මඩ වගු‍රේ බාගෙට පිපි නෙළුමක් දැක තැනුණු නෙළුම් කුලුන | සිළුමිණ

මඩ වගු‍රේ බාගෙට පිපි නෙළුමක් දැක තැනුණු නෙළුම් කුලුන

අහස වැහි අඳුරින් බරව ගියද නෙළුම් කුලුන යස අගේට පෙනෙන්නේය. කොයි කොනෙන් බැලුවත් මේ ළඟ තිබෙනවා ලෙසින් පෙනෙන නෙළුම් කුලුනේ වැඩ දැන් ලහිලහියේ සිදු වෙමින් පවතී. ඉකුත් වසරේ මාර්තු මස අප යද්දී එහි ඉහළම මාලයේ බිමට කොන්ක්‍රිට් දමා නොතිබිණි. එහි මතුපිට සකසා තිබුණේ ලෑලිවලිනි. ලෑලි හිඩැසි අතරින් පහළ පෙනුණේ ගත හිරිවට්ටමිනි. නමුදු දැන් එහි බොහෝ වැඩ කටයුතු අවසානය කරා ළඟාවෙමින් තිබේ . තවමත් අලුත් විදුලි සෝපාන සවිකරමින් තිබෙන්නේය . මෙනිසා නෙළුම් කුලුන ට නැගිය යුත්තේ තාවකාලික ව ඉදිකර ඇති සෝපානයෙනි. දඩ බඩ ශබ්දය කනට අමිහිරි වුවද කොන්ක්‍රීට් මිශ්‍රණ මෙන්ම වෙනත් බඩු භාණ්ඩ, කම්කරුවන් හා සේවකයන් ඉහළ පහළ යන තාවකාලික සෝපානය අප රැගෙන ඉහළ යන්නේය.

මෙහොතකින් අප සිටියේ මීටර් දෙසිය හතළිස් පහක උසකය. පිටත සිට බලන විට රෝස පැහැයට පෙනෙන නෙළුම් පෙති දැන් එහි සවි වෙමින් තිබෙන්නේය. මහපො‍‍ළොවේ සිට දකිනවාට වඩා එහි ඇතුළත සිට පිටත බලන විට කොළඹ අවට පමණක් නොව ඊටත් එහා ප්‍රදේශ පෙනෙන්නේ හරි අපූරුවටය. නෙළුම් කුලුන අපට අලුත් අත්දැකීමකි. නෙළුම් කුලුනේ ආකෘති සංකල්පය ඉදිරිපත් කරන ලද්දේ මොරටුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සමිත මානවඩු මහතාය. ඔහු නෙළුම් කුලුන උපදේශක කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරයි. මෙවර නෙළුම් කුලුන නැරැඹිමට ගිය අවස්ථාවේදී අපට ඔහු හමුවුයේ අහම්බෙනි.

“නෙළුම් කුලුන හදන්න මුලින්ම කතිකා වුණේ ඒ ගැන සැලසුම් හැදුණේ 2008 වසරේදී. මුලින්ම මේ කුලුන හදන්න යෝජනා වුණේ පැලියගොඩ මාළු වෙළෙඳසල එහා පැත්තේ තියෙන භූමියක. එතැන බිම් ප්‍රමාණය අක්කර විස්සයි. නමුත් පසුව රජය ‍ඩී.ආර්. විජේවර්ධන මාවතේ මේ ස්ථානය තෝරා ගත්තා. මේ කුළුන නෙළුම් පොහොට්ටුවක ආකෘතියකට හදන්න ඕනෑය කියන අදහස මට ආවේ පැලියගොඩ යෝජිත ඉඩම ආසන්නයේ තිබු මඩවලක තනි නෙළුම් පොහොට්ටුවක් මඩෙන් උඩට මතුවෙලා තියෙනවා දැකලයි. ලෝකයට අපේ අනන්‍යතාව තියන්න ඕනෑ කියන අදහසින් තමයි නෙළුම් පොහොට්ටුව සැලසුම් වුණේ. නමුත් දැන් මෙහි තිබෙන්නේ යාන්තමට පෙති දිගහැරුණු නෙළුම් මලක්. චීන ජාතික ඉංජිනේරුවෝ තමයි කිව්වේ මේ පෙති යම් පමණකට දිගහැරලා මේ කුලුන හදන්න පුළුවන් කියලා.

මේ කුලුන දුටු චීන ජාතිකයන් ඔවුන්ගේ රටේ මේ කුලුනට වඩා උසින් අඩු නෙළුම් කුලුනක් සාදා තිබෙනවා. ඔවුන් එය හැදුවේ අපේ මේ ආකෘතිය බලාගෙන ගිහිල්ලා. නමුත් ඒ කුලුනේ උස මීටර එකසිය විසිපහයි.

පෑලියගොඩ, අතුරුගිරිය, කටුනායක ආදි වු මාර්ගවල සිට බැලූවිට අපිට මේ ළඟ තියෙනවා වගෙයි කුලුන පෙනෙන්නේ” මහාචාර්යවරයා පවසයි.

ඊට හේතුවද ඔහුම විස්තර කළේය.

“නෙළුම් කුලුන හදන්න සැලසුම් කරන කාලේ අධිවේගී මාර්ග ඉදිවෙලා නැහැ. මම අධිවේගී මාර්ගවල සැලසුම අරගෙන බැලුවා. සැලසුම බලලා තමයි කෙහෙන් බැලුවත් කුලුන පාරේ මැද කෙළින් පෙනෙන විදිහට හදන්න සැලසුම් කෙරුවේ. මේ කුලුන නිමකර අවසානයේ එය දුර සිට බලන්නෙකු‍ට පෙනෙන්නේ නෙළුම් මල පිපී ගෙන යනවා වගේ. පැහැදිලි අහස තියෙන වෙලාවක කුලුනේ උඩ නැගලා බැලුවම සිරිපාදයත් පෙනෙනවා. ඒ වගේම හපුතලේ සිට බැලූ විටත් නෙළුම් කුලුන පෙනෙනවා. එහෙම නෙළුම් කුලුන දුටු කෙනෙක් එහි ඡායා රූපයක් මා වෙත එවා තිබෙනවා.මේ කුලුන සාදා අවසානයේ වසර දහයක් යන විට ණය ගෙවා අවසන් කරන්න පුළුවන් කියලා අප හිතනවා. ඒ වගේම කුලුන විවෘත කළාට පසු වසර දාහතරක් යන විට එයින් ලාබ ලබන්නට පුළුවන්කම තිබෙනවා.”

මහාචාර්ය මානවඩු මහතා පවසන්නේ නෙළුම් කුලුනේ අතීත වර්තමාන අනාගත තත්ත්වය පිළිබඳය.

මේ වනවිට යෝජනා වී ඇත්තේ ලබන වසරේ මුල් මාස කිහිපය තුළ නෙළුම් කුළුනේ සියලු කටයුතු අවසන් කළ හැනි බවය. චීන හා ලාංකික ඉංජිනේරුවෝ පමණක් නොව දෙරටේම කම්කරුවෝද යුහුසුලුව මෙහි ඉදිකිරීම්වල නියැළී සිටිති. මෙහි මුළු සේවක සංඛ්‍යාව 276 දෙනෙකි.

කාර්ය බහුල කම්කරුවන් පසු කරමින් අපි කුලුනේ නැරැඹුම් මැදිරිය වෙත ආවෙමු. ඇතැම් කම්කරුවෝ කොන්ක්‍රීට් දැමු කණ්ඩියක ලෑලි ගලවන්නාහ. තවකෙක් නෙළුම් පෙති සවිකිරීම සඳහා අවශ්‍ය දෑ සකසන්නාහ. තවත් අය අට්ටාල මතය. ඔවුන් ඔවුන්ගේ පාඩුවේ වැඩය. නැරැඹූම් මැදිරයට පැමිණියද තවමත් බිම සකස් කර නැති බැවින් එහි සිට අහස හැරෙන්නට වෙනත් කිසිවක් නොපෙනේ. බැරි අමාරුවෙන් කොන්ක්‍රීට් කණ්ඩියක‍ට නැඟ තාප්පයේ එල්ලී නෙළුම් කුලුනේ ඉහළම මාලයේ සිට අවට බැලුවෙමු. එක් පැත්තකින් පෙනෙන්නේ මරදාන හා ඒ අවට බිමයි. මරදාන දුම්රිය පොළ මෙන්ම දෙමටගොඩ දුම්රිය පොළද පෙනෙන්නේය. දුම්රිය ගමන් කරන්නේ ඉබි ගමනිනි. ඒ අතර අලුත් කඩේ උසාවි සංකිර්ණය පැහැදිලිව පෙනෙන්නේය. අනෙක් පසින් පෙනෙන්නේ එක දිගට දිවෙන මුහුදු තීරයයි. එය ඇතින් ඈතට යනතුරු ලා නිල් සළුවකට සුදු පැහැ රේන්දයක් ඇල්ලුවා සේ හරි අපුරුවට පෙනෙන්නේය. අනෙක් පසින් පෙනෙන්නේ නගර ශාලාවයි. ඒ අවට ගොඩනැගිලිය. ඈතින් ඈතට විහිදි යන ගොඩනැගිලි අතරින් බොහෝ ඈත පෙනේ. නමුදු පැහැදිලි නැත. ඒ සියල්ල සුදෝ සුදු වලාකුළු අතර සැඟව ඇති බැවිනි.

අපි යළිත්පහළ බසින්ට වුයෙමු. ඒ බැස්සේ පඩිපෙළ භාවිතයෙනි.

“මෙතැන තමයි කරකැවෙන ආපනශාලාව තියෙන්නේ. කාටවත් තේරෙන්නේ නැහැ මේක කැරකෙනවා කියලා නමුත් එළියේ දකින දර්ශතලය වෙනස් වෙද්දියි වෙන්නේ මොකක්ද කියලා දැනෙන්නේ. හත්වැනි තට්ටුවෙන් තමයි එළිය බලන්න පුළුවන්. ” නෙළුම් කුලුන වැඩ බිමේ පාලන නිලධාරී කර්නල් චානුක අබේකෝන් පැවසීය.

නෙළුම් කුලුනට පිවිසුම් දොරටු සතරකි. වාහන නැවැත්වීමේ පහසුකම ඇත්තේ පහළ භුමියේය. එමෙන්ම පහළ මාලයේ වෙළෙද සල්ය. පහළ මාලයේ අපේ සංස්කෘතිය හා දේශියත්වය විදහා දැක්වෙන සිතුවම් නිර්මාණ කිරිමට ද සැලසුම් කර ඇත්තේය. යම් දිනෙක ලෝකයේ කොයි කොන සිට හෝ ශ්‍රි ලංකාව සොයන විට කොළඹ නගරය යැයි කියු විට එහි අනන්‍යතා ලකුණ නෙළුම් කුලුන වනු ඇත.

 

ඡායාරූප - විමල් කරුණාතිලක

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.