ඔබේ පැනයට අපෙන් පිළිතුරු | සිළුමිණ

ඔබේ පැනයට අපෙන් පිළිතුරු

අමා

ප්‍රශ්නය :- වතුගෙදර දුලීකා

අමා මහත්මිය, මම මෙවරත් අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයට දෙවරක් ම පෙනී සිටි ශිෂ්‍යාවක්. මට වැඩිමහල් සහෝදර සහෝදරියන් සිවු දෙනෙක් සිටිනවා. මගේ සහෝදරියන් දෙදෙනා විවාහ වී සිටින අතර සහෝදරයන් දෙදෙනා විවාහ වී නැහැ. ඔවුන් දෙදෙනාටම ස්ථිර රැකියාවක් නැහැ. ඔවුන්ගේ හිත මිතුරන් නිතර නිතර ගෙදර එනවා. මේ එන බොහෝ විට ඔවුන්ට තේ සාදන්න වෙන්නෙත් සලකන්න වෙන්නෙත් මටයි. ඉතින් මේ සමහර අය ගොඩක් වෙලාවට මගෙත් එක්ක හිතවත් වෙලා මට කතා කරනවා. සමහර දවස්වල ඒ අය අයියලා නැති කොට මට අසංවර තේරුම් සහිත අසභ්‍ය විහිළුත් කරනවා. මම කිසි විටක ඒවාට ප්‍රතිචාර දක්වන්න යන්නෙත් නැහැ. මගේ සොහොයුරන් අධික ලෙස ආවේගශීලී අය වන අතර කිසි විටක තව කෙනෙක් ඉවසන්න පුරුදු අය නෙමෙයි. එසේම ඔවුන් වැඩි දුර අධ්‍යාපනය ලැබූ අයත් නෙමෙයි. ඒ වගේ ම මගේ සොහොයුරියක් බැඳපු එක මස්සිනා කෙනෙක් මා තනි වුණ හැම අවස්ථාවකම අමුතු විදිහට මගේ දිහා බලාගෙන ඉන්නවා. නිතර මා මතක් වෙන බව කියනවා. මගේ සොයුරිය තරමක් අඳුරු පැහැ සමක් ඇති කෙනෙක්. ඉතින් මගේ සොයුරිය ගැන නිතර නිතර වැරදි කියන කොට මටත් හරියට දුක හිතෙනවා. ඒ වුණත් මේ වන තෙක් මා කිසිවක් මගේ මවු පියන්ට කියා නැහැ. ඔවුන්ට කියන්නත් බයයි. පාඩම් කරන්න හිත එකලාසයක් කර ගන්නත් බැහැ. මා කළ යුත්තේ කුමක් ද? කරුණාකර මට පහදා දෙන්න. මට හැම දෙයක්ම එපා වෙලා තියෙන්නේ.

පිළිතුර

ඔබ කිසියම් අනාරක්ෂිත තත්ත්වයක සිටින බවයි මට නම් දැනෙන්නෙ. ඒ නිසා වහාම ඔබේ වැඩිහිටි අය දැනුවත් කරන්න. ඔබේ සහෝදරයන් නිතර සංගීත සංදර්ශනවලට යන උපයන සියල්ලම වියදම් කරන, කිසිදු අනාගත සැලසුමක් නැති අය බවයි ‍මට පෙනෙන්නේ. ඒ නිසා තමයි ඔබ වැනි අය අනාරක්ෂිතව තබා ඔවුන් පිටව යන්නේ. ඔබේ සහෝදරියගේ සැමියා වුනත් ඔහු ඉදිරියේ අනාරක්ෂිත බවක් මට දැනෙනවා. ඔබ තාමත් ඒ තරමට සමාජ ආශ්‍රයක් තියෙන කෙනෙක් බව මට දැනෙන්නෙ නැහැ. ඔබේ දීර්ඝ ලිපියේ තියෙන විදිහට ඔබට මේ තරම් ශාරීරික පීඩා ඇතිවන තුරු ඔබගේ වැඩිහිටියන් සහ සහෝදරයින් ඉන්නෙ කොහේද?

අදම ඔබගේ චාර්යාවන් වෙනස් කරන්න උත්සාහ කරන්න. සහෝදරයන් දෙදෙනාගේ හිත මිතුරන් නිවසට පැමිණි පසු ඔවුන්ට ඇඟෑලුම්කම් පාන්න සහ සංග්‍රහ කටයුතුවලට යන්න එපා. ඔබට පාඩම් කරන්න සාලය හැර වෙන තැනක් නැත්නම් ඔවුන් පිටත් වෙනතුරු මව සමඟ ඇතුළු කාමරයක සිටින්න. පනින රිලවුන්ට ඉනිමං බඳින්න එපා. ඉතා හොඳින් මව හෝ පියා ලවා ඔබගේ සහෝදරයන්ට මේ බව දන්වන්න. ඔබ බාහිර පරිසරයට නිරාවරණය වන්න එපා.

ඒ වගේ ම ගොඩක් තරුණ සැමියන් තමන්ගේ භාර්යාවන්ගේ වැරදි කියන්නේ ඔවුන්ගේ වැරදි තියෙන නිසා ම නෙමෙයි. අනිත් කෙනාගේ හිත ගැනීම සඳහා අනුකම්පාව දිනා ගැනීමට පමණයි. සමහර අය තමන් දිනන තුරුම සටන අත අරින්නේ නැහැ. බොහෝ ගැහැනුන් ලැජ්ජාව නිසා නොකියා හිටියාට ගොඩක් අයට මේ තත්ත්වයන් අත් විඳින්නට වෙලා තියෙනවා. හැමවිටම යුවතියක හෝ තරුණියක වශයෙන් පමණක් නොවෙයි ගැහැනියක වශයෙනුත් ආරක්ෂා වන්නට වර්තමාන සමාජයේ යුවතියන්ට වෙලා තියෙනවා. ඉතිං මේ ගැන නිතර සැලකිලිමත් වෙන්න. ඔබේ ආරක්ෂාව ඔබම සලසා ගත යුතුයි. අප වටේ සිටින කිසි ම කෙනෙකුගෙන් අපට ආරක්ෂාව ලැබේ යැයි සිතන්නට එපා. හැම විටම අනාරක්ෂිත බව සිතුවාම අපට ජීවත් වන්නට ලේසියි. අතීතයේදී නම් සර්ව ආභරණ වලින් සැරසුන රූමත් යුවතියකට දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා තනියම ගමන් කිරීමේ හැකියාව තිබුණා. ඒත් දැන් ගෙදර මිදුල විතරක් නෙමෙයි ගේ ඇතුළත් ගැහැනු ළමයකුට ආරක්ෂිත නැහැ. පසුගිය දිනවල අප ඇසූ දුටූ දේවල් එයට සාක්ෂි දරාවි. ඔ‍ෙබ් මවට මට දුරකථනයෙන් කථා කරන්න කියන්න. මා ඔවුනට කරුණු පහදා දෙන්නම්. ඔබේ තත්ත්වය ඔවුන්ට පවසා වහාම ආරක්ෂාකාරී වන්න.

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු කාන්තාවනි. ඔබේ රැකියා ස්ථානයේ ඔබ මුහුණපාන පෞද්ගලික හෝ පොදු ගැටලු පිළිබඳව අප වෙත ලියා එවන්න.

ඔබේ අනන්‍යතාව සුරකින අතර තහවුරු කළ හැකි නිවැරදි තොරතුරු පමණක් ලියා එවන්න. ඔබගේ ගැටලු පෞරුෂ සංවර්ධන උපදේශිකා වජිරා අමා දිසානායක මහත්මිය වෙත යොමු කර සහනදායී පිළිතුරු ලබා දීමට අපි සූදානම්. ඔබේ ගැටලු මෙම කූපනය සමඟ අමුණා පහත ලිපිනයට යොමු කරන්න.

සංස්කාරිකා,
දියත දිනන කත,
සිළුමිණ, ලේක්හවුස්,
කොළඹ 10 

Comments