වීසා නැතිව ආ අමුත්තෝ දැන් අපේ රටේ | සිළුමිණ

වීසා නැතිව ආ අමුත්තෝ දැන් අපේ රටේ

 

ලොව බොහෝ රටවලට මේ උදාවී ඇත්තේ ශීත සමයයි. මේ සමයේදී අපේ රටේ උණුසුම පතා විවිධ රටවල සංචාරකයන් මෙරටට පැමිණෙන්නේ ලංකා රජයේ අවසරය ලද වීසා රැගෙනයි. ඒ මිනිස් ලෝකයේ හැටිය. එහෙත් කිසිදු අවසරයකින් තොරව වසරක් පාසා ලංකාවට පැමිණ රිසිසේ ලංකා උණුහුමේ නවාතැන් ගෙන අවට සැරි සරා කා බී විනෝද වී යන පිරිසක් ද මේ අතර වෙති. මේ අයට සීමා මායිම් නැත . ඔවුන්ගේ ලෝකය සුන්දරය. එලෙසම වර්ණවත්ය. වසරක් පාසා නිහැරියන් ලෙස ලංකාවට එන මොවුන් ගේ නිහැරි සමය මේ වන විට ඇරැඹී ඇත.

මහාචාර්ය සරත් කොටගමයන් පවසන අන්දමට නිහැරි කුරුල්ලෝ යනු සෑම වසරකම එකම කාලයක ලංකාවට පැමිණෙන පක්ෂීහුය. බොහෝ විට ලංකාවට ඉහළින් වූ භූමි කලා‍පයේ විශාලත්වය නිසා ද ලංකාවට පහළින් ඇති මුහුදු කලාපය නිසා ද ශිත කාලයේ විවිධ රටවලින් පියඹා එන නිහැරියන්ගේ නවාතැන වන්නේ ලංකාවයි. ලංකාවේ පිහිටීම ද නිහැරි කුරුල්ලන් ලංකාවට පැමිණීමට එක් හේතුවකි. එනිසා යුරෝපා රටවලින් මෙන්ම අවට ආසියා රටවලින් ද පැමිණෙන නිහැරියන්ට අන්තිම නවාතැන්පොළ වන්නේ ලංකාවයි.

ලංකාවට පැමිණෙන නිහැරි කුරුල්ලෝ

ලංකාවේ කුරුලු වර්ග පන්සියයකට ආසන්න සංඛ්‍යාවක් වෙති. ඉන් අඩක් පමණම හඳුනාගෙන ඇත්තේ නිහැරි කුරුල්ලන් ලෙසයි. මේ ආකාරයට නිහැරි කුරුල්ලන් වර්ග 200 කට වැඩි පිරිසක් ලංකාවට එන අතර වර්ෂයකට එක් වරක් හෝ දෙවරක් පමණක් දැකිය හැකි කුරුලු වර්ග ද මේ අතර වෙති. ලංකාවේ නිහැරි කුරුලු සමය ඇරැඹෙන්නේ අගෝස්තු මස සිටය . එතැන් පටන් ඔක්තෝබර් වන තුරුම බොහෝ කුරුලු විශේෂ ලංකාවට ඒමට පටන් ගනී. දෙසැම්බර් ජනවාරි මාර්තු අප්‍රේල් යන මාස දක්වාම මේ අතරින් වැඩි පිරිසක් ලංකාවේ ගත කරයි. අප්‍රේල් වන විට මේ අය නැවත ඔවුන්ගේ රටවලට යෑම අරඹති.

එක් එක් කුරුලු වර්ග මෙරටට පැමිණෙන්නේ එක් එක් කාල වකවානුවලය. මේ අයගේ විශේෂත්වය වන්නේ උන් අප රටේදී බිත්තර දමා පැටවුන් බිහිනොකිරීමය. ඔවුන් බොහෝ විට ලංකාවට එන්නේ ප්‍රජනන කාර්යයට නොවේ. මේ අය ජීවත්වන රටවල මෙන්ම ප්‍රදේශයන් හි දේශගුණික විපර්යාස හා ආහාර හිඟ වීම එයට හේතුවයි. ඔවුන් ආහාරයට ගන්නා කෘමීන්, පණුවන්, පලතුරු වැනි ආහාර ශීත කාලයේ දී සොයා ගැනිමට ඇති අපහසුව මෙයට තදින්ම බලපායි. ඒ වගේම අධික ශීතල නිසා ඔවුනට ආහාර සොයා ගන්නට ඇති කාලය අඩුවීම ද තවත් හේතුවකි.

මේ කුරුල්ලන් අප රටට පැමිණෙන්නේ උතුරු ඉන්දියාව හා යුරෝපීය රටවලිනි. වැඩි කුරුල්ලෝ පිරිසක් උතුරු ඉන්දියාවේ සිට ඔක්තෝබරයේ දී දුරු කතර ගෙවා පැමිණෙති. විශේෂයෙන්ම කුරුල්ලෝ සංවහනධාරා භාවිතයෙන් වැඩි වශයෙන් ලංකාවට පැමිණෙන අතර කුඩා කුරුලු විශේෂ රාත්‍රී කාලයේ දීත් ලොකු කුරුලු වි‍ශේෂ දහවල් කාලයේ දීත් මෙරටට පියඹා එති.

කොළඹ ආශ්‍රිතව මෙන්ම අප ගෙවතු ආශ්‍රිතවත් මේ නිහැරි කුරුලු විශේෂ මේ කාලයේ දී දැක ගත හැකිය. ඒ අතර නිල් පෙද බිඟු හරයා නිහැරි කුරුල්ලන් අතරින් මුලින්ම පාහේ නෙත ගැටෙන කුරුල්ලාය. ඌ කොළඹ වැනි ජනාකීර්ණ ප්‍රදේශවල ඇන්ටෙනා හා විදුලි කම්බි වැට උඩ නිතර දක්නට ලැබේ. අටු වැහිලිහිණියා ප්‍රමාණයෙන් කුඩාය. රාත්‍රියේ දී රංචුවක් ලෙස ලැඟුම් ගැනීමට ප්‍රිය කරන මේ කුරුල්ලා රත්නපුරය ප්‍රදේශයේ විදුලි කම්බි මත දහස් ගණනින් රාත්‍රියේ ලැගුම් ගෙන සිටිනවා දැක ගත හැකිය.

කැලෑ හලපෙන්දා තම පෙඳය රටාවකට වනමින් ගෙවත්තේ බිම ආහාර සොයමින් ගැවසෙන කුරුල්ලෙකි. ඌ ඉතාමත් ක්‍රියාශීලි කුරුල්ලෙකි. සුදු රෙදි හොරා ලෙස හඳුන්වන ආසියා සුදු රැහන්මාරා ගේ පිරිමි සතාගේ පමණක් දිගු පෙඳයක් පිහිටයි. ගැහැනු කුරුල්ලා රතු-දුඹුරු පැහැයක් ගන්නා අතර පිරිමි කුරුල්ලාගේ කුඩා කාලයේදී ද ඈත්තේ රතු-දුඹුරු වර්ණයකි. අවිච්චියාද ඉතාමත් වර්ණවත් කුරුල්ලෙකි. අවිච්චියා මදක් පමාවී ලංකාව වෙත පැමිණෙන නිහැරී කුරුල්ලෙකි. බිම වැටී දිරායන කොළරොඩු අවුස්සමින් ගොදුරු සොයන අවිච්චියෙකු ගෙවත්තේත් සිටී දැයි විමසිලිමත් වන්න. බොර සබරිත්තා කෘමීන් මෙන්ම කුඩා කටුස්සන් වැනි සතුන් ආහාරයට ගනී. වැටක කටු කම්බියක ලැගුම් ගෙන සිටින මේ කුරුල්ලන් ඔබට දැක ගත හැකිය.

කුඩා කුරුල්ලකු වන දුඹුරු මැසිමාරා ද සමහර ගෙවතුවල දැකගත හැකි කුඩා කුරුල්ලෙකි. ඌ වර්ණවත් කුරුල්ලෙකු නොවුණත් ප්‍රිය උපදවන කුරුල්ලෙකි. මේ අය මෙලෙස පුරුද්දක් ලෙස ලංකාවට පැමිණෙන්නේ ජානමය බලපෑම මත හෝ සංසාර පුරුද්දට බව ‍විද්වතුන්ගේ අදහසය.

මේ කාලයේදී පරිසරය වර්ණවත් කරන ‍නිහැරි කුරුලු විශේෂ විශාල වශයෙන් එකතු වන්නේ ජලාශ අවටය. මන්නාරම ප්‍රදේශයේ ජලාශවල විශාල රංචු වශයෙන් නිහැරියන් අපට දක්නට ලැබෙයි. රංචු වශයෙන් මෙන්ම ජෝඩු සහ තනි වශයෙනුත් මේ නිහැරියන් දැකිය හැකිය.

මේ නිහැරි කුරුල්ලන්ට ඇති තර්ජන එමටය. ලෝකයේ නිහැරි කුරුල්ලන් අතරින් සියයට 40ක් පමණම අඩු වෙමින් පවතින බවත්, නිහැරී කුරුලු රටාසමයන් 200 ක් පමණ මේ වන විටත් ජාත්‍යන්තරව වඳවී යෑමේ තර්ජනයට ලක්වී ඇති බවත් කුරුලු ජීව ජාත්‍යන්තරය සොයා‍ ගෙන ඇත.

ඒ අතර සැතපුම් දහස් ගණනක් දුරු කතර ගෙවාගෙන එන විට මේ නිහැරියන්ට විවිධ පක්ෂීන්ගෙන් මෙන්ම සතුන්ගෙන් ද කරදර ඇතිවිය හැකිය. ඔවුන් පසුගිය වසරේ පැමිණි තෙත් බිම් ස්ථාන විනාශ වී තිබිය හැකියි. විවිධ ඉදිකිරීම් කර තිබිය හැකිය. මේ නිසා ඔවුන්ට යම් තර්ජනයක් නිතරම පරිසරයෙන් ඇති විය හැකිය. එවැනි නිහැරිටන්ට අපි ආරක්ෂාව ලබා දිය යුතු වෙමු. නිහැරි කුරුල්ලකු හඳුනාගත් විට අපි පළමුව කළ යුත්තේ උන්ට ආරක්ෂාව සැලැසීමය. උන් අපහසුවෙන් ඉන්න බවක් හැ‍ඟෙනවා නම් වතුර බිඳක් පෙවිය හැකියි. නමුත් මේ අයට බලෙන් කෑම දීමට උත්සාහ නොකළ යුතුය. එළියට යෑමට අපහසු නම් වාතාශ්‍රය ඇති තැනක, කලබල නැති තැනක තැබිය හැකිය. කටුවක් වැනි දෙයක් ඇනී ඇත් නම් පශු වෛද්‍යවරයකු වෙත යොමු කළ හැකියි. එසේ නැති නම් පක්ෂි විද්‍යා ආයතනය අමතා වැඩි දුර උපදෙස් ලබාගත හැකිය.

කොළඹ විශ්ව විද්‍යාලයේ ක්ෂේත්‍ර පක්ෂි විද්‍යා අධ්‍යයන කවය 1976 දී මහාචාර්ය සරත් කොටගම ඇතුළු කුරුලු ලෝලීන් කිහිපදෙනෙකුගේ මුලිකත්වයෙන් පිහිටුවූවකි. ලෝකයේ වඩාත්ම පැතිරුණු සංරක්ෂණ සංවිධානයක් වූ කුරුලු ජීව ජාත්‍යන්තරයේ ශ්‍රී ලාංකික නියෝජිත ආයතනයද මෙයයි. එසේම එය කුරුල්ලන් පිළිබඳ පර්යේෂණ සිදුකිරීම මෙන්ම කුරුල්ලන් නැරැඹීම මෙරටෙහි ප්‍රචලිත කිරීමට ඉතාම ඉහළ කාර්ය භාරයක් ඉටු කරයි.

(ක්ෂේත්‍ර පක්ෂි විද්‍යා අධ්‍යයන කවයේ සාමාජික මාලක රොඩ්රිගෝ සමඟ කළ කතාබහක් අසුරෙන් සැකසිණ.)

 
 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.