දැයක් දිනූ කතුන් තැනූ විදුහල්පතිනියකගේ නික්ම යෑම | සිළුමිණ

දැයක් දිනූ කතුන් තැනූ විදුහල්පතිනියකගේ නික්ම යෑම

වෛද්‍ය ශාන්ති පතිරගේ ගුණවර්ධන

1925 මැයි 19 දා උපත ලද කල්‍යානි ප්‍රියශීලි ද සොයිසා අබේසිරිවර්ධන මැතිනිය වචනයේ පරි සමාප්ත අර්ථයෙන් ම ඉතාමත් ප්‍රියශීලී, අවංක, ධෛර්ය සම්පන්න යුග මාතාවක් වූවාය. 1953 දේවී බාලිකා විදුහල ආරම්භයේදී මුල්ම ගුරු මණ්ඩලයට එකතු වූ එතුමිය එතැන් පටන් සිය මුළු ගුරු දිවිය ම වසර 33 ක් පුරාවට කැප කළේ දේවී මාතාවගේ උන්නතිය උදෙසාය. අනතුරුව වසර 19 ක් එතුමිය දේවී බාලිකාවේ විදුහල්පති තනතුර දැරුවාය.

එදා මෙදා තුර දසදහස් ගණනින් විවිධ ක්ෂේත්‍රයන් ඔප්නංවන වෛද්‍ය, ඉංජිනේරු, ගණකාධිකාරි, නීතිඥ, විද්‍යාඥයන් මෙන් ම මාධ්‍ය ගුරු, විදුහල්පති, බැංකු, පරිපාලන ආදී සේවාවන්හි මුල් පුටු හොබවන දේවී බාලිකාවන් බිහි කිරීමට එතුමිය සමත් වූවාය. ආචාර්ය විමලා ද සිල්වා මැතිනියගෙන් ආරම්භ වූ දේවී බාලිකාව රටේ ඉහළ ම තලයට ගෙනයාමට එතුමිය විශාල කාර්ය භාරයක් ඉටු කළාය. විශ්‍රාම ගැනීමෙන් පසුව ද විදුහල හා බැඳී සිටි එතුමිය ඉතා නිරෝගීව, සුවපත් මනසකින් යුතුව දේවී බාලිකාවේ දියුණුව දැක අමන්දානන්දනයට පත් වූවාය. ලංකාවේ පමණක් නොව ලොව කොතැන ගිය ද එතුමිය වෙත දිව විත් වැඳ වැටෙන දේවී දියණියන් දකින්නට තරම් එතුමිය වාසනාවන්ත වූවාය.

අප අද දකින්නේ දිවි හිමියෙන් එතුමිය ගොඩනැගීමට උර දුන් දේවී බාලිකාවේ අභිමානයයි. වසර 93 ක උත්කෘෂ්ට ජීවිත කාලයක් ගත කළ කල්යාණි ද සොයිසා මැතිනිය අද ජීවිතයෙන් සමුගත්තද එතුමියගේ ගුණ සුවඳ, සදා කල්හිම අපේ සිත් සතන් තුළ ගෞරවනීයව සනිටුහන් වී ඇත. ආදරණීය ගුරු මෑණියනි, ඔබතුමියගේ වියෝව අපට බලවත් ශෝකයක් වුවද ඔබතුමිය ලබා දුන් පන්නරය තුළින් අපි ලෝකය ආලෝකවත් කරන්නට දිරියත් කැප වෙන බවට සහතික වන්නෙමු. ඔබ තුමියට උතුම් වූ නිවන් සැප ලැබේවා!


ජාඇල විදාතා මධ්‍යස්ථානයේ අත්කම් දැක්ම 23 - 24

ජාඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් පවත්වනු ලබන විදාතා ව්‍යවසායකත්ව ප්‍රදර්ශනය මේ මස 23 සහ 24 දෙදින පුරා ජාඇල කේසෝන් (K Zone) පරිශ්‍රයේදී පැවැත්වේ. විදාතා සම්පත් මධ්‍යස්ථානයේ අත්කම් උපදේශිකා ඩබ්ලියු. ෂෙරීන් ප්‍රනාන්දු මහත්මිය සමඟ ශිෂ්‍යාවන් විසින් ඉදිරිපත් කරනු ලබන මෙම ප්‍රදර්ශනයට මංගල පබළු ආභරණ, අත්යන්ත්‍ර රෙදිපිළි ආශ්‍රිත බෑග් වර්ග, කතිර මැහුම් නිර්මාණ, කෘත්‍රිම පලතුරු සහ එළවළු ආකෘති ඇතුළු නිර්මාණ රැසක් ඇතුළත් වේ.

Comments