හැරී අභ­ය­ගු­ණ­ව­ර්ධන සන්නද්ධ අර­ග­ලයේ පුරෝ­ගා­මියා... | සිළුමිණ

හැරී අභ­ය­ගු­ණ­ව­ර්ධන සන්නද්ධ අර­ග­ලයේ පුරෝ­ගා­මියා...

සන්නද්ධ කිරීම මඟහැර ගොස් පොලීසිය මැඩපැවැත්වීමට කටයුතු කළහ. මෙරට විප්ලවීය සන්නද්ධ අරගලයක පුරෝගාමීයා හැරී අභයගුණවර්ධනයන්ය. එතුමන්ගේ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් දශක ගණනකට පෙර ඔහු දැරූ දේශපාලන අදහස් අද මතුකරමින් මේ සටහන ලියා තබමි.

සන්නද්ධ අරගලයකින් මිස ආණ්ඩු බලය ලබාගැනීමේ වෙනත් මඟක් නැත යන්නේ පිහිටා පළමු වරට අදහස් පළ කළ සහ ක්‍රියාත්මක වූ කොමියුනිස්ට් පක්ෂයේ ලේකම්වරයකු වූ හැරී අභයගුණවර්ධනයන්ගේ ජන්ම ශත සංවත්සරය සැප්තැම්බර් 24 දිනට යෙදී තිබේ. රටේ එක්සත් ජාතික පාක්ෂික නොවන රජයක් පිහිටුවීමට කැපවුණු හැරී අභයගුණවර්ධනයන් යමුනා සම්මේලනයෙන් පසු බණ්ඩාරනායක රජය පිහිටුවීම වෙනුවෙන් ඉමහත් කාර්යභාරයක් මතවාදී ලෙසත් ක්‍රියාකාරී ලෙසත් සිදු කර තිබේ.

ඩී.ඇස්. සේනානායකයන් විසින් ඉන්දියානු වතු කම්කරුවන්ගේ පුරව­ැසිභාවය සහ ජන්ද බලය නැති කිරීමට කටයුතු කරද්දී ඒ වෙනුවෙන් මැදිහත් වුණු හැරී අභයගුණවර්ධනයන්ගේ අභිමතාර්ථය හුදෙක්ම එක්දහස් අටසිය ගණන්වල මෙරටට පැමිණි දෙමළ ජනතාවගේ නොව, කම්කරුවන්ගේ මූලික අයිතීන් ආරක්ෂා කරදීම වීම අහම්බයක් නොවේ.

වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ දැවැන්තයකු වූ එතුමා ඒ ස්ථාවරය වෙන්වෙන් ඉමහත් සේවයක් ඉටු කර ඇත.

1947-49 ගණන්වල ලංකාවේ සන්නද්ධ අරගලය පිළිබඳ අදහස පළමුවරට සමාජගත කළේ හැරී අභයගුණවර්ධනයන්ය.

1949 පිලිපීනය, මැලේසියාව, චීනය සන්නද්ධ අරගලය සමඟ සමාජවාදී කඳවුර ශක්තිමත් වෙමින් තිබියදී මෙරට එවැන්නක් යෝජනා කිරිම ඔහු අතින් සිදුවිය. විප්ලවයේ කොන්දේසි මෝරා නැති මොහොතක සන්නද්ධ අරගලයක් කරා යාම වැළැකුනද ඒ පිළිබඳ මතවාදී මැදිහත්වීමේ පුරෝගාමියා වශයෙන් නම් වන්නේ හැරී අභයගුණවර්ධනයන්ය. චීන විප්ලවයේ ආස්වාදය ලැබූ ඔහු සිය පුළුල් අධිරාජ්‍ය විරෝධී පෙරමුණක් නැතහොත් වාම පෙරමුණක් බිහි කිරීමේ මූලික අඩිතාලම මෙරට තැබුවේය.

ආසියාවම ගිනි දැල්ලක් බවට පත්වී ඇති මොහොතක පවා සන්නද්ධ අරගලය අභිමතාර්ථය වුවද, කම්කරු පංතිය වර්ධනය නොවූ නැතහොත් අරගලයේ මූලික කොන්දේසීන් මෝරා නැති මහපොළවේ අරගලය වෙනුවෙන් ඔහු අවි ගත්තේ නැත.

"මූල්‍ය විනයේ අවශ්‍යතාවය" සහ "සේවක විනයේ වැදගත්කම" පිළිබඳ රොනී ද මැල් මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන ලද කාලයේ වැඩි වශයෙන් කතා කර තිබේ. ආර්ථික ක්‍රියාවන්හි සහ සේවාවන්හි වටිනාකම මුදලින් මනිනු ලැබීමත් ගුණධර්ම නොසලකා හැරීමත් විවෘත ආර්ථිකය තුළ නියතියකි.

ඒ අනුව, සයලු දේට මූල්‍ය අගයක් පැවතීම වර්තමාන අර්බුධයේ මූලයයි. සාරධර්ම හෝ මානුෂික වටිනාකම් වෙනුවට "සේවක විනය" යනු ද අද හුදෙක්ම ස්වාමියාගේ අණ අකුරටම පිළිපඳින යන්ත්‍රයක් වී තිබේ. හෘද සාක්ෂිය ක්‍රියා විරහිත වූ සේවක විනය සමාජයේ පැවැත්ම පිළිබඳවත් මිනිස් සබඳතා, මූල්‍ය සබඳතාවන්ට පාවාදීමෙන් මානව ගුණයන් අර්බුධයට ලක්වීමත් අද රටේ දේශපාලන ලෝකය තුළ කැපී පෙනේ.

විවෘත ආර්ථිකය මුල් ඇද ගන්නට පෙර මෙරට සාරධර්ම පිළිබඳ යම්කිසි ප්‍රබෝධයක් තිබුණි.

නමුත් ධනේෂ්වරයේ අඳුරු සෙවණැළි වැටෙන්නට වන් කල සූදුවේ පුනරුදයක් ඇති වීමේ අඩිතාලම වැටුණි. අද වන විට සෑම සියලු දෙනාගේම ඉතා සරල අභිමතාර්ථය හෙට දවසේදී කොටිපතියකු බවට පත්වීමයි. ජනමාධ්‍ය ආයතන පවා කුඩා මිනිසුන්ගේ එම ප්‍රාර්ථනය මුදුන්පැමිණවීම වෙනුවෙන් කැපවී මුදල් උපයන අතර සමාජ ප්‍රගමනය වෙනුවෙන් වගකීමක් හෝ වගවීමක් කිසිවකුට නැති තරම්ය.

1956 දී සිදු වූ බණ්ඩාරනායක ජයග්‍රහණයේ සිට 1977 දී සිරිමාවෝගේ පරාජය දක්වා කාලපරාසය අද දේශපාලනයේ ස්වභාවයට ඉතාමත් බලපෑම්සහගතය.

1956 දී බණ්ඩාරනායකයන් රදළයින් රැකීම වෙනුවෙන් පෙනී සිට නැති අතර ගොවි කම්කරු ජනතාව සමඟ අත්වැල් බැඳගත් ගමනක් වෙනුවෙන් කටයුතු කර තිබුණි. සැබෑ ජනසම්මතවාදියෙකු ලෙස ස්වපාලනයට ද ස්ව භාෂාවට ද තැන දී කටයුතු කළ අතර රඳළයින්ගේ දෝෂදර්ශනයට ලක් වුණු කුඹුරු පනත, වරායේ පැවති කොම්පැණි ජනසතු කිරීම වැනි දේ සිදු කළහ.

සිය රදළ ඥාතීන්ට විශේෂ සංග්‍රහ වෙනුවෙන් රාජ්‍ය වරප්‍රසාද යොදා නොගත් බණ්ඩාරනායකයන් රටවැසි පීඩිතයින් මූලික සාධකය කරගත්තා විනා පවුල්වාදය කරපින්නා ගත්තේ නැත.

රටක ආර්ථික ක්‍රමය කෙරෙහි දේශපාලන යාන්ත්‍රණය විසින් බලපෑම් ඇති කිරීම යනු කුමක්ද? එවැනි ඇති කිරීම වනාහී දූෂණයේ උපත වෙනුවෙන් කටයුතු කිරීමකි. නමුත් ඇත්ත වශයෙන්ම, එක්සත් රාජධානියේ කම්කරු පක්ෂය දිගින් දිගමට කටයුතු කර ඇත්තේ දේශපාලන යාන්ත්‍රණය විසින් නැතහොත් රජය විසින් නියෝග නිකුත් කරමින් ධනේෂ්වර අර්ථ ක්‍රමයේ නාමයෙන් ඇති වන පීඩනය අවම කිරීමටය.

එංගලන්තයේ දෙවන ලෝක යුධ සමයේදී ජාතික ආණ්ඩුවෙන් ද රජයේ නියෝග මඟින් රටේ ආර්ථිකය කෙරෙහි විශාල බලපෑමක් සිදු කර තිබේ. ඒ දෙවන ලෝක යුධ සමයේදී පීඩනයට පත් වූ පොදු මහජනතාව රැක ගැනීම වෙනුවෙන් බව කියැවේ.

කවුරුන් කුමන ආකාරයට න්‍යායාත්මකව හෝ භාවිතය තුළ ආර්ථිකය සහ රාජ්‍ය යාන්ත්‍රණය විග්‍රහ කළද, රටක ජනතාව රැකගැනීමට රජය ආර්ථිකය කෙරෙහි බලපෑම්සහගත ලෙස මැදිහත්විය යුතුබව ලෝකයේ සියලුම සමාජවාදීන් දරන මතයයි. සමාජවාදී ජනරජයක් යැයි පිළිගන්නා මෙරට විවෘත ආර්ථික රාමුවට කඩා වදින්නටත්, ඉන් පීඩිතයින් බවට පත්වී සිටින රටවැසියන්ගේ දෛනික දුක්ගැණවිලිවලට පිළියම් සැකසීමේත් යුක්තිසහගත වගකීමක් දේශපාලන යාන්ත්‍රණයට ඇත.

දූෂණය කොයි ආකාරයෙන් අර්ථ දැක්වුව ද එය අදට ඔබින කතාවකි. ආර්ථික, සමාජ සහ දේශපාලන සෑම ක්ෂේත්‍රයක් තුළම ක්‍රියාකාරකම්හි සැබෑ මිණුම් දඩුව "දූෂණය" බවට පත්වී තිබේ.

රාජ්‍ය යාන්ත්‍රණය තුළ මුදල් භාවිතයේ විනය සහ නිලධාරීන්ගේ නැතහොත් සේවකයන්ගේ රාජකාරී විනය කෙරෙහි නැවත සලකා බලන්නට ‘පිණ්ඩපාත දේශපාලනය‘ අපට මතක් නොකරන්නේද? ධනනේශ්වර ක්‍රමයක දී සුදුවිය හැකි මේ දූෂණය හා සමාජ පිරිහීම හැරී අභයගුණවර්ධනයන් දුටුවේ එදා ය.

 

Comments