එංගලන්තෙ වෛද්‍ය සභාවත් සයිටම් එකට විරුද්ධයි කියන්නේ සයිටම් විරෝධයත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියන එකද? | සිළුමිණ

එංගලන්තෙ වෛද්‍ය සභාවත් සයිටම් එකට විරුද්ධයි කියන්නේ සයිටම් විරෝධයත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියන එකද?

 ‘හරිනම් හාමුදුරුවරු විරුද්ධ වෙන්න තිබුණේ ඡන්දය වෙනුවෙන් සිල් රෙදි බෙදපු එකට’

’ඒ වෙලාවේ විරුද්ධ නොවී මේ වෙලාවේ ඒ වෙනුවෙන් පිණ්ඩපාතේ වඩිනවා කියන්නේ එතන තියෙන්නේ ආගමික භක්තියට වඩා වෙනත් භක්තියක් නේද?’

’උඩින්ම තියන්න ඕනැ ශාසනේට වඩා උඩින් වෙනත් දේවල් තියන්න ඇතැම් හාමුදුරුවරුන්ට හිත් දෙන්නේ කොහොමද?’

’ඇතැම් දේශපාලනඥයන්ට ආගම ගැනත් ලැදියාවක් ඇතිවෙන්නේ හාමුදුරුවරු තමන්ගේ දේශපාලන වැඩපිළිවෙළට ආධාර කරන කොට විතරද?’

’සාදු කියවෙන්නේ එතකොට විතරද?’

’හාමුදුරුවරුන්ගේ පිටුපස යන දේශපාලනඥයෝ වෙනුවට දේශපාලනඥයන් පසුපස යන හාමුදුරුවරු පිරිසක් බිහිවුණේ කොහොමද?’

’ජනතාවට අනුශාසනා කිරීම වෙනුවට ජනතාවගෙන් අනුශාසනා ලබන තරමට ඇතැම් හාමුදුරුවරු පහළට වැටුණේ කොහොමද?’

’සිල්වත් හාමුදුරුවරු මේ සියල්ල දෙස උපේක්ෂාවෙන් බලාසිටින්නේ එසේ කිරීම හැර වෙන කරන්නට දෙයක් නැති නිසාද?’

’පාත්තරය දේශපාලනය වෙනුවෙන් භාවිතා කරන්න තරම් ශක්තියක් ඇතැම් හාමුදුරුවරුන්ට ලැබුණේ කොහොමද?’

’කොටු වුණු මනසකින් ඇත්ත දකින්න පුළුවන්ද’

’කොටුව හැරෙන්න එවන් මනසකට පේන වෙනත් දෙයක් තියෙනවද?’

’පොත් නොකියවන නූගත්තු වගේම පොත් කියවන නුගත්තුත් ඉන්නවද?’

’බුදුරජාණන්වහන්සේ ළඟ ඉඳලත් දෙව්දත්ට හොඳ නරක හඳුනාගන්න බැරි වුනා නම් පොත් කියෙව්වා කියලා ම සම්පූර්ණ මිනිහෙක් බිහිවෙනවද?’

’ඒත් ලියැවෙන පොත් ප්‍රමාණය ගැන සතුටු නොවී ඉන්නත් බෑ’

‘අලූත් පොත් කියවන අතරම ඩබ්ල්යු. ඒ. සිල්වා, හේමපාල මුනිදාස” ජී.බී. සේනානායක, කරුණාසේන ජයලත්, වගේ ලේඛකයන්ගේ පොතුත් මතක් කරලා ගන්නවා නම් හොඳයි. ඇත්තටම මේ ලේඛකයෝ ලෝක ලේඛකයන් සමඟ සම මට්ටමේ තියන්න පුළුවන් ලේඛකයෝ.’

‘මේ දේශපාලන බයිස්කෝප් බලබලා ඉන්න නිසා මට තාම සිහින සොයන සමනල්ලූ බලන්නත් බැරි වුණා’

‘ශ්‍රේෂ්ඨාධිකරණය අද ස්වාධීනයි. ඒක නේද යහපාලනය කියන්නේ’

‘එදා ශ්‍රේෂ්ඨාධිකරණයටත් වඩා ශ්‍රේෂ්ඨව ඉන්නයි උත්සාහ කළේ’

‘සංහිඳියාව කියන්නේ එක අතකට කිසිම කෙනෙකුට ඕනෑවට වඩා බලයක් නොමැති වීම. එහෙම ගත්තාම අද ඇත්තටම සංහිඳියාවක් තියෙනවා’

‘එංගලන්තෙ වෛද්‍ය සභාවත් සයිටම් එකට විරුද්ධයි කියන්නේ සයිටම් විරෝධයත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියන එකද?’

‘සයිටම් එකට විරුද්ධ වෙනකොට එංගලන්තේ හොඳයි.’

‘ ඕකට කියන්නේ කන්න ඕනැ වෙනකොට කබරගොයාත් තලගොයා වෙනවා කියන එකද?’

‘එක ප්‍රශ්නයක් අරගෙන සියලූ ප්‍රශ්න වසං කිරීම වෛද්‍යවරුන්ගේ ජනතාවාදී බවද?’

‘එදා බලය වැරදි විදිහට පාවිච්චි කරපු පුරුද්දට ද අද පිණ්ඩපාතයත් වැරදි විදිහට පාවිච්චි කරන්න හාමුදුරුවරුන්ව පොළඹවන්න උත්සාහ කරන්නේ’

‘දොස්තරවරු දැන් ලෙඩවලට වඩා වැඩවර්ජනය පිළිබඳ විශේෂඥයෝ වෙලා’

‘නිලධාරි සංගමේ දොස්තර මහත්තුරු ස්ටෙතස්කෝප් එකට වඩා මයික්වලට ආදරෙයි’

නින්දෙන් කල්පනා කිරීමේ දී අවදියෙන් සිටිනවාට වඩා බොහෝ දේ කල්පනාවෙන බව මට කල්පනා විය. එහෙත් එසේ කල්පනා වූයේ ද නින්දෙන් ද අවදියෙන් ද යන්න නම් මට හරියටම කිව නොහැක.

Comments