මීයේ මී ඕනා ගී නිබැඳු සඳ­රු­වන්! | සිළුමිණ

මීයේ මී ඕනා ගී නිබැඳු සඳ­රු­වන්!

(සුමිහිරි ගීත නිබන්ධක චන්ද්‍ර‍රත්න මානවසිංහ අනුස්මරණය ඔක්තෝබර් 5 වැනිදාට යෙදේ)

සගයන් කීප දෙනකු සමඟ සවාරි තුනක් ගිය ‘මනමේ’ සකිසඳුන් තුන් දෙනකු බැහැදැක නොපමාව ආපසු රථයට ගොඩ වූයේ ය. පළමු මිත්‍රය මදුරප්පෙරුම නොහොත් ‘ගහේ බඩු’ ය. දෙවැන්නා දෙවරප්පෙරුම නොහොත් දෙවරක් සරිකළ බඩු වූ අතර තෙවැන්නා තෙවරප්පෙරුම නැත්නම් තෙවරකට සකස් කොට ළූ අමා පානය විණි. ඉතින් මානවගේ මේ දෙපිට කැපෙන සුලු උත්තර ලැබූ යථෝක්ත සකිසඳයෝ ඔද වැඩුණේ හොඳ හැටි කැකිරි පල පලා ය. මේ මානවසිංහගේ පරම රසවත්කමේ කදිම ගති ස්වභාවයයි.

සඳරුවන් සතු රසවත්කමේ රන් කිරි කට ගෑම වූයේ කුමක්ද? එක්තරා වංග කොමළඟක වෙතින් රසබර ගීතගෝවින්දයේ සුමිහිරි සිතේ හැටියට උරා බීමයි. කිසියම් සිංහල අවුරුදු දිනයක් මේ රසවතාට උදා ව‍ූයේ දඹුලු ගල මුදුනේ දී බැව් කියැවේ. ඔහුගේ එවන් සුමියුරුකම් මඟින් හා හා පුරා කියා ස්වකීය ගීත ප්‍රබන්ධය දලු මල් පල ලා හැදුණ - වැඩුණ අන්දම නොරහසකි. මී පැණි මෙන් මදුර අරුත්බර ගීත සංරචනයත්, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයනුත් අතර ගම්‍ය වූයේ වර්ඩ්ස්වර්ත් සහ ඉංගිරිසි සාහිත්‍යයන් කෙරෙහි පැවතුණු ආකාරයට අවියෝජනීය සම්බන්ධයක් බව සුපැහැදිලි වනු ඇත. “හෙළා වීරපුතුන් යුද වැදුණු කලට කඩු සමඟ සුරත් ලෙළදෙයි - නද අහස් තලේ පැතිරෙයි - ඒ හඬට නැටෙන සුරඟනන් දෙක මිණි කිකිණි හඬ ද පැතිරෙයි - හෙළදිවේ තොටිලි පැදවෙයි - මගෙ පුතා එයින් නැළවෙයි‍”! ස්වභාව සෞන්දර්යයත් ජාතිකාභිමානයත් ඒකාබද්ධව එකිනෙක සංකලනය කරවමින් අපූරු විදියට ගේය පද නිමැයුම තහවුරු කරනු ලැබූ විලාසය අතිශයින්ම සිත් ගන්නාසුලු නොවේද? ලොවේ ආදරය අරුත්මුසු වන්නේ කායික ප්‍රීතියත්, ආත්මීය සොම්නසත් සංයෝගවීම මත බව මේ ගීත රචකයා කෙටියෙන් මෙන් ම සුමිහිරිවද පවසාලූ අන්දම මේ බලන්න. “පෙමට පෙම පුදා - තුඩට තුඩ දිදී - කුරුලු ගී නඟයි ආදරේ බැඳීලා”

ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයෝ ගීත නාටකය ජනප්‍රියත්වයට පත් කරලූහ. “දෛවයෝගය’, ‘රන්මුතුදූව’, ‘ළා දලු’ වැනි කදිම චිත්‍රපටවලට ඔහු තම දායකත්වය ගේය පද රචනා මඟින් ලබාදුන් බව පවසනු වටී. දෛවයෝගයේ දෑ හිතකාමී චරිතවලට අදාළව ඔහු වෙතින් එදා පිළිසිඳුණු එක් ගීත ඛණ්ඩයක් මේ ඉර හ‍ඳේදීත් සහෘද මතකය වැලඳගන්නා ආකාරය පසක් වනු ඇත; එවැන්න මෙසේය‍. “නෙළාගනීදෝ පරවී යාදෝ නොතකා මල් පිබිදෙයි - සිඳිති බිඳිති අතු මග යන මගියෝ ගසනම් සෙවණට දෙයි අනුන් නිසා වෙහෙසෙන ජනයාගේ දෛවය නම් ඒකයි.” මේවා සිංහල; ගීත වංශයේ සනිටුහන් වන අනුස්මරණීය වූ ද, ආද‍ර්ශවත් වූ ද සටහන් නොවේ දැයි ඇසිය යුතුව තිබේ.

ඩේවිඩ් කරුණාරත්නයන්ගේ හෑල්ල යම් සේ ද මානවසිංහයන්ගේ ‘වගතුග’ ද මිහිරිතර සරණියකි. ජාතියක් යා යුතු අත එමඟින් සලකුණු වූයේ ය එදා‍. මානවගේ ගොළුදැරිය කතාවේ ගොළු දැරිය තමා මරණයට පත්වීමට පෙරාතුව එක්කාසු කරගෙන සිටි හුණුකූරු කැබලි, ගල් කැට කැබලිති ආදිය තමාගේ සොහොයුරාට ප්‍රදානය කිරීමේ සහෝදරකම නිසා දෙපාර්ශ්වයක් අතර පැවති වෛරක්කාරකම නැති භංග වී ගිය බව හුවා දැක්වෙන ජීවිතය හසුරුවන බලවේග ඇත්තේ වේදයින‍යන තුළය යන දර්ශනය සඳරුවන් කිවිඳුන්ගෙන් මොනවට ඔප මට්ටම් නොවූයේ ද යනු විමසනු වටී. එබඳු නිර්මාණ යා යුතුව තිබෙන්නේ සාහිත්‍ය ලෝකය තුළට නොව ලෝක සාහිත්‍යය තුළටමය යනු පැහැදිලි කරුණක් වනු නොරහසකි‍. අතිශය රසවත් ප්‍රස්තාවකින් සමන්විත මානවගේ ‘කෝමළ රේඛා’ වූ කලී මනබන්දනීය වේ‍. අපගේ මේ සොබාදහමේ කවි කෝකිලයා සන්තක ලේඛන සම්පත පරම ආස්වාදනීය නොවේද? මෙසේ මාධුර්ය ගුණයත්, ප්‍රසාද ගුණයත් තකට තකසේ සංකලනය වූ කල්හි චන්ද්‍රරත්නයන්ගේ පදමාලාවෝ තනිකරම අමා වතුරක් වන්නා හ. සිය දරුවන්හට යොදා තිබූ හුදු නම්වලින් පමණක් වුව ද මොහුගේ රසවත් බව තහවුරු වී දැක්වෙනු නිසැකය. ඔහුගේ දෙපුතුන් වූයේ උදය භාරත සහ ප්‍රභාත් මිත්‍රයි. දියණිවරියන් හැටියට හැඳින්වුණේ කාංචන මාලා මධුපාණි, කිංකිණි මේලා ගිරිජා දිලී ලක්ෂ්මී මංජලී මංජුලා යි.

වනය සිප - සිප දුවන දියවැල නටන

මලිගිය පොකුර වදුලේ

පනින සා පොවුවනේ, වසු පැටවුනේ,

ළමයිනි කෙළින මිදුලේ

මෙ ඔබ මිහිරෙහි නහව නහවා කිඳුනු

මරණය නමැති පතුලේ

සඳරුවන් රුව යළිත් සුදිලේ බලනු මැන

වෙල කැරලි ඇතුළේ

 

Comments