සල්ලි දෙයි­යන්ගෙ මල්ලිනම් දෙයි­යන්ගෙ අයිය හිතේ සතුට | සිළුමිණ

සල්ලි දෙයි­යන්ගෙ මල්ලිනම් දෙයි­යන්ගෙ අයිය හිතේ සතුට

නායකයන්ගේ දියණිවරු

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වන ජාතික සංහිඳියා කාර්යාංශය 2015 වර්ෂයේදී කැබිනට් පත්‍රිකාවක් මගින් අගමැතිතුමා විසින් පිහිටුවා ඇත. හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සභාපතිත්වය යටතේ ජාතික සංහිඳියා කාර්යාංශය ක්‍රියාත්මක වේ. ප්‍රතිසංවිධාන සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයෙහි කැබිනට් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිතුමාත් රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් පවුසි අමාත්‍යවරයාත් කටයුතු කරනු ඇත. එම අමාත්‍යංශයේ වැඩකටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා යොමුකර ඇති රාජ්‍ය ආයතනය ලෙස ජාතික සංහිඳියා කාර්යාංශය ක්‍රියාත්මක වේ.

සංහිඳියාව පිළිබඳ කටයුතු කළ යුත්තේ කෙසේද ? එය රාජ්‍ය ප්‍රතිපත්තිවලට ඇතුළත් විය යුත්තේ කුමන ආකාරයෙන්ද ? යන්න මෙහිදී සාකච්ජාවට බඳුන් වේ. ජාතික සමඟිය හා සංහිඳියාව පිළිබඳ රජයේ ක්‍රියාදාමය සහ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රියාත්මක වන්නේ මෙමගිනි. සංස්කෘතික දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය හා දිස්ත්‍රික් නිලධාරීන් සහභාගිකරවා ගනිමින් ඒ සඳහා ඔවුනට අවශ්‍ය පුහුණුව අවශ්‍ය ආධාර ලබාදෙමින් එම කාර්යභාරය දියත්කරන එක් ආකාරයකි.

තිරසාර සාමය සඳහා ශ්‍රී ලාංකාව තුළ තාරුණ්‍යයට විශේෂ කාර්යයක් ඉටුකළ හැකි බැවින් ජාතික සමඟිය හා සංහිඳියා කාර්යාංශය ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා එක්ව “උසස් අධ්‍යාපනය හරහා ජාතික සමඟිය හා සංහිඳියාව“ වැඩ සටහන ඔස්සේ ගැටුම් නිරාකරණය හා සංහිඳියාව නමින් නව විෂයක් හඳුන්වා තිබේ. ඒ තවත් මාර්ගයකි.

2018 වසරේ සිට විශ්ව විද්‍යාල පද්ධතියට එය නව විෂයක් ලෙස එක්කිරීමට ද නියමිතය. ඒ සඳහා ජාතික සංහිඳියා කාර්යාංශය හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව අතර අවබෝධතා ගිවිසුම 2017 මැයි 17 වෙනි දින අත්සන් තැබිණි.

විවිධ ආගම් හා ජාතින්ට අයත් විශ්ව විද්‍යාල ප්‍රජාව තුළ සමාජ ඒකාබද්ධතාවය, සහජීවනය ස්ථාපිත කිරීම උදෙසා ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතරේ සංවාදයක් ඇති කිරීමෙන් බිඳුණු හදවත් සුවපත් කිරීම හා ජාතිය ගොඩනැඟිම සඳහා රජය දියත් කර ඇති දීර්ඝ කාලීන හා මධ්‍ය කාලීන වැඩ පිළිවෙළ සඳහා මෙය උපකාරී වේ.

රුහුණු විශ්ව විද්‍යාලය, යාපනය විශ්ව විද්‍යාලය , අග්නිදිග විශ්ව විද්‍යාලය , සෞන්දර්ය විශ්ව විද්‍යාලය, නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ස්වාමි විපුලානන්ද ආයතනය , ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලය, හා ජාමියා තලීමියා ආයතනය සහ උසස් අධ්‍යාපන ආයතනවල සිසුන්ට ගැටුම් නිරාකරණය සහ සංහිඳියාව විෂයක් ලෙස හැදෑරීමේ අවස්ථාව මෙමගින් උදාවනු ඇත. එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා විශ්ව විද්‍යාල නිලධාරීන්ගෙන් සැදුම්ලත් මෙහෙයුම් කමිටුවක් ද පත්කර තිබේ.

ජාතික සමඟිය හා සංහිඳියාව උදෙසා කලාව සහ සංස්කෘතිය

ජාතික සංහිඳියාව තේමා කරගත් වෘතාන්ත චිත්‍රපටයක් රූපගත කිරීම් ඇරඹී ඇත. ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම ,විමුක්ති ජයසුන්දර යන සිනමාවේදීන් තිදෙනා එක්ව අධ්‍යක්ෂණය කරන එම සිනමා පටය වසර අවසානයේදී සිනමාහල් තුළ ප්‍රදර්ශනය කිරීමට නියමිතය. ජාතික සමඟිය හා සංහිඳියා කාර්යාංශය කලා හා සංස්කෘතික අංශයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කරනු ලබන එම සුවිශේෂී සිනමාපටය ශ්‍රී ලංකික ප්‍රේක්ෂකයන් හට නවමු අත්දැකීමක් වනු ඇත. ජාතික සමඟිය හා සංහිඳියා පණිවුඩය වෘතාන්ත චිත්‍රපටයක් හරහා සන්නිවේදනය කිරීමට ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට චිත්‍රපට අධ්‍යක්ෂවරුන් තිදෙනෙක් එක්ව අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටය ලෙස මෙය ඉතිහසගත වනු ඇත.

සී.ඩී. තැටි හරහා එම සිනමාපටය ජනතාව අතරට ලබාදීමට අපේක්ෂා කෙරෙන අතර ඒ හරහා ජාතික සමඟිය සහ සංහිඳියාව පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීම වැඩිදුරටත් අපේක්ෂා කෙරේ.

සමස්ත ලංකා රචනා හා චිත්‍ර තරගාවලිය

“වාර්ගික හා ආගමික අනන්‍යතාවය අගය කරමු. එකම රටක් එකම දැයක් ගොඩනගමු” යන තේමාව යටතේ දීප ව්‍යාප්ත කාටුන් චිත්‍ර තරගාවලියක් සංවිධානය කර තිබේ. ඒ සඳහා බස්නාහිර, උතුර, නැගෙනහිර, උතුරු මැද, මධ්‍යම සබරගමුව, වයඹ, දකුණ සහ ඌව යන ලංකාවේ සියලු පළාත් ආවරණය වන ආකාරයෙන් විවෘත අංශයෙන් මෙන්ම පාසල් අංශය යටතේ කාටුන් 800 කට අධික ප්‍රමාණයක් ලැබී ඇත. කාටුන් චිත්‍ර තරගාවලියට සමගාමීව ජයග්‍රාහී කාටුන් 100 ක් සහ යුද්ධයේ ඉතාහාසය සම්බන්ධයෙන් නිර්මාණය කරන ලද කාටුන් 100 ක් වශයෙන් කාටුන් පොත් දෙකක් මුද්‍රණය කර පාසල් සිසුන් හා ජනතාව අතරට රැගෙන යාමට ජාතික සංහිඳියා කාර්යාංශය කටයුතු දියත් කරමින් සිටී. ජයග්‍රාහී කාටුන් හා යුද්ධ ඉතිහාසය අඩංගු කාටුන් 100 ක් ලංකාවේ ප්‍රධාන නගර තුළ ප්‍රදර්ශනය කිරීමෙන් සංවාද හා විවාද හා සංවිධානාත්මකව පැවැත්විමට සංහිඳියා කාර්යාංශය බලාපොරොත්තු වේ.

“විවිධත්වයේ එකමුතුව හා ජාතියේ ශක්තිය” යන තේමා පාඨය යටතේ ජාතික සමඟිය සහ සංහිඳියා කාර්යාංශය, බාකිර් මාකර් මධ්‍යස්ථානය සමඟ ඒකාබද්ධව ඉදිරිපත් කළ සමස්ත ලංකා රචනා හා චිත්‍ර තරගාවලිය යටතේ සියලුම පළාත් නියෝජනය කරමින් චිත්‍ර 950 කට අධික ප්‍රමාණයක් ලැබී ඇත. එම ජයග්‍රාහී චිත්‍ර අඩංගු පොතක් මුද්‍රණය කිරීමට ද කටයුතු යොදා ඇත.

පාසල් සිසුන් අතර සහජීවනය ගොඩනැඟීමේ අරමුණින් අන්තර් පාසල් ආගමික හා සංස්කෘතික උත්සව සැමරීමේ වැඩ සටහන් ගණනාවක් පවත්වා ඇත.

තෛයිපොන්ගල්, සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය , පොසොන් උත්සවය, රාමසාන් උත්සවය හා නත්තල් උත්සවය එම ව්‍යාපෘතිය යටතේ තෝරාගත් අන්තර් ආගමික සහ සංස්කෘතික උත්සවයන් වේ. විවිධ ජනවර්ගවලට අයත් සිසු සිසුවියන් සහභාගි කරවාගෙන උත්සවාකාරයෙන් සැමරීම සිදු කරනු ලබයි.

මෙහිදී විවිධ වාර්ගික හා ආගමික උත්සව, සංස්කෘතික උත්සව යන්හි අඩංගු චාරිත්‍ර වාරිත්‍ර අත්දැකීම් ප්‍රායෝගිකව අත්විදීමට අවස්ථාව ලැබේ.

ශිෂ්‍ය ශිෂ්‍යාවන් තමන්ගේ අනන්‍යතාවය තහවුරු වන ලෙසට ඇඳුම් පැළදුම් වලින් සැරසී ආගමික හෝ සංස්කෘතික උත්සවයන්ට අදාළ විවිධ ක්‍රියාකාරකම් හා කණ්ඩායම් නායකත්වය හා සාමුහිකත්වය ගොඩනැඟීමේ ක්‍රියාකාරකම්වල නිරත වේ. එහිදී බහුවිධ ජනවර්ග හා ආගම්වලට අයත් සහෝදර සහෝදරියන් සමඟ නව සබඳතා ගොඩනගා ගැනීමට අවස්ථාව ලැබීමෙන් සියලු ආගමික හා සංස්කෘතික උත්සවයන්හි හරයන් හා වටිනාකම් එක හා සමාන බව සිසුන් අතරට ගෙනයාමත්, එම උත්සව සැමරිය යුතු ආකාරය සහ චාරිත්‍ර සහිත පොතක් සිසුන් අතට පත්කිරීමටත් කාර්යාංශය කටයුතු කරයි. එය පළාත් මට්ටමින් හා දිස්ත්‍රික්ක මට්ටමින් විශාල ශිෂ්‍ය ප්‍රජාවකගේ සහභාගිත්වයෙන් යුතුව උත්සව 133 ක් මේ වන විටත් පවත්වා ඇත.

එක් එක් සංස්කෘතීන් නියෝජනය කරන හර පද්ධතීන් පිළිබඳව දැනුම්වත් වීමත්, සංස්කෘතියට අයත් සිරිත් විරිත් ඇවතුම් පැවතුම් පැරැණි ජන ක්‍රීඩා ආචාර විධි පිළිබඳව ප්‍රාමාණික අවබෝධයක් ලැබීම හරහා පාරම්පරික සම්ප්‍රදායන් නව පරපුරට සම්ප්‍රේෂණය වීමත් සිදුවේ.2017 වර්ෂය තුළ එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූ අතර මෙය අධ්‍යාපන අමාත්‍යාංශය, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාල වල සහයෝගය සහිතව උත්කර්ෂවත් අන්දමින් පාසල් තුළ ක්‍රියාත්මක වන්නකි.

මෙම කාර්යාංශය ආරම්භ කළ “සහෝදර පාසල්- සහෝදර පාඨශාලෙ” වැඩ සටහනට සමගාමීව අවබෝධයෙන් හා විවිධත්වයට ගරු කරමින් එක්ව ජීවත් වීමේ අගය දරුවන් තුළ වර්ධනය කිරීමේ අරමුණින් සංහිඳියාව හා ගැටුම් පරිණාමය, ක්‍රිඩාව සහ කලාව යන අංශ ඔස්සේ දරුවන් වෙනුවෙන් නේවාසිකව නායකත්ව පුහුණු කදවුරක් දින 5 ක් පුරා පැවැත්විණි.

එම වැඩ සටහන් මාලාව මගින් පාසල් සිසුන් අතර මෙන්ම ගුරුවරුන් අතරද ජාතික සමඟිය, ශ්‍රී ලාංකීය සංස්කෘතික විවිධත්වය, ජාතික සංහිඳියාව වැනි කාලෝචිත කරුණු පිළිබඳව ප්‍රායෝගිකව දැනුම්වත් විය.එමගින් සිසු හුවමාරු වැඩ සටහන් ද ක්‍රියාත්මක වේ.

විශේෂ පුහුණුව ලද පළාත් පුහුණුකරුවන්ගේ සංචිතයක් තුළින් මෙයට සමගාමීව පාසල් මට්ටමින් ගුරුවරුන් දැනුම්වත් කිරීමේ වැඩ පිළිවෙළක් ද ක්‍රියාත්මක වේ. පුහුණු කරුවන් සහ ගුරුවරුන් සංචිතයක් පළාත් මට්ටමින් ඇතිකිරීම තුළින් මෙන්ම දහස් ගණනක සිසු ප්‍රජාවක් තුළ ශ්‍රී ලාංකීය විවිධත්වය පිළිබඳ දැනුවත් වීම තුළින් අන්‍යෝන්‍ය අවබෝධය ඇතිකර විිවිධ පළාත් අතර සබඳතා ගොඩනැඟීම බලාපොරොත්තු වේ.

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාවෙහි සංස්කෘතිය හා ඒකාබද්ධතාවය වෙනුවෙන් වූ යෝජනාවන් අතර 52.9.276, 25.9.98, 24.9.97 යන පරිච්ජේද යටත්ව සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම උදෙසා “උතුරු දකුණු මිතුරු සෙවන” නමින් සංස්කෘතිය තුළින් සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සඳහා වූ මිත්‍රත්ව මධ්‍යස්ථානයක් මිහින්තලය ප්‍රදේශයේ ස්ථාපිත කර ඇත.

බහුවිධ ජන වර්ගයන්ට අයත් විවිධ සංස්කෘතීන් හා ඒවාට අයත් විවිධ විශ්වාසයන් හඳුනාගෙන සියලු ජන වර්ගයන් පිළිබඳ ලබාගන්නාවූ අවබෝධයෙන් අන්තර් සංස්කෘතික ජනවර්ග අතර සම්බන්ධතාවය වැඩි දියුණු වීමක් එමගින් අපේක්ෂා කෙරේ.

ඒ තුළින් සියලු ශ්‍රී ලාංකිකයන්ට පොදු වටිනාකම් සමූහයක් වෙත ලඟා විය හැකි අතර යහපාලන රජයෙහි අන්තර්ගත සංස්කෘතික සහජීවනය සහ ඒකාබද්ධතාවය සඳහා ක්‍රියාකාරී සැලැස්මක් කෙටිකාලීන පියවරක් වශයෙන් ක්‍රියාත්මක වේ.

ජාතික සමඟිය සහ සංහිඳියාව තුළින් මිත්‍රත්වය ගොඩනැඟීම සඳහා වූ ”උතුරු දකුණු නෑ ගමන”ව්‍යාපෘතිය යටතේ උතුරු පළාතට සහ දකුණු පළාතට අයත් කලාකරුවන් හුවමාරු කිරීම මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කෙරේ. 

Comments