කැමතියි. එයාලගෙ ව්‍යාපෘතිය යටතේ අපට කළ දේශනවලින් උගත් දේවල් නිසා මගේ ව්‍යාපාරය වැඩිදියුණු කර ගන්න පහසු වුණා. අද මගේ කිරි ගව පාලන ව්‍යාපාරය රැඳී තියෙන්නේ ඒ දේශනවලින් ලැබු දැනුම මතයි. සතෙක් බිහිකිරීම, ඇතිදැඩිකිරීම, අභිජනනය කිරීමෙන් මවක් බවට පත්කර ගැනීම යනාදි කාර්යයන් සියල්ල කරගැනීමට පහසු වුණේ එදා අපි FAO මගින් ලැබු දේශනය මතයි.

 ජනාධිපති සම්මානලාභියකු හැටියට පොදුවේ මේ කිරිගව පාලනය ගැන ඔබේ අදහස කුමක්ද?

සත්ව පෝෂණය හරියාකාරව පවත්වාගෙන යනවා නම් කිරිවලින් ලංකාව සවයංපෝෂණය කිරීම එතරම් අමාරු දෙයක් නොවන බව තමයි මට කියන්න තියෙන්නේ. ඒ වගේම ගාමිණී වික්‍රමරත්ත නියෝජ්‍ය අධ්‍යක්ෂ (කිරිගව සංවර්ධන) යමුනා විජේරත්න (සෞඛ්‍ය සංවර්ධන උපදේශක) පශු වෛද්‍ය නිලධාරිණිය, FAO ආයතනයේ නිලධාරි මහත්වරුන් ඇතුළු මට මේ සම්මානය ලබා ගැනීම දක්වා දිගු ගමණක් යාමට උදව් උපකාර කළ සෑම දෙනාම ස්තූතිපුර්වකව සිහිපත් කරන බව කියන්න කැම­ැතියි.

සාකච්ඡා කළේ ඩඩ්ලි පෙරේරා

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.