අධ්‍යාපනයේ අර්බුදය | සිළුමිණ

අධ්‍යාපනයේ අර්බුදය

 ශ්‍රී ලංකාවේ පාසැල් අධ්‍යාපනය තුළ පවතින පස්වැන්නේ ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස (සාපෙ) විභාගය හා අපොස (උපෙ) විභාගය ශිෂ්‍යයන්ගේ මරු කපොළු තුනක් ලෙස හැඳින්විය හැකිය. එම විභාගයන් පවත්වන්නේ දරුවන්ගේ කුසලතා හඳුනා ගෙන ඒවාට යම් ඇගයීමක් ලබාදීමට නොවේ. එනිසා බොහෝ ශිෂ්‍ය පිරිසක් මේ විභාග තුන නිසා තම ජීවිතය අවුල් කර ගනිති.

දරුවන්ගේ විභාගය ලෙස නොව අම්මලාගේ විභාගය ලෙස හඳුන්වන පස්වැන්නේ ශිෂ්‍යත්ව විභාගය පවත්වන්නේ දරුවන් තුළ විශාල මානසික පීඩාවක් ඇති කරවමිනි. එහෙත් එය සමත්වන්නේ මුළු අපේක්ෂකයන් සංඛ්‍යාවෙන් 10%කට අඩු ප්‍රමාණයකි. 10%ක සමත්වීමේ ඉලක්කයකට යෑම සඳහා මේ දරුවන් නොවිඳිනා දුකක් නැත. දෙමවුපියන්ගේ බලාපොරොත්තුව වන්නේ තම දරුවා ශිෂ්‍යත්ව විභාගයෙන් කෙසේ හෝ සමත් කරවාගෙන ජනප්‍රිය විද්‍යාලයකට ඇතුළත් කර ගැනීමට ය.

අධි පාරිභෝජනවාදී සමාජය තුළ එවැනි මිනිස් ආශාවන් තාර්කික වුවත් දරුවන්ට එලෙස අධ්‍යාපනය ලබාදීමට නොහැක. දරුවන්ගේ කුසලතා මතුවන්නේ හුදු විභාගයන් ඉලක්ක කරගෙන නොවේ. මේ නිසා සමහරවිට දරුවන් තුළ සහජයෙන් පවතින කුසලතාවන් ද මොටවී ඔවුන් රෝගීන් බවට පත් වී ජීවිතය විනාශ වීමට ඇත්තේ වැඩි ඉඩකඩකි.

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ද මේ වනවිට තරගකාරී විභාගයක් බවට පත්කරගෙන තිබේ. එම විභාගයේ අරමුණ වන්නේ උසස් පෙළ විභාගය සඳහා දරුවන් වර්ගීකරණය වුවත් ඒ අරමුණෙන් බැහැරව ගොස් අධි සාමාර්ථ දහයක් ලබා ගැනීමේ ඉලක්කයන් දරුවන්ට ලබා දී ඇත.

එසේම ජනමාධ්‍ය ආදී සමාජ බලවේගයන් විසින් පොලඹවන්නේ ද අධි සමාර්ථයන් ලබා ගැනීම කුසලතාවක් බවයි. එහෙත් අධි සාමර්ථ්‍යයන් ලබා ගැනීම උසස් පෙළ සමත්ව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සෑම විටම තීරණාත්මක සාධකයක් වී නොමැත.

මෙරට අධ්‍යාපන ක්‍රමය තුළ කනගාටුදායකම විභාගය වන්නේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයයි. අපේ දරුවන් විනාශ මුඛයට තල්ලු කරන බරපතල කඩඉම වන්නේ එයයි.

පළමු වසරට ඇතුළත් වන මුළු සිසු දරුවන්ගෙන් උසස් පෙළ සමත් වී රාජ්‍ය විශ්වවිද්‍යාල වරම් ලබන්නේ 2%ක තරම් සුළු සංඛ්‍යාවකි. මෙපමණ කුඩා ප්‍රතිශතයක ජයග්‍රහණයක් සඳහා සිසු දරුවන් පත් කරන වෙහෙස අපමණ ය. එහෙත් රාජ්‍ය විශ්ව විද්‍යාල වරම් නොලබන දරුවන් රැක බලා ගැනීම සඳහා සමාජයේ පවතින ආවරණය ශක්තිමත් නොවේ.

ජාතියක දරුවන්ට අධ්‍යාපනය ලබාදීම සඳහා අරමුණ විය යුත්තේ ඔවුන්ව විභාග සමත් කරවීම නොවේ. සමාජ ගතවන දරුවන් සන්නිවේදනය සඳහා භාෂාවන් දැන සිටීමත්, ජීවිතයට මුහුණදීම සඳහා පෞර්ෂය වර්ධනය වී තිබීමත්, අලුත් ලෝකයක් තනන්නට නිර්මාණශීලීවීමත් අත්‍යවශ්‍ය කුසලතාවන් ය. එහෙත් පවතින අධ්‍යාපන ක්‍රමය තුළ මේ කුසලතාවන් දරුවන් තුළ ශක්තිමත් වන බවක් දකින්නට නොමැත. ඔවුහු බහුතරය විභාග පසුපස ගොස් අනාථ වී සමහර විට මුළු ජීවිතයම විනාශ කර ගනිති.

අපේ පාසැල් අධ්‍යාපනයේ ව්‍යුහාත්මක වෙනසක් සඳහා අදියර තුනකින් කටයුතු කරන්නේ නැත්නම් දරුවන්ගේ ජීවිත විනාශ වී ජාතියක ශිෂ්ටාචාරයේ මළ බෙරය වැයෙන අන්දම අපටම බලා ගත හැකි වනවා නො අනුමානය. දරුවකු ඉපදුනු මොහොතේ සිට ඒ දරුවාට වයස අවුරුදු දහයක කාලයක් පිරෙන අවධිය ජීවිතයේ අති විශේෂ කාල පරිච්ඡේදයකි. ඒ කාලය තුළ දරුවන්ගේ ආකල්ප වර්ධනය තුළින් පෞර්ෂය ගොඩ නැංවීම, සන්නිවේදනය සඳහා භාෂාවන් ඉගැන්වීම හා නිර්මාණශීලීන් බවට පත් කිරීම සඳහා අධ්‍යාපන ඉලක්කයන් සකස් කළ යුතුය. එය විභාගයන් නැත්තටම නැති කාල පරිච්ඡේදයක් වන්නේ නම් අගනේ ය.

දරුවකු වයස අවුරුදු දහයේ සිට දහසය පමණ වනතුරු ගෙවන කාල පරිච්ඡේදය දරුවන්ගේ කුසලතාව හඳුනා ගෙන වෘත්තීය පුහුණුවකට හා උසස් අධ්‍යාපනය සඳහා තෝරා ගැනීමේ කාල වකවානුව විය යුතුය. එහිදී උසස් පෙළ වරම් ලබා ගැනීම එකම අරමුණ නොවිය යුතු අතර එය එක් අරමුණක් පමණක් විය යුතුය. උසස් පෙළ වරම් නොලැබීම කිසිසේත්ම ජීවිතයේ අධ්‍යාපන අවස්ථා අහිමිවීමට හේතුවක් නොකර ගත යුතුය.

ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ අවලස්සනම දේ වන්නේ සියල්ලන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබාදීමට තැත් කිරීමයි. මීට කලින් ලංකාවේ මෙන්ම බොහෝ විදේශීය රටවල ද වෛද්‍ය අධ්‍යාපනය ලබාදුන්නේ වෛද්‍ය විද්‍යාල හෙවත් මෙඩිකල් කොලේජ් වලිනි. වෛද්‍ය, දන්ත වෛද්‍ය, පශු වෛද්‍ය, ඉංජිනේරු ආදී පාඨමාල වෘත්තීන් අභිමුඛ ය. එනිසා ඒවා ඇතුළත් විය යුත්තේ තාක්ෂණික පාඨමාලාවන් ලෙස මිස විශ්වවිද්‍යාල පාඨමාලාවන් ලෙස නොවේ.

විශ්වවිද්‍යාලයන්ට ඇතුළත් කර ගත යුත්තේ ඒ ඒ ක්ෙෂ්ත්‍රයන්ගේ වැඩිදුර අධ්‍යාපනය අවශ්‍ය වන පර්යේෂකයන් ය.

අපේ අධ්‍යාපන ක්‍රමය කෙසේ සකස් කර ගත යුතු ද යන්න මත භේදකාරී ය. එහෙත් අවශ්‍යයෙන්ම පැවසිය යුත්තේ එය අධ්‍යාපනය පෞද්ගලීකරණය හෝ සයිටම් හෝ වැනි ප්‍රශ්නයකට ලඝු කළ නොහැකි බවය. අපේ අධ්‍යාපනය පවතින්නේ ඊට වඩා බරපතළ අර්බූදයක ය. එහෙත් ඒ අර්බූදයට පක්ෂ

දේශපාලනයක් නොමැති නිසා ඊට යොමුවන අවධානය අවම ය. අධ්‍යාපනය පවතින අර්බූදකාරීත්වය දේශපාලනික ය. එය විග්‍රහ කර ගැනීමට අපේ රටේ දේශපාලන කල්ලි වලට නොහැකිය. අධ්‍යාපනයට සම්බන්ධ වෘත්තීයවේදීන් ද වෘත්තීය සමිති හරහා පටු සීමාවකට කොටු වී ඇත්තේ වැටුප් වැඩි කර ගැනීමක් වැනි අතිශය බඩගෝස්තරවාදී අරමුණකිනි. ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තීයවේදීන් අධ්‍යාපනයේ අර්බූදය දැක එය ව්‍යුහාත්මකව වෙනස් කිරීම සඳහා කරන පර්යේෂණාත්මක යෝජනා මොනවාදැයි රටට හෙළි කළ යුතුය. වැඩ වර්ජන කරමින් කාලය කා දැමීම තරම් එය සරල කටයුත්තක් නම් නොවන බවත් සියල්ලන් තේරුම් ගත යුතුය.

අබරන්

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.