ශ්‍රී ලංකාව ආයෝජනයට ඉතා සුදුසු රටක් | සිළුමිණ

ශ්‍රී ලංකාව ආයෝජනයට ඉතා සුදුසු රටක්

 වර්තමානයෙහි ආසියා පැසිපික් කලාපයේ අංක එකේ තරු පහේ සංචාරක හෝටල් ජාලය ලෙස ෂැංග්‍රිලා හෝටල් ජාලය සැලකේ. හොංකොං දේශයට අයත් ෂැංග්‍රිලා හෝටල් ජාලයෙහි පළමුවැන්න 1971 දී සිංගප්පූරුවේදී ඇරැඹිණ. මේ වන විට ආසියාව, උතුරු ඇමෙරිකාව, මැදපෙරදිග හා යුරෝපය ඇතුළු ලොව පුරා රටවල් රාශියක ඉදිවුණු දැවැන්ත සුඛෝපභෝගී හෝටල් 100 ක් සමාගමට අයත්ය. මේ හෝටල් සියල්ල කාමර 4000 කින් සමන්විත වන අතර ඒ ඒ රටවල අනන්‍යතාවට අනුකූලව සංචාරක‍ සේවා පැවැත්වීම ෂැංග්‍රිලා හෝටල් ජාලයේ සම්ප්‍රදාය වේ. මීට අමතරව මියැන්මාරය, චීනය, කාම්බෝජය, හොංකොං, ඉන්දුනීසියාව, චීනය සහ ශ්‍රී ලංකාවෙහි සමාගම සිය නවතම හෝටල් ඉදිකරමින් සිටී.

2016 ජනවාරි මාසයේදී ෂැංග්‍රිලා හම්බන්තොට හෝටලය විවෘත කෙරුණි. කාමර 300 කින් යුතු එය ඇමෙරිකා ඩොලර් මිලියන 100 ක ආයෝජන ව්‍යාපෘතියකි. 2017 නොවැම්බර් මාසයේදී විවෘත කිරීමට නියමිත ගාලු මුවදොර ෂැංග්‍රිලා හෝටලය කාමර 540 කින් සමන්විය. එය ඇමෙරිකා ඩොලර් මිලියන 500 කට අධික ආයෝජනයකි. සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන ආදායම් මාර්ගය බවට පත් කරගැනීම වත්මන් රජයේ ප්‍රධාන සංවර්ධන ඉලක්කයක්ව පවතින මෙවන් යුගයක ෂැංග්‍රිලා වැනි ලොව ප්‍රමුඛතම හෝටල් සමාගමක් සිය නවතම ආයෝජන මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව තෝරා ගැනීම අප වැනි රටකට උදා වූ විශාල අවස්ථාවකි. එලෙස ශ්‍රී ලංකාව තෝරා ගැනීමට ෂැංග්‍රිලා සමාගම පෙලැඹෙන්නට හේතු වූ කරුණු, සමාගමෙහි අරමුණු හා ශ්‍රී ලංකාවට එම ව්‍යාපෘතිය තුළින් අත්වන වාසි කවරේදැයි විමසීමට පසුගියදා අපි කොළඹ ෂැංග්‍රිලා සමාගමෙහි උප සභාපති සහ සාමාන්‍යාධිකාරී තිමෝති රයිට් මහතා හමුවුණෙමු.

ආසියා පැසිපික් කලාපයේ දැවැන්ත ම තරු පහේ සංචාරක හෝටල් ජාලයේ නවත ම ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව තෝරා ගත්තේ ඇයි?

අපි ලොව පුරා අපේ සංචාරක හෝටල් ජාලය ව්‍යාප්ත කරමින් සිටිනවා. ශ්‍රී ලංකාව ආසියා කලාපයේ පිහිටි සුන්දරත ම සංචාරක ආකර්ෂණ මධ්‍යස්ථානයක්. දශක කිහිපයක් පුරා පැවැති යුද්ධය නිමා වීමත් සමඟ ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා සුදුසු පරිසරයක් උදාවෙන ආකාරය අපි විමසිල්ලෙන් බලා සිටියා. යුද්ධයෙන් පීඩාවට පත්ව තිබූ ජන ජීවිතය යථා තත්ත්වයට පත් වීමත් සමඟ රට ක්‍රමයෙන් ආර්ථික සංවර්ධනය කරා යොමුවෙමින් තිබෙන ආකාරය අපි දුටුවා. එමෙන් ම ශ්‍රී ලංකාවේ අනාගතය පැහැදිලි බවක් දකින අතර ම රටක් වශයෙන් ඉදිරියට යන්නට ශ්‍රී ලංකාවට අතදීමක් ලෙසත් මෙරට තුළ ආයෝජනය කරන්නට අපි හිතුවා.

ආයෝජනය සඳහා සමාගම සලකා බැලූ වෙනත් කරුණු මොනවාද?

ශ්‍රී ලංකාව දිගු ඉතිහාසයකට උරුකම් කියන රටක්. එහි උතුම් සංස්කෘතික හා ආගමික පසුබිමක් තියෙනවා. ඒ වගේ ම ස්වභාව සෞන්දර්යයෙන් අනූන රටක්. ඍතු විපර්යාසවලින් තොර, වසරේ සෑම කාලයකම සම සීතෝෂ්ණ දේශගුණයක් සහිත රටක්. ඒ වගේ ම ප්‍රණීත ආහාරපාන, එළවළු පලතුරු මස් මාංශ බහුල රටක්. ඒ හැමට ම වඩා මිත්‍රශීලී ආගන්තුක සත්කාරය ඉහළින් ම සලකන ජනතාවක් වෙසෙන රටක්. මේ කරුණු සියල්ල ම අපි ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීමට හේතු වුණා.

ඔබේ ආයෝජන ව්‍යාපෘති අදියර කිහිපයකින් යුක්තයි. මේ වන විට ඒවා කොතරම් දුරට නිම වෙමින් පවතිනවාද?

පළමු ව්‍යාපෘතිය වූ හම්බන්තොට ෂැංග්‍රිලා හෝටලය පසුගිය වසරේ විවෘත කරනු ලැබුවා. එය කාමර 300 කින් යුතු ඇ.ඩො. මිලියන 100 ක ආයෝජන ව්‍යාපෘතියක්. එය දැන් ව්‍යාපාර කටයුතු අරඹා ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.

හම්බන්තොට වැනි දුරබැහැර ප්‍රදේශයක් ඒ සඳහා තෝරා ගත්තේ ඇයි?

රටක අගනුවර පමණක් ආයෝජන කරනවාට වඩා රට අභ්‍යන්තරයට යන්නට අපි කැමතියි. අප වැනි සමාගමක් එවැනි ආයෝජනයක් කළ විට එමඟින් රටේ ප්‍රාදේශීය සංවර්ධනයක් ද සිදු වෙනවා. අපි කිසියම් රටක ආයෝජනය කරන්නේ අපේ ආදායම් ඉපැයීම ගැන පමණක් ම සිතා බලා නොවෙයි. විශේෂයෙන් ම සංවර්ධනය කරා යොමුවෙමින් සිටින ලංකාව වැනි රටවල ආයෝජනය කිරීමේදී ඒ රටට අත්වන ප්‍රතිලාභ ගැනත් අපි උනන්දු වෙනවා.

ඔබ පවසන පරිදි ෂැංග්‍රිලා සමාගම තුළින් අපේ රටට සහ අපේ ජනතාවට අත්වන ප්‍රතිලාභ මොනවාද?

පළමුව විදේශීය විනිමය. දෙවැනුව රැකියා අවස්ථා. අන්තර්ජාතික තලයේ පුහුණුව හා දැනුම. ඒ ප්‍රදේශවාසීන් ගේ ආර්ථිකය ඉහළ නැංවෙනවා. සංවර්ධනය වැනි ප්‍රතිලාභ රාශියක් ලැබෙනවා. අප වැනි හෝටලයක් ඇති විට ම ඒ ප්‍රදේශයේ යටිතල පහසුකම් නිතැතින්ම සංවර්ධනය වෙනවා.

හම්බන්තොට ෂැංග්‍රිලා හෝටලයේ සේවක මණ්ඩලය කොපමණද? ඉන් කීදෙනෙකු ලාංකිකයන් ද?

සම්පූර්ණ සේවක මණ්ඩලය 550 යි. එයින් 540 ක්ම ලාංකිකයින්. මොවුන් ගෙන් වැඩි දෙනෙකුට අපි ෂැංග්‍රිලා හෝටල් සංස්කෘතිය හා හෝටල් කර්මාන්තය පිළිබඳ සම්පූර්ණ පුහුණුවක් විදේශවලට යවා ලබා දී තිබෙනවා. මෙරට හෝටල් ඇරැඹීමට පෙර සේවක මණ්ඩලයේ 50 දෙනෙකු ඩුබායි, ඕමාන්, පිලිපීනය සහ මාලදිවයිනේ පිහිටි ෂැංග්‍රිලා හෝටල් වෙත යවා වසර දෙකක පුහුණුවක් ලබා දුන්නා. ඒ කාලය සඳහා නවාතැන්, ආහාරපාන මෙන් ම වැටුප් ද ලබා දුන්නා. ඔවුන් ලංකාවට ඇවිත් ඉතිරි පිරිසට පුහුණුව ලබා දී තිබෙනවා. රැකියාව කරන අතරතුර ද වරින්වර එතෙර යවා විවිධ පුහුණු වැඩසටහන් මඟින් ඔවුන්ගේ වෘත්තීය මට්ටම ඉහළ නංවා ගන්නට අවස්ථාව සලස්වා දෙනවා. ෂැංග්‍රිලා හෝටල් ජාලයේ රැකියාවක් ලැබීම ලෝක සංචාරක ක්ෂේත්‍රයේදී කෙනෙකුට ලැබෙන ඉහළ අවස්ථාවක්. කොළඹ ෂැංග්‍රිලා ‍හෝටලයේ සමස්ත කාර්ය මණ්ඩලය 750 ක්. ඔවුන් අතරින් විදේශිකයන් වන්නේ 15 දෙනෙකු පමණයි. ඉතිරි සියලු දෙනා ම ලාංකිකයන් වෙනු ඇති.

කොළඹ ෂැංග්‍රිලා හෝටල ව්‍යාපෘතිය අදියර තුනකින් යුක්තයි. එහි පළමු අදියර ෂැංග්‍රිලා තරු පහේ සංචාරක හෝටලය. එය නොවැම්බර් මාසයේදී විවෘත කිරීමට අපේක්ෂිතයි.

දෙවැනි අදියර ෂැංග්‍රිලා නිවාස ව්‍යාපෘතිය තුන්වැන්න ෂැංග්‍රිලා සුපිරි වෙළෙඳ සංකීර්ණය සහ කාර්යාල ගොඩනැඟිල්ල. එය 2019 වන විට නිම කිරීමට නියමිතව තිබෙනවා.

ඔබ හම්බන්තොට හෝටලය ඉදිකරන්නට ඇත්තේ එහි ඉදිවූ මත්තල අන්තර්ජාතික ගුවන් තොට‍ුපොළ හා වරාය පිළිබඳ බලාපොරොත්තු ඇතිවයි. මේ වන විට ඔබ අපේක්ෂා කළ මට්ටමට සංචාරකයන් පැමිණෙනවාද? ආදායම් ඉලක්ක සපුරා ගන්නට හැකි වී තිබෙනවාද?

හම්බන්තොට, කොළඹ වගේ නොවෙයි. හම්බන්තොට වැනි දුරබැහැර ප්‍රදේශයක හෝටලය ඉදිකිරීමේදී පවා කොළඹ තරම් කටයුතු පහසු වුණේ නෑ. ප්‍රවාහනය, කාල වේලාව, ශිල්පීය ඥානය, පුහුණු ශ්‍රමය, පිරිවැය වැනි සෑම අංශයකින් ම වැඩි වැයක් හා වෙහෙසක් දරන්නට සිදු වුණා. වසර තිහක් යුද්ධයෙන් පීඩා විඳි රටක්, ආර්ථික අතින් ගොඩ නැගෙන්නට වෙර දරමින් සිටින යුගයක අපි උපේක්ෂාවෙන් හා ඉවසීමෙන් ඒ දෙස බලන්නට ඕනෑ. හම්බන්තොට හෝටලය විවෘත කළ පමණින් ම එහි කාමර සියල්ල ම එකවර පිරී යාමක් අපි ‍අපේක්ෂා කරන්නේ නෑ. දැනටමත් ඒ සඳහා හොඳ ඉල්ලුමක් තිබෙනවා. ගුවන්තොටුපොළ හා වරාය කටයුතුත් සාමාන්‍ය අන්දමින් සිදුවෙනවා. ඒවා වඩාත් කාර්යබහුල වන විට අපේ තත්ත්වයත් වඩාත් හොඳ වේවි. එතෙක් අපි ඉවසීමෙන් බලා සිටිනවා.

ශ්‍රී ලංකාවේ ආයෝජන ව්‍යාපෘති දියත් කිරීමේදී මෙරට රාජ්‍ය ආයතන හා සේවා වෙතින් ලැබුණ සහයෝගය ගැන ඔබ තෘප්තිමත් ද?

බොහෝ ම සතුටුයි. විශේෂයෙන් ම සංචාරක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයෙහි නිරත හෝටල් කරුවන්, සංචාර සැලසුම්කරුවන්, ප්‍රජාව හා විවිධ සංවිධානවලින් ලැබෙන සහයෝගය ඉහළයි. විශේෂයෙන් ම රාජ්‍ය ආයතනවලින් ලැබුණු සහයෝගය පිළිබඳව අපි තෘප්තිමත්.

ෂැංග්‍රිලා හෝටල් සමූහය සංචාරක ලෝකයේ ප්‍රමුඛත්වය කරා ළඟා වීමේ රහස කුමක් ද? ඔබේ අනන්‍යතාවය කුමක් ද?

උපරිම ආගන්තුක සත්කාරය. හදවතින් ම අමුත්තන්ට සංග්‍රහ කිරීම. අපි යම් රටක හෝටලයක් විවෘත කළොත් ඒ රටේ සංස්කෘතියට සිරිත් විරිත්වලට අනුව අපේ සත්කාරක සේවාව හැඩගසා ගන්නවා. උදාහරණයක් දක්වනවා නම් ලෝකයේ කුමන රටක අමුත්තෙකු ලංකාවට ආවත් අපි ඔවුන්ට සලකන්නේ ලාංකික සංස්කෘතියට අනුකූලවයි. ලංකාවට ඔවුන් එන්නේ ලංකාවේ සුන්දරත්වය, සංස්කෘතිය, දේශගුණය, ආහාරපාන අත් විඳින්නටයි. අපේ හෝටලය ඒ වස්ථාව හා සේවාව ඔවුන්ට ලබා දෙනවා.

අමුත්තා මොන රටෙන් ආවත් අපි ඔහුට හෝ ඇයට අපේ ම කෙනෙකුට මෙන් සලකනවා. හදවතින් ම සුභ පතනවා. හදවතින් ම සේවය කරනවා. ලෝක මට්ටමේ සුව පහසුව සමඟ හෘදයාංගම සේවාවක් ලබා දීමයි අපේ අනන්‍යතාවය. අපි අපේ සේවකයන්ට සලකන්නෙත් ඒ ආකාරයෙන්මයි. පළමුව අපි අපේ සේවකයන් හොඳින් රැක බලා ගන්නවා. රැකියාව පිළිබඳව ඔවුන් තෘප්තිමත්ව තබන විට ඔවුන් පෙරළා ‍අපේ අමුත්තන් හොඳින් රැකබලා ගන්නවා. අමුත්තන් තෘප්තිමත් වන විට අපේ ආර්ථිකයත් තෘප්තිමත් වෙනවා. මා මෙය දකින්නේ තෘප්තියේ චක්‍රයක් ලෙසයි.

ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තයෙන් ඉදිරියට යන්නට අපේක්ෂා කරන රටක්. ලෝක සංචාරක ක්ෂේත්‍රයේ නියුතු ප්‍රවීණයකු ලෙස ඔබ මේ උත්සාහය දකින්නේ කවරාකාරයටද? ලංකාවට අපේක්ෂිත ඉලක්කය ජය ගන්නට හැකි‍ වේ යැයි ඔබ සිතනවාද?

සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තයට මුල් තැනක් දීමට ගත් තීරණය ඉතා සුදුසුයි. කාලෝචිතයි. එහෙත් ඒ සඳහා පැහැදිලි තිරසාර ක්‍රමෝපාය සැලැස්මක් තිබිය යුතු බව මගේ අදහසයි. ඉලක්කය කරා හඹා යාමට ඉතා ක්‍රමවත් වැඩපිළිවෙළක් නැති වීම අඩුපාඩුවක් බවයි මගේ අදහස. ශ්‍රී ලංකාවට සංචාරක ව්‍යාපාරයයෙන් ගොඩ යන්නට අවශ්‍ය සියලුම වත්කම් සහ සුදුසුකම් තිබෙනවා. එහෙත් ඒවායෙන් උපරිම ඵල ලබා ගැනීමට හැකිවන පරිදි තිරසාර ක්‍රමවේදයක් කඩිනමින් සකස් කිරීමේත් ක්‍රියාත්මක කිරීමේත් අවශ්‍යතාව මම දකිනවා.

ශ්‍රී ලංකාවේ රැකියාව කිරීම හා ජීවත්වීම ඔබට දැනෙන්නේ කෙ‍හොමද?

හරිම සුන්දරයි. සුන්දර රටක්. සුහද සත්කාරශීලී ජනතාවක් සිටින රටක්. අලංකාර මුහුදු වෙරළ, යහපත් මිත්‍රශීලී මිනිසුන්, ගහ කොළ, සතුන්, සොබා දහම දේශගුණය, රසවත් කෑම බීම මේ හැම දේටම මම හරිම කැමතියි. ඇත්තෙන් ම ශ්‍රී ලංකාව රැකියාවට වගේ ම ජීවත් වෙන්නත් හොඳ ම රටක්.

ශ්‍රී ලංකාවේ අනාගතය කෙබඳු වේ යැයි ඔබ සිතනවාද? මෙය ආයෝජනයට සුදුසු රටක් යැයි ඔබ සිතනවාද?

එය බොහොම සුභවාදී එකක් වෙනු ඇතැයි මා සිතනවා. මේ වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකය සංවර්ධනය කරා වේගවත් ගමනක යෙදෙනවා. දැන් එය මැදි ආදායම් ලබන ජනතාවක් වෙසෙන රටක්. රටේ සාමකාමී වාතාවරණයක් පවතිනවා. ආර්ථික වර්ධනයක් හා දේශපාලන ස්ථාවරත්වයක් පෙන්නුම් කරන හෙයින් ශ්‍රී ලංකාව ආයෝජන සඳහා හිතකර පරිසරයක් ඇති රටක් ලෙස මා දකිනවා.

සාගරිකා දිසානායක 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.