කටුවන සටනින් පැවතෙන පෙළපත් ... | සිළුමිණ

කටුවන සටනින් පැවතෙන පෙළපත් ...

 පසුගිය සතියෙන්...

කටුවන කොටුව පැවතෙන්නේ ඉතා ඈත යුගයේ සිට බවට සාක්ෂි ලෙස පරාක්‍රමබාහු රජු සමඟ සුගලා දේවිය පාත්‍රා ධාතුව රැකගැනීමේ සටනේ යෙදුණු ක්‍රිස්තු වර්ෂ 1153-1186 කාලයේ තොරතුරු දැක්විය හැකිය. කඳු යායකින් වට වුණු මනරම් ප්‍රදේශයක් වන කටුවන පෘතුගීසීන්ද බලකොටුවක් ලෙස භාවිත කර ඇති අතර, ලන්දේසීන් එය වඩාත් හොඳින් කළු ගල්බැමි බැඳ තහවුරු කරගත්තේ මුහුදුබඩින් එන සතුරු උවදුරු වැළැක්වීමට මෙන්ම කන්ද සපරගමුව හරහා උඩරටට යෑමට හැකි රට මැද පිහිටි හොඳම ස්ථානය ලෙස සිතූ බැවිනි. එහි වාස්තු විද්‍යාත්මක ලක්ෂණ මේ වන විට වෙනස් වී ඇති බව ඇතැම් පුරා විද්‍යාඥයන්ගේ මතයයි. හොඳම ගම්මිරිස්, කුරුඳු මෙන්ම අලි වෙළෙඳාමටද මේ කොටුව ඔස්සේ කටයුතු යෙදුණු බව ඉතිහාසය සටහන් තබයි. ගුරුළු සන්දේශය, කැටකිරිලි සන්දේශය වැනි කවිකාරකම්වලින් මේ සටනේ තොරතුරු සහ වීරත්වය විදහා පෑමට කවීන් සමත් වී ඇත. ඒ සන්දේශවලද සඳහන් ආකාරයට සිංහල සේනාව විසින් අල්ලාගත් පසු කටුවන කොටුවේ සිටි ලන්දේසි සෙබළුන් වෙනත් තැන්වලට ගෙන ගිය අතර, දින කීපයකට පසු හිස් ගසාදමා ඇත. ඒ අවස්ථාවල ඔවුන් කෑමොරදුන් හඬ අදටත් ඇසෙන බව ඇතැමුන්ගේ විශ්වාසයයි. කටුවන සටන කෙරුණේ තොවිලයක් සිදු වන අතර එහි කෙහෙල්බඩ ආදියේ සඟවාගෙන ආ ආයුධවලින් බවටද මතයක් තිබේ.

කටුවන සටනින් පසු ලන්දේසි සෙබළුන් කොටුවේ දැකීමට නොහැකි වුවද කොටුව අවට පදිංචි වූ ලන්දේසි පිරිසට හානියක් කරන්නට කිසිදු වුවමනාවක් සිංහල බළඇණියට නොවීය. සටන පැවැතියේ රාජ්‍යය ඇල්ලීම සඳහා වූ ආක්‍රමණිකයන් සමඟ මිස සාමාන්‍ය මිනිසුන් සමඟ නොවන බව එදාත් අපේ සෙබළු හොඳින් දැන සිටයහ. එනිසා අදටත් ලන්දේසි නම් ඇති අය මෙන්ම පෙනුම ඇති අයද කටුවන ආශ්‍රිතව නිරුපද්‍රැතව වාසය කරති. ක්‍රමයෙන් සාමාන්‍ය අතට හැරුණු හන්දියේ ආප්ප ගෙඩියක් පනමට විකුණූ කාලයක්ද පැවැතුණු බව ගම්වැසියන් කියන්නේ වැඩිහිටියන්ගෙන් ලද තොරතුරු අනුවය. සටනට එක් වූ පෙළපත් දහතුනක් රාජ වරප්‍රසාද ලත් සන්නස් හා තුඩපත් දහතුනක්ද හේවා පංගුවේ තුඩපත් දෙකක්ද ඇති බව උදය ඇමතියගොඩ බස්නායක නිලමේවරයා මෙන්ම සුමිත් රණසිංහ පුරාවිද්‍යාඥයාගේ සාක්ෂිවලින් අපට හමු වේ.

රජෙකු නැතිව සටන මෙහෙයවා රජුගේත් රාජ්‍යයේත් ආරක්ෂාව තහවුරු කර දුන් මේ පිරිසට සැලකිය යුතු ආකාරය රාජාධි රාජසිංහ රජු කල්පනා කරන්නට විය. ඒ සඳහා හොඳම විදිහ රජවරුන් මෙන් විසීමට අවසර ලබා දීම බව ඔහු තීරණය කළේය. සිය රාජ්‍යෝදයෙන් තුදුස්වැන්නේ ඉල්මස පුර විසේනිය නම් තිථිය ලත් ඉරිදා දිනයක් මේ සඳහා වඩාත්ම සුදුසු බව රජු සිතුවේය. සියලු මුදියන්සේලා කැඳවා උත්සවාකාරයෙන් මේ සන්නස් තුඩපත් ලබා දීම මැනවැයි රජුගේ මනාපය වන්නට ඇත.

කුරුවිට කෝරලයෙන් සටනට එක්ව හොඳින් දස්කම් කළ කිරිඇල්ලේ ජයසුන්දර මුදියන්සේට ප්‍රවේණි සැලැස්මට භුක්ති විඳින්නට හැකි වන පරිදි කුරුවිට කෝරලේ උඩපත්තුව බඳ ඉඩකඩම් කීපයක් හා කීනගහදෙණිය ඇතුළු වෑවිල නින්දගමත් පරිත්‍යාග කළේ මෙවැනි සන්නසකිනි:

‘ශ්‍රී වදාලා වූ පනත නම්... සපරගමු දිසාවෙන් කුරුවිට කෝරලේ මැද පත්තුව පද කිරිඇල්ලේ ජයසුන්දර මුදලියා කටුවන කොටුව සහ මාතර කොටුව අරවන ප්‍රස්ථාවේදී හොඳින් දස්කම් කළ නිසා කුරුවිට කෝරලේ උඩ පත්තුව බඳ ප්‍රවේණි හේවා පන්ගුවෙන් මුල් බිජු දැමුණු දෙපෑලේ වපසරියත්, කීනගහදෙණිය ඇතුළු වෑවිල නින්දගමත් උජ තුන් පෑලෙන් මුල් බිජු සිවු අමුණු දෙපෑලේ වපසරියත්, මීට අඩත්තු ගෙවතු ගහකොළගොඩවල්පිට ඇතුළු ව ප්‍ර ‍ෙව්ණි සැලැස්මට භුක්ති විඳිනා රඟට... ශක වර්ෂ එක්වා දහස් සසිය අසූ තුනට පැමිණි වෘෂ නම් වූ මේ වර්ෂයෙහි ඉල් මස පුර විශේනිය නම් තිථිය ලත් ඉරිදා මේ දවස මේ සන්නස දෙවා වදාළ පණතත්, ඒ පණතත් මෙසේම පණිවුඩ පණතයි...‘

මේ අයුරින් අකුරම් මාටුවාගල අභයනායක කුරුප්පු මුදියන්සේටද කරුවිට කෝරලයෙන් නින්දගමක් ලැබුණි.

අටකලන් කෝරලයෙන් සන්නස ලැබුණේ ඇමිටියගොඩ ගුණතිලක අලහකෝන් මුදියන්සේටය. එය දිගින් අඟල් දහයයි කාලක් සහ පළලින් අඟලක් පමණ වන බවද මුල් පිටේ පේළි 4ක් සහ දෙවැනි පිටුවේ පේළි දෙකක් ලෙස ලියූ ඉරටුව සහිත කර කොළයක ලබා දී ඇත. මාකඳුරේ ධර්මාලංකාර පණ්ඩිත සෙනෙවිරත්න මුදියන්සේට ද කටුවන කොටුව බිඳ දැමීමේදී කළ දස්කම් වෙනුවෙන් නින්දගමක් ලැබුණි. රණසිංහ මහතාගේ විස්තරයට අනුව එය 1802දී සුදක් සින්නක්කරයෙන් දුම්බර මහ නිලමේට විකුණූවද එය කලින් විහාරයකට අයත් භූමියක් බව දැනගත් පසු යළි සසුනට පූජා කළ බව ‘සපරගමු දර්ශනයේ‘ සඳහන් වී තිබේ.

බුළුවානේ ඒකනායක මුදියන්සේට සන්නසක් ලැබුණේ කටුවන කොටුව බිඳහෙළීමේ දැක්වූ සමත්කම් වෙනුවෙන් වන අතර, උඩගම රාජපක්ෂ මුදියන්සේට මාතර සහ කටුවන කොටු බිඳහෙළීම වෙනුවෙන් සන්නස් හා තුඩපත් ලැබිණි.

දික්ගම්පහ නමින් හැඳින්වූ කුකුළු කෝරලය වෙනුවෙන් කලවානේ ධර්මාලංකාර අතපත්තු මුදියන්සේටද මැද කෝරලය වෙනුවෙන් පානානේ වික්‍රම සදනායක නවරත්න මුදියන්සේට සහ පනානේ දහනායක මුදියන්සේටත් වෙලගේ වීරසිංහ මුදියන්සේට සහ පුවක්ගස් ආරාවේ විජයකෝන් මුදියන්සේටත් නින්දගම් ලැබුණේ මේ වික්‍රමය වෙනුවෙනි. කොළොන්න කෝරලය වෙනුවෙන් මඩුවන්වෙල විජයසුන්දර ඒකනායක අභයකෝන් මුදියන්සේටත් කොළොන්නේ රත්නායක මුදියන්සේටත් නින්දගම් ලැබිණි.

හේවාපංගුවේ තුඩපත් ලැබුණේ ගැටඅරළුවේ අප්පුට සහ සිරිවර්ධන අභයකෝන් විජයසුන්දර අප්පුටය. පුරාවිද්‍යාඥ සුමිත් රණසිංහ මහතා පවසන ආකාරයට කිරිඇල්ලේ ඤාණවිමල හිමියන්ගේ ‘මාතර කටුවන‘ සටනේ හමු නොවන පෙළපතක්ද ඔහුට හමුව තිබේ. ඒ මීගහජඳුරේ නල්ලපෙරුම මුරම්පි මුදියන්සේ නැමැත්තෙකි. බැද්දේගම නවකතාවේ එන මිනීමැරුම් නඩුව සඳහා ඩදිරිපත් වී ඇති මරණ පරීක්ෂකවරයා වූයේ ඔහුගේ මී මුනුපුරකු වන නල්ලපෙරුම දිසානායක නමැත්තාය. වැලිපිටිය වලව්වේ හැමිල්ටන් අබේසුන්දර වීරසිංහ මහතා ද මේ සටනේ විරුවන්ගෙන් පැවතෙන තවත් පුරුකකි.

වර්ෂ 1761 මේ නින්දගම් ලද පිරිස අතරින් පෙළපත් හතරක් මේ වන විටත් රටේ කතාබහට ලක්වන චරිත බවට පත් වී තිබේ. ඔවුන් අතරින් එකක් වන්නේ කිරිඇල්ලේ ජයසුන්දර මුදියන්සේගේ පරපුරෙන් පැවතෙන පෙළපතයි. වත්මන් පාර්ලිමේන්තුවේ සභානායක මෙන්ම උසස් අධ්‍යාපන සහ මහාමාර්ග ඇමැතිවරයා වන අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අයත් වන්නේ මේ පරපුරටය.

දෙවැනි පරපුර ඇමටියගොඩ ගුණතිලක අලහකෝන් මුදියන්සේගේ පෙළපතයි. බොල්තුඹේ කුඩා කතරගම දේවාලයේ වත්මන් බස්නායක නිලමේවරයා වන උදය ඇමටියගොඩ මහතා ඒ පරපුරේ වත්මන් පුරුකයි. තුන්වැනි පෙළපත වන්නේ උඩගම රාජපක්ෂ මුදියන්සේගෙන් පැවතෙන පරපුරය. ආචාර්ය අකිල විජය රාජපක්ෂ මහතා එහි මීමුනුපුරකු වශයෙන් වර්තමානයේ හමු වන පුරුකයි. හතරවැන්න වන්නේ බුළුවානේ ඒකනායක මුදියන්සේ පෙළපතයි. එහි මී මුනුපුරකු වන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සබරගමුව ආණ්ඩුකාර මෙන්ම මහාභාරකාර ධුරයන් දැරූ නීතිඥ ජානක බණ්ඩාර මහතාය.

සිංහල රාජ වංශයේ අවසන් සටන වූ කටුවන සටන පිළිබඳවත් කටුවන කොටුව හා ඒ හා බැඳුණු විවිධ ජනශ්‍රැති සහ සත්‍ය තොරතුරු පිළිබඳවත් සොයා ගිය අපි මේ පෙළපත් හැරුණු කොට ඉතිරි පෙළපත්වල මී මුනුපුරන්ද තම මුතුන් මිත්තන්ගේ අභිමානය නිහඬව විඳ දරා අදටත් සිටින්නේ දැයි යන සැකය සහිතව ආපසු පැමිණියෙමු.

අරුණි මුතුමලී
ඡායාරූප - සුදත් නිශාන්ත 

Comments