විශ්වවිද්‍යාලෙට ගිය මුල් දවසේ ආවේ මොකටදැයි හිතුණා | සිළුමිණ

විශ්වවිද්‍යාලෙට ගිය මුල් දවසේ ආවේ මොකටදැයි හිතුණා

ඔහු අපේ පුංචි රටේ ලොකු නමක් තැබූ පුංචි තැනකින් ආ මිනිසෙකි. නැතිනම් තාරුණ්‍යයේ හිණි පෙත්තට පිවිසි සරල ගැමි තරුණයෙකි. හේ නමින් රංගික හල්වතුරය. එදා කළුතර ගමේ පුංචි පාසලට අකුරු කරන්නට ඔහු පිවිසියේ අසීමිත බලාපොරොත්තු ගොන්නක් පොදි බැඳගෙන නොවූවද, මේ පුංචි සිතේ ඉටුකරගන්නට පුංචි බලාපොරොත්තුවක්ද නොතිබුණා නොවේ. 'කවදා හරි හමුදාවට බැඳිලා රට බේරගන්න යනවා' මේ බලාපොරොත්තුව තම සිත්හි කොනක ගුලිකර ගනිමින් ඔහු ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන්නේ ය. එකලද අතිශය තරගකාරී වූ ශිෂ්‍යත්ව විභාගයෙන් සිය ගමේ පාසලේ පුංචි පන්තියේ යහළුවෝ සැවොම හොඳින් සමත් වී සිටියහ. එහෙත් සිය යහළුවන් කොළඹ සුපිරි පාසල් සොයා යන විට රංගික පමණක් ශිෂ්‍යත්වය අසමත් වී ගමේ පාසලේම රැඳුණේය. සිය යහළුවන් කොළඹ පාසල් කරා පියමං කරන අයුරු කඳුළු පිරි දෙනෙතින් දකිමින් ඔහු සිතුවේ, ' කමක් නැහැ හමුදාවට යන්න මේ ශිෂ්‍යත්වය ප්‍රතිඵල ඕනැ නැහැ. මට ගමේ ඉස්කෝලේ හොඳයි. ඉගෙන ගෙන හමුදාවට යන්න'. රංගික අවසානයේ හිත හදා ගත්තේ එලෙසය.

‍එසේ වුවත් ඇතැම‍ුන් ශිෂ්‍යත්වය අසමත්වීම සැලකුවේ ඔහුගේ පරාජයක් ලෙසිනි. රංගික එයම ශක්තියක් කර ගත්තේය.

ඔහු ගමේ පාසල හැරදා ගියේ නැත. ගමේ පාසල සිය ජය තෝතැන්න කරගන්නට ඔහු අදිටන් කර ගත්තේ ය. දින මාසවලට පෙරළමින් කාලය හරඹ කරන්නට විය. අද ඔහු ලංකාවේ සිටින ළාබාලම මහාචාර්යවරයාය. ඒ ගමේ පාසල හැර නොගියා සේ, සිය ආචාර්ය උපාධියට ද ඔහු උපන් රට හැර ගියේ නැත. 'මේ රටේ ආචාර්ය උපාධිය කළොත් කිසි කොලිටියක් නැහැ' සිය උගත් යාළුවෝ එසේ පවසද්දි ඔහු උපන් රටේම සිට ආචාර්ය උපාධිය සම්පූර්ණ කළේය. රටට ආදරය කරන මේ ළාබාලම මාහාචාර්යවරයා අද මුළු ලොවක් දිනා ගන්නටද සමත් වී ඇත. රංගික හල්වතුර නම් වූ මේ තරුණ මහාචාර්යවරයා අද 'වසරේ හොඳම තරුණ විද්‍යාඥයාට' හිමි ලෝක සම්මානය දිනා ගත්තේ තමා වෙනුවෙන් වියදම් දැරූ දිළිදු ජනතාවගේ මුදලට ණයක් නොවන්නටය. ඔවුන්ගේ දෙතොලට සිනා රැල්ලක් එක්කරන්නට ය.

රංගංක හල්වතුරගේ කතාව අප ඉදිරිපත් කරන්නේ ඔහුට කිසිවක් ලබන්නට නොව, අපේකම පිටුදකිමින් සැප සම්පත් පසුපස දිවෙන ඔබේ ජීවිතයට යමක් ලබා දෙන්නට බව මුලින්ම ප්‍රකාශ කරනු කැමැත්තෙමි. “ කළුතර ගමේ ඉපදුණු මම එක වසරේ සිට 13 වසර දක්වාම ගියේ ගමේ ඉස්කෝලෙට. ඒ කළුතර විද්‍යාලයට. මගේ ජීවිතයේ මහා පෙරැළියක් කරන්නට පටන් ගත්තේ මම ශිෂ්‍යත්වයට මුහුණ දුන් අවුරුද්දේ. අපේ අයගේ හීනයක් තිබුණා හොඳින් විභාගය කරලා කොළඹ ලොකු ඉස්කෝලයකට යන්න. මගේ යාළුවෝ ශිෂ්‍යත්වය හොඳට පාස් වෙද්දි මම විතරක් ෆේල් වුණා. කොළඹ ලොකු ඉස්කෝලයකට මට යන්න තිබුණු අවස්ථාව නැතිවුණාම මට මහා දුකක් ඇතිවුණා. මගේ යාළුවෝ කොළඹ ලොකු ඉස්කෝලවලට යන හැටි මම දුකෙන් බලාගෙන හිටියා. මම ශිෂ්‍යත්වය පාස් නොවුණහම ගොඩාක් අය හිතුවා මම අසමත් දරුවෙක් කියලා. 'ඇත්තටම මම අසමත් දරුවෙක්ද' කියලා මම මගෙන්ම අහන්න වුණා. 'මම අසමත් නැහැ. මම කොහොම හරි ඒ අයට වඩා ඉදිරියට යනවා' කියලා මම හිතා ගත්තා. එදා ඒ වදන මගේ ජීවිතයට විශාල ශක්තියක් වුණා වගේම මගේ ගමනත් ශක්තිමත් කළා. සමහර දිනවල මම කාය වර්ධන පන්ති ගියා. ටිකෙන් ටික මම 'චැලෙන්ජ්' අත්විඳින්න ආස වුණා. පන්ති නායක වුණු මම අවසානයේ පාසලේම ප්‍රධාන ශිෂ්‍ය නායක වුණෙත් මේ නිසා.

මේ වෙන කොට මට බලාපොරොත්තු දෙකක් තිබුණා. එකක් තමයි හමුදාවට බැඳෙන එක. අනික තමයි විශ්ව විද්‍යාලයේ ගිහින් ඉංජිනේරුවෙකු විම. මේ වෙද්දි සමහර අය මට විවිධ අභියෝග කළා. ඒත් ඒ හැම අභියෝගයක්ම මට අභියෝග වුණේ නැහැ. මම ඒවා මගේ ජිවිතයට ශක්තියක් කර ගත්තා. මගේ පන්ති පාඩු වෙනකොට මගේ ගුරුවරු මම වෙනුවෙන් හවස් වරුවේ පන්ති කළා. සමහර ගුරුවරු ලැබ් එක ඇරගෙන බලාගෙන ඉන්නවා මම ප්‍රායෝගික පරික්ෂණ කරන්න එනකල්. මේ අතර සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ මගේ ඉතිරි යාළුවෝ ටිකත් ගමේ ඉස්කෝලේ අතහැරලා කොළඹ ගියා. ඒ අය ගියේ මට අභියෝග කරලා. එත් මම හිතුවා කවදාවත්ම මේ පාසල දාලා යන්නේ නැහැ කියලා. මගේ දෙමවුපියන්වත් මට කොළඹ ඉස්කෝලෙකට යන්න කිව්වේ නැහැ. අවසානයේ ගුරුවරුන්ගේ කැපවීම මතම මම උසස් පෙළ හොඳින්ම කළා. 1998 මගේ උසස් පෙළ ප්‍රතිඵල පිටවුණේ පාසලටම කීර්තියක් අත්කර දෙමින්.”

පාසල් ජීවිතය පුරාම කළුතර විදුහල රංගිකගේ ජීවිතයේ සෙවණැල්ල විය. රජයේ සේවකයන් වූ නෝමන් හා කැමිල් හල්වතුර වන ඔහුගේ මවත් පියාත් එකම සොහොයුරාත් යායුතු මාර්ගය තීරණය කරන්නට රංගිකට ඉඩ දුන්නේ ය. ගමේ පාසලින් ඔහු මොරටුව සරසවියට පිවිසියේ දහසකුත් එකක් අභියෝග මධ්‍යයේය. “මේ කාලය වෙනකොට මොරටුව සරසවියට එක අවුරුද්දකට ගන්නේ ළමයින් 300ක් විතරයි. මම හොඳට උසස් පෙළ පාස් වුණත් මම හිටියේ 312 වැනියට. මගේ වෙලාවට ළමයින් 12 දෙනෙක් පිටරට ගියා ඉගෙන ගන්න. මේ නිසා මම මොරටුව විශ්ව විද්‍යාලයට ඇතුළු වුණේ ඒ බැච් එකේ අන්තිමයා විදියට. මුල් දේශනයේදිම මට හිතුණා ඇයි මම මේ විශ්ව විද්‍යාලයට ආවේ කියලා. හැම දේශනයක්ම තිබුණේ ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්න. ගමේ ඉස්කෝලෙකින් ආවේ මට ඉංග්‍රීසි හොඳ දැනුමක් තිබුණේ නැහැ. එදා අපි ඉස්කෝලේ ඉංග්‍රීසි පන්ති කට් කළා. ඒත් එ්වායේ ආදීනව මේ වෙනකොට මම අත්වින්දා. ඒකාලේ මම දහයටත් නැති චරිතයක් වුණා. මගේ ගුරුවරු මට ගහලා බැණලා හරි පාරට ගන්නවා. විශ්ව විද්‍යාලයේ බැච් එකේ අන්තිමයා විදියට මොරටුව විශ්ව විද්‍යාලයට ඇතුළු වුණු මම පළමු වැනි වසර අවසානයේදි බැච් එකේම පළමුවැනියා වුණා. මේ වෙද්දි හමුදාවට යන මගේ අදහස ටිකෙන් ටික වෙනස් වෙන්න ගත්තා. මගේ ආසාව තිබුණේ වරලත් සිවිල් ඉංජිනේරුවෙක් වෙන්න. මේ නිසා පළමුවැනි වසර අවසානයේදි මම තනිවම මගේ ගමන් මඟ තීරණය කළා. රංගික සිවිල් ඉංජිනේරුවෙකු වන්නට පිවිසියේ ඒ අයුරිනි.

ජීවිතයේ බොහෝ හැලහැප්පීම් ඔහුට ජීවිතය කියා දෙන්නටත් යායුතු මඟ පාදා දෙන්නටත් ඉවහල් විය. ගමේකම උරුම වූ ඔහු විශ්ව විද්‍යාල දිවියේ පළමු වසරේදි හොඳින්ම නවක වදය අත්වින්දේ ය. එහෙත් ඒ නවක වදය ඔහු තම පසු පෙළ යහළු යෙහෙළියන්ට අත්විඳින්ට ඉඩ නොදුන්නේ ඒ වෙනුවෙන් දැඩි සටනක් කරමිණි.

බැච් ටොප් වුණු මම සරසවියේ ජනප්‍රිය චරිතයක් වුණා. මම ටිකෙන් ටික විශ්ව විද්‍යාල සංගම්වලට නායකත්වය දුන්නා. නවක වදය නැතිකළ යුතුයි කියන අදහස මගේ සිතේ නිතරම පැළ පැදියම් වී තිබුණා. මේ සංස්කෘතිය මට එපාවෙලා තිබුණේ. මම බාහිර දේට වැඩි වශයෙන් යොමුවෙන්න වුණේ මේ වන විට සරසවියේ මට තැනක් තිබුණු නිසා. ඒත් මගේ යාළුවෝ මැරීගෙන පාඩම් කරනකොට මට මහ විශාල බයකුත් ඇතිවුණ මේ ජනප්‍රියකමම මා නැතිකරයිද කියලා. සමහර වෙලාවට මම මගේ පීඩනය නැතිකර ගන්න ජිම් එකට යනවා. ඒත් මම අ‍ෙධෙර්යමත් වුණේ නැහැ. සිවිල් ඉංජිනේරු විද්‍යාවේ අංශ 7 ක් තිබුණා. මේ අංශ 7 න් හොඳම උපාධිධාරීන් 7 දෙනෙක් වසර අවසානයේ තෝරනවා. මේ වන කොට මම මේ අංශ හතෙන්ම හොඳම උපාධිධාරියා වුණා. මේක මගේ ජීවිතයේ තවත් ලොකු වෙනසකට මුල පිරුවා. 2001 දි මම පළමු පන්තියේ සාමර්ථ්‍යය සමඟ විශ්ව විද්‍යාලයට ආයුබෝවන් කිව්වේ මගේ සිවිල් ඉංජිනේරු දැනුමත් එක්ක සමාජයට යම් දෙයක් කරන්න ඕනැ කියා හිතුණු නිසා. ඒත් මට මේ වන විට PHD එකට සූදානම් විය යුතුව තිබුණා. මාත් එක්ක එකට ඉගෙන ගත් අය PHD එක කරන්න විදේශ රටවලට ගියා. ඒත් මම ඉගෙන ගත්තේ මේ රටේ දුප්පත් මිනිසුන්ගේ සල්ලි වලින් නිසා මේ රටට ගැළපෙන ආකාරයට සේවයක් කරන්න පුළුවන් විදියට මගේ PHD එක කරන්න ඕනැ කියලා මම තීරණය කළා. මගේ යාළුවෝ මට විහිළු කළා මේ රටේ ආචාර්ය උපාධිය කරලා කිසිම වටිනාකමක් නැහැ කියලා. මේ වන විට මම මේ විශ්ව විද්‍යාලයේම ආධුනික කථිකාචාර්යවරයෙක්. කවුරුත් කියන එ්වා කිරීමේ පුරුද්දක් මට තිබුණේ නැහැ. මගේ යායුතු මඟ මම හොඳින් දැනගෙන තිබුණා. මම 2008 දී මගේ ආචාර්ය උපාධිය සාර්ථකව සම්පූර්ණ කළා.”

මේ වන විට රංගික විවාහ දිවියටද පිවිස සිටියේය. ඔහුගේ බිරිය වෛද්‍යවරියකි. ඇය චරිතා පෝරුතොටය. ඔවුනට දියණියෝම දෙදෙනෙකි.

“මම අපේ රටේ ආචාර්ය උපාධිය සම්පූර්ණ කරන කොට සමහරු මා දිහා බැලුවේ ඇස් කොණින්. ඒ බැල්ම මට විශාල ශක්තියක් ගෙන දුන්නා. මට ජීවිතයේ තවත් ලොකුම අභියෝගයක් ගෙනදුන්නේ මම මොරටුව විශ්ව විද්‍යාල ආචාර්ය සංගමයේ සභාපති තනතුරට මාව පත්කළදා. මම තමයි මේ වන විට ළාබාලම සභාපතිවරයා වුණෙත්. මේ හේතුවෙන් මගේ ගමන් මඟත් ටිකෙන් ටික වෙනස් වෙන්න ගත්තා. ඒත් මම මගේ ජීවිතයේ ලොකුම පන්නරයක් ලබා ගත්තේ සමස්ත විශ්ව විද්‍යාල සංගමයේම සභාපති වුණදා. ඒ ගිය වසරේදි. මේ වන විට 1978 ඉපදුණු මගේ වයස අවුරුදු 38 යි. ඒ නිසා එහිත් ළාබාලම සභාපතිවරයා වුණේ මම. 2011හා 2012 දි අපි බැහැලා අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් සටන් කළා. හැම දේශපාලන පක්ෂයකත්, හැම ආචාර්යවරයකු සමඟත් මට මේ නිසා වැඩ කරන්න සිදුවුණා. වැඩිම කාලයක් ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති වුණු මට ජීවිතයේ ලබන්න පුළුවන් හැම අත්දැකීමක්ම ලැබුණා. මේ වන විට මම ගොඩාක් පර්යේෂණ කළා. හොඳ පර්යේෂණ කණ්ඩායමක් මට හිටියා. නිතරම ආචාර්ය උපාධිය හදාරන ශිෂ්‍යයෙක් මගේ ළඟ හිටියා. අපි එක පවුලක් විදියට වැඩ කළා”

තිරසර ද්‍රව්‍ය සොයාගැනීම සම්බන්ධයෙන් පේටන්ට් බලපත්‍ර හතක හිමිකරුවා වන රංගිකට මේ වසර තුළ දී පමණක් පේටන්ට් බලපත්‍ර දෙකක් ලබාගැනීමට හැකිවී තිබුණේ ඔහුගේ උත්සාහයත් කැපවීමත් මතය. ඒ බිත්ති ඉදිකිරීම පිණිස පස්වලින් කරන නිර්මාණ සහ ගොඩනැගිලි තුළට අධික රස්නය පැතිරීම වැළැක්වීම පිණිස උණ බටවලින් නිෂ්පාදනය කරන ලද පරිවාරක ක්‍රමයක් වෙනුවෙනි. එයින් පහක්ම ඇත්තේ පස්වලින් කරන නිර්මාණ සම්බන්ධවය. ඊට අමතරව වහලේ සිට නිවසට රස්නය පැතිරීම වැළැක්වීමේ ක්‍රම කිහිපයක්ම රංගික තම කණ්ඩායම හා එකමුතුව සොයාගෙන ඇත. රටේ ජනතාවගේ මුදලින් නිදහස් අධ්‍යාපනය හැදෑරු මේ තරුණ මහාචාර්යවරයාගේ ප්‍රධානම අවධානය යොමු වී තිබෙන්නේ ලාභදායී නිෂ්පාදනයක් ලබාදීමට වඩා පරිසර හිතකාමී නව නිර්මාණ නිපැයුම් කර රටට යමක් දෙන්නටය. “ 2011 දි මම වරලත් සිවිල් ඉංජිනේරුවෙකු ලෙස පත්වුණා. ඒ අතරම මම නොසෑහෙන්න පර්යේෂණය කළා.

විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකු අලුත් දැනුම සොයා යායුතුයි කියන මතයේ සිටි මම අන්තර්ජාතිකව වගේම දේශීය සම්මාන රැසකින්ම පිදුම් ලැබුවා. ඒත් මගේ ජීවිතයේ ලබන්න පුළුවන් සම්මානය මම පසුගියදා මම ලැබුවා.”ඔහු පවසයි.

රංගික සිය ජීවිතයේ කළ පරිසර හිතකාමි පර්යේෂණ වෙනුවෙන් හා එය ජනතාව අතර ප්‍රචලිත කිරීම වෙනුවෙන් මේ වසරේ TWAS-( The World Acadamy Of Science) මඟින් පිරිනමන Young Scientist 2017 හෙවත් ‘වසරේ තරුණ විද්‍යාඥයාට‘ හිමිවන අන්තර්ජාතික සම්මානයෙන් පිදුම් ලැබුවේය. එපමණක් නොව සමස්ත උපකුලපතිවරුන්ගේ සංගමයෙන් ලබාදෙන ඉහළම සම්මානය වන CVCD Globle Award 2016 වසරේදි දිනා ගත් ප්‍රථම මොරටුව විශ්ව විද්‍යාල විද්‍යර්ථියා වන්නේද රංගිකය. ඔහු සිය පර්යේෂණ ජනතාව අතරට ගෙන යමින් ඉටුකළ මෙහෙවර උදෙසා ඔස්ට්‍රියාව මඟින් Energy Globle Award සම්මානයේ පිදුම් ලබන්නේද 2016 වසරේදී ය. 2014 වසරේදි JCITOYP Award සම්මානයෙන් රංගික පිදුම් ලබන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයට ලබා දුන් නායකත්වය වෙනුවෙන් 'වසරේ තරුණ ලාංකිකයාට' හිමි සම්මානය දිනා ගනිමිනි. එසේම මේ වසරේදි ඔහු විසින් කරනු ලබන නව නිර්මාණ උදෙසා ඔහු ‘Most Outstanding Sri Lankan Award හෙවත් 'දක්ෂතම ශ්‍රී ලාංකිකයා'ට හිමි සම්මානය දිනා ගනිමිනි. 2013 වසරේ සිටම මොරටුව විශ්ව විද්‍යාලය මඟින් පිරිනමන 'විශිෂ්ට පර්යේෂණ සම්මානය'2013 වසරේ සිටම අඛණ්ඩව දිනා ගෙන ඇත්තේ රංගිකය. මේ රංගිකගේ ජයග්‍රහණයන්ගෙන් බිඳක් පමණි.

“අද මගේ ජීවිතයේ මහ ලොකු බලාපොරොත්තු නැහැ. සතුට කියන අකුරු තුනේ සැබෑ අරුත මම තරුණ කාලයේදීම හොඳින් අත්වින්දා. මම හැමදාම කළේ මා අගය කිරීම. එසේ නොවී අපිට කවමදාවත් අනිකුත් අය අගය කරන්න බැහැ. පැමිණි හැම අභියෝගයක්ම මාව හරවත් පුද්ගලයෙක් කළා. අද මම කිසි දේකින් සැලෙන්නේ නැහැ. ඒත් මගේ ජීවිතයේ තවත් බලාපොරොත්තුවක් තියෙනවා. ඒ මගෙන් ඉගෙන ගන්නා දරු පිරිස. ඒ දරුවන්ට මම දැනුම දෙන්නා වගේම මට ඒ අයට ජීවිතයක් දෙන්නට පුළුවන් නම්, ඒ දරුවන් මිනිසත්කමින් පිරිපුන් පිරිසක් කරන්න පුළුවන් නම් මම මගේ රටට කවදාවත්ම බරක් නැහැ කියලා මට සතුටු වෙන්න පුළුවන්”

රංගික හල්වතුර නම් වන ඔහු අද රටක් මෙන්ම ලොවක් දිනා ඇත්තේය. අපේකම සිය උරුමය කරගත් නිසා අද ජීවිතයද දිනා ඇත්තේ ය. උගත් විදු පියසට, නැණ නුවණ දුන් ගුරු මවුවරුන්ට මෙන්ම ලක්මවට බරක් නොවන්නේය. එහෙත් එළැඹෙන හෙට දිනයේ ඔහුට යායුතු මඟක් ඇත්තේය. ඒ සිය දරුවන්ද සමඟිනි. ඔහුගේ නිරහංකාරබව මෙන්ම ජීවිතයට එක්කළ ගමේකම ඔහු සිහිපත් කරන්නේ හදපිරි බැතියෙනි.

“ඇත්තටම සන්තෝසයි. මොකද මම හරිම පොඩි තැනකින් ආපු මනුස්සයෙක්. මම ඔය කියන ජනප්‍රිය පාසල්වලින් ඉගෙනගත්ත කෙනෙක් නෙවෙයි. එ්ත් මම මට ලැබුණු සම්මාන නිසා උදම්වෙන්නෙත් නැහැ. එය මගේ යුතුකමක්. ලක්මාතාවට මගේ ගෞරව කිරිමක්.” රංගික පවසන්නේය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.