හැඩ රුවට මෙන්ම පිරිසුදු බවටත් මුල්තැනක් දෙන්න | සිළුමිණ

හැඩ රුවට මෙන්ම පිරිසුදු බවටත් මුල්තැනක් දෙන්න

ඔබ හිතා සිටින්නේ ලස්සන වෙන්න නම් ඔබේ සිරුරේ දුර්ගන්ධය පිළිබඳ විශේෂ අවධනයක් යොමු කළ යුතු වේ.ඔබේ සිරුරේ දුර්ගන්ධය ඔබ පමණක් නොව ඔබේ හිතවතා අසල් වැසියා සැමියා බිරිය හා දරුවන් පීඩාවට පත්කරනු ලබයි. සිරුරේ දුර්ගන්ධය මැඩ පවත්වා ගැනීම සඳහා දිනපතා දිය නෑම හා ඇඟ සේදීම කළ යුතු වේ. දිය නා ශරීරය පිරිසුදු කරද්දී කිහිලි හා ඉකිලි හොඳින් සෝදා පිරිසුදු කර ගත යුතුය.

මිනිස් සිරුරින් වහනය වන ගන්ධයන් අතර දරාගත නොහැකි ගන්ධය වන්නේ දහදිය ගන්ධයයි. මිනිස් සිරුර පුරාම ස්නේහ ශ්‍රාවය ඉන්ද්‍රියන් පිහිටා ඇති බැවින් මුලු සිරුරින්ම දහදිය වැහේ. එහෙත් දහදිය ගඳ ඇතිවන්නේ කිහිලි හා ඉකිලි පුදේශයන්ගෙන් වහනය වන දහදිය වල පමණි. මිසුන්ගේ මනුස්ස ගන්ධය වහනය වන්නේ කිහිලි හා ඉකිලි ප්‍රදේශ වලිනි. ඉකිලි හා කිහිලි ප්‍රදේශයන්ගෙන් අධික දුර්ගන්ධයක් හෝ දරා ගත නොහැකි දහදිය ගඳක් වහනය වන්නේ නම් ඔබ ඒගැන අවධානය යොමු කළ යුතුවේ. කිහිලි හා ඉකිලි ප්‍රදේශයන්ගෙන් වහනය වන දහදිය හා මුසුව බැක්ටීරියා ක්‍රියාත්මක වීම හේතුවෙන් දහදිය ගඳ අධික ලෙස පැතිරේ. සම පිරිසුදුව තබාගැනීම සඳහා මෘදු සබන් වර්ගයක් හා පිරිසුදු ජලය භාවිත කල හැකිය. බෙලි කොළ තම්බා ඇඟ සේදිම හෝ බෙලි කොළ ඇල්දියෙන් අඹරා සිරුරේහි ගැල්විමට පසු ස්නානය කිරීම මගින් දහදිය දුර්ගන්ධය නැති කර ගත හැකිවේ. කොහෙඹ කොළ තම්බා ඇඟ සේදීම, ගංසූරිය හා අට්ටික්කා පොතු තම්බාඇඟ සේදීම කළ හැකිය. මේ ද්‍රවයන්ගෙන් අතරට නුග, බෝ පොතුද එක්කර ගැනීම යෝග්‍ය ය. මේ ද්‍රව්‍යන්ගෙන් සම සේදූ පසු යළි ජලයෙන් සෝදා දැමීම නොකළ යුතුවේ.

දුගඳ වළක්වා ගැනීම

කිහිලි හා ඉකිළි පිරිසුදුව හා වියලීව තබා ගැනීම මගින් දුර්ගන්ධය වළක්වා ගත හැකිවේ.යට ඇඳුම් සඳහා කපු රෙදි භාවිතය ඉතා වැදගත්ය. දහදියඇදුම්වලට උරාගැනීම මගින් සිරුරේ තෙතමනය පාලනය වේ. ඇතැම් පුද්ගලයන්ගේ කිහිලි හා ඉකිලි ප්‍රදේශයන්ගෙන් ඉටි වැනි ද්‍රව්‍යක් වහනය වේ. ඒවා ඉවත්කර ගැනීමට මෘදු සේදුම් කාරක භාවිතය යෝග්‍ය ය.

එම ප්‍රදේශයන් හි ස්වභාවයෙන්ම රෝම වර්ධනය වේ. මෙ රෝම මගින් එම ස්ථානයන් කරා විෂබීජ ළඟා වීම ස්වභාවයෙන්ම පාලනය ට ක්‍රියා කරයි. එහෙත් වර්තමානයේ අපි අනවශ්‍ය රෝම සේ නම් කර සිරුරේ ආරක්ෂණ පද්ධතිය ඉවත් කරදමමු. ඒ හේතුවෙන් රෝග කාරක පහසුවෙන් එම ස්ථාන කරා ළගා වී ක්‍රියාත්මක වේ. විෂ බීජනාශකයක් ලෙසද හොඳ සේදුම් කාරකයක් ලෙසද භාවිත කළ හැකි වෙනිවැල් තම්බා ඇඟ සේ දීම කිහිලි හා ඉකිලි ආශ්‍රීත රෝග තත්තවයන් සමනය කරයි.

සුදු හඳුන් හම ආශ්‍රිත පිරිසිදු කිරීම් හා වර්ණය හා සුගන්ධය ඇති කර ගැනීම සඳහා භාවිත කළ හැකිය. සුදු හඳුන් ඇල්දියෙන් ගල ගා සිරුරේ ආලේප කර මද වේලාවකින් ස්නානය කිරීම මගින් යහපත් ප්‍රතිඵල ලබා ගත හැකිවේ. අමු කහ ඇල්දියේන් ගල ගා සිරුරේ තවරා විනාඩි කිහිපයක් සිට ස්නානය කිරීමෙන් සම මතුපිට ක්‍රියාත්මක වන රෝග කාරක සමනය කර සම සුගන්ධවත් කර ගත හැකිවේ. ඒ සමඟම අමු කහ සමේ වර්ණය පැහැපත් කරයි. ම කොකුම් පොතු , නාමල්රේණු , නෙලුම් රේණු‍,හීන් උඳුපියලිය ආදිය ඇල්දියෙන් අඹරා ගෑම මගින් සිරුර සුවඳවත් කරයි. සම මෘදු හා පැහැපත් කරයි.

දහ දිය ගන්ධය වළක්වා ගැනිම සඳහා වර්තමානයේ දී වැස්ලින් වැනි ආලේපන භාවිතයට අපි හුරුවී සිටිමු. එමගින් රෝමකුප වැසී ගොස් සිරුරේ සාමාන්‍ය ක්‍රියා කාරීත්වය ට බාධා පමුණුවයි. එය ඔබ රෝගී කිරීමට හේතුවක් වනු ඇත. සිරුරේ දුගඳ සමනය කර ගැනීම සඳහා රුධිරයේ පිරිසිදු බව හේතුවේ. වැඩි ජල ප්‍රමාණයක් පානය කිරීම හා රුධිරය පිරිසුදු කර ගැනීම මගින් යහපත් ප්‍රතිඵල ළඟා කර ගත හැකිය. ලේ පිරිසුදු කර ගැනීම සඳහා ඇට ඉවත්කර ගත් වියලි නෙල්ලි අහුරකට පොත්ත ඉවත්කරගත් අමු රසකිඳ අහුරු දෙකක් දමා තම්බා බීම සුදුසු වේ. ඉරමුසු, සැවැන්දරා, සුවඳ කොට්ටං ඇල්දියෙන් අඹරා ඇඟ ගා පසුව ස්නානය කිරිම මගින්ද සම සුගන්ධවත් කරගත හැකිය.

පවස නිවා ගැනීම

ඉරමුසු පොල්පලා බෙලිමල් ආදියෙන් එක් වර්ගයක් දිනකට තම්බා පිපාසය සංසිඳවා ගැනීම සඳහා පානය කිරීමෙන් සිරුරේ දුර්ගන්ධය පාලනය කර ගත හැකිවේ. මේ සඳහා බෙලි ගෙඩියේ කටුව තම්බා බීම ද සුදුසු වේ. බෙලිකොළ, හීන් උඳුපියලිය හා ඉරමුසු කැඳ පිස පානය කිරීමෙන් සිරුර සුවඳවත් වේ. හිස් හොරි හා උකුණන් හෙතුවෙන් හිසෙහි ඇතවන දුර්ගන්ධය ඉතා අප්‍රසන්නය. හිසේ දුර්ගන්ධය සමනය කර ගැනීම සඳහා උලුහාල් දෙහි තම්බා ක්‍රීම් එකක් සේ සකසා ස්නානයට පෙර හිස ගල්වා මඳ වේලාවක් හිදි ස්නානය කළ යුතුය. ඒසඳහා ගොඩපර ගෙඩි භාවිත කළ හැකිය. ඔබ සෙම් බහුල අයෙක් නම් ගොඩපර ගෙඩි තම්බා පොඩිකර ස්නානයට පෙර ආලේපකර මද වේලාවක් හිඳ ස්නානය කරන්න. එබ සෙම් රෝගයෙකු නොවෙ නම් අමු ගොඩපර තලා හිස ගල්වා ගත හැකිය. ඒ සඳහා වෙරලු කොළද ඉතා හොඳ ප්‍රතිඵල ළඟා කරයි. එහෙත් ඔබ සෙම බහුල අයෙක් නම් ශීත ගුණ දෙන වෙරලු කොළ භාවිතය යෝග්‍ය නොවේ.

දිනපතා ස්නානය

දිනපතා ස්නානය මෙන්ම දිනපතා ඇඳුම් මාරු කිරීම දිනපතා ඇඳුම් සේදීම ද සිරුරේ ඇතිවන දුගඳ සමනය කර ගැනීමට උපකාරිවේ. යට ඇදුම් භාවිතයේදී මාස තුනකට වඩා එක් යට ඇඳුමක් නොඇඳීමට වගබලා ගත යුතුවේ. ඇදුම් තද අව්වේ දමා වියලා ගැනීම ඔබේ නීරෝගීබවට උපකාරීවේ. බොහෝ විට අප සුගන්ධවත් වීම සඳහා සුවඳ ද්‍රව්‍ය අලේප කරමු. ඔබේ ඇඳුම් අතර සැවැන්දරා මුල් පැලැල්ලක් රඳවා තැබීමෙන් ඔබේ ඇඳුම් සුවඳවත් කරගත හැකිය. එහෙත් අහේතුකව ඔබේ සිරුරින් පලතුරු සුවඳ වහනය වන්නේ නම් ඔබ වෛද්‍යයරයෙකු හමු විය යුතුය. මක්නිසාද යත් එය දරුණු මදුමේහය හෙවත් දියවැඩියා රෝගී තත්තවයක පෙර නිමිති වේ. සිරුර සුවඳවත් වූවද දුඟදින් තොර වුවද, ප්‍රමාණවත් නැත. ඔබේ සිතද සුවඳවත් විය යුතුය. ඊර්ෂ්‍යා ,මද, මාන, ක්‍රෝධ, වෛර සිතිවිලි ඉවත ලා අනෙකාට ගෞරව කිරීමට ද, අනෙකාගේ කුසලතාව අගය කිරිමට ද, අනෙකාට මෛත්‍රි පෙර දැරිව කතා කිරීමට ද ඔබ පෙළඹිය යුතුය. ඉන් ඔබේ ගුණ සුවඳ පැතිරේ. ඒ මෙලොව ඇති කෘතීම සියලු සුගන්ධයන්ට වඩා සුවඳවත්ය.

ටෙක්ලා පද්මිණි කාරියවසම්
ඡායාරූපය - සුදම් ගුණසිංහ 

Comments