බලශක්ති කාර්යක්ෂමතාව වැඩි කර ගත්තොත් තේ කර්මාන්තයෙන් වැඩි ලාබ | සිළුමිණ

බලශක්ති කාර්යක්ෂමතාව වැඩි කර ගත්තොත් තේ කර්මාන්තයෙන් වැඩි ලාබ

 බලශක්තිය අරපිරිමැස්මෙන් සහ කාර්යක්ෂමව භාවිත කළ හොත් අඩු වියදමකින්, ගුණාත්මක අතින් ඉහළ තේ නිෂ්පාදනය කරගැනීමට පුළුවන. සුනිත්‍ය බලශක්ති අධිකාරියේ බලශක්ති කළමනාකරණ අංශයේ ඉංජිනේරු විජිත ඒකනායක මහතා සමඟ අප මේ සම්මුඛ සාකච්ඡාව සිදු කළේ ඒ හා සම්බන්ධ කාරණා අනාවරණය කරගැනීමටයි.

සැප් 10 2ප්‍රශ්නය: තේ කර්මාන්ත ශාලා තුළ බලශක්ති භාවිතය ගැන කතා කිරීම විරලව සිදුවන්නක්. ඒ ගැන කතා කිරීම වැදගත් ඇයි?

පිළිතුර:ශ්‍රී ලංකාවේ තේ කර්මාන්ත ශාලා 700ක් පමණ තිබෙනවා. මේ කර්මාන්ත ශාලා උඩරට, පහත රට සහ මැද රට තේ කර්මාන්ත ශාලා හැටියට වෙන් කරන්න පුළුවන්. උඩරට තේ කර්මාන්ත ශාලා තිබෙන්නේ 150ක් පමණ. ඉතිරි සියල්ල අයත් වන්නේ මැද රට සහ පහත රට තේ කර්මාන්ත ශාලා ගණයට. මෙරට විදුලිය භාවිතයෙන් 7%ක් පාවිච්චි වෙන්නේ මේ කර්මාන්ත ශාලා තුළ. අනෙක් අතට දළ දේශීය නිෂ්පාදිතයෙන් 65%කට ආසන්න ප්‍රමාණයක් ලැබෙන්නේ තේ අපනයනයෙන්. ඒ වගේම රටේ ශ්‍රම බළකායෙන් 10%කට ආසන්න පිරිසක් තේ කර්මාන්තය තුළ නියැළිලා ඉන්නවා. ඒ නිසා ඒ ගැන කතා කිරීම, ඒ ගැන දැනුවත් භාවයක් ලබාගෙන සිටීම වැදගත්.

ප්‍රශ්නය: තේ කර්මාන්ත ශාලා තුළ භාවිතයට ගැනෙන්නේ කවර ආකාරයේ බලශක්ති ප්‍රභවද?

පිළිතුර: ඩීසල්, දර සහ විදුලි බලය යන ප්‍රභව භාවිතයට ගැනෙනවා.

ප්‍රශ්නය: මේ බලශක්ති ප්‍රභව තේ කර්මාන්ත ශාලා තුළ භාවිතයට ගැනෙන්නේ දළ වශයෙන් කුමන පරිමාණවලින්ද?

පිළිතුර: තේ කර්මාන්ත ශාලාවක් තුළ දර භාවිතය හුඟක් ඉහළයි. තේ කර්මාන්ත ශාලාවක සමස්ත බලශක්ති පරිභෝජනයෙන් 80%ක්ම කෙරෙන්නේ දර දහනයෙන්. විදුලි බල භාවිතය 10%ක් තරම්. අනෙක් කොටස ඩීසල් දහනයෙන් ලබාගන්නේ.

ප්‍රශ්නය: තේ කර්මාන්ත ශාලාවක බලශක්තිය සඳහා කෙරෙන වියදම කෙබඳුද?

පිළිතුර: දර සහ විදුලිය සඳහා දරන්න වන පිරිවැය 40%ත් 55%ත් අතර මට්ටමක පවතින්නේ. තවත් 5%ක් පමණ දරන්නට සිදුවන්නේ කර්මාන්ත ශාලාව තුළ පාවිච්චි වන ජෙනරේටර් ආදියට අවශ්‍ය ඩීසල් වෙනුවෙන්.

ප්‍රශ්නය: දර භාවිතය අර්බුදකාරී මට්ටමක නොවෙයිද පවතින්නේ?

පිළිතුර: ඒ ගැන ගැටලු තිබෙනවා.

ප්‍රශ්නය: එහෙම් ඇයි තවමත් දරම භාවිතයට ගන්නේ? ඊට විකල්පයක් නැද්ද?

පිළිතුර: දර පාවිච්චි කරන්න සිදු වෙලා තිබෙන්නේ ඩීසල් සහ දැවි තෙල් ගණන් නිසා. තේ දළු වියළා ගැනීම සඳහා බලශක්තිය විශාල ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඊට බොයිලේරු ආදිය භාවිතයට ගැනෙනවා. ඒ නිසා දර භාවිතයට ගන්න එක වාසියි. පහසුයි.

ප්‍රශ්නය: තේ කර්මාන්ත ශාලාවක කුමන කුමන කාර්යයන් සඳහාද බලශක්තිය වැඩිපුරම භාවිතයට ගැනෙන්නේ?

පිළිතුර: අමු තේ කොළ මැලවුම් තත්ත්වයට (withering) පමුණුවා ගන්න කාර්යය ඒ අතර ඉතා වැදගත්. තේ සැකසුම සඳහා පාවිච්චි වන විදුලියෙන් 45% - 50%ත් අතර ප්‍රමාණයක් වැය වෙන්නේ මේ කාර්යයට. ඊළඟට වැදගත් වෙන්නේ ඇඹරීම සහ කොටස් කිරීම කියන කාර්යාවලිය (rolling and roller breaking process). ඊට 25% - 30%ත් අතර විදුලිය ප්‍රමාණයක් පාවිච්චි වෙනවා. වියැළීම සඳහා 10%ක පමණ විදුලිය ප්‍රමාණයක් අවශ්‍යයයි. වර්ග කිරීම සහ ඇසුරුම් කිරීම (grading and packing) සඳහා 5%ක පමණ බලශක්ති ප්‍රමාණයක් වැය වෙනවා.

ප්‍රශ්නය: කර්මාන්ත ශාලාවට රැගෙන එන අමු තේ කොළ මලානික තත්ත්වයට පමුණුවා ගන්න (withering) බලශක්තිය විශාල ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ ඇයි?

පිළිතුර: බැහැරින් ගෙන එන අමු තේ කොළ, දැලක අතුරාගෙන මැලවුම් කාර්යය කෙරෙන්නේ. මේ කාර්යයට අශ්ව බල 10යේ වැඩි ධාරිතාවකින් යුත් මෝටරයත් පාවිච්චි වෙනවා. පැය 10ක – 12ක පමණ කාලයක් මෝටරය ක්‍රියාත්මක වෙනවා. එතැනදී සිදු වෙන්නේ උණුසුම් වාතය අමු තේ කොළවලට ලබාදීමක්. අමු තේ කොළ මේ අන්දමට මැලවුම් තත්ත්වයට පමුණුවා ගත යුත්තේ හොඳ පරිස්සමෙන්. එතැනදී තමයි තේ කොළවල ගුණාත්මකභාවය පවත්වා ගැනීම ආරම්භ කළ යුත්තේ. ඒ නිසා පාලනයකට යටත්ව මේ ක්‍රියාවලිය කරගෙන යෑම ඉතා වැදගත්.

ප්‍රශ්නය: ඇඹරීමේ සහ කොටස් කිරීමේ ක්‍රියාවලිය තුළ බලශක්තිය භාවිතයට ගැන්නේ කොහොමද?

පිළිතුර: මේ ක්‍රියාවලියට අශ්ව බල 15 පමණ මෝටර යොදා ගැනෙනවා. අපේ තේ කර්මාන්ත ශාලාවල තවමත් දක්නට ලැබෙන්නේ එක්දහස් නවසිය හැට ගණන්වල මෝටර. අලුත් තාක්ෂණය සහිත මෝටර මේ සඳහා පාවිච්චි කරන්න දැන් පුළුවන්කම තියෙනවා. කොටස් බවට පත් කරගත් තේ පැය එකහමාරක් පමණ අතුරා තබනවා. ඊළඟ අදියරේදි වියළීමේ යන්ත්‍රවලට එහෙමත් නැත්නම් ඩ්‍රයර්ස්වලට යවන්නේ ඒ විධියට සකසා ගත් තේ.

ප්‍රශ්නය: දර මඟින් ජනනය කෙරෙන බලශක්තිය භාවිතයට ගැනෙන්නේ කිනම් අවස්ථාවේදීද?

පිළිතුර: දරවලින් ජනනය කෙරෙන ශක්තිය පාවිච්චි වෙන්නේ වියැළීමේ ක්‍රියාවලිය තුළදී. වියැළීමේ යන්ත්‍රවලට යොමු කෙරෙන තේ සෙන්ටිග්‍රේඩ් අංශක 120ක පමණ උෂ්ණත්ව තත්ත්වයක තබා ගත යුතුයි. දර දහනයෙන් ක්‍රියාත්මක බොයිලේරු හෝ දර උඳුන් හෝ ඊට යොදා ගන්නවා. එයින් ලැබෙන තේ තමයි ශ්‍රේණිගත කිරීම්වලට සහ ඇසුරුම්වලට යවන්නේ. ශ්‍රේණිගත කිරීම්වලදී සහ ඇසුරුම්වලදී බලශක්තිය අවශ්‍ය වන්නේ සාපේක්ෂව අඩුවෙන්.

ප්‍රශ්නය: පහත රට තේ සහ උඩරට තේ නිෂ්පාදන කර්මාන්ත ශාලාවලදී භාවිතයට ගැනෙන බලශක්ති ප්‍රමාණයන් වෙනස්ද?

පිළිතුර: පහත රට තේ කර්මාන්ත ශාලාවලදී තේවල පාට වැදගත් කොට සලකනවා. එහිදී සිදුවෙන්න් කළු පාට තේ ලබාගැනීම. එවැනි තේ සඳහා රුසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉරානය, ඉරාකය වැනි රටවලින් වැඩි ඉල්ලුමක් තිබෙනවා. එනිසා පහත රට තේ නිෂ්පාදනයේදී වර්ණ වෙන් කර ගැනීමක් සිදු වනවා. මේ කාරණය නිසා එම තේ කර්මාන්ත ශාලාවල සිදු වන ශ්‍රේණිගත කිරීම් සහ ඇසුරුම්වලදී 10%ක පමණ විදුලිය භාවිතයක් සිදු වනවා. ඒත් උඩරට තේවලදී වැදගත් වන්නේ රසය. එම තේ ශ්‍රේණිගත කිරීමට සහ ඇසුරුමට වැයවෙන්නේ 5%ක පමණ විදුලිය ප්‍රමාණයක්.

ප්‍රශ්නය: තේ කර්මාන්ත ශාලාවක බලශක්ති භාවිතය වඩාත් කාර්යක්ෂම මට්ටමකට රැගෙන එන්න මොනවද කළ යුත්තේ?

පිළිතුර: කාර්යක්ෂමතාව ඉහළ අඩු ධාරිතාවක් සහිත මෝටර, විචල්‍ය වේග ධාවක පද්ධති ආදිය භාවිතයට ගැනීම වැදගත්. ඒ වගේම ඇලුමිනියම්වලින් නිම කරන ලද පංකා සහිත මෝටර යොදගත යුතුයි. පද්ධති හරියාකාරව නඩත්තු කිරීම වැදගත්. මැලවුම් යන්ත්‍රයට තේ දලු අතුරන විට එය පිරෙන්නම තේ දලු දමා ගත යුතුයි. මැලවුණු කොළ අඹරන විට ස්වයංක්‍රියව තේ ලබා ගන්න සහ පීඩනය පාලනය කරගන්න පද්ධතියක් භාවිත කිරීම සුදුසුයි. පෙරළීම සහ කොටස් කිරීම සිදු කෙරෙන විට ඊට අවශ්‍ය උෂ්ණත්වය සහ තෙතමනය පවත්වාගෙන යෑම වැදගත්. උපරිම ප්‍රතිදානයක් (output) ලැබෙන පරිදි වියැළුම් යන්ත්‍ර භාවිත කිරීම සුදුසුයි. ශ්‍රේණිගත කිරීම්වලදී සහ අසුරුමේදී පීඩනයකට යටත් කරන ලද වාතය භාවිත වනවා. ඒ සඳහා සරිලන කොම්ප්‍රෙෂර පාවිච්චි කිරීමත් වියදම අඩු කරගන්න මඟක්. මෝටර ක්‍රියාත්මක කිරීමේදී එකවර සියලු මෝටර ක්‍රියාත්මක නොකර එකින් එක ක්‍රියාත්මක කිරීම වැදගත්. ඒ වගේම දවසේ විදුලි ඉල්ලුම අඩු අවස්ථාවන්හිදී යන්ත්‍ර ක්‍රියාකරවීමත් විදුලිය වියදම අඩුකරගන්න විධියක්.

ප්‍රශ්නය: බලශක්ති සංරෂණ කාර්යයේදී කර්මාන්ත ශාලාවේ නිමාවත් වැදගත්ද?

පිළිතුර: ඔව්, පාරදෘශ්‍ය ආවරණයක් එහි වහලයට යොදාගන්න පුළුවන් නම් හොඳයි. වීදුරු ජනේල යෙදීම එල්.ඊ.ඩී. බල්බ භාවිතය යන කරණාත් වැදගත්.

ප්‍රශ්නය: තේ කර්මාන්ත ශාලා තුළ තාප ශක්තිය ලබාගැනීමට භාවිතයට ගත යුත්තේ කවර ආකාරයේ බොයිලේරුද?

පිළිතුර: හුමාල බොයිලේරු සහ උණුවතුර බොයිලේරු කාර්යක්ෂමයි. ඒවායේ තාප කාර්යක්ෂමතාව 70% - 75% අතර ප්‍රමාණයක් වෙනවා.

ප්‍රශ්නය: තේ කර්මාන්ත ශාලා තුළ දර භාවිත කළ යුත්තේ කෙසේද?

පිළිතුර: සාමාන්‍ය දරත්, රබර් දරත් යන දෙවර්ගයම භාවිතයට ගැනෙනවා. කොහොම වුණත් දර ගබඩාවක් පවත්වාගෙන යන්න ඕනෑ. මාස දෙකකට අවශ්‍ය දර එහි ගබඩා කර තිබිය යුතුයි. තෙතමනය අඩුවන ආකාරයට දර ගබඩා කර තබනවා නම් හුඟක්ම හොඳයි. දර ගඩබා කරන්න ඕනෑ අඩි දෙකේ දෙකේ කැබලිවලට කපාගෙන.

ප්‍රශ්නය: තේ කර්මාන්ත ශාලාවල භාවිතයට අවශ්‍ය තරමට ගස් කපා දර ලබාගැනීම පාරිසරික ගැටලුවක් මතු කරවන්නක් නේද?

පිළිතුර: තේ වගාවත් සමඟ වැවිය හැකි ගස් වර්ග තිබෙනවා. ග්ලිරිසීඩියා සහ කැලිඑන්ඩ්‍රා ඊට කදිම උදාහරණ. වසරකට දෙවරක් මේ ශාක කපා දර ලබාගන්න පුළුවන්. ඉතින් එවැනි වගාවකට යොමුවීම එක විකල්පයක්. සාමාන්‍යයෙන් තේ කිලෝග්රෑම් එකක් නිෂ්පාදනය කරන්න දර කිලෝග්රෑමයක් අවම වශයෙන් අවශ්‍යය වෙනවා. සමහර තේ කර්මාන්ත ශාලා තේ කිලෝගරෑම් එකක් නිෂ්පාදනය කරන්න මෙයට වඩා වැඩි දර ප්‍රමාණයක් භාවිත කරනවා. වැඩි දර භාවිතය අඩු කිරීමත් විසඳුමක්.

ප්‍රශ්නය: සාමාන්‍යයෙන් තේ කිලෝග්රෑම් එකකට වැය වන බලශක්ති ප්‍රමාණයක් ගැන සඳහනක් තියෙනවාද?

පිළිතුර: ඔව්. කිලෝග්රෑම් එකකට කිලෝවොට් පැය 0.63ක බලශක්ති ප්‍රමාණයක් තමයි සාමාන්‍ය අගය. එහෙත් සමහර තේ කර්මාන්ත ශාලාවල මේ අගය මෙයට වඩා හුඟක් වැඩි අවස්ථා තියෙනවා. 10% - 15% අතර ප්‍රමාණයකින් බලශක්ති භාවිතය අඩු කරගැනීම, ඒ අගය පහළ දමාගන්න තිබෙන මඟක්.

ප්‍රශ්නය: තේ කිලෝග්‍රෑමයක් නිෂ්පාදනය කිරීමට සාමාන්‍යයෙන් කොපමණ මුදලක් වැය වෙනවාද? බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිත කිරීමෙන් මේ පිරිවැය අඩු කරගන්න පුළුවන් නේද?

පිළිතුර: සාමාන්‍යයෙන් තේ කිලෝග්‍රෑමයක් නිෂ්පාදනය කිරීමට රුපියල් 70ත් 80ත් අතර මුදලක් වැයවෙනවා. එම වියදමෙන් 15%ක ප්‍රමාණයක් දරන්න වෙන්නේ බලශක්තිය සඳහා. බලශක්ති භාවිතය හරිහැටි කළමනාකරණය කරගන්න සමත් වෙතොත් තේ කිලෝග්‍රෑමයක් නිෂ්පාදනයට වැයකරන වියදම තවත් අඩු කරගන්න පුළුවන්.

මංජුලා විජයරත්න

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.