තල්පිටියේ දළදා මහා පූජෝත්සවය අද ඇරැඹේ | සිළුමිණ

තල්පිටියේ දළදා මහා පූජෝත්සවය අද ඇරැඹේ

තල්පිටියේ ඩබ්.එම්.එන්.වී. විජේනායක (වාද්දුව සංචාරක)

වාද්දුව තල්පිටිය දළදාවත්ත පුරාණ මහා විහාරයේ වාර්ෂිකව පැවැත්වෙන ශ්‍රී දළදා පූජෝත්සවයේ 84 වන ශ්‍රී දළදා පූජෝත්සවය මෙම මස 24 වන දින පැවැත්වෙන තිස් පැය හතේ (7) පිරිත් දේශනයෙන් ආරම්භව මෙම මස 30 වැනි දින දක්වා පිංකම් මාලාව පැවැත්වේ.මෙම මස 24 වැනි දින රාත්‍රි 9.00 තිස් පැය හතේ පිරිත් දේශනය ආරම්භ වේ. 26 වැනි දින සූත්‍ර දේශනා දිනය වේ. 27 වැනි දින පෙ.ව. 9.00 විහාර අස්න දේශනය ආරම්භ වන අතර එදිනම පස්වරු 3.00 ට දේවදූතයා රැගත් අලි ඇතුන් සහිත මහා පෙරහර ගංගාරාම පුරාණ විහාරය කරා පිටත්වන අතර නැවත පෙරහැර පස්වරු 7ට විහාරස්ථානයට ගෙවදීම සිදුවන අතර රාත්‍රි 10.00 දොරකඩ අස්න අනුශාසනය පැවැත්වේ.

සැප්තැම්බර් 28 වන දින පස්වරු 3.00 සිට ගම් ප්‍රදේශයට, ජනතාවට සෙත්පතා මඟදිගට පිරිත් පැන් ඉසිමින්, පිරිත් දේශනා පවත්වමින් ඇතා පිටින් වඩම්වන ධාතූන් වහන්සේ සහිත පෙරහැර ගම් ප්‍රදේශය වටා ප්‍රදක්ෂිණා කිරීම සිදු කෙරේ.

සැප්තැම්බර් 29 දින රාත්‍රි 7.00 අතීතයේ විහාරස්ථානයේ වැඩ සිට අපවත්වී වදාළ මහා ස්වාමීන් වහන්සේලා වෙත පිං අනුමෝදන් කිරීම හා පසුගිය වසර 83 මුළුල්ලේ ශ්‍රී දළදා පූජෝත්සවය පැවැත්වීමට දායක වූ පරලොව සැපත් සියලුම දායක දායිකාවන්ට පිං පැමිණවීමට පවත්වනු ලබන විශේෂ ධර්ම දේශනය පවත්වනු ලබන්නේ බම්බලපිටිය වජිරාරාමාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය පාද ත්‍රිකුණාමලයේ ආනන්ද මහනායක ස්වාමීන්වහන්සේ විසිනි. සැප්තැම්බර් 30 රාත්‍රී 9.00 ඓතිහාසික 84 වන ශ්‍රී දළදා පෙරහැර වීදි සංචාරය කිරීම සඳහා විහාරස්ථානයෙන් ආරම්භ කරන අතර පසුදා අලුයම් කාලයේ නැවත විහාරස්ථානයට ගෙවදීමෙන් පසු 84 වන ශ්‍රී දළදා මහා පූජෝත්සවය නිමාවට පත්වේ.

Comments